Home » ලොව වඩාත්ම කැමැති දූපත රන් සම්මානය ශ්‍රී ලංකාවට…

ලොව වඩාත්ම කැමැති දූපත රන් සම්මානය ශ්‍රී ලංකාවට…

by Mahesh Lakehouse
November 6, 2024 12:30 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

න්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ ආශ්චර්යාත්මක සුන්දරත්වය තවත් වරක් ලෝකයේම බුහුමනට පත් විය. ඒ, ඉකුත් දා ලන්ඩනයේ පැවති 23 වැනි Wanderlust Reader Travel Awards -2024 සම්මාන උලෙළේදී ලෝකයේ වඩාත්ම කැමති දූපත (Most Desirable Island) බවට පත්වෙමිනි.

ලන්ඩනයේ කීර්තිමත් සංචාරක සඟරාවක් වන Wanderlust විසින් වාර්ෂිකව සංවිධානය කරන Wanderlust Reader Travel Awards සම්මාන උලෙළේදී ඉකුත් වසරේදී අටවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙවර රන් සම්මානයට හිමිකම් කීම දැවැන්ත ජයග්‍රහණයකි. ලොව පුරා වඩාත්ම කැමැති රටවල්, නගර, ගමනාන්ත, සංචාරක ක්‍රියාකරුවන් සහ සංචාරක සන්නාම ආදී කාණ්ඩ 22ක් මෙම සම්මාන උලෙළේදී තෝරා ගැනුණු අතර, ඒ වෙනුවෙන් ලොව පුරා සංචාරකයන් මිලියන 3කට අධික පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව දිනාගත් රන් සම්මානය වෙනුවෙන් 200,000කට අධික සංචාරකයන් පිරිසක් තම ඡන්දය ලබා දී ඇති අතර, රිදී සම්මානය තායිවානයත් ලෝකඩ සම්මානය Puerto Rico රාජ්‍යයත් හිමිකර ගෙන ඇත. මෙම සම්මාන උලෙළේදී ලොව වඩාත් කැමැතිම රටට හිමි රන් සම්මානය ඔස්ට්‍රේලියාවටත් ලොව වඩාත් කැමැතිම නගරයට හිමි රන් සම්මානය ජපානයේ ටෝකියෝ නගරයටත් හිමි විය.

ශ්‍රී ලංකාවට ලොව වඩාත්ම කැමැතිම දූපතට හිමි සම්මානය පිරිනැමීමේදී පැරණි නාගරික සැලසුම්කරණයේ විශිෂ්ට සංකේතයක් බඳු සීගිරිය, දඹුලු ලෙන් විහාර, පැරණි නටබුන් සහ දර්ශනීය ස්මාරකවලින් යුතු අනුරාධපුර සහ පොලොන්නරුව පෞරාණික නගර, ජාතික වනෝද්‍යාන සහ සුන්දරත්වයේ අනූන තංගල්ල සහ ත්‍රිකුණාමලය වෙරළ තීර පිළිබඳ ඇගැයීමට ලක්ව ඇත. එමෙන්ම

ශ්‍රී ලංකාවේ පළමු දිගු දුර කඳු නැඟීමේ මාවතක් ලෙස සැලකෙන මධ්‍යම කඳුකරය හරහා හරිත පැහැ තේවතු සහ වන බිම් අතරින් ගමන් කරන කිලෝමීටර් 300කට වැඩි Pekoe Trail නමැති ඇවිදීමේ මාර්ගය පිළිබඳ සංචාරකයන් සිය කැමැත්ත විශේෂයෙන් පළ කර ඇත.

සුන්දරත්වයේ පාරාදීසයක් බඳු ශ්‍රී ලංකාවට සංචාරකයන් වසඟවීම අරුමයක් නොවේ. ඒ අතරින් ලොව අපූර්වතම ඉදිකිරීමක් ලෙස සැලකෙන සීගිරිය ක්‍රි.ව. 5 වැනි සියවසේදී ‍රජ කළ කාශ්‍යප රජුගේ කීර්තිමත් කලාගාරය හා මාලිගය විය. පර්වතය මුදුනේ ඉදිකර ඇති මාලිගයට පහළින් ඉදිකර තිබූ ජල උද්‍යානවල තාක්ෂණයත් පර්වත උද්‍යාන සැලැස්මත් නවීන විශේෂඥයන් පවා මවිත කරවන තරම් විශිෂ්ටය. පෙරදිග චිත්‍ර කලාවේ ප්‍රතිමූර්තියක් වැනි සීගිරි බිතු සිතුවම්ද ගල් බිත්තියේ කුරුටු ගාන ලද සීගිරි කුරුටු ගීද සීගිරියේ විශිෂ්ටත්වය ලොවටම ප්‍රකට කරයි. ඒ නිසාම 1982දී සීගිරිය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දඹුල්ල රජමහා විහාරයේ ඉතිහාසය ක්‍රි.පූ 7 වැනි සියවස තරම් ඈතට දිවෙයි. ශ්‍රී ලංකාවේ ඉතා සුන්දරම ලෙන් විහාරය ලෙස ප්‍රකට මෙහි අතිවිසල් පර්වත තලයකින් ආවරණය වූ ලෙන් පහකි. ගලෙහි පිටත කොටන ලද කටාරම්, ආරුක්කුමය කුලුනු පෙළ, දෙපළ වහලින් සැදී ඇතුළුවීම් දොරටු සහ ලෙන ඇතුළත සිවිලිමෙහි සිතුවම් කර ඇති චිත්‍ර ලෝ ප්‍රකටය.

