බෝම්බ භීතිකාව ශ්‍රී ලංකාවේ ජනතාවට නම් අලුත් දෙයක් නොවේ. දශක 3කට වැඩි කාලයක් කුරිරු ත්‍රස්තවාදයකට මුහුණ දුන් මෙරට ජනතාවට බෝම්බ භීතිකාව ගැන අමුතුවෙන් කියන්නට දෙයක් ද නැත.
පොදු ප්‍රවාහන සේවයේ හෝ පොදු ස්ථානයක හිමිකරුවකු නැති පාර්සලයක් හෝ ගමන් මල්ලක් දැක හිස් ලූ ලූ අත දිව ගිය අයුරු කිසිදාක අමතක වන්නේ ද නැත. මේ දිනවල ඉන්දියාවේ ගුවන් මගීන් අතර පැතිරී යන්නෙ ඒ කටුක අත්දැකීම් නැවත සිහිපත් කරන සිද්ධි මාලාවකි. මෙතෙක් එවැනි කිසිදු බෝම්බ පිපිරීමක් හෝ බෝම්බ සොයා ගැනීමක් හෝ සිදු නොවූවත් ඉන්දියාවේ සෑම ගුවන් සේවයකටම මේ කියන ‘බොරු බෝම්බ‘ බිය දැනෙන්නට පටන් ගෙනය.
එයාර් ඉන්ඩියා, ඉන්ඩිගෝ, ආකාස එයාර්, විස්ටාරා, ස්පයිස් ජෙට්, ස්ටාර් එයාර් ඇතුළු ඉන්දියාවේ සියලුම ගුවන් සමාගම්වලට අයත් ගුවන්යානා මේ අත්දැකීමට මුහුණ දෙමින් සිටී. ඉන්දියාවේ සිට පියාසර කරන හෝ ඉන්දියාවට පැමිණෙන ඇතැම් ජාත්‍යන්තර ගුවන්යානාවලටත් එවැනි බෝම්බ තර්ජන මතුවී ඇත. ගුවන් යානයේ බෝම්බයක් ඇතැයි එහි නියමුවරුන්ට උඩු ගුවනේදී තොරතුරු වාර්තා වූ විට ඔවුන්ට දැනෙන හැඟීම් සමුදාය සිතාගත නොහැකි තරම්ය. ගමනාන්තය බලා පියාසර කරමින් තිබෙන ගුවන්යානය හදිසි ගොඩ බැස්වීමකට හෝ ආපසු හැරී යෑමට සිදුවීමෙන් මගීන්ට දැනෙන ‘මරණ බය‘ ගැන අමුතුවෙන් කිව යුතු ද නැත. මරණ බියෙන් ඇළලී ගිය මගීන්ගේ නොසන්සුන්තාව පාලනය කිරීම උඩු ගුවනේදී නම් කොහෙත්ම ලෙහෙසි නැත.
එකදිගටම එවැනි බෝම්බ තර්ජන ගැන තොරතුරු වාර්තා වූවද, සාවද්‍ය බවට අනුමාන කරමින් ඒවා නොසලකා හැරීමට ජාත්‍යන්තර ගුවන් ගමන් නීතියට අනුව ගුවන් නියමුවන්ට කොහෙත්ම අවසර නැත. ඔවුන්ට සිදු වන්නේ පවතින නීති රෙගුලාසිවලට අනුව කටයුතු කිරීමටය. ගුවන් යානය පියාසර කරමින් තිබෙන මොහොතක එවැනි අනතුරු ඇඟවීමක් ලැබීමේදී පූර්ව දැනුම්දීමකින් පසුව ඒ ආසන්නයේ පිහිටි රාජ්‍යයක හෝ කලාපයක ගුවන්තොටුපොළකට යානය ගොඩ බැස්විය යුතුය. මගීන්ගේ ආරක්ෂාව සහතික කළ යුතුය. ගුවන් යානය බෝම්බ නිෂ්ක්‍රීය අංශ යොදා පූර්ණ පරීක්ෂාවකට ලක් කළ යුතුය. නියමුවරුන්ට නැවත ගුවන් යානය ඉහළ නැංවීමට අවසර ලැබෙන්නේ යානය තුළ පුපුරන ද්‍රව්‍ය කිසිවක් නැති බව සහතික කිරීමෙන් පසුවය. එහෙත් නැවත නැවතත් සිදුවන්නේ එකම සිදුවීමකි. මේ දිනවල ඉන්දීය රජයත් බුද්ධි අංශය ඇතුළු ගුවන් සමාගම්වල පාලනාධිකාරියත් පැටලී ඇත්තේ එවැනි පඹගාලක ය.
