නුගේගොඩ යනු කවදත් පාරිභෝගික ලොව ජයගත් නගරයකි. නාවල පාරත් – පාගොඩ පාරත් ඇරඹෙන්නේ හතරමං හන්දියකිනි. පාගොඩ දෙසට යන පාර දිගේ ගමන් කළ විට හමුවන්නේ එක්සයිස් පොත් ඇතුළු ලිපිද්‍රව්‍ය වෙළෙඳසලකි. නුගේගොඩ රෑ වනතුරුත් පත්තර මිලදී ගත හැකි කඩපොළක් වන්නේ එයයි.
පසුගිය සතියේ මේ කඩපිලට ඇතුළු වූ විට වෙනදාට දකින්නට ලැබෙන සේවිකාවන් දක්නට ලැබුණේ නැත. මේ වෙළෙඳසලේ අලෙවි කටයුතුවල නියැළී සිටියේ ආයතනය මෙහෙයවන කාන්තාව පමණි. වෙනදා අතුරු සිදුරු නැතිව පිරී සිටින ගැනුම්කරුවන් ද දක්නට සිටියේ නැත.
“මොකද මේ. දැන් ඉස්කෝලවල එක්සයිස් පොත් ගන්න සීසන් එකත් එනවා. තාම බඩු ගෙනාවේ නැද්ද?” මම කතාවට බැස්සෙමි.
“දැන් මොන සීසන් ද? ගිය සැරේ ගෙනාපු ස්ටේෂනරි තොගේ තාම ඉවර කරගන්න බැරිවුණා. ඔයාට මතක ඇතිනේ දැන් අවුරුදු දෙක තුනකට කලින් මෙතැන බඩු දෙන්න තුන්දෙනෙක් වැඩ කළා. මගේ වැඩේම දවසට දෙවතාවක් පිටකොටුවට ගිහින් බඩු ගේනවා. දැන් ඔක්කොම ඔන්ලයින්.”
ඇගේ කතාව නිවැරදිය. දැන් මේ ඉස්කෝල ලිපිද්‍රව්‍ය තොගවලට නම් දරාපු ‘පීපල්ස් පාක්’ ගොඩනැඟිල්ලේ ඇති පොත්කඩ පවා සමාජ මාධ්‍යවල තම දැන්වීම් පළකරයි. එම දැන්වීම්වල ඇත්තේ වට්ටම් සහිත මිලට ඔන්ලයින් ගෙදරටම ලිපිද්‍රව්‍ය ගෙනවිත් දෙන බවය. දැන් කවුරුත් බස්රථවල නැගී ලිපිද්‍රව්‍ය සෙවීමට පොත් කඩ ගානේ යන්නේ නැත.
දැන් ඔක්කොම ෆේස් බුක් එකෙන්
“දැන් ඉතිං කාන්තා පත්තර එහෙම විකිණෙනවා ද?” මම නැවතත් ඇගෙන් අසා සිටියෙමි.
“ඉස්සර නම් එක කාන්තා පත්තරේකින් පනහක් හැටක් වික්කා. දැන් ගන්නෙම හතරයි පහයි. ලෙඩෙක් බලාගන්න කෙනෙක් නවරෝහලට නැත්නම් කළුබෝවිලට පත්තරයක් ගෙනියනවාමයි. අනේ දැන් ඔක්කොම ෆේස් බුක් එකේ.”
“එතකොට කෑම බීම හදන පොත් එහෙම තාම විකිණෙනව ද?”
“මොන දැන් ඉන්ටනෙට් එකේ ගහපු ගමන් රෙසපි එනවා. හදන විදිය පෙන්නනවා. ඒ හින්ද කෑම පොත් විකුණගන්න අමාරුයි.”
“එතකොට දැන් පොතක් – පෑනක් ගන්න එන්නේ කවුද?”
