වසර 140කට අධික කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට මේ උදා වී ඇත්තේ සංක්‍රාන්ති සමයකි. මේ වන විට මෙරට රග්බි ක්‍රීඩාවේ පරිපාලනය භාරව සිටින්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දුය. නිලවරණය පවත්වා නිලධාරි මණ්ඩලයක් පත් කරන තුරු ජාතික රග්බි ක්‍රීඩාව සම්බන්ධව සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ ඔහු විසිනි.
පරිපාලනය හා වෙනත් යම් අවැසි කටයුතු
රග්බි ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීමට එවකට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුට සිදුවූයේ නියමිත කාලවකවානුව තුළ වාර්ෂික මහසභාව සහ නිලවරණය පැවැත්වීමට අසමත්වීම හේතුවෙනි. එවකට හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් 1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ ඇමැතිවරයාට පැවැරී ඇති බලතල ප්‍රකාරව රග්බි ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා අතිවිශේෂ ගැසට් පත්‍රයකින් එහි පූර්ණ බලතල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දුට පවරා දෙනු ලැබුවේ පසුගිය මැයි මස 29 වැනිදා ය. රග්බි ආයතනයේ නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කරනු ලැබුවේ එම ආයතනයේ පරිපාලනය හා වෙනත් යම් අවැසි කටයුතු යථා යෝග්‍ය අයුරින් ඉටු කිරීම උදෙසා සහ අදාළ නිලවරණය කැඳවීමට හා පැවැත්වීමට ය.
ඒ වන විට ලෝක රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක් පනවා තිබූ අතර එම තහනම ඉවත් කරනු ලැබුවේ පසුගිය වසරේ නොවැම්බරයේදීය. එය සිදුවූයේ මෙරට රග්බි ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් නව උපායමාර්ග ක්‍රමවේද සැකසීමට ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ කොන්දේසි ප්‍රකාරවය. අනතුරුව පසුගිය දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවට පැමිණි ලෝක රග්බි සම්මේලනයේ හා ආසියානු රග්බි සම්මේලනයේ නියෝජිතයන් මෙරට රග්බි ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්ව සමඟ ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කළේය.
මත ගැටුම්
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයට එම සියලු පාර්ශ්ව එකඟතාව පළ කළ බවය. එහෙත් පළාත් සංගම් නියෝජිතයන් කියන්නේ එම සාකච්ඡාවට සහභාගි වූ පළාත් සංගම් නියෝජිතයා එවැනි එකඟතාවක් පළ නොකළ බවය. සෙසු පළාත් සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු තීරණය දැනුම් දෙන බවට දැනුම් දුන් බවය.
එහෙත් සියලු පාර්ශ්වවල එකඟතාව පළ වූ බව කියන එම සාකච්ඡාවෙන් පසු ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පුවත්පත් දැන්වීම් මඟින් විශේෂ මහ සභාවක් කැඳවූ අවස්ථාවේදී පළාත් සංගම් සිය විරෝධතාව පළ කරමින් ලිපි යොමු කළ බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. ඒ සම්බන්ධව නීතිපති උපදෙස් විමසූ විට ලැබී ඇති උපදෙස වී ඇත්තේ එය එසේ නම් පළාත් සංගම්වල කැමැත්තට අනුව පැරැණි ව්‍යවස්ථාව යටතේ එය සිදු කරන ලෙසටය. ඒ අනුව නැවත විශේෂ මහසභාවක් කැඳවීමට පුවත්පත් දැන්වීම් පළ කළ බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
සියලු පළාත් රග්බි සංගම් ඒකාබද්ධව අභියාචනාධිකරණයට පෙත්සමක් යොමු කර ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් විශේෂ මහසභාවක් කැඳවීමට අතුරු නියෝගයක් ලබා ගෙන ඇත්තේ ඉන් අනතුරුවය. ඒ අතරතුර ව්‍යවස්ථා සංශෝධනය සිදු කර නිලවරණය පවත්වන ලෙසට ලෝක රග්බි සම්මේලනයෙන් ලබා දුන් කාලසීමාව නොවැම්බර් 8 වැනිදා අවසන් වීමට ද නියමිතව තිබිණි. එම කාලසීමාව ලබන වසරේ ජනවාරි 25 දක්වා දීර්ඝ කරගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගියදා කටයුතු කළ අතර, නොවැම්බර් 6 වැනිදාට නියමිතව තිබූ අභියාචනාධිකරණයේ අවසන් තීන්දුව ලබන දෙසැම්බර් මස 3 වැනිදාට කල් ගියේ ව්‍යවස්ථා සංශෝධනයට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැනවූ අතුරු නියෝගය තවදුරටත් බලාත්මක කරමිනි.
