Home » නුවරඑළියේ සිසිල මවන සමනලවත්ත

නුවරඑළියේ සිසිල මවන සමනලවත්ත

by Mahesh Lakehouse
November 23, 2024 12:30 am 0 comment

සිසිල් සෞම්‍ය පරිසරයක සුව විඳින්නට රුචි ඔබට එක්වරම මතකයට නැඟෙන්නේ නුවරඑළිය බවට සැකයක් නැත. එහෙත් නුවරඑළියේ සිසිල් දේශගුණයට නෑකම් කියන සොඳුරු පරිසර වටපිටාවක් සහිත ඉසව්වක් ගැනයි මේ සටහන.

රත්නපුර දිස්ත්‍රික්කය කෙළවරේ බදුල්ල දිස්ත්‍රික්කය ආරම්භ වන අතරමැදි කලාපයේ බළන්ගොඩ නගරය ආසන්නයේ පවතින මෙම අපූරු පරිසර පද්ධතිය සොබාදහම විඳගන්නට රුචි සැමට අපූරු අත්දැකීමක් එක් කරනු නොඅනුමානය.

ගමන් මාර්ගය

බළන්ගොඩ නගරයෙන් මීටර් පන්සියයක් පමණ බදුල්ල මාර්ගයේ ඉදිරියට එන විට තුඹගොඩ ආසන්න වනවාත් සමඟ ශ්‍රී සුදර්ශන මහා විහාරය හමුවේ. විහාරය පසුකර මඳ දුරක් ගිය විට තුඹගොඩින් මස්සැන්න හරහා සමනලවත්ත වෙත දිවෙන මාර්ගය මේ ගමනේ ආරම්භයයි. එතැන් සිට කිලෝමීටර් දහ තුනක් පමණ ගිය විට මේ සොඳුරු ඉසව්ව හමුවේ.

බොහෝ කලකට පෙර මෙම ඉසව්ව හඳුන්වනු ලැබුවේ සිංකෝනා වත්ත යනුවෙනි. එකල සුදු ඇත්තන් මෙරට වතු පාලනයේදී සිංකෝනා වගාව සිදු කර තිබුණද, දැන් මෙම ප්‍රදේශය හරිත පැහැයෙන් දිලෙන තේ වතුයායකි. බළන්ගොඩ වැවිලි සමාගමට අයත් මෙම අපූරු තේ වතුයායෙන් මෙපිට දිලෙන ඈත කඳු වළල්ලේ අපූරු දසුන් ඔබ සන්සුන් කරනවා නිසැකය. වරෙක එක්වරම කඳු යායම මිහිඳුම් සළුවකින් වසා ගනී. ඒ සැණින් ම මිහිඳුම් සළුව උනා දමා අපූරු සුන්දරත්වයක් මවන්නේය. සිසිලස තැවරුණු මඳ පවන සිතත් ගතත් නැවුම් බවකින් වෙළා ගනියි. බළන්ගොඩ වතුයාට අයත් බිම් කඩක ඉදිවුණු අව්, වැසි ආවරණයට ගොඩවන ඔබට එහි ඇති බංකු මත හිඳ ගනිමින් මඳක් ඉසිඹු ලන්නට බාධාවක් නොමැත. බොහෝ ජනයාගේ පහස නොලද මෙම ඉසව්ව තවමත් පිරිසිදු වූත් සොඳුරු වූත් දනව්වකි. එහි සුන්දරත්වයෙන් මත්වූවන්ට එහි ගත කරන කාලය ගැන ද නිනව්වක් නැත්තා සේය. ඒ තරමටම එහි සිසිල් පවනටත් මනරම් දසුන් පෙළටත් ඔබ වසඟ වනු නොඅනුමානය.

වෙනස් වන සොබාදමේ අපූර්වත්වය

වරෙක ආලෝකයෙන් කුල්මත්ව පරිසරය ප්‍රබෝධමත් වේ. තවත් වරෙක මන්දාරම් අඳුරකි. විටෙක සිරිපොද වැස්සකි. වරින් වර වෙනස් වන මේ අපූරු පරිසරය බළන්ගොඩට ගෙන දී ඇත්තේ අපූර්වත්වයකි. බළන්ගොඩ නගරයේ සිට සමනලවත්ත දක්වා දිවෙන බස් රථය දිනකට ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මකය. එහි ගමනාන්තය සමනලවත්ත පාසලට මඳක් දුරින් ඇති නැවතුමය. එකල මේ මාර්ගය දුෂ්කර එකක් වුවද මේ වන විට ඉතා පහසුවෙන් ඕනෑම වාහනයකට ළඟා විය හැකි පරිදි සංවර්ධනය කොට ඇත.

