මෙවර මැතිවරණය ප්‍රධාන පක්ෂ ගණනාවකට දැඩි අභියෝගයක් වුණා. එවන් තත්ත්වයක පැවැතියත් වසර ගණනාවකට පසු ඔබ යළිත් පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා…?
මම 2020 වසරේදි මනාප ඡන්ද 54,060ක් ලබා ගත්තත් ඡන්ද 460කින් පරාජයට පත් වුණා. ඒ අවස්ථාවේදි මට කනගාටුවක් ඇති වුණත් පසුව කලකිරීමකින් තොරව මගේ පාක්ෂිකයන් හා සාමාන්‍ය ජනතාව සමඟ දේශපාලනය කරන්න හැකි වුණා.
එහි ප්‍රතිඵලක් ලෙස පසුගිය මහ මැතිවරණයේදි දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස ජයග්‍රහණය කිරීමට මට හැකියාව ලැබුණා. මම මේ කාලයේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා. එසේම පසුගිය රජයේ පැවති වැරදි වැඩපිළිවෙළ ජනතාවට පැහැදිලි කර දී ජනතා අරගලයට දායක වුණා. එසේම මම වෘත්තියෙන් නීතිඥයෙක් නිසා අසාධාරණයට ලක්වූ සාමාන්‍ය ජනතාවට පාට පක්ෂ භේදයකින් තොරව සේවය කළා. මේ අවස්ථාවේ මහ රැල්ලක් තිබියදි වුව ද ඒ රැල්ලට පරිබාහිරව යමින් ජනතාව මාව දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට පත් කරන්න හේතු වුණේ ඒ කරුණුයි.
ඔබේ පක්ෂයේ ප්‍රබලයන් එළියට විසි වෙද්දි ඔබ ඇතුළු සීමිත පිරිසක් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වෙනවා. එයට හේතුව?
එය විග්රහ කිරීම හරිම අමාරුයි. එක් එක් දිස්ත්‍රික්කවල ලැබූ ඡන්ද ප්‍රමාණයත්, එක් එක් දිස්ත්‍රික්කවලට ඉදිරිපත් වූ අයගේ මට්ටමත් මෙයට බලපෑවා. ඒ නිසා තේරී පත් නොවූ අය පරාජිතයන් ලෙස හෝ නුසුදුසු අය ලෙස හඳුන්වන්න බැහැ. දක්ෂ, ඉතාම සුදුසු හා උගත් අයටත් පාර්ලිමේන්තුවට තේරි පත් වීමට නොහැකි වුණා. එසේම මේ අයගේ මහන්සිය නිසයි අනිකුත් අයට තේරී පත් වීමට හැකියාව ලැබුණේ. ඒ වගේම මේ අයට රටට සේවයක් කිරීමට ධෛර්යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.
සමගි ජන බලවේගයට ජනාධිපතිවරණයේදි හා මැතිවරණයේදි අපේක්ෂිත අරමුණු කරා ළඟා වීමට නොහැකි වූ බව ඔබ පිළිගන්නවාද?
ජනාධිපතිවරණයේදි අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්කම තිබුණා. නමුත් එදා අපේ කඳවුර දෙකට බෙදුණා. රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරු දෙකට බෙදිලා තරග කළා. මේ නිසා ජනාධිපතිවරණය පරාජය වුණා. නැතිනම් අපි නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා.
එදා අපි ජයග්‍රහණය කළානම් අපිට පහසුවෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්න තිබුණා. නමුත් ජනාධිපතිවරණය ඔවුන් දිනූ නිසා ඒ පක්ෂයට රැල්ලක් මහ මැතිවරණයේදි නිර්මාණය වුණා. එය තර්කානුකූලයි. අපි ජනමතයට ගරු කළ යුතුයි. ඒ නිසා අපේ බලාපොරොත්තු ඉටු නොවුණට ජනතාවගේ බලාපොරොත්තු ඉටු වුණා. ඒ නිසා විපක්ෂයක් ලෙස අපි අපේ වගකීම ඉටු කරනවා. ආණ්ඩු පක්ෂය නිවැරදි මඟට යන්න අඩුපාඩු පෙන්වා දෙන්න, විකල්ප යෝජනා ගෙන එන්න විපක්ෂයට ප්‍රධාන වගකීමක් පැවරෙනවා.
ඔබ පවසනවා පක්ෂයේ බෙදීම පරාජයට හේතු වූ බව. නමුත් මහමැතිවරණයේදි මේ පක්ෂ දෙක එකට එකතු වීමට ඕනෑතරම් අවස්ථාව තිබුණා? ඇයි ඒ පැත්ත ගැන කතා නොකරන්නේ..?