මෙරට රග්බි අර්බුදය
කවුරු කුමක් කීවද අවසානයේ ඊට ගොදුරු වූයේ අන් කිසිවකු හෝ නොව මෙරට රග්බි ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් බව අමුතුවෙන් කිව යුතු නැත. ශ්‍රී ලංකාවට පැනවුණු රග්බි තහනම හේතුවෙන් එතෙක් කාලයක් ආසියානු සත් සාමාජික රග්බි පිටියේ ප්‍රබලතම කණ්ඩායමක් බවට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ගිලිහි ගියේය. දැඩි උත්සාහයකින් පසු වසරකට පසු ඊළඟ තරග මාලාවේ දෙවැනි හා අවසන් අදියරට සහභාගි වීමට අවස්ථාව හිමි වූයේද ශ්‍රී ලංකා ඔලිම්පික් ධජය යටතේය. එය ගෝලීය කොවිඩ් වසංගතය තුරන් වෙමින් පැවැතුණු කාලසමය ද විය. කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව සියලුම රටවල සියලුම ක්‍රීඩා ක්ෂේත්‍ර කඩා වැටුණු අතර, ශ්‍රී ලංකාවට ද එය පොදු කාරණාවක් බවට පත්වී තිබිණි. මෙරට රග්බි අර්බුදය ඉස්මතු වූයේ කොවිඩ් වසංගතය යන්තම් තුරන් වූ මොහොතේදීය. එබැවින් කොවිඩ් වසංගතය නිසා එක්තැන් වු මෙරට රග්බි ක්‍රීඩාව ජාත්‍යන්තර තහනමත් සමඟ කබලෙන් ළිපට වැටිණි. ක්‍රීඩකයන්ගේ උදේයා්ගය හීන වී ගිය අතර, ජාතික මට්ටමේ බොහෝ ක්‍රීඩකයන් රට හැර යන තත්ත්වයක් උදා විය. එය වර්තමානයේදී ද එලෙසින්ම සිදු වෙමින් පවතී.
‘කොවිඩ් නිසා අපි වැටුණා. කොවිඩ්වලින් පස්සෙත් අන්තිමට නිලධාරිවාදය හා දේශපාලනය ක්‍රීඩාවට රිංගා ගැනීම නිසත් අපි වැටුණා. ‘මෙරට ප්‍රධාන මට්ටමේ රග්බි පුහුණුකරුවකු පසුගියදා ලියුම්කරු සමඟ එසේ කීවේ එබැවිනි.