“සමහරු ඉන්නවා පොතක් දෙකක් සල්ලි තියෙන වෙලාවට අරගන්න. ඔය පෑනක් ගන්න අය එනවා. ඉස්සර අපි ඉස්කෝලෙ සීසන් එකට ලක්ෂ 30ක තිහක පොත් ගේනවා. අද ඔක්කොම බිස්නස්වල තත්ත්වේ ඒකයි.”
“එතකොට මේ මාල වගේ අරුමෝසම් බඩුවලින්වත් ලාභයක් එනව ද?” මම එම කඩපොළෙහි වූ විසිතුරු මාල, කරාබු පෙන්වමින් ඇසුවෙමි.
පෙනුම එක වගේ කොලිටිය වෙනස්
“දැන් ඔය තියෙන මාලේ රුපියල් හාරසිය පනහකට ගෙනල්ල හයසිය පනහට දෙන්නේ. මගේ නංගි කෙනෙක් ආවා රත්නපුරේ ඉඳන්. ඔය මාලෙම ඔන්ලයින් අරන් තිබ්බා රුපියල් දෙසීයකට. පෙනුම එක වගේ. කොලිටිය වෙනස්.”
අවසානයේ මා මේ ඔන්ලයින් බිස්නස් ගැන සොයා බැලුවෙමි. එය කාගෙත් අවධානය දිනාගන්නා කරුණක් විය.
මගේ මතකයට මුලින්ම ආවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක විධායක නිලධාරියෙකි. ඔහු මීට පෙර ද ඔන්ලයින් ගෙන්වා ගත් මුහුණ පැහැපත් කරන ක්‍රීම් වර්ග ආලේප කිරීමෙන් තමන්ට අත්වූ ඉරණම ගැන ලිපියක් ලියන ලෙස කළ ආරාධනය මට මතකයට ආවේ නිතැතිනි. මම ඔහුට නැවත ඇමතුමක් ගත්තෙමි.
දැන් කොස්මෙටික් කඩයකට නොයා ගෙදරටම ක්‍රීම් එක ගෙන්න ගන්න. දවස් තුනයි ගෑවේ. මූණේ කබර වගේ ආවා. අන්තිමට කළුබෝවිල ඉස්පිරිතාලේ චර්ම රෝග අංශයට ගියා. එතැන සුදු වෙන්න ක්‍රීම් ගාපු ගෑනු ළමයි පිරිලා. සුදු නෙමෙයි සුදුමැලි වෙලා.”
ලංකාවේ මේ ඔන්ලයින් වෙළෙඳාම සරු වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සාමාන්‍ය ජනතාව තුළ ඇති කම්මැළිකමයි.
මුහුණු පොතේ ඇති අඩි 6ක් උස අල්මාරියක් රු. 5500ට ඔන්ලයින් ඩිලිවරි කරන අංකයකට කතා කළෙමි. මට අවශ්‍ය වූයේ එම ආයතනය ඇති ස්ථානය දැන ගැනීමටය. තම ආයතනය ඇත්තේ කුමාර වීදියේ බව කිව්වත් ආයතනය ඇති තැන කිසිවකු කියන්නේ නැත.
මුහුණු පොතේ ආකර්ෂණීය දැන්වීම්
ඇත්තටම මේ ඔන්ලයින් වෙළෙඳාම යනු කුමක්ද? ඔවුන් කරන්නේ මුහුණු පොතේ ආකර්ෂණීය දැන්වීමක් නිර්මාණය කිරීමයි. මේ දැන්වීමට හසුවන ගැනුම්කරුවන් එම නිෂ්පාදනය ඉල්ලූ සැණින් ඔවුන් කරන්නේ පිටකොටුවේ තොග කඩයකින් එම භාණ්ඩය මිලදී ගෙන කුරියර් කිරීමය. එහි භාණ්ඩය ‘යවන’ පුද්ගලයාගේ නම සහ ලිපිනය බොහෝවිට ව්‍යාජ එකකි. ගැනුම්කරු තමන් ඇණවුම් කළ භාණ්ඩයට අදාළ මුදල ගෙවා පැකින් එක කඩා බැලූ විට බොහෝවිට ඇත්තේ තමන් ඇණවුම් කළ භාණ්ඩය නොවේ.
