ලෝකයේ දැවැන්තම ආර්ථිකය සතු රට ලෙස හඳුන්වන අමෙරිකාවේ ජනාධිපතිවරයා පත් කරගැනීම සඳහා වූ ජන්දයේ නිමාව සටහන් වූයේ ගෙවුණ සතියේ ය. ජනාධිපති තනතුරට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රසිද්ධ මාධ්‍යයක සජීවී වැඩසටහනකට සහභාගි වූයේ අමෙරිකානු ජනතාව නායකයා ලෙස ඩොනල් ට්‍රම්ප් පත් කර ගැනීමේ නිල නොවන වාර්තා ලැබෙමින් තිබෙන මොහොතකය. අනුර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් වූ දිනයේ සිට 2024 ජනාධිපතිවරණ සටන දක්වාම මාධ්‍යය ඉදිරියේ ඉතා නිරවුල්ව අදහස් දැක්වීමේ සමත් කමක් පෙන්නූ දේශපාලනඥයෙකි. සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන ආකාරයේ නා ගැනීමක් මාධ්‍ය ඉදිරියේ නොවීමට අනුර වග බලාගත් බව පැහැදිලි වන කරුණකි.
අමෙරිකානු ජනාධිපතිවරණය දෙසට හැරෙමු. කරට කර තිබුණු සටනක් සේ පෙනුණ ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ආසියාතික සම්භවයක් සහිත කාන්තාවක වන කමලා හැරිස් ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාසයක් ද අමෙරිකාවේ කෙසේ වෙතත් ආසියාතික රටවල තිබිණි. ලාංකේය ජන මනස තුළත් කමලා හැරිස්ගේ ජයග්‍රහණය පිළිබඳව කිසියම් අපේක්ෂාවක් සහ ප්‍රාර්ථනාවක් තිබිණි. විශේෂයෙන්ම කාන්තාවක වීම නිසා කමලා හැරිස් කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබිණි. එහෙත් ඇයට ලබාගත හැකි වූයේ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් සියයට ,හතළිස් හතක් පමණි (47%), ඩොනල් ට්‍රම්ප් සියයට පනස්එකක (51%) ප්‍රතිශතයක් වාර්තා කළේය. ලිබරල් නිදහසක් පිළිබඳව ද ඒ ආශ්‍රිත සංස්කෘතියක් පිළිබඳව අමෙරිකානු ජන සමාජය තුළ තිබෙන පිළිගැනීම පවා ඩොනල් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හේතුවෙන් වෙනත් මානයක් කරා යොමු කර ඇතැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසකි. ඇමෙරිකානු ආර්ථිකය පල්ලම් බසින ස්වරූපයකට පත්වෙමින් තිබෙන බව ඇමෙරිකානු ජනතාවට කලෙක සිට දැනෙන්නට වූ කාරණයකි. විශේෂයෙන්ම ජෝ බයිඩින් ජනාධිපතිවරයාගේ සමයේ යුක්ක්‍රේන් යුද්ධයට අමෙරිකාව විසින් මුදල් විශාල ලෙස වෙන් කිරීම පිළිබඳව අමෙරිකානු ජනයා තුළ තිබුණේ නොරුස්නා බවකි. ඩොනල් ට්‍රම්ප් සාර්ථක ව්‍යාපාරිකයෙකි. අෙමරිකානු ජනතාව තමන්ගේ රටේ ආර්ථිකය ගොඩ දැමිය හැක්කේ ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ව්‍යාපාරික ඥානයක් සහිත දේශපාලකයාට බව පිළිගෙන ඇත.
වසර තිහක් තිස්සේ පැවතුණු යුද්ධයට කළ වියදම්, යුද්ධය නිසා ආර්ථිකය එක තැන පල් වීම හා පසුව කොවිඩ් වසංගතය සහ පාස්කු ඉරිදා ප්‍රහාරය ද අපේ ආර්ථිකයට සෘජුව ම බරපතළ තුවාල සිදු කළ සිද්ධීන්ය. සකසුරුවම් ආර්ථිකයක් වෙනුවට නාස්තිකාර රටාවක් සහ සෝබන වියදම් සහිත ආර්ථික මොඩල ක්‍රියාවට නැඟීමේ ආදීනව අපට අත්විඳින්නට සිදුව ඇත. පසුගිය වසරේ අවසානය වනවිට දරිද්‍රතා සීමාව ද ඉහළ ගොස් ඇත. මන්දපෝෂණය පිළිබඳ වාර්තා ද අපේ හිත් කීරිගස්සවන සුළු ඒවාය. අතරමඟදී පාසල් අධ්‍යාපන අත්හැර යන දරුවන්ගේ ප්‍රතිශතය ද නැවත නැවත සලකා බැලිය යුතු මට්ටමක පවතී.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉතා කෙටි කලක් තුළදී ජනතාවගේ විශ්වාසය දිනාගත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඇති අභියෝගය සුළු පටු නොවේ. මාධ්‍ය වෙතින් කළ සජීවී අදහස් ප්‍රකාශ කිරීමේ දී පෙනී යන්නේ ඔහු එය මැනවින් තේරුම් ගෙන ඇති බවකි.