ඉන්දීය ගුවන් සේවා මුහුණ පා සිටින මේ බෝම්බ භීතිකාව එම ගුවන් සමාගම්වලට රුපියල් කෝටි ගණනාවක පාඩුවක් ගෙන දෙනවා පමණක් නොව එරට ගුවන් මගීන් ඉන්දීය ගුවන්යානා ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් ද ඇති කර තිබේ. එපමණක් නොව එය සෙසු රටවල ගුවන් මෙහෙයුම්වලට ද දරුණු බලපෑමක් එල්ල කර තිබේ. බෝම්බ තර්ජනය එල්ල වූ ගුවන්යානයට හදිසි ගොඩබැස්මක් සඳහා අවසර දීමට සිදුවීමෙන් ඇතැම් රටවල ජාත්‍යන්තර දෛනික ගුවන් පියාසර කාලසටහනට පවා බලපෑම් එල්ල වී තිබේ. නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් සිදු කිරීමට නොහැකිවීම නිසා මගීන්ට මුහුණ පෑමට සිදුවන පැය ගණනාවක ප්‍රමාදය කාලය පමණක් නොව අතිවිශාල මුදලක් වැය වන කාරණාවකි.
දිගින් දිගටම එවැනි බෝම්බ තර්ජන නිසා ඉන්දියාවේ ගුවන් සේවා කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් ද මතු වී ඇති අතර, එරට බුද්ධි සේවා හෝ ආරක්ෂක අංශ හෝ සයිබර් අපරාධ මැඬලීමේ බලධාරීන්ට හෝ මෙතෙක් විසඳීමට නොහැකි වූ කාරණාවක් බවට ද පත් වී තිබේ.
බෝම්බ තර්ජනවලින් වැඩි ප්‍රමාණයක් විද්‍යුත් තැපෑල හරහා ලැබුණු ඒවා බවත්, තවත් සමහර තර්ජන සමාජ මාධ්‍යජාලා ඔස්සේ ලැබී ඇති බවත් වාර්තා වේ. ඒ හැරුණු විට අදාළ ගුවන් යානයේ වැසිකිලියේ එවැනි තර්ජන සටහන් කළ කඩදාසි අලවා තිබූ බව ද වාර්තා වේ. ද්වේෂ සහගත චේතනාවෙන් සහ අවධානය යොමු කරගැනීමට හෝ ගුවන් මෙහෙයුම් කඩාකප්පල් කිරීමට යම්කිසි සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙය සිදු කරන්නේදැයි මේ වන විට ඉන්දියාවේ බුද්ධි අංශ නිලධාරීන් සොයා බලමින් සිටින අතර, සති දෙකකට වැඩි කාලයක් ගතවූවද අර්බුදය විසඳීමට නොහැකි වීමෙන් ගුවන් මගීන් ද බරපතළ මානසික ගැටලුවලට පමණක් නොව රජය සහ ගුවන් සමාගම් කෙරෙහි දැඩි අප්‍රසාදයක් පළ කිරීමට ද හේතු වී තිබේ.
එරට ගුවන් සමාගම්වල සේවය කළ හිටපු නිලධාරීන්ට අනුව පසුගිය සඳුදායින් අවසන් වූ පැය 24 තුළ පමණක් ගුවන් යානා 80කට ආසන්න සංඛ්‍යාවකට එවැනි බෝම්බ තර්ජන එල්ල වීමෙන් මුහුණපෑමට සිදුවූ අලාභය ඉන්දීය රුපියල් කෝටි 600කට වැඩිය. පසුගිය අඟහරුවාදා ඊට තවත් ගුවන් යානා 50ක් ඇතුළත් විය. මෙවැනි බෝම්බ තර්ජන නිසා ඉන්දියාවේ දේශීය ගුවන් යානයකට කෝටි එකහමාරක පමණ පාඩුවක් සිදුවූවද, ජාත්‍යන්තර ගුවන් යානයක එවැනි තර්ජනයකදී සිදු වන පාඩුව ඉන්දීය රුපියල් කෝටි පහකට වැඩි බව ද වාර්තා වේ.
