Home » සහල් ඒකාධිකාරිය මඬින්න තොග රැස් කිරීමට මණ්ඩලයෙන් පියවර

සහල් ඒකාධිකාරිය මඬින්න තොග රැස් කිරීමට මණ්ඩලයෙන් පියවර

by Mahesh Lakehouse
November 2, 2024 12:40 am 0 comment
තාරක වික්‍රමසේකර

එළැඹෙන මහ කන්නයේ සිට වී නිෂ්පාදනයෙන් 10%ක් අනිවාර්යෙන්ම මිලදී ගෙන ආරක්ෂිත තොග ලෙස තබා ගන්නා බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා සිළුමිණට කීය.

වී අලෙවි මණ්ඩලයේ ගබඩා ඒ වෙනුවෙන් යොදා ගන්නා බවත් මේ වන විට ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර සැලසුම් කර ඇතැයිද අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය. මණ්ඩලයේ වී ගබඩා ප්‍රතිසංස්කරණය කර වී සහ සහල් ගබඩා කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු කීවේය.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ඒකාධිකාරියක් පවත්වා ගෙන සහල් මිල ඉහළ නැංවීම වැළැක්වීම මෙහි අරමුණ බවත් ඒ අනුව මහජනතාවට අඩු මිලට සහල් සැපයීමට හැකිවන බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ගොවියාගෙන් වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ සහල් හා වී මෝල් හිමියන්ට ලබා දෙන ණය මුදල මින් ඉදිරියට ගොයම් කැපීමට පෙර ලබා දීමට පියවර ගන්නා බවද ඔහු පැවසුවේය. ඒ මඟින් ගොයම් කැපෙන අවස්ථාවේදීම ඔවුන්ට එම වී මිලදී ගෙන කඩිනමින් සහල් බවට පත් කිරීමට හැකියාව ලැබෙන බවද ලේකම්වරයා කීවේය.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමස්ත වී නිෂ්පාදනයෙන් මිල දී ගන්නේ 23%ක් පමණක් බව කී ලේකම්වරයා වී අලෙවි මණ්ඩලයේ 10%ක අතිරික්තයක් තබා ගැනීම හරහා අවශ්‍ය ඕනෑම විටකදී මිල පාලනය පිණිස ආරක්ෂිත තොග නිකුත් කිරීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.

මහා පරිමාණ මෝල් හිමියන් විසින් රජය මඟින් ලබා දෙන මිලට වඩා වැඩි මිලටද වී මිලට ගෙන ඔවුන් අඩුවෙන් ලබාගත් වී තොගද එම මිලටම මිලදී ගත් සේ සලකා සහල් මිල නියම කරනු ලබන අවස්ථා ඇති බවත් රජය ලබා දෙන මිලට වඩා, එසේ වැඩි මිලකට වී අලෙවි කිරීමද වැරැදි ක්‍රියාවක් බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය. එයින් සිදු වන්නේ පාරිභෝගිකයාට සහල් මිල වැඩිවීම බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division