ආණ්ඩුවේ ජනමාධ්‍යයට මෙවැනි අවස්ථාවල පැවරෙන වගකීමක් ගැන ද යම් අදහසක් සටහන් කළ යුතුමය. මගේ මෙම සටහන පළවන ජාතික පුවත්පතේම මීට වසර ගණනාවකට ආපස්සට යනවිට ප්‍රධාන සිරස්තල හරහා ජනතාවට ලබා දී තිබූ අදහස අනුව රටේ මේ වන විට පැවතිය යුත්තේ ස්වයංපෝෂිත ආර්ථිකයකි. රාජ්‍ය නායකයන් සහ ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් කරන දිගක් පළලක් නැති ප්‍රකාශ ඒ අයුරින්ම පොල් ගෙඩි අකුරින් පුවත්පත්වල පළ කිරීමේ අවිද්‍යාත්මක සහ වගකීම් සහගත නොවන ක්‍රමවේදය වෙනස් විය යුතු බව මගේ හැඟීමයි. සංවර්ධන කාර්යයන් සහ එහි ප්‍රතිඵල පිළිබඳව රටේ ජනතාවට අතිශයෝක්ති ප්‍රචාරණය මඟින් ඇති කරන චිත්‍රය තාවකාලික දේශපාලන වාසි සඳහා සුදුසු වුව ද එවැනි ආණ්ඩුවල පැවැත්ම පසුකාලීනව ප්‍රශ්නගත වෙයි.
මාධ්‍ය ඉගෙන ගන්නා විට සංවර්ධන පුවත් පිළිබඳව ඉගැන්වෙයි. අනුර කුමාර දිසානායක සිය ජනාධිපතිවරණ වේදිකාවේ තමන් ඉන්ද්‍රජාලිකයෙක් නොවනවා මෙන් ම, දන්නා මෙන්ම නොදන්නා දේ ද තිබෙන බව ප්‍රකාශ කළේය. ඔහු අදත් එම අදහසේම සිටින බව පැහැදිලිව පෙනෙයි. එය එක් අතකින් නායකයකුගේ නිහතමානී බව ප්‍රකාශ වන කියමනකි. අනෙක් අතට එය සර්වකාලීන සමාජ යථාර්ථයකි. පැවති ආණ්ඩුවල සංවර්ධන කටයුතු විශේෂයෙන්ම තෙල් ගවේෂණය, තෙල් සොයා ගැනීම සහ රටට ආයෝජකයන් පැමිණීම පිළිබඳව විද්ත් සහ මුද්‍රිත මාධ්‍යවල පළව ඇති පුවත් වෙනම ගෙන නිරීක්ෂණය කරන විට අපට සිතෙන්නේ ආණ්ඩුවල මෙන්ම මාධ්‍ය ආයතනවල ද ඉන්ද්‍රජාලිකයන් සිටි බවයි.
මීට වසර දහයකට පමණ පෙර පැවැති තත්ත්වයට වඩා අද මාධ්‍ය අවකාශය ඉතා පුළුල් ය. සමාජ මාධ්‍ය ද සාම්ප්‍රදායික මාධ්‍ය අතික්‍රමණය කර ඇත. එහි ප්‍රබලත්වය නිසා ම සත්‍යයට සෙවණැල්ලක්වත් නැතිව මැවෙන උපකල්පන පුවත් නිසා ඇතිවන වැරදි වැටහීම් සහ ගොඩනැඟෙන සමාජ ආකල්ප කෙරෙහි ද සැලකිලිමත් විය යුතුය. සාම්ප්‍රදායික මාධ්‍යයේ වගකීම් සහගත බව සහ වගවීම අද දවසේ වඩා තීරණාත්මක ය.