සමනලවත්ත ගම්මානයේ විශාල ජනතාවක් සිටින බවට දෘෂ්‍ය නොවන අතර, පාර දෙපස නිවෙස් දැකිය හැකි වූයේ ගමන ආරම්භය කිලෝමීටර් කීපයක් යන තෙක් පමණි. කිලෝමීටර් හත අටක් ගිය තැන මෙම මාර්ගයේ ජනාවාස ශූන්‍ය බවක් දැකිය හැකි අතර, ඉන්පසු පෙනෙන්නේ එක යායක් සේ පෙනෙන තේ වතු රාශියකි. සාමාන්‍යයෙන් තේ වතු ආසන්නයේ වෙසෙන බහුතරය ද්‍රවිඩ ජනතාව වුවත් මෙහි බහුතර පිරිස වනුයේ සිංහල පවුල් වන බවත් එකම ද්‍රවිඩ පවුලක් පමණක් වෙසෙන බවත් පැවසුවේ ගම්වැසියෙකි.

සමනලවත්ත ආසන්නයේ මාර්ගයට පහළින් ඇති කුඩා මඟක කිලෝ මීටර් කිහිපයක් ගිය පසු ආරණ්‍ය සේනාසනයක් හමුවේ. පාරෙන් මෙපිට බෑවුම දෙසට ඇති එම ආරණ්‍ය සෙනසුනට ද ගොස් වැඳ පුදා ගැනීමට තරමක් වෙහෙසක් දරන්නට සිදු වුවද එය ද ඔබට අලුත් අත්දැකීමක් වනු ඇත.

මේ හැර පරිසරයේ සොඳුරු බව හා හුදෙකලාව හැර වෙනත් දැක බලා ගත හැකි විශේෂ ස්ථාන නොමැති වුවත් මෙම පරිසරයෙහි රැයක් ගත කිරීමට හැකි වේ නම් එය ඔබට අපූරු අත්දැකීමක් වනු නිසැකය. තවමත් බොහෝ දෙනාගේ පහස නොලද මෙම ඉසව්වේ තැනින් තැන සංචාරක නවාතැන් ඉදිවනු දැකිය හැකි විය. තරුණ පිරිස් යතුරුපැදිවල නැඟී රංචු ලෙසින් පැමිණ මෙහි සිරි විඳ ගනිති.

තේ වතු යායේ හඳුන් දිවියන් වෙසෙන බවත් ඇතැම් රාත්‍රියක තම නිවෙසේ ඇති කරන සුරතල් සුනඛයන් මෙන්ම කුකුළන් ද අතුරුදන් බව බව ගම්වැසියන් කිහිප දෙනකුම පැවසූ බැවින් සංචාරයේදී ඒ ගැන ද සිහි තබාගැනීම සුදුසුය.

මෙම මාර්ගය ඔස්සේ රාස්සගල, සීතගල, මැද්දෙකන්ද, තෝරවෙල්කන්ද යන ප්‍රදේශයන්ට මෙන්ම රාස්සගල හරහා වේවැල්වත්ත මාර්ගයෙන් රත්නපුරයට ළඟා වීමට ද හැකියාව ඇත. වේවැල් වත්ත මාර්ගයේ දිය ඇලි රාශියක් ද දැකගත හැකිය. රත්නපුරට ළඟාවිය හැකි විකල්ප මාර්ගයක් ලෙස මෙම මාර්ගය ඔස්සේ යා හැකි වුවත් මාර්ගය අබලන් වීම නිසා ඒ ගමන අවදානම් බව ද කිව යුතුය. මෙම ගමනාන්තය අවසන් වද්දී සිල්ලර කඩයක් සහ තේ කඩ දෙකක් දැකිය හැකිය. අලුතෙන් ඉදි කළ එම තේ කඩයකින් පොල් රොටියක සහ උණුසුම් තේ කෝප්පයක රස බලමින් ගමනේ විඩාව නිවා ගන්නටත් ඔබට හැකිය.

බොහෝ දෙනෙකුට මගහැරුණු බොහෝ අය නොදන්නා ජන පහසින් කිළිටි නොවූ මෙකී ඉසව්වේ සිරි විඳින්නට ලැබුණොත් එය සොබා දහමට ඇලුම් කරන ඔබට අපූරු මතක ගොන්නක් සහ අත්දැකීම් ගොන්නක් තිළිණ කරනු ඇත. එහෙත් ඒ පරිසරයේ සුන්දරත්වය නොනසා අනාගත පරපුරට ද විඳින්නට සුරැකීම අප කාගේත් යුතුකම බව ද මතක් කළ යුතුය.

බෙලිහුල්ඔය සමූහ – සමන්තා කංකානම්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division