Home » මන්දාරම් නුවර ජගත් සංචාරක දින සැමරුම

මන්දාරම් නුවර ජගත් සංචාරක දින සැමරුම

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

ගත් සංචාරක දිනයට සමගාමීව මන්දාරම් නුවර මහජන ක්‍රීඩාංගණයේදී ඉකුත් 24 වැනිදා පැවති සැමරුම් උත්සවයට සභාගී වීමට අපටත් ආරාධනා ලැබිණ. මධ්‍යම පළාත් සංචාරක මාර්ගෝපදේශ කතිකාචර්‍යවරුන්ගේ සංගමය එය (CPTGLA) සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව සංචාරක හෝටල් කළමණාකරණ ආයතනය, මධ්‍යම පළාත් වෙළෙඳ හා සංචාරක දෙපාර්තමේන්තුව,හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , ශ්‍රී ලංකා සංචාරක පොලීසිය,හඟුරන්කෙත පොලිස් ස්ථානය, මන්දාරම් නුවර පොලිස් ස්ථානය ඇතුළු විවිධ රාජ්‍ය හා පුද්ගලික ආයතන ඒ සඳහා දායක විය.

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවට අයත් මන්දාරම් නුවර, කඳුකර සොබා ලෝලීන් මවිතයට පත්කරවන ගමනාන්තයකි. පිදුරුතලාගල ප්‍රමුඛ ගෝනපිටිය, කබරගල්ල, උඩගබ්බල යන සිව්වනක් ශිඛර පවුරු වළල්ලක වෙළුණු වලාකුළු රමණීය කොඩියආරගල මැදිකර උදෑසන අපි එහි පැමිණෙන විට මීදුමෙන් හුස්ම පිඹිමින් අප පිළිගත්හ.

ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංවේදී ජලපෝෂක කලාපයක් වන මෙහි මුහුදු මට්ටමේ සිට මීටර 1300-2500ක දක්වා උස් පරාසයන්හි විහිදි කඳුකර සදාහරිත ඝන වනාන්තරයකි. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2500 ඉක්මවා යන අතරම වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් 15ක අගයක් ගනී.

කොළපතන ඇල්ල, බෙරගහන ඇල්ල, මහකඳුර ඇල්ල, කබරගල්ල ඇල්ල හා කළුපාලම් ඇල්ල සේම කොළපතනඔය දීගල්ඔය හා මැදපිටිඔය යන ඔය තුන එකතුව බෙලිහුල් ඔය නිමවා මහවැලි නදිය පෝෂණය කරමින් මහනුවර – බදුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයෙන් රන්දෙණිගලට මුසු කරයි.

මෙම සැමරුම් උත්සවයේදී මහාචාර්ය අස්ලම් අදහස් දැක්වුයේ මෙසේය.:

මන්දාරම් නුවර ,ඉතා දුලබ ජෛව විවිධත්වයක් ඇති ප්‍රදේශයක්. කඳු පන්ති, දියඇළි, වනාන්තර හා භූ දර්ශනයෙන් අනූන ලෝකයේ ආකර්ෂණීයම ගමනාන්ත කීපයෙන් එකක්.

