ගෝනවල සුනිල්, සොත්ති උපාලි සහ බැද්දේගානේ සංජීව යන පාතාලයේ අපරාධකරුවන් එක් එක් වකවානුවල මෙරට රාජ්‍ය පාලනය කළ දේශපාලන බලවතුන්ගේ ඔඩොක්කුවේ සිටියහ. ගෝනවල සුනිල් රජ කළේ ජේ.ආර්. පාලන සමයේදීය. සොත්ති උපාලි ලයිසන් චණ්ඩියෙක් වූයේ ප්‍රේමදාස පාලනය පැවති වකවානුවේදීය. බැද්දේගානේ සංජීව වැඩ පෙන්නුවේ චන්ද්‍රිකා පාලන සමයේදී ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙක් ලෙස සේවයේ නිරත වෙමිනි. දේශපාලන වුවමනා එපාකම් ඉටුකරමින් අපරාධ ලෝකයේ වැජඹුණු මේ අයගේ ගොන්නට රාජපක්ෂ පාලන සමයේදී එක්වන්නේ ජුලම්පිටියේ අමරේ නමැති කුප්‍රකට අපරාධකරුය. ගෝනවල සුනිල්, සොත්ති උපාලි, බැද්දේගානේ සංජීවට මෙන්ම ජුලම්පිටියේ අමරෙටද දේශපාලන ආශිර්වාදය මෙන්ම රැකවරණයද ලැබුණේ නොඅඩුවය.
මැදමුලන දඩ බල්ලා යැයි කුප්‍රකට ගීගන ගමගේ අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරෙ ගැන මෙවන් පූර්විකාවක් තබන්නට සිදුව ඇත්තේ කටුවන පැවති ජවිපෙ රැස්වීමකදී වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කර එක් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා විසින් 2019 වසරේ නොවැම්බර් 07 වෙනිදා ජුලම්පිටියේ අමරෙට ලබාදුන් මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් තවදුරටත් තහවුරු කර ඇති බැවිනි.
ජුලම්පිටියේ අමරෙට මරණීය දණ්ඩනයෙන් සිරදඩුවම් නියම කෙරෙන ඒ අපරාධය සිදුවන්නේ 2012 වසරේ ජුනි 15 වෙනිදාය. මැතිවරණ සමයක් නොවූවත් ජවිපෙ ඒ වන විට ගම් මට්ටමින් සිය පාක්ෂියකන්ගේ නිවෙස්වල කුඩා ජනහමු පවත්වන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ක්රියාකාරිකයන්ගේ සහභාගිත්වයෙනි.
අතීත සිදුවීම
මේ කියන රැස්වීම එදා පැවැත්වුණේ පින්නමණ්ඩියේ ගෙදර ලෙස කටුවන හැඩිවත්ත පැත්තේ කොයි කවුරුත් දන්නා කියන නිවසේය. නිවෙස් හිමියා ජවිපෙ ක්‍රියාකාරිකයෙක් වන එල්.එම්.රංජිත් ය. එදා සතියේ මැද දවසකි. රැස්වීමට ජවිපෙට සම්බන්ධ ගම්මානයේ ජීවත්වන බොහෝ පිරිසක් එක්ව සිටියහ. මෙම රැස්වීමට ජවිපෙ ප්‍රබල ක්රියාකාරීකයන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ. ඒ අතර එවකට බස්නාහිර පළාත් සභාවේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙක් වූ වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද එක්ව සිටියේය. ඔහු රැස්ව සිටි පිරිස අමතන්නට පටන්ගෙන විනාඩි විස්සක්වත් ගියේ නැත. ටී 56 ගිනි අවියක් කරේ දමාගෙන යතුරුපැදියක නැඟී එතැනට කඩා පනින්නේ මැදමුලනේ ජුලම්පිටියේ අමරේ ය. යුද හමුදා කැලෑ ඇඳුමට සමාන කොට කලිසමක් හැඳ දුඹුරු පැහැයට හුරු ටී-ෂර්ට් එකකින් සිටි ඔහු ඉවක් බවක් නොමැතිව රැස්ව සිටි පිරිස වෙත සිය අතෙහි වූ ගිනි අවියෙන් වෙඩි තබන්නට ගත්තේය. වෙඩි වර්ෂාවෙන් සිය ජීවිතය බේරා ගැනීමට ඒ මේ අත දිවයමින් සැඟවෙන්නට වෙරදරමින් සිටි පිරිසට දෙවැනි ප්‍රහාරය එල්ලවන්නේ තවත් යතුරුපැදි කිහිපයකින් කඩා වදින පිරිසකගෙනි. ඒ අය පොලු මුගුරුවලින් පහර දෙන්නට වූයේ අමානුෂික ලෙසිනි. අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් පලා යන්නේ විනාඩි 20ක් 30ක් පමණ එහි රැදී සිටිමින් රංජිත්ගේ නිවසේ බඩු මුට්ටුද කුඩුකර දමමිනි. ඒ යන්නේද රංජිත්ගේ පුතාටද නොසෑහෙන්න තඩිබාමිනි.