එක්සත් ජාතික පක්ෂයේ දැනට පවතින නායකත්වය තුළ එකතු වීමට අවස්ථාවක් නැහැ. අපි ප්‍රතික්ෂේප කළ අය, දූෂණයට ආධාර කළ අය එහි ඉන්නවා. එවැනි තත්ත්වයක් තුළ කොන්දේසි විරහිතව එකතු වෙන්න බැහැ.
අපි අපේ යෝජනා ඉදිරිපත් කළා. ඒ සියල්ලම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ප්‍රතික්ෂේප කළා. ඒ නිසා වෙනම තරග කිරීම හැර වෙන විකල්පයක් තිබුණේ නැහැ. සමහර විට එකට තරග කළා නම් ප්‍රතිඵලය මීට වඩා නරක වෙන්න තිබුණා. මැතිවරණයෙන් සිලින්ඩරයට උන්හිටිතැන් නැති වුණානේ.
පක්ෂයේ පැරණිම සලකුණ වූ අලියාගෙන් තරග කළා නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට තිබුණා නේද?
සලකුණ නෙමෙයි වැදගත් වන්නේ, ප්‍රතිඵල හා කණ්ඩායමයි.
පසුගිය මැතිවරණවලදි පෙන්නුම් වුණේ සලකුණ එතරම් වැදගත් නොවන බව. ජනතාව ඉක්මනින් සන්නිවේදනය කිරීමේ හැකියාව තියෙන නිසා ලකුණ වැදගත් නැහැ. පැරණි එක්සත් ජාතික පාක්ෂිකයෝ හා එක්වීමේ වැදගත්කම බැහැර කරන්නේ නැහැ. නමුත් දූෂිතයින් සමඟ එකතු වෙන්නෙත් නැහැ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීවත් මේ පක්ෂ දෙක යළිත් එකතු වීමේ සූදානමක් නැතිද?
තවමත් එවැනි සාකච්ඡාවක් නැහැ. අපිට ග්‍රාමීය මට්ටමින් එවැනි ඉල්ලීමක් නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් කියා තරග කරන්න කණ්ඩායමක් අද නැහැ. එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය හා උරුමයයි වැදගත් වන්නේ.
අනුර කුමාර ජනාධිපතිවරයාගේ සිට ඔවුන්ට මේ ගමන මේ දක්වා ඒමට පාර කැපුවේ රනිල් වික්‍රමසිංහ කියලා ඔබ චෝදනා කරනවා?
රනිල් වික්‍රමසිංහ මහතා දැනගෙන හිටියා ඔහුට ජයග්‍රහණය කරන්න බැරි බව.
ඔහු ඒ අනුව තරගයෙන් ඉවත්විය යුතුව තිබුණත් ඉවත් නොවී දිගින් දිගටම තරග කිරීමෙන් හා ඡන්ද ව්‍යාපාරය තුළ ප්‍රකාශ කළ දේවලින් තහවුරු වන්නේ අනුර කුමාර දිනවීමට ඔහු කැමැතිව සිටි බව.
සාම්ප්‍රදායික දේශපාලනය, සාම්ප්‍රදායික පක්ෂ මෙන්ම සැමදා දැක්ක පරණ මුහුණු මෙවර ජනතාව එකහෙළා ප්‍රතික්ෂේප කළා කියා හිතන්නේ නැද්ද..?
ජාතික ජන බලවේගයට විශාල ජන බලයක් ලැබිලා තියෙනවා. මම සුබ පතනවා. ඒ ජන බලය සමඟ ඔවුන්ට අරමුණු කරා යාමට හැකිවෙයි කියලා මම විශ්වාස කරනවා.
ඔවුන් සමඟ උගත් හා ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබපු පිරිසක් ඉන්නවා. ඒ අයට බලය හා සුදුසුකම් තියෙන නිසා රට නිවැරදි මඟට ගෙන යාමේ හැකියාව තියෙනවා. විපක්ෂයක් ලෙස අපි විමසිල්ලෙන් බලා සිටිනවා.
ජාතික ජන බලවේගය රටට දුන් පොරොන්දු ගැන ඔබේ අදහස පැවසුවොත්..?
ඔවුන් කියූ සෑම දෙයක්ම කළ හැකි දේයි. එයට අවශ්‍ය කණ්ඩායමක් හා බලයක් තියෙනවා. ඒ නිසා වසර 5 අවසන් වෙද්දි පොරොන්දු අවසන් කළ යුතුව තියෙනවා.