මහා­චාර්ය  අස්ලම් සහ එන්.කේ.එස්.බී නාය­කෝ­රාල

මහා­චාර්ය අස්ලම් සහ එන්.කේ.එස්.බී නාය­කෝ­රාල

වත්මන් සංචාරක කර්මාන්තයේ සුබවාදී හැරවුම් ලක්ෂ්‍යක් විදියට මන්දාරම් නුවර හරහා නුවරඑළිය යන සංචාරකයන්ට අලුත් මාවතක් විවර වෙනවා. ලංකාවේ මිනිස්සු සංචාරයට ඒ තරම්ම ප්‍රිය කරනවා. අපි හිතන්න ඕනේ හෙට දවසේ මන්දාරම් නුවර කොහොම වෙන්න ඕනේද කියන එක. මන්දාරම් නුවර තියෙන මේ ස්වාභාවික සම්පත් මේ විදියටම අපිට දකින්න පුළුවන් වුණොත් තමයි අපේ දියුණුවේ සාර්ථකත්වය මනින්න පුළුවන්. දියුණුව කියන්නෙ භෞතිකව සංවර්ධනය කරලා ඉතා කෙටි කාලයක සුන්දරත්වයක් ලබාගන්න එක නෙවෙයි. අපි මේ සම්පත් අනාගත පරම්පරාවට පරෙස්සම් කර දෙන්න ඕනේ.

ඒ දිශාව හරියට තේරුම් ගෙන, ඒ දිශාවට ගමන් කරනවානම්, මේ සුන්දරත්වය හා ජෛව විවිධත්වය වෙනස් නොවී රැකගන්න පුළුවන් නම්, අපිට සංචාරක කර්මාන්තයේ ලොව ප්‍රමුඛත්වයට පත්විය හැකියි. මම හිතනවා මහනුවර තියෙන හෝටල් ප්‍රමාණය එ් සඳහා ප්‍රමාණවත් කියලා. අපි ආපහු මෙහේ මාළිගා වගේ ලොකු හෝටල් හදන්න ඕනේ නෑ. මෙහේට අවශ්‍ය පරිසර හිතකාමී සමාජයක් එක්ක ගැළපෙන සුළු සංචාරක සංවර්ධනයක්. සංචාරකයන් ඇවිත් මහනුවර රැඳෙන්න ඕනේ. අපිට හොඳ මාර්ගෝපදේශකවරු කණ්ඩායමක් ඉන්නවා. ඒ අයත් එක්ක මේ ගම විඳින්න එන්න ඕනේ. අපිට කේන්ද්‍රය වෙන්න ඕනේ මහනුවර ඊට පස්සේ මහනුවර අවට තියෙන මේ වගේ සුන්දර ගමනාන්ත ටික දියුණු වෙන්න ඕන. අපේ මධ්‍යම පළාතට එන සංචාරකයෝ ටික දැන් දවසක් දෙකක් ඉන්න පිරිසක්.ඔවුන් සතියක් දෙකක් නතර කරගන්න පුළුවන් නම්, අපි හැමදෙනාම බලාපොරොත්තු වන නියම සංචාරක කර්මාන්ත සංවර්ධනය ඒක තමයි.

ඒ වගේම අපට අවශ්‍ය ජෛව ව්විධත්වය හඳුනන ප්‍රමිතිගත සංචාරකයන් පමණයි. නුවරඑළියේ ගිහින් වැව රවුමේ රස්තියාදු වන සංචාරකයන් මෙහෙට එන්න අවශ්‍ය නෑ.

මන්දාරම් නුවරට අවශ්‍ය සුවිශේෂී සංචාරකයන් කොටසක් පමණයි. මීමුරේ විනාශ වුණා වගේ මෙහෙත් විනාශ වෙන්න ඉඩ තියන්න එපා. සංචාරකයන් ගණන් කරන්න ඕනේ වටිනාකම් එක්ක ම්සක් හිස් ගෙඩි ගාණට නෙවෙයි. අපි ප්‍රමාණාත්මක සංචාරය කර්මාන්තයක් වෙනුවට ගුණාත්මක සංචාරක කර්මාන්තයක් යෝජනා කරනවා. සංචාරකයා මේ සුන්දරත්වයට වටිනාකමක් ගෙවනවද? අන්න එතනදී තමයි සංචාරක කර්මාන්තය දියුණු වෙන්නේ. Amazon – Costa Rica ගිහින් එක දිනකට ඩොලර් 5000-6000 ගෙවන සංචාරකයන් ලෝකේ ඉන්නවා. අන්න ඒ වගේ සංචාරකයන් තමයි අපිට මේ ගමනට අවශ්‍ය වෙන්නේ.”