ශ්‍රී ලංකාවේ මුල්ම රාජධානිය හා මුල්ම අගනුවර වන අනුරාධපුරය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ එහි ඇති පෞරාණික වටිනාකම් නිසාය. ක්‍රි. පූ 4වැනි සියවසේ සිට ??? වැනි සියවස දක්වා ඉතාම බලවත් සහ දේශපාලනික පාලන තන්ත්‍රයක් මෙන්ම ඉතා පොහොසත්, අභිමානවත් සංස්කෘතියක් සහිත ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් ලෙස අනුරාධපුරය ලොව ප්‍රකට වී තිබිණි. විහාරස්ථාන විශාල ප්‍රමාණයකින් වට වූ අනුරාධපුර ‍පෞරාණික නගරය ලංකාවේ ප්‍රධානතම පුරාවිද්‍යා ස්ථානවලින් එකක් ලෙස සැලකේ. එමෙන්ම පැරකුම් රජ සමයේදී ස්වර්ණමය යුගයක් ලෙස ප්‍රකට වූ පොලොන්නරුව රාජධානිය නිසා අද ද පොලොන්නරුව නගරය පෞරාණික හා ඓතිහාසිකමය වටිනාකම් රැසකින් සමන්විතය.

ලොව වඩාත් කැමැතිම දූපත ලෙස සම්මානයට පාත්‍රවීමේදී ශ්‍රී ලංකාවේ තංගල්ල සහ ත්‍රිකුණාමලයේ මුහුදු තීරවල චමත්කාරය සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණය දිනාගෙන ඇත. විශේෂයෙන් නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති නිලාවේලි වෙරළ ලෝ ප්‍රකට වී අැත්තේ පැහැදිලි නොගැඹුරු මුහුද, සුදුවැලි තලාව සහ නිල්වන් අහසකින් යුතු ආසියාවේ සුන්දරතම සහ නොකිළිටි වෙරළ තීරය ලෙසිනි. එපමණක් නොව හිරියල්, සැමන් රෝස, ධූමල අළු, වැලිගල් සහ තද නිල් ආදී නේකවිධ වර්ණයන්ගෙන් යුත් කොරල් පර සහිත මුහුදු පතුළ සංචාරකයන්ගේ නෙත්සිත් පැහැර ගෙන ඇත්තේ ආරක්ෂිතව පිහිනමින් කල් ගෙවිය හැකි සොඳුරු පාරාදීසයක් ලෙසිනි.

දිවියන් වැනි සතුන් නැරඹීම සඳහාම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් රැසක් සිටින අතර මෙම සම්මාන ප්‍රදානයේදී ඒ සඳහා ද ඔවුන් විශේෂ කැමැත්තක් පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ හරිත හදවත ගවේෂණය කිරීම සඳහා උද්යෝගිමත් නව මාර්ගයක් ලබා දෙන උද්ධෘතයෙන් මෙම සම්මාන උලෙළේදී ඇගැයීමට පත් ලංකාවේ Pekoe Trail සැලකෙන්නේ ආසියාවේ ඉතා සුන්දර මාර්ගයක් ලෙසිනි. මෙරට මධ්‍යම කඳුකරය හරහා කිලෝමීටර් 300ක සුන්දර මාර්ගයක් වන Pekoe Trail හන්තානෙන් ආරම්භ වී නුවරඑළිය පේද්‍රෝ වතුයායෙන් අවසන් වේ. කඳුකරයේ සිසිලසත් වලාකුළුවලින් සහ මීදුමින් වැසුණු පරිසරයත් විචිත්‍රවත් කඳු දර්ශනත් සමඟ තණ බිම්වල සිට නිවර්තන වනාන්තර දක්වා විවිධ පරිසර පද්ධති කිහිපයක් ද මේ ගමනේදී නිරීක්ෂණය වේ. විශේෂයෙන් සෝලෝ ට්‍රැවල් හෙවත් හුදෙකලා ගමන්වල යෙදීමට කැමැති සංචාරකයන් අතර Pekoe Trail වඩා ප්‍රචලිතය.

සුන්දරත්වයේ සළුපිළි නිබඳ පැලඳි ශ්‍රී ලංකා ලලනාව ඒ වෙනුවෙන් ලෝකයේම ආකර්ෂණය දිනා ගත් හෝ සම්මානිත වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2015, 2016 සහ 2017 යන වසරවලදී ලොව වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයට හිමි සම්මානය අඛණ්ඩව දිනා ගැනීම ටත් 2019 වසරේදී ආසියාවේ ඉහළම ගමනාන්තය ලෙස සංචාරක lemming රීඩර්ස් සම්මානය දිනා ගැනීමටත් ශ්‍රී ලංකාවට හැකි විය. 2019 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 10න් එකක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමට ලක් විය.Travel+Lesuire සඟරාව සහ වෙබ් අඩවිය 2019 වසරේ ලෝකයේ හොඳම දූපත්වලින් එකක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කළ අතර, ලොව ප්‍රමුඛතම සංචාරක මාර්ගෝපදේශ සඟරාවක් වන ලෝන්ලි ප්ලැනට් විසින් 2019 වසරේදී ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස තෝරා ගත්තේ ද ශ්‍රී ලංකාවය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division