දැන් ඔබ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. මොනවද ඔබ ඇතුළු පිරිසට පැවරෙන වගකීම්..?
විපක්ෂය ලෙස පාර්ලිමේන්තුවේදි ආණ්ඩුවේ කටයුතු දෙස විමසිල්ලෙන් බලා සිට ධනාත්මක විවේචනයන් සිදුකළ යුතුයි. අමතරව පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුළ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ වගකීමක් පවතිනවා, පාර්ලිමේන්තුව පවත්වා ගෙන යාමට අවශ්‍ය දායකත්වය ලබා දීම.
නීති සම්පාදන ක්‍රියාදාමයේදි අපිට දායක වීමේ වගකීමක් පවතිනවා. මේ නිසා ඔවුන්ට රට කරගෙන යාමට අවශ්‍ය දායකත්වය ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.
ජනතාව සැමදාම දුටුවේ සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාරය. මෙවර ඒ ආකාරයෙන්ම විපක්ෂයේ කටයුතු කර ගැනීමට හැකි වේවිද?
එහෙම කළා කියලා ආණ්ඩුවට ප්‍රශ්නයක් නැහැනේ. ජනතා විමුක්ති පෙරමුණත් විපක්ෂයේ සිටියා. අපේ වගකීම වන්නේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීමයි. එය වරදක් නෙමෙයි. එය කරන්නේ ආණ්ඩුව නිවැරදි මාවතකට ගැනීමටයි.
විපක්ෂයට ලැබුණු ජන වරමත් සමඟ ප්‍රබල විපක්ෂයක් ගොඩ නඟාගත හැකි වෙයිද..?
ජනාධිපතිවරයාම වැදගත් කරුණක් කිවුවා. ‘බලය දූෂණය කරයි. අධික බලය අධික ලෙස දූෂණය කරයි ‘ කියලා. අසීමිත බලය තුළ පුද්ගලයන් හා කණ්ඩායම් වශයෙන් බලය අයුුතු ලෙස භාවිත කිරීමට පෙලඹවීමක් පවතිනවා. තමන්ව පාලනය කරන්න හෝ සොයා බලන්න පිරිසක් නැති බවට හැඟීමක් තියෙනවා. එසේම පාර්ලිමේන්තුවේ ඕනෑම යෝජනාවක් සම්මත කරගත හැකි බවට මතයක් පවතිනවා.
ඒ නිසා ජනාධිපතිතුමා කිවුවා සේම අසීමිත බලය කළමනාකරණය කිරීම සාමාන්‍ය තත්ත්වයකටත් වඩා අසීරුයි.
ඒ සඳහා විශාල පරිණතකමක් මෙන්ම ප්‍රඥාවක් අවශ්‍යයි. ඔවුන්ට අද අසීමිත බලයක් ලැබුණා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා. විධායක ජනාධිපති ධුරය ලැබිලා තියෙනවා. ඉතුරුව ඇත්තේ ජනමත විචාරණයකින් යමක් සම්මත කර ගැනීමට ඇති හැකියාව පමණයි. ඒ නිසා විපක්ෂයක් ලෙස අපි හොඳ දේට හොඳ කියනවා, වැරදි දේට විරුද්ධ වෙනවා.
ජනාධිපතිවරයා පැවසුවා විපක්ෂයක් අවශ්‍ය නැති බවත්, තුනෙන් දෙකේ බලයක් ලැබුණොත් ප්‍රමාණවත් බවත්?
එය ප්රජාතන්ත්ර විරෝධි ප්‍රකාශයක්. පාර්ලිමේන්තු සම්ප්රදාය නොදන්නාකමයි. විපක්ෂය ශක්තිමත් වීම හොඳයි. ඔවුන් එසේ කිවුවට ඒ අදහස තුළ ක්‍රියාකරන එකක් නැහැ. මෙවර විපක්ෂයේ මන්ත්රිීවරු ආසන්න වශයෙන් 60කට ආසන්න පිරිසක් ඉන්නවා.
ඉදිරි මැතිවරණ සඳහා පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සිදුවන්නේ කෙසේද?
අපි තවමත් ඒ ගැන කල්පනා කර නැහැ. නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කළ පසු ජයග්‍රහණය කළ හා නොකළ අයගේ හා සංවිධායකවරුන් ඇතුළු සියලුදෙනාගේ අදහස් ලබා ගනිමින් ඊළඟ මැතිවරණයට අවශ්‍ය ප්රතිසංවිධාන කටයුතු සිදු කරනවා.
සුභාෂිණි ජයරත්න