ඉන්දියාවේ ගුවන්යානාවලට මුහුණපෑමට සිදුවී ඇති මේ හිසරදය ජාත්‍යන්තර ගුවන් සමාගම්වලට හා සෙසු රටවලට ද ගැටලු මතු වී ඇති අතර, ජාත්‍යන්තර ගුවන් ගමන් නීතියට අනුව ගුවන් ගතවීමෙන් පසු මුහුණපෑමට සිදුවන ඕනෑම අනතුරුදායක තත්ත්වකදී එම ගුවන්යානයට හදිසි ගොඩබැස්මකට අවසර දිය යුතුව තිබුණ ද, ඇතැම් රටවල් ඒ සඳහා අකමැත්ත ප්‍රකාශ කිරීමේ සිදුවිම් ද වාර්තා වේ. පසුගිය ඉරිදා ඉන්දියාවේ සිට ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර බලා පියාසර කරමින් තිබූ විස්ටාරා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක එවැනි බෝම්බ තර්ජන මතුවීම හේතුවෙන් හදිසි ගොඩබැස්මකට ඇෆ්ගනිස්තානයෙන් අවසර නොලැබිණි. අනතුරුව නියමුවන්ට සිදු වූයේ අවදානම කරපින්නාගෙන නැවත ඉන්දියාව බලා හැරී යෑමටය. පසුගියදා මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි විස්ටාරා ගුවන්සේවයට අයත් ගුවන්යානයක ද එවැනි බෝම්බ තර්ජනයක් හේතුවෙන් පූර්ණ පරීක්ෂාවට ලක් කිරීමට මෙරට ගුවන්තොටුපොළේ බලධාරීන් පියවර ගෙන තිබිණි. වරක් නොව දෙවතාවක්ම එවැනි සිදුවීම් වාර්තා වී තිබිණි.
බෝම්බ තර්ජන පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා මේ වන විට ඉන්දියාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය ද (සීබීඅයි) මැදිහත් වී සිටින අතර, එහි මූලික විමර්ශන අනුව ගුවන් සේවා සමාගම්වල විද්‍යුත් තැපෑලට ලැබෙන අනතුරු ඇඟවීමේ පණිවුඩ විශ්ලේෂණය කිරීමට ද පියවර ගෙන තිබේ. දැනට සොයාගෙන ඇති කරුණුවලට අනුව එම විද්‍යුත් තැපෑල් සංකේත නිකුත් වී ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවරින් සහ ජර්මනියෙනි. මීට අමතරව ඉන්දියාව තුළින් ද එවැනි සංකේත හඳුනාගෙන ඇති අතර, විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බැවින් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කර නැත.
එක අතකින් මෙවැනි බෝම්බ තර්ජන ඉන්දීය ගුවන් සමාගම්වලට අලුත් දෙයක් ද නොවේ. වසර 2014 සිට 2017 දක්වා කාලය ඇතුළත ඉන්දියාවේ නවදිල්ලි හා මුම්බායි කේන්ද්‍ර කරමින් පියාසර කළ ගුවන්යානා 120කට අධික ප්‍රමාණයකට එවැනි බෝම්බ තර්ජන එල්ල වී තිබිණි. එහෙත් මෑත දිනවල එය විස්මයජනක අයුරින් ඉහළ ගොස් තිබේ. මෙහි අරමුණ කවරේදැයි කිසිවකුට පැහැදිලි නැත. ඊට වගකිවයුතු පාර්ශ්වය හෝ කණ්ඩායම් මෙතෙක් අනාවරණය වී නැති අතර, ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ විෂය භාර ඇමැතිවරයාගේ අදහස වී ඇත්තේ යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටය. මෙතෙක් එවැනි කිසිදු බෝම්බයක් පිපිරීමකට හෝ සොයා ගැනීමට නොලැබීම නිසා එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට අනුමාන කළ නොහැකි බවට ද වාර්තා පළ වී තිබේ.
ෆවුස් මොහොමඩ්