මා වරක් සේවය කළ පුවත්පතක පත්‍රකලාවේදිනියක් ඔන්ලයින් ක්‍රමයට ඔරලෝසුවක් ගෙන්වා ගත්තේ සුප්‍රකට වෙළෙඳ නාමයකිනි. ඔරලෝසුව අතට ගත් සැණින් මට පෙනී ගියේ එය ‘ඩුප්ලිකේට්’ එකක් බවය. ඒත් ඉතිං දැන් සියලු මුදල් ගෙවා හමාරය. ඇය ගෙවා තිබූ මුදල් රු. 7000/=කට අධිකය. එහෙත් එවැනි ඩුප්ලිකේට් ඔරලෝසුවක් රුපියල් 450කට පිටකොටුවේ තොග කඩයකින් මිලදී ගත හැකිය.
බොහෝවිට මේ ඔන්ලයින් වෙළෙඳාම නිසා දැන් සිල්ලර වෙළෙඳාම වලපල්ලට ගොස් ඇති බව නොකියා බැරිය. දැන් බොහෝ දෙනා දවල්ට තමන් කන කෑම පාර්සලය තීරණය කරන්නේ ද ‘ඔන්ලයින් අද දවල්ට මොනාද කන්න තියෙන්නේ’ යැයි බැලීමෙන් පසුවය.
අප සිල්ලර කඩයකින් භාණ්ඩයක් මිලදී ගත් විට එම භාණ්ඩය ගැන අප තෘප්තිමත් නැත්නම් අපට එම භාණ්ඩය නැවත භාරදී මුදල් ලබා ගත හැකිය. එහෙත් මෙම ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන ආයතන සමඟ එහෙව් ගනුදෙනු කිරීමට බොහෝවිට අවස්ථාවක් සැලසෙන්නේ නැත. ඊට හේතුව මේ බොහෝ ආයතනවල ලිපිනයන් ව්‍යාජ ඒවා වීමය.
බෙහෙත්වලටත් ඩිස්කවුන්ට් මේ ඔන්ලයින් වෙළෙඳාමෙන් දැවැන්ත ලෙස අර්බුදයකට ලක්වූ ආයතනයන් වන්නේ බෙහෙත් සිල්ලරට විකුණන ෆාමසිය. දැන් බෙහෙත් ආනයනකරුවන් ඔන්ලයින් ක්‍රමයට ඩිස්කවුන්ට් එකක් ද සහිතව බෙහෙත් රෝගියා ළඟටම ගෙනවිත් දෙන නිසා අන්තිමට හන්දියක් ගානේ තියෙන ෆාමසිවලට සිදුවී ඇත්තේ උඩ බලාගෙන සිටීමටය. ඇතැම් ෆාමසිවල ගබඩා කොට ඇති ලක්ෂ ගණනක බෙහෙත් විකුණාගත නොහැකිව ඔවුන් මහත් අර්බුදයකට පත්වී සිටී. මේ ලංකාවේ මිනිසුන් කෙතරම් ‘ඇන්දිය’ හැකි මෝඩ පිරිසක් දැයි තහවුරු වන ගනුදෙනු පවා මේ ඔන්ලයින් වෙළෙඳාම මත සිදුවේ. සමහර සමාජ ජාලා දැන්වීම් දකින ගෘහණියක් තමන්ට අවශ්‍ය භාණ්ඩය ඔන්ලයින් ගෙන්වා ගැනීමට එම දැන්වීම පළකරන ආයතනයේ ගිණුම් අංකයට සම්පූර්ණ මුදලම බැර කරන අවස්ථා පවා ඇත. එහෙත් භාණ්ඩය යම් ලෙසකින් නොලැබුණහොත් ඊට එරෙහිව ගන්නා නීතිමය පියවර පවා බොහෝ දෙනා දන්නේ නැත.