එදා පොලීසිය මෙතැනට එන්නේ ජුලම්පිටියේ අමරේ ඇතුළු සහපිරිවර නිරුපද්‍රිතව එම ස්ථානයෙන් පිටව ගිය පසුවය. පිට පිට දුරකතන ඇමතුම් දුන්නද ජුලම්පිටියේ අමරේ එතැනින් ඉවත් වනතෙක් පොලීසිය ඒ පැත්ත පළාතේ ආවේ නැත. ඒ තුළින් කියා පෑවේ ජුලම්පිටිය අමරේට එදා පැවති බලපුළුවකාරකමය. ජුලම්පිටියේ අමරේ මේ කියන යුගයේ ටී 56 අවිය කරේ දමාගෙන හිස් වැසුම් නොමැතිව වෙඩි නොවදින ඇඳුමක්ද ඇඟලාගෙන යතුරුපැදියක නැඟී කටුවන නගරයේ සැරිසරන විට පොලීසිය සිටියේ ඇස් කන් නෑසුණු ලෙසිනි. ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරු වැටී සිටියේ ජුලම්පිටියේ අමරෙට සැලියුට් ගසා සර් කියන තැනටය. ජුලම්පිටිය අමරේ ටී 56 අවිය කරේ තබාගෙන පොලිස් ස්ථානයට ආ විට පුටුවෙන් නැඟිට ඔහුට ස්ථානාධිපතිවරයාගේ පුටුව අසුන් ගැනීමට දෙන තැනට පවා පත්ව තිබුණේ ජේ.ආර්. යුගයේදී ගෝනවල සුනිල්ටත් ප්‍රේමදාස යුගයේදී සොත්ති උපාලිටත් තිබුුණු තැන ජුලම්පිටියේ අමරේට ලැබෙමිනි.
ජුුලම්පිටිය අමරගේ හපන්කම්
දේශපාලන ආශිර්වාදයෙන් ජුලම්පිටියේ අමරේ ඒ පැත්තේ හැම දාමරික වැඩක්ම කළේය. ඇහැට කනට පේන කාන්තාවක් දුටු විට ඇයව දූෂණය කරනු ලැබුවේ ගෙවල්වලට පැනය. ඔහු මිනි මැරුවේ, මංකොල්ල කෑවේ, අතපය කැඩුවේ, ගෙවල් ගිනි තැබුවේ ඉවක් බවක් නොමැතිවය. තමා මරා දැමූ අයගේ මළ ගෙවල්වලට පවා බෝම්බ ගසන තරමට ජුලම්පිටියේ අමරේ මිලේච්ඡ ය. ඔහු කළ අපරාධ පොලීසිවල ලියැවී ඇත්තේ කීයෙන් කීයක්දැයි ගැටලුවකි. පින්නමණ්ඩියේ ගෙදර ජවිපෙ රැස්වීමට බියක් සැකක් නොමැතිව වෙඩි තබන්නට පවා ඔහු පෙලඹුණේ එබැවිනි.
