මේ ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා ගෙනගිය මහජන කතිකාව තුළ නිතර ඇසුණු වචනයක් තමයි ‘පුනරුදය’. ඒ මොහොතේ ගොඩක් අයට මේ ගැන විධිමත් අවබෝධයක් ලැබුණේ නැහැ. ඔබ මේ ගැන අර්ථ දක්වන්නේ කොහොමද?
ජාතික ජන බලවේගය බලයට පත්වීම කියන්නේ අතිශය දැවැන්ත සමාජ පරිවර්තනීය අවස්ථාවක්. නිදහසින් පසුව වසර 76ක් පුරා පැවති ප්‍රභූ කණ්ඩායම් දෙකේ පාලනය තීරණාත්මක ලෙස වෙනස් කරන යුගයක් තමයි මේ එළැඹී තිබෙන්නේ. එලෙස නිර්මාණය වන මහජන අවකාශය තමයි අපි ‘පුනරුදය’ සමය ලෙස නම් කළේ. ‘පුනරුදය’ කියන අදහස සරලව පැහැදිලි කළොත්, කලින් පැවතිය යුතුව තිබූ කිසියම් තත්ත්වයක් නියමාකාරයෙන් සිදු නොවී පසුව එය ඉතා හොඳින් සිදුවීමයි. ඒ අනුව ‘පුනරුදය’ කියන්නේ ගැඹුරු සමාජ පරිවර්තනයකට මුලපිරීමක්.
මේ රටේ ඉතිහාස කතාව නිර්මාණය වී තිබුණේ පැවති ප්‍රභූ පන්තියට අනුකූලවයි. ඒ ඉතිහාස කතාව තුළ ගොඩනංවා තිබුණේ අතීත කාමයක්. අතීතයේ පැවති ශ්‍රී විභූතිය ගැනම කතා කරමින් මේ රටේ ජනතාව වෙනස්ම මානසික ලෝකයකට රැගෙන යාම හරහා ඒ අයගෙ පැවැත්ම තහවුරු කරගැනීමේ ව්‍යාපෘතියක්. මේ ජයග්‍රහණය දක්වා පැවතියේ එවැනි සමයක්. ඒ අයගේ ඡන්ද ව්‍යාපාරය තුළ වුණත් වර්තමානයට කිසි විදියකින් සම්බන්ධයක් නැති අනුරාධපුර, පොලොන්නරු යුගයක් ගැන තමයි කතා කළේ. නමුත් මේ ව්‍යාපෘතිය තුළ තිබෙන්නේ නූතන දියුණු ශ්‍රී ලංකාවක් පිළිබඳවයි. අප ගොඩනැඟීමට උත්සාහ කරන සමාජයට අර පරණ අදහස් උදව් කරන්නේ නැහැ. මොකද මෙතෙක් පැවති කතිකාවෙන් අපට යෝජනා කළේ අතීතයට ගිහින් පැරණි ශ්‍රී විභූතියක් ගොඩනඟන්න මිසක් අනාගතය දකින්න නෙමෙයි.
ඔය කියන නූතන යුගය අපට පරිකල්පනය කරන්න වෙන්නේ පශ්චාත් යටත්විජිත කතිකාව තුළයි. ඒ සඳහා ඔබ කියූ අතීත කාමයට නොයා නව ප්‍රවිෂ්ටයකට යා යුතුයි. ඔබලා ඒ කතිකාව ගොඩනැඟීමට බලාපොරොත්තු වන්නේ කොහොමද?
මෙහිදී අපේ අවධානය යොමු වුණේ නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට මූලබීජ රෝපණය කරපු ජාතික නායකයන් වෙතයි. ඒ අය අපේ ඉතිහාස අඛ්‍යානයෙන් හැලිලා, නැත්තම් පිටමං කරලයි තියෙන්නේ. ඒ අයව අපේ සමාජය අඳුනන්නෙ නැතිව නෙමෙයි, අපේ සමාජය ඒ අය දන්නවා. නමුත් මේ කියන අර්ථයෙන් ඔවුන් හඳුන්වා දෙන්න පැවති ඉතිහාස කතිකාව අපොහොසත් වී තිබෙනවා. නැතිනම් හිතාමතාම අමතක කර තිබෙනවා. නමුත් අප විසින් නූතන ශ්‍රී ලංකාවක් පිළිබඳ පරිකල්පනය කිරීමේදී අදාළ බරින් ඒ අය හඳුනා ගන්න අප උත්සාහ කළා.