සාමාන්‍ය වෙළෙඳසලකට ගොස් භාණ්ඩයක් මිලදී ගැනීමට රස්තියාදු වීමට අකැමැති ගෘහණියක් තමන් මුදල් බැර කළ පසු අත්වූ ඉරණම සඳහන් කළේ මෙසේය.
“සල්ලි දැම්මා විතරයි ෆෝන් එකේ කෝල් එක ගන්නේ නැතුව ගියා. බොහොම අමාරුවෙන් වෙන අංකයකින් තමයි කතා කළේ. සුමාන දෙකක් විතර ගිහිල්ලත් ඕඩර් කරපු බඩුව නැහැ. ටිකක් තදින් කතා කළාම අපි මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි. තමුසෙලගේ සල්ලිවලින් අපි මාලිගා හදන්නද ඇහුවා. ඊළඟ දවසේ ඕඩර් කරපු බඩුව ආවා. ඒත් වෙන එකක්. රිටන් කරන්න කතා කළා. නොම්බරේ වැඩ නැහැ. එවලා තියෙන ඇඩ්‍රස් එකේ එහෙම ආයතනයක් නැහැ.”
දැන් ගමේ කඩයක අලෙවියට ඇති බොහෝ භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට පාරිභෝගිකයන් ලබා ගැනීම නිසා බොහෝ වෙළෙඳසල් හිමියන් පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටයි. ප්‍රශ්නය වී ඇත්තේ මේ ඔන්ලයින් ඩිලිවරි කරන භාණ්ඩවල කිසිදු වගකීමක් හෝ මේ තමන්ට ලැබෙන්නේ ඇණවුම් කළ භාණ්ඩයම දැයි තහවුරු කරගත නොහැකි වීමය.
මේ ඔන්ලයින් වෙළෙඳාම සිදුවන්නේ කිසිදු රාජ්‍ය යන්ත්‍රණයක අධීක්ෂණය යටතේ නොවේ. එමනිසා නීති විරෝධී ද්‍රව්‍ය ඇණවුම්කරුගේ දෙපා මුලට ගෙනවිත් දීමට කිසිදු බාධාවක් නැත. ඊටත් වඩා තම විරුද්ධවාදියකුගේ ලිපිනයකට එවැනි පාර්සලයක් ඔන්ලයින් ඇණවුම් කොට පොලිසියට ඔත්තුවක් සැපයීම තුළින් පාර්සලය ලැබෙන පාර්ශ්වය නීතිමය වශයෙන් ප්‍රශ්න රාශියකට ලක්විය හැකිය. වසර කිහිපයකට පෙර එවැනි පාර්සලයක් ලැබුණ ජනප්‍රිය නිළියකට තම රැකියාව පවා අහිමි වූයේ තානාපති කාර්යාලයකය.
ඔන්ලයින් භාණ්ඩ ගෙන්වා ගැනීම දැන් විලාසිතාවක් වී හමාරය. එයින් මෙරට වෙළෙඳසල්වල සිල්ලර වෙළෙඳාම වළපල්ලට යාම ගැන කතා කරන්නට කිසිවෙක් ඉදිරිපත් වී නැත. ඊටත් වඩා ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ගෙන්වාගෙන තමා ඇණවුම් කළ භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලැබුණ පාරිභෝගිකයන් තවමත් සංවිධානාත්මක ලෙස තම විරෝධතාව දැක්වීමට පෙළ නොගැසීම නිසා ඔන්ලයින් ජාවාරම තවමත් සරුවට කෙරෙන බව නම් අලුතෙන් කිවයුතු නොවේ.
වජිර ලියනගේ