එදා එම ප්‍රහාරයෙන් පනස් වියැති එදිරිමාන්නලාගේ මාලනී සහ දහඅට වියැති ජයසේන පතිරණගේ නිමන්ත යන දෙදෙනා මිය යන්නේ එම ස්ථානයේදීමය. ලියනගේ සුජිත් නිමේෂ වෙඩි වැදී බරපතළ ලෙස තුවාල ලැබීය. තවත් බොහෝ අය පහරදීම්වලින් තුවාල ලැබූවත් ඒ අය ගැන සොයා බලන්නට එකල පොලීසියට උනන්දුවක් නොවීය. ජුලම්පිටියේ අමරේ හැරුණු කොට එදා එම ප්‍රහාරයට ආවා යැයි කී වෙනත් කිසිවෙක් අත්අඩංගුවට ගැනීමක් ගැන පවා තොරතුරක් අදටත් සොයා ගන්නට නැත්තේය. ඒ හැම දෙයක්ම ජුලම්පිටියේ අමරෙගෙන්ම හමාර කර ඇති බැවිනි.
පින්නමණ්ඩියේ ගෙදර ජවිපෙ රැස්වීමට එල්ලවූ ප්‍රහාරයට මුල් වූ කාරණා සොයා බැලීමේදී එකල කියැවෙන්නට වූයේ ජුලම්පිටියේ අමරේ ගැන පළවූ මාධ්‍ය වාර්තාවක් මෙම ප්‍රහාරයට මුල් වූ බවය. එතෙක් සමාජයට නිරාවරණය නොවූ ජුලම්පිටියේ අමරේගේ නිරුවත එළියට දැමූ එම මාධ්‍ය වාර්තාව පළවී තිබුණේ “ලංකා“ පුවත්පතේය. “ලංකා“ පුවත්පත ප්‍රසිද්ධව පැවතියේ ජවිපෙ හිතවාදී පුවත්පතක් ලෙසිනි. “මැදමුලනින් කිරි පොවන දඩබල්ලා බැඳ දමනු“ ශීර්ෂයෙන් එදා “ලංකා“ පුවත්පතේ ලිපියෙන් නිරුවත් වූ ජුලම්පිටියේ අමරේ කෝපාවිෂ්ට වී ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වූ ජිනදාස කිතුලේගොඩගේ ජුලම්පිටියේ පදිංචි සහෝදරයා සොයාගොස් තිබුණේය. වෙලාවට ඒ අවස්ථාවේදී ඔහු නිවසේ නොවීය. ජුලම්පිටිය අමරේ එදා එම නිවසින් හැරී යන්නේ මරණ තර්ජනයක් පවා කරමිනි.
මාධ්‍යෙව්දින්ටත් මරණ තර්ජන
ජුලම්පිටියේ අමරෙගෙන් මෙවැනි තර්ජනයක් එකල ලක්බිම පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවයේ නිරතව සිටි මෙම ලියුම්කරුටද ආවේය. ඒ ජුලම්පිටියේ අමරෙව සුදු වෑන් රථයකින් සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් පසුව කුමන හෝ හේතුවක් මත අත්හැර දමා ගිය කතාව පුවත්පතේ වාර්තා කිරීම හේතුවෙනි. ලංකා පුවත්පත එම පුවත් වාර්තාව පිටුවක් පුරාවට දිග හැරුණු එකක් නොවූවත් ජුලම්පිටියේ අමරෙ එම පුවත්පත් වාර්තාව මුල්කරගෙන කිපෙන්නට වූයේ ඔහු විසින් සිදුකර ඇති අපරාධ ගැන යම් සටහනක් ඒ තුළ වූ බැවිනි. පුවත්පත වෙළෙඳ පොළට නිකුත් වී පැය කිහිපයක් යන්නට මත්තෙන් ඔහු ආයතනයේ පොදු දුරකතනය ඔස්සේ ලියුම්කරුට ඇමතුමක් දෙමින් එල්ල කරනු ලැබුවේ මරණීය තර්ජනයකි. ලියුම්කරුව මරා දමන දින වකවානු ගැන පවා කීවේය. ඔහු මෙසේ තර්ජනය කරනු ලැබුවේ සෙල්ලමකට නොවන බව දැන සිටියත් ලියුම්කරු එය එතරම් නොතකන්නට වූයේ ජුලම්පිටිය වැනි පැත්තක සිට කොළඹට පැමිණ ඔහුට එවන් වැඩක් කරන්නට පුළුවන්කමක් තිබේදැයි එතරම් විශ්වාසයක් නොවූ බැවිනි.