උදාහරණයක් විදියට ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ගත්තොත් ලංකාව මෙතෙක් බිහි කළ විශිෂ්ටතම ඉංජිනේරුවරයා විමලසුරේන්ද්‍ර ලෙස අවිවාදයෙන් නම් කරන්න පුළුවන්. නමුත් අපි ඔහු හඳුනගෙන හිටියේ ලංකාවට ජල විදුලිය හඳුන්වා දුන් “ජල විදුලියේ පියා” යන අර්ථයෙන් පමණයි. නමුත් ඔහු අපට වැදගත් වෙන්නේ ඒ අර්ථයෙන් පමණක් නෙමෙයි. ඔහු විසින් 1920 හා 1930 අතර කාලය තුළ සිදු කළ කාර්යය අපට සම කළ හැක්කේ ඉන්දියාවේ නේරු ඇතුළු ඉන්දියානු ජාතික නායකයන් කළ කාර්යභාරයටයි. ඔහු මේ රටේ තිබූ බලශක්ති ඉල්ලුම අභිබවා ගිය අතිවිශාල ජල විදුලි බලශක්ති විභවයක් හඳුනා ගනිමින් ඒ අතිරික්ත විදුලිය පාවිච්චි කරමින් කාර්මික අතින් දියුණු සංවර්ධිත නිදහස් ශ්‍රී ලංකාවක් පරිකල්පනය කළ ජාතික නායකයෙක්. ඒ වගේම වෛද්‍ය සේනක බිබිලේ; ඔහු වෛද්‍ය විද්‍යාව සමාජ ආභරණයක්ව පැවති කාලයක සිය දැනුම සහ හැකියාව පොදුජන යහපත වෙනුවෙන් යෙදවූ 20 වැනි සියවසේ ප්‍රගතිශීලී සමාජ පරිකල්පනයේ ස්වභාවය පිළිබඳ සංකේතීය චරිතයක්. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, හැන්ඩි පෙරින්බනායගම්, මාර්ටින් වික්‍රමසිංහ, මහගමසේකර, අයිෂා රාවුෆ්, සිවා චින්නතම්බි, නඩේස අයියර්, ආචාර්ය කුමාරි ජයවර්ධන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගෘහ නිර්මාණ ශිල්පිනියක වූ මිනෙට් ද සිල්වා ඒ අය අතර විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම මේ රටේ ඉතිහාසයෙන් පිටමං කළ මේ රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කළ බොහෝ දෙනෙක් සිටිනවා. අනාගතවාදී නූතන ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ පදනම තමයි මේ අය ගෙනාවේ. ඒ නිසා පෙර පැවති ඉතිහාස කතාව නවතින තැනින් මෙන්න මේ ජාතික තලයේ වීරයෝ පිරිස ඉදිරියට ගේන්නයි අපට අවශ්‍ය වුණේ. ඔවුන් තමයි සැබෑ වීරයෝ.
මේ නම් සඳහන් කළ අයගෙ වැඩ බිම දිහා බැලූවිට පේනවා, ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් මින් ආවරණය වී තිබෙන බව. ඒ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළොත්?