‘අපි ඇත්තටම ආසියාවේ 2 හා 3 අතර ස්ථානවල හිටපු ප්‍රබලතම කණ්ඩායමක්. දැන් ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවට සුදුසුකම් ගන්නත් තරග කරන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. 2025 ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවට සුදුසුකම් ලැබීමට පහුගියදා නේපාලයේ තිබුණු තරගාවලියේදි අපිට අඩුම තරමින් 1, 2 ස්ථානවලට එන්නත් බැරි වුණා. දැන් 2026 ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවට සුදුසුකම් ගන්න තරග කරන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක පුහුණුකරුවන්ගේ හෝ ක්‍රීඩකයන්ගේ වරදක් නෙවෙයි. පරිපාලනයේ කඩා වැටීම නිසා ක්‍රීඩකයන්ගේ උදේයා්ගයත් කඩා වැටුණා. තරග තහනම නිසා ජාත්‍යන්තර තරග අහිමිවීම ඒකට බලපෑවා. අපේ ක්‍රීඩකයන් කලකිරිලා ඉන්නේ. ක්‍රීඩාවේ හිටපු දක්ෂයන් ගොඩක් අය මේ වෙද්දී රට හැර ගිහින්. ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියට පහුගියදා සංචිතය කැඳෙව්වාම ක්‍රීඩකයන් තිස් ගාණක් අතුරින් පුහුණුවට ආවේ විසි ගාණක් විතරයි. වෙන ක්‍රීඩාවල ජාතික සංචිතයට ඇතුළත් වීම තමයි හැම ක්‍රීඩක ක්‍රීඩිකාවකගේම සිහිනය. ඒත් දැන් මේ සිද්ධවෙලා තියෙන දේවල් එක්ක රග්බි ජාතික සංචිතයටවත් එන්න ක්‍රීඩකයන්ගේ කැමැත්තක නැතිවෙලා. එයාලා උදාසීන වෙලා.‘ එම පුහුණුකරුවාගේ ප්‍රකාශය මෙරට රග්බි ක්‍රීඩාවේ කඩා වැටීමෙන් සිදුවූ බලපෑමට එක් නිදසුනකි.
ව්‍යවස්ථා සංශෝධනයක්
විශේෂ මහසභාවක් පවත්වා රග්බි ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පසු ඒ අනුව වාර්ෂික මහසභාව කැඳවා නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිදුවී ඇත්තේ ලෝක රග්බි සම්මේලනය සමඟ ඇතිකරගත් එකඟතාව අනුවය. එහෙත් පළමුව විශේෂ මහසභාවක් කැඳවිය යුතු වන්නේ නිලවරණ කමිටුවක් පත්කර ගැනීමට මිස ව්‍යවස්ථා සංශෝධනයට නොවන බවත්, වාර්ෂික මහසභාව කැඳවා නිලවරණය පැවැත්වීමෙන් පසු පත්වන නිලධාරීන්ට ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ කාර්යභාරය ඉටු කිරීමට අවස්ථාව දිය යුතු බවත් පළාත් රග්බි සංගම්වල අදහස වී ඇත. ව්‍යස්ථාව කිහිපදෙනකුට පමණක් එක්ව සංශෝධනය කළ නොහැකි බවත්, ඒ සඳහා වාර්ෂික මහ සභා රැස්වීමකින් පවත්වන නිලධාරීන් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීමෙන් පසු පත්කරගනු ලබන ව්‍යවස්ථා සමාලෝචන කමිටුවක් මඟින් සිදු විය යුතු බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. ඔවුන් කියන්නේ ලෝක රග්බි සම්මේලනයට හෝ ආසියානු රග්බි සංගමයට මෙරට ක්‍රීඩා පනතට බලපෑම් කළ නොහැකි බවය.
විශේෂ මහසභාවක් කැඳවා නිලවරණ කමිටුවක් පත්කර අනතුරු මහසභා රැස්වීම කැඳවා නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අතුරු නියෝගයෙන් කිසිදු බලපෑමක් නැතැයි ද පළාත් රග්බි සංගම් නියෝජිතයකු ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කරන්නේ නියෝගය බලාත්මක වන්නේ ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් විශේෂ මහසභාවක් කැඳවීම පමණක් බව ය. පළාත් රග්බි සංගම්වල ප්‍රශ්නය වී ඇත්තේ එය එසේ නම් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සඳහා පියවර නොගන්නේ මන්දැයි යන්නය. දෙපාර්ශ්වය අතර මත ගැටුම ඇදී යන්නේ එලෙසිනි. මේ ගෙවී යන්නේ එම අතුරු නියෝගයේ කාලසීමාව සහ ලෝක රග්බි සම්මේලනයෙන් ලබා දුන් කාලසීමාව ය. පීඩාවට පත්වී ඇත්තේ ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව මිස අන් කිසිවක් නොවන බව ඉඳුරාම කිව හැකිය.