එම සිතුවිල්ල නිවැරදි නොවන බව පසක් වූයේ ඊට පසුව සිදුවූ යම් සිදුවීම් මාලාවක් හේතුවෙනි. එනපොට හොඳ නැතිබව වටහාගත් ලියුම්කරු මේ බව කියන්නේ සිය මිතුරෙක් වූ ජනාධිපති ආරක්ෂක අංශයේ එකල සිටි ඉහළ නිලධාරියෙකුටය. ඔහු බෙලිඅත්ත පැත්තේ පොලිස් ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටියදී ලියුම්කරු සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් ගොඩනඟාගෙන සිටි බැවිනි. “මල්ලි කලබල වෙන්න එපා. ආයි මල්ලිට අමරෙගෙන් කරදරයක් වෙන්නේ නැහැ“ යැයි එම නිලධාරියා කීවේය. ඊට පැය භාගයකට පමණ පසු ඇමතුමක් ලැබෙන්නේ ජුලම්පිටියේ අමරෙගෙනි. “සර්, ලොකු සර්ට නම් දැන ගන්න තියන්න එපා. මම සර් ගැන දන්නේ නැතිවයි කතා කළේ“ යැයි කියමින් පිංසෙණ්ඩු වෙන්න වූයේ එතෙක් දවසක් තිත්ත කුණුහරුපෙන් අමතමින් සිටි ජුලම්පිටියේ අමරේ බලු කුක්කෙක් ගාණට වැටෙමිනි. ඒ සිදුවී ඇත්තේ කුමක්දැයි අදටත් ලියුම්කරු දන්නේ නැත. “ මල්ලිට ඒ දේවල් වැඩක් නැහැනේ. ඔයාට දැන් බය වෙන්න දෙයක් නැහැ.“ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් ප්‍රධානියා ලියුම්කරු කොතරම් ඇවිටිලි කරමින් විමසුවත් ඒ ගැන ලද පිළිතුර වූයේ එවැන්නකි.
පින්නමණ්ඩියේ ජවිපෙ රැස්වීමට ජුලම්පිටියේ අමරෙගෙන් ප්‍රහාරයක් එල්ලවන්නේත් දෙදෙනෙක් ඝාතනය වන්නේත් එක් අයකුට බරපතළ තුවාල ගෙන දෙන්නේත් මෙම සිදුවීමෙන් සති දෙක තුනකට පසුවය. මෙම ප්‍රහාරය ජුලම්පිටියේ අමරෙගේ වැඩක් බව රටම දැන සිටියත් එකල පැවති ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂ්මන් හුළුගල්ල උත්සාහ දරන්නට වූයේ මෙම ප්‍රහාරය ජවිපෙන් කැඩීගිය පිරිසක් විසින් කළ බව සමාජගත කරන්නටය. එය හිතූ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ජවිපෙ ඊට එරෙහිව පාරට බැස්සේය. බියට පත්වූ ආණ්ඩුව කටුවන, මිද්දෙණිය, ජුලම්පිටිය වැනි ගම්මාන ආශ්‍රිතව පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම යුද හමුදාවද යෙදව්වේය. ඒ මියගිය දෙදෙනාගේ අවමඟුල් උත්සවයේදී යම් කලහකාරී තත්ත්වයක් ඇතිවේ යැයි සැක සිතමිනි. බොහෝ අය අපේක්ෂා කළ හැටියට ඇල්පෙනෙති තුඩක අවැඩක් වන්නට ජවිපෙන් එදා ඉඩක් නොවීය.
තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ල
තවදුරටත් ජුලම්පිටියේ අමරේ ආරක්ෂා කරගෙන සිටීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ජනතා විරෝධය හමුවේ බලධාරීන්ට සිදුවන්නේ ජුලම්පිටියේ අමරේ අධිකරණයට භාර කරවන්නටය. ඒ පින්නමණ්ඩියේ ජවිපෙ රැස්වීමට වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නොව,තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ලට නායකත්වය දීම, මිනිස් ඝාතන ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් විභාග වෙමින් පැවති නඩු විභාගවලට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ නිකුත් කර තිබුණු වරෙන්තු කිහිපයකට අදාළවය.
තංගල්ල බන්ධනාගාරයේ කැරැල්ලද මෙරට ඉතිහාසයේ ආන්දෝලනයට තුඩුදුන් සිදුවීමකි. 2002 වසරේ ජුනි 30 වෙනිදා සිදුවූ එම කැරැල්ලට නායකත්වය දී ඇත්තේ එකල බන්ධනාගාරගතව සිටි ජුලම්පිටියේ අමරේය.
එදා මහා රෑ රාත්‍රී සේවයේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන මාංචු දමා සිරකරගෙන බන්ධනාගාරයේ අවි ගබඩාවද අත්පත් කරගත් ජුලම්පිටියේ අමරේ ඇතුළු පිරිස අවි බිම තබා යටත්කර ගැනීමට විශාල කාර්ය භාරයක් ජූලි 01 වෙනිදා සිදුකරනු ලබන්නේ එවකට විපක්ෂ නායකවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාය.
“අමරේ, මමයි ඇවිත් ඉන්නේ. බය නැතිව එළියට එන්න“ ඒ හඬින් එදා කැරලිකරුවන් දපනය වී අවි බිම තබා බන්ධනාගාරයෙන් පිටතට එන්නේ ඒ සමඟය. බන්ධනාගාරයේ ඒ සිදුවීම සම්බන්ධයෙන් පවා ජුලම්පිටියේ අමරෙට නඩු පවරා තිබුණද ඔහු කිසි දවසක අධිකරණය හමුවට ආවේ නැත. අධිකරණය අමරෙට එරෙහිව වරෙන්තු නිකුත් කළද පොලීසිය ඒ වරෙන්තුවක් හෝ ක්‍රියාත්මක කිරීමට නොගියේ ඔහුට ඇති දේශපාලන හයිහත්තිය දැන සිටි බැවිනි. අවසානයේදී ඔහු ඒ වරෙන්තු පෙන්වමින් නීතිඥවරයෙක් මඟින් අධිකරණයට භාරවන්නේ පින්නමණ්ඩියේ ද්විත්ව ඝාතනයට පොලිස් අත්අඩංගුවට පත් නොවීය. ඒ 2012 ජූනි 19 වෙනිදාය.
උපාසක වෙසින් පොලීසියට
ජුලම්පිටියේ අමරේ එදා තංගල්ල උසාවියට භාරවන්නට එන්නේ තනිකරම සුදු ඇඳුමින් සැරසීය. කමිසය, කලිසම පමණක් නොව, පැලඳ සිටි සපත්තු දෙකද සුදු පැහැ විය. උපාසක වෙස් ගෙන එසේ පැමිණි ජුලම්පිටියේ අමරෙට ඒ වන විට වරෙන්තු සියයකට වඩා පැවති බව අනාවරණය වන්නෙ අධිකරණය හමුවේය. එදා තංගල්ල මහධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතාගේ දැඩි දෝෂදර්ශනයට පොලීසිය ලක්වන්නේ වරෙන්තු සියයක් ඇති අපරාධකරුවෙක් වූ ජුලම්පිටියේ අමරෙ භාරවෙන තුරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම හේතුවෙනි. මෙවැනි අය බිහිවන්නේ පොලීසිය නිසා බව ද විවෘත අධිකරණයේ පවසා සිටි මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා ජුලම්පිටියේ අමරෙට නියෝග කරනු ලබන්නේ ඔහු සතුව ඇති අවි ආයුධ භාරදෙන ලෙසය.