අප මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරද්දී අපට ක්ෂේත්‍ර ගණනාවක් අඳුනගන්න පුළුවන් වුණා. එහෙම බැලුවම මේක කලාප ගණනාවක පුනරුදයක්. උදාහරණයකින් පැහැදිලි කළොත් මේ තුළින් අධ්‍යාපනයේ පුනරුදයක් ඇති කරන්න අප යෝජනා කරනවා. පසුගිය කාලය පුරාම අධ්‍යාපනයට වෙන් කළ මුදල් අඩු කරගෙන අඩු කරගෙන ගියා. නමුත් ලෝකයේ දියුණු රටවල රාජ්‍ය මැදිහත් වෙන්නෙ අධ්‍යාපනය ඉහළට ගේන්න මිසක් ඒක බිඳවට්ටන්න නෙමෙයි. ඔවුන් දන්නවා එහි වටිනාකම. ඒක රටකට බරක් නෙමෙයි ආයෝජනයක්. ඒ නිසා අධ්‍යාපනයට රජයේ පූර්ණ අවධානය යොමු කිරීම දියුණු රටවල පවතින සම්මතයක්. අධ්‍යාපනය වෙළෙඳපළකරණය වුණාම වෙන්නේ මානව ශිෂ්ටාචාරයට අවශ්‍ය සමස්ත දැනුම් පද්ධතිය ගොඩනඟන්න නොහැකි වීමයි. මානව ශිෂ්ටාචාරය ගොඩනඟන්න වෙළෙඳපොළ උනන්දු නැහැ. ඔවුන්ගේ පරමාර්ථය වෙන්නේ ලාභ ලැබීමයි. ඒ නිසා පෞද්ගලික අංශය මේකට මැදිහත් වුණාම වෙන්නේ ඉංජිනේරු, වෛද්‍ය, වාණිජ වැනි කලාප කිහිපයකට පමණක් අධ්‍යාපනය සීමා වීමයි. නමුත් සමස්ත සමාජයක් පවතින්න නම් ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදුණු විශාල දැනුම් පද්ධතියක් ගොඩනැගීමට අවශ්‍ය වෙනවා. පුළුල්ව ගත්තොත් මානව සම්බන්ධතා පිළිබඳ දැනුම ගොඩනැඟීමේදී එකිනෙකා අතර අන්‍යෝන්‍ය බැඳීම, ජාතීන් අතර, ආගම් අතර බැඳීම්, පරිසරයට දක්වන බැඳීම මේ ආදී සියලු දේ පිළිබඳ දැනුමක් අවශ්‍ය වෙනවා. නැත්තම් සමාජයක් පවත්වාගෙන යන්න බැහැ; බිඳවැටෙනවා. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ පුළුල් දැක්ම නොතිබ්බොත් අපිට දැනට පවතින දැනුම පවා අහිමි වී යනවා. නමුත් මේ අය කළේ අධ්‍යාපනයේ සමස්ත බර මවුපියන් මත පටවා රාජ්‍ය අධ්‍යාපනයෙන් ඉවත්වීමයි. නමුත් අපේ ප්‍රයත්නය වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේ බර රාජ්‍ය විසින් දරාගෙන මව්පියන් ඔවුන්ගේ කටයුතු සඳහා නිදහස් කිරීමයි.
මෙහිදී නව වැනි පන්තියේ සිට අප අලුත් වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරනවා. ඒ අනුව එකක් අධ්‍යාපන ධාරාව, අනෙක වෘත්තීය අධ්‍යාපන ධාරාව. එතකොට තමන් තවදුරටත් අධ්‍යාපනයේ ඉහළටම යනව ද නැතිනම් වෘත්තීය අධ්‍යාපනය හරහා ඉහළටම යනව ද කියලා තීරණය කළ හැකියි. මෙහි අපේක්ෂාව වෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් කරා මේ රට රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම සකස් කිරීමයි. ඒ සඳහා අවශ්‍ය කලාප අඳුනගෙන ඊට අවශ්‍ය වැඩපිළිවෙළක් අප සකස් කර තිබෙනවා.
මේ ආණ්ඩුව ගෙනියන්නේ පැවති ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත බවයි ඇතැම් විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්නේ. මේ පුනරුද ගමන එයින් වෙනස් වෙන්නේ කොහොමද?
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ රට දුවන සමීකරණය වුණේ කෙළවරක් නැතිව ණය ගැනීම, බදු අය කිරීම සහ රටේ සම්පත් විකිණීම. නිෂ්පාදනයක් කරලා රටට විදේශ මුදල් උපයන ක්‍රමයක් ඔහුගේ න්‍යාය පත්‍රයේ කොතැනකවත් තිබුණේ නැහැ. අනික ඔහු හැම වෙලාවෙම මැව්වේ සුරංගනා ලෝකයක්. ණය අරගෙන කිසිදු ආයොජනයක් හෝ නිෂ්පාදනයක් නොකර කාලා බීලා ඉවර වුණාමයි අපට තේරෙන්නේ අපි හිටියේ සිහින ලෝකෙක කියලා. මේ රටේ ණය නොගෙවා ඒක පස්සට දාලා ඔහු ගෙන ගියේ එවැනි පාලනයක්.
