Home » අපේක්ෂකයෝ 7300ක් ඡන්ද සටන අත්හරිති
ආදායම් හෙළි කළ යුතු නිසා නාමයෝජනා දුන්

අපේක්ෂකයෝ 7300ක් ඡන්ද සටන අත්හරිති

by Mahesh Lakehouse
November 9, 2024 12:40 am 0 comment
තාරක වික්‍රමසේකර

මහ මැතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයෝ 8361ක් අතුරින් මැතිවරණ කටයුතුවල යෙදී සිටින්නේ 1000කටත් අඩු අපේක්ෂක පිරිසක් බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පවසා සිටී. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සහ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්වරුන් මේ බව සිළුමිණට හෙළි කරන ලදි.

අපේක්ෂකයන් විසින් මැතිවරණයට වැය කරනු ලබන ආදායම් මූලාශ්‍ර හෙළි කළ යුතු නිසා නාමයෝජනා භාර දුන් 7300කටත් අධික පිරිසක් මෙවර මැතිවරණය කෙරෙහි උනන්දුවක් නොදක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව ඔවුහු පෙන්වා දෙති. මහ මැතිවරණයට ලබා දී ඇති සමස්ත නාමයෝජනා සංඛ්‍යාව 8888ක් වන අතර ඉන් 527ක් ජාතික ලැයිස්තුව යටතේ භාර දී ඇත. සෙසු 8361ක් වන අපේක්ෂකයන් අතුරින් අපේක්ෂකයන් 5015ක් පිළිගත් දේශපාලන පක්ෂවලින්ද ස්වාධීන අපේක්ෂකයන් ලෙස 3346ක් ද ඉදිරිපත්ව තිබේ.

එහෙත් මේ සියලු දෙනාම වෙනුවෙන් විවෘත කර ඇත්තේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල 9291ක් බව පෙන්වා දුන් රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙවර මැතිවරණයට පක්ෂ 49කින් අපේක්ෂකයන් ඉදිරිපත්ව ඇති බවත් අවම වශයෙන් එක් ආසනයකට එක් මැතිවරණ කාර්යාලයක් පමණක් විවෘත කරන්නේ නම් මැතිවරණ ආසන 160 වෙනුවෙන් පක්ෂ 49න්ම සමස්ත දිවයිනටම තරග කරන්නේ නම් පක්ෂයේ ප්‍රචාරක කාර්යාල 7840ක් විවෘත කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ස්වාධීන කණ්ඩායම් ද ඇතුළත්ව මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන් 8361ක් සිටියදී පක්ෂයේ දිස්ත්‍රික් කාර්යාල කොට්ඨාස කාර්යාල මෙන්ම අපේක්ෂකයාගේ නි‍ෙවසේ පවත්නා කාර්යාලය ඇතුළු සියල්ල 9291ක් බව කී ඒ මහතා වෙනත් වසරවල ලක්ෂ 2කට අධික කාර්යාල මහමැතිවරණයක් වෙනුවෙන් ස්ථාපිත කරනු ලබන බවද කීවේය.

සාම්ප්‍රදායික ප්‍රධාන පක්ෂවල ප්‍රචාරක කටයුතුවල විශාල පසුබෑමක් දක්නට ඇති බව පෙන්වා දුන් ඉහත විධායක අධ්‍යක්ෂවරුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ සාම්ප්‍රදායික පක්ෂවලින් නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයන් බහුතරයක් ‘දිනුවොත් දිනුවාවෙ‘ යන ආකල්පයෙන් යුතුව කටයුතු කරනු ලබන බවයි. එමෙන්ම මුදල් වියදම් කිරීම ඉතාම අවම මට්ටමකින් සිදු කරනු ලබන බවක් නිරීක්ෂණය වන්නේ යැයිද ඔවුහු පෙන්වා දෙති. එසේම පෙර වසරවල මෙන් මුදල් අනුග්‍රහය ලබා දීමට අනුග්‍රාහකයන් නොමැතිවීම මෙවර මහ මැතිවරණයේ කැපී පෙනෙන ලක්ෂණයක් බවද මෙහිදී අනාවරණය විය.

බොහෝ දෙනා සාම්ප්‍රදායික පක්ෂවල දේශපාලකයන්ට මුදල් වැය කරනු ලැබුවේ පසුකාලීන බලාපොරොත්තු ඇතිව බව නිරීක්ෂණය වී ඇතැයි පෙන්වා දුන් ඔවුන් කීවේ මෙවර එවැනි ලෙසින් දේශපාලකයන්ට මුදල් වැය කර තම අභිමථාර්ථ ඉටු කර ගැනීම අපහසු වනු ඇති බවට වන පූර්ව නිගමන නිසා මුදල් ලබා දීමට අනුග්‍රාහකයන් උත්සහ නොකරන්නට ඇති බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division