එකල පොලිස්පතිවරයාව සිටි එන්.කේ. ඉලංගකෝන් විසින් පොලීසිවල ගොඩගැසී ඇති දහස් ගණනක් වූ වරෙන්තු වහාම ක්‍රියාත්මක කරන ලෙස පොලීසිවලට නියෝග කරනු ලබන්නේද ඒ සමඟය.
මිද්දෙණියේ සිදුවූ මිනිස් ඝාතන සහ බන්ධනාගාරයේ කැරැල්ල සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවලට පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබුණු වරෙන්තුවකට අධිකරණයට භාරවූ ජුලම්පිටියේ අමරේ ජවිපෙ රැස්වීමට වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කර එක් අයෙකුට බරපතළ තුවාල ගෙනදීම සම්බන්ධයෙන් වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ ජූනි 22 දාය. එහිදී පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී ජුලම්පිටියේ අමරෙව සාක්ෂිකරුවන් විසින් හඳුනා ගනු ලබන්නේ ලක්ෂ්මන් හුළුගල්ලේ විසින් පැවසූ ආකාරයට ජවිපෙ සාමාජිකයන් අතර ගැටුමකින් එම ප්‍රහාරය එල්ල නොවූ බව තහවුරු කරමිනි.
මේ සම්බන්ධයෙන් වූ නඩුව වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩුවක් ලෙස විභාගයට ගැනීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් තංගල්ල මහාධිකරණයේ ජුලම්පිටියේ අමරෙට එරෙහිව නඩු පැවරීමෙන් පසු නඩු විභාගය ආරම්භ වන්නේ 2016 වසරේ පෙබරවාරි 29 වෙනිදා සිටය. ඒ වන විටත් ජුලම්පිටියේ අමරෙට අධිකරණයෙන් ඇපයක් නොලැබෙන අතර ඔහු බන්ධනාගාරයේ කැරැල්ල ඇතුළු තවත් අපරාධ ගොන්නකට වරදකරු බවට පත්ව 40 වසරක සිරදඩුවමක්ද නියම වෙමිනි.
තමාට ඉහළින් කපුටෙක්වත් පියාඹන්නේ නැතැයි විශ්වාසයකින් එදා මැරකම්වල නිරතව සිටි ජුලම්පිටියේ අමරෙගෙන් වැඩගත් දේශපාලනඥයන් පවා අවසානයේදී ඔහුව අත්හැර දැම්මේය. ඒ බව නොදත් ජුලම්පිටියේ අමරෙ විශ්වාසයෙන් සිටියේ කුමන හෝ මොහොතක ජනපති සමාවකින් හෝ තමාට නිදහස උරුම වේවි යැයි තදින්ම විශ්වාසයේ තබාගෙනය.
අවසානයේදී ජුලම්පිටියේ අමරෙට සිදුවන්නේ මරණීය දණ්ඩනයෙන් සිරදඬුවම් ලබන්නටය.
මෙම සිරදඬුවම 2019 වසරේ නොවැම්බර් 07 වෙනිදා නියම වීමත් සමඟ ජුලම්පිටියේ අමරේ අභියාචනාධිකරණය හමුවට යන්නේ මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සාක්ෂි සැලකිල්ලට නොගත් බැවින් තංගල්ල මහාධිකරණය විසින් ලබාදුන් දඬුවමින් තමාව නිදොස් කර නිදහස් කර දෙන ලෙස ඉල්ලමිනි.
එකී අභියාචනය පසුගිය 20 වෙනිදා ප්‍රතික්ෂේප කරමින් තංගල්ල මහාධිකරණය විසින් ලබාදුන් ජුලම්පිටියේ අමරේ එල්ලුම්ගහට යැවූ ඒ තීන්දුව තහවුරු කරනු ලබන්නේ අභියාචනාධිකරන විනිසුරු පී. කුමාරන් රත්නම් මහතාගේ එකඟතාවය අනුව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් ප්‍රකාශ කරනු ලබන්නේ “තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කළ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් මැදිහත් වීම් කිරීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බව යි.
ගයාන් කුමාර වීරසිංහ