නමුත් අපි මේ ගැන විශේෂ අවධානය යොමු කර නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීම හරහා රට ණය බරින් මුදාගෙන සමෘද්ධිත්මත් දේශයක් ගොඩනැඟීම ඉලක්ක කර තිබෙනවා. මේ වෙද්දි ඒ සඳහා අවශ්‍ය විභවයන් හඳුනාගෙන ඒවා සකස් කරමින් යනවා. එනිසා අප ‘පුනරුදය’ කියා කියන්නේ කිසිදා ඉටු නොවන සිහින ලෝකයක් හෝ හිතළුවක් නෙමෙයි. මහපොළොවේ පැළ කළ හැකි යථාර්ථයක්.
මේ කාර්යය සඵල කර ගැනීම සඳහා හඳුනාගෙන ඇති ක්ෂේත්‍ර මොනවාද?
මේ වෙද්දී සංචාරක කර්මාන්තයට ලොකු බරක් දාල තියෙනවා. ඒ, ඒ සඳහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන නිසා. ඒ වගේම එහි නව ප්‍රවණතා හඳුනා ගෙන සංචාරක ක්ෂේත්‍රය පුළුල් කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය ව්‍යුහයන් සකස් වී ඇති නිසා එය නිවැරදිව කළමනාකරණය කිරීම අවශ්‍ය වෙනවා. ඒවගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයටත් ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ආකාරයට දැනටමත් ලොකු ප්‍රාග්ධනයක් යෙදවීමට අවශ්‍ය නොවන බොහෝ අංශ අඳුනාගෙන ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් තිබෙනවා. ඒ වගේම ඛනිජ, ධීවර, මැණික් මේ ආදී විශාල සම්පත් ප්‍රමාණයක් අප සතුව පවතිනවා. නව ලෝක වෙළෙඳපොළ තත්ත්වයන් හඳුනාගෙන ඊට සරිලන ආකාරයට මේ නිෂ්පාදන අපනයන කිරීම කෙරෙහි අප අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම ඒ මත අගයන් එකතු කර වැඩි වටිනාකමක් ලබා ගැනීම සඳහා කටයුතු සකස් කරමින් යනවා. මේ ආකාරයට ජාත්‍යන්තර වෙළෙඳපොළ හඳුනාගෙන ඊට අපට ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරනවා. ඒවගේම නව නිපැයුම් හා අපේ සාම්ප්‍රදායික කර්මාන්ත නූතන ලෝකයට ගැළපෙන ලෙස වැඩිදියුණු කර ඒවායේ නිර්මාණාත්මක ගුණය වැඩිදියුණු කර ජාත්‍යන්තර වෙළෙඳපොළට ඒවා හඳුනාවාදීමටත් මේ වෙද්දි සැලසුම් සකස් කරමින් යනවා. මේ සඳහා දෙස් විදෙස් ලාංකේය ප්‍රජාව දයකත්වය ලබාදෙමින් තිබෙනවා.
එක්තර විදියකින් මේ දේශපාලන ජයග්‍රහණයත් පුනරුදයක්. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
වසර 76ක් තිස්සේ මේ රට ප්‍රභූ ෙපළැන්තියේ කණ්ඩායම් දෙකක් අතර දෝලනය වුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි සාමාන්‍ය මිනිසුන් අතට බලය මාරු වුණේ. මේ නිසා අතිශය දූෂිත දේශපාලන ගමනක් අවසන් වුණා. අද අපි මේ ණය බරින් මිරිකුණු අන්ත අසරණ තත්ත්වයට ඇද දැම්මේ මේ අන්ත දූෂිත දේශපාලනය විසින්. ඒ වගේම මෙච්චරකල් බොහෝ දෙනා කළේ විවිධ ප්‍රතිපත්ති සකස් කිරීම පමණයි. ඒවා හොඳ දේවල්. නමුත් ඒ එකක්වත් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා තිබුණේ නැහැ. නමුත් අප මින් තවත් ඉදිරියට යමින් මේ ගමන ආරම්භයේ පටන් ජනතාව සමඟ සංවාදයක් ගොඩනඟමින් ඒවා ප්‍රායෝගික තලයකට ගෙන්න කටයුතු කරමින් තිබෙනවා. ඒ දේවල් ක්‍රියාත්මක වෙද්දී ඒවා ඉදිරියේදී පරික්ෂාවට ලක්වේවි. ඒ නිසා මේ ගමන දේශපාලනික පුනරුදයක් ලෙස නම් කිරීම ඉතාම නිවැරදියි.
ඡායාරූප – හිරන්ත ගුණතිලක
රසික කොටුදුරගේ