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒකකයේ අංශ ප්‍රධානී එන්.කේ.එස්.බී නායකෝරාල ද මෙහිදී අදහස් දැක්වීය.

“මන්දාරම් නුවර ගොවිජන සේවා කලාපයේ ලියාපදිංචි ගොවීන් 3248 පමණ ඉන්නවා. කුඹුරු අක්කර 1103ක් පමණ තියෙනවා. ගොඩ ඉඩම් අක්කර 1160ක්. ගොවිබිම්වල ප්‍රධාන වශයෙන් කැරට්, බීට්, ගෝවා, ලීක්ස්, රාබු වට්ටකා හා තක්කාලි යන එළවළු වගා කරනවා. වී ගොවීන් හෙල්මලු ක්‍රමයට වී වගාව සිදු කරනවා. නමුත් ඒවා සිය පරිභෝජනයට මිස විකිණීමට ඉතුරු වෙන්නේ නෑ. නිරන්තර කාලගුණික විපර්යාසවලට ලක්වෙන මන්දාරම් නුවර අතීතයේ තිබුණු සිසිලස අද නැතිවෙලා. සීයයට 70ක ආනතියට තියෙන ඉඩම්වල වගා කරන්නට එපා කියලා ගොවියන්ට උපදෙස් දුන්නත් අවබෝධයක් නොමැතිකම නිසාත් නිසි නියාමනයක් නොමැති නිසාත් ගොවීන් අධික බෑවුම් සහිත ස්ථානවල වගා කටයුතු කරනවා. ජල කළමනාකරණයට හා පාංශු සංරක්ෂණයට එය විශාල තර්ජනයක්. බොහෝ වගා බිම්වලට ප්‍රවේශ වීමට කෘෂි මාර්ග නොමැති නිසා පොහොර හා එළවළු ගෝනි කර මතින් ගෙන යෑමට සිදුවෙලා. ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය අවශ්‍යයි. ගොවින්ට ගුණාත්මක බීජ හා නව ප්‍රභේද හඳුන්වා දීමද දැඩි අවශ්‍යතාවයක්. කාබනික පොහොර භාවිතය පවතින්නේ අල්ප වශයෙන්. මේ පරිසර තත්ත්වයන් යටතේ වෙනස් වන නූතන කෘෂිකාර්මික දැනුම අරගන්න මේ සාම්ප්‍රදායික ගොවියන් උනන්දු වෙනවා අඩුයි. ලංකාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වන දඹුල්ල, කටුගස්තොට, කොළඹට නැවුම් එළවළු ප්‍රවාහනය කරගන්න පසු අස්වනු පහසුකම් අරගන්න අපහසුතා තියෙනවා.

අවධානය යොමුවිය යුතු කුඩා ජලවිදුලි බලාගාර. 4ක් මේ ප්‍රදේශයේ තියෙනවා. ජලය අඩු කාලයට මේ පද්ධති අක්‍රිය වෙනවා. ඒ නිසා ජාතික විදුලිබල පද්ධතිය පෝෂණය කිරීමට කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘති සාර්ථක තිරසර විසඳුමක් නෙවෙයි කියලා අපි හඳුනාගෙන තියෙනවා.

මෙම ප්‍රදේශයට ප්‍රජා වන වගාවන් ගෙන ඒම අවශ්‍ය අතර ශ්‍රී ලංකාවේ විද්වතුන් මේ අති සංවේදී පරිසර පද්ධතිය පිළිබඳ අධ්‍යයන පර්යේෂණ කර මේ අසිරිමත් මන්දාරම් නුවර පුරවරය ගැන ලෝකයට නිරාවරණය කළ යුතුයි. එය ශ්‍රී ලංකාවේ අනාගත සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සිදු කරන විශාල ආයෝජනයක් වනු නොඅනුමානයි”.

සටහන සහ ඡායාරූප රුවන් මීගම්මන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division