Home » ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

by yasara
October 28, 2024 4:29 pm 0 comment

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

වර්තමාන ප්‍රසම්පාදන නීතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

පවතින නීතිය හා මාර්ගෝපදේශ අනුව ප්‍රසම්පාදන කාර්යයන් සිදු නොවීම සම්බන්ධයෙන් පවතින ගැටලු එම නිලධාරීහු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළහ.

රජයේ ප්‍රාග්ධන වියදම් ඇතුළු සියලු වියදම්වලින් 60%ක් පමණ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව සිදු විය යුතු නමුත් එකී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි පවතින අඩුපාඩු හේතුවෙන් රජයට විශාල වශයෙන් අලාභ සිදු වන බව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීහු  ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

ඒ හේතුවෙන් වංචා දූෂණ සඳහා වැඩි අවස්ථාවක් පවතින බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති විය හැකි ප්‍රමාදය, විනිවිදභාවයෙන් තොර ක්‍රියාවන්, මෙන්ම අකාර්යක්ෂමතාව පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ආයෝජකයා විසින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා (unsolicited proposals) හා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී  සිදු වන අඩුපාඩු අවම කිරීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ බලතල තවදුරටත් පුළුල් කරමින් ප්‍රසම්පාදන සැලසුම් විධිමත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති සුධර්මා කරුණාරත්න යන  මහත්ම මහත්මීන් ඇතුළු ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division