21 වැනි ශතවර්ෂයේ ළමා පරපුරේ අනාගතය පිළිබඳ විශිෂ්ට සංවාදයක් ගොනු කරන්නා වූ වැඩිහිටි පරපුර වන අප වත්මන් භූ දේශපාලනික ආතතිය තුළ දශක ගණනාවක යුද්ධයට මැදි වූ ගාසා තීරයේ දරුවන්ගේ ඉරණම පිළිබඳ තතු විමසීමට උචිතම කාලය එළඹ ඇතැයි නොසිතන්නේ මන්ද? අනාරක්ෂිත පරිසරයක සිට ජීවිතය ආරක්ෂා කරගැනීමට තවත් එවැනිම අනාරක්ෂිත පරිසරයකට යෑමට තරම් ගාසාහි යුද්ධයට මැදි වූ දරුවන් අසරණ වීම ඉතා කඩිනමින් අවධානය යොමු කළ යුතු සිද්ධියකි.
එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාවලට අනුව පසුගිය වසරේ ඔක්තෝබර් පටන් උච්චස්ථානයට පැමිණි ඊශ්‍රායල – හමාස් ගැටුම් හමුවේ ගාසා තීරයේ දරුවන් 16750ක් පමණ මිය ගොස් ඇති අතර නවතම වාර්තාවලට අනුව සෑම මිනිත්තු 15කට වරක්ම ගාසා හි පලස්තීන දරුවකු මරණයට පත්වේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරස් ප්‍රකාශ කොට ඇත්තේ, ඊශ්‍රායල – පලස්තීන ගැටුම හමුවේ, දරුවන් උදෙසා වන ප්‍රණ්ඩත්වය සියයට 155කින් පමණ වර්ධනය වී ඇති බවය. යුද්ධයේදී භාවිත කරනු ලබන පුපුරණ ද්‍රව්‍ය හේතුවෙන් ආබාධිත භාවයට පත්වන, මානසික ආතතියට පත්වන දරුවන් විශාල ප්‍රමාණයකි. මෙම තත්ත්වය ඇන්ටෝනියෝ ගුටාරස් විස්තර කොට තිබුණේ එය Grave Escalation වශයෙනි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල දශක 3ක සිට ගාසා තීරයට මානුෂීය ආධාර සපයනු ලබන අතර, පසුගිය වසරේ සිට ගාසාහි ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ළමා පලස්තීන දරුවන්ගේ මූලික අයිතිවාසිකම් මෙන්ම මූලික මානව අවශ්‍යතා ද මුළුමනින්ම ගිලිහී ඇති බව ඔප්පු වී හමාරය. ඊශ්‍රායල – ගාසා යුද්ධය හමුවේ ඊශ්‍රායල හමුදා අත්පත් කර ගත් බටහිර ඉවුර (West bank) හා ගාසා තීරයේ දරුවන්ට ආහාර, ජලය, නිවාස ආදී මූලික අවශ්‍යතා මුළුමනින්ම වියැකී ගොස් ඇත.
ගාසා හි දරුවන් අතර කුසගින්න, මන්දපෝෂණය පැතිර යද්දී ලෝක මානුෂීය ආධාර සංවිධාන, එක්සත් ජාතීන්ගේ කමිටු මේ වන විටත් ගාසා හි විශාල කාර්යභාරයක නිරත වී ඇත. ගැටුම්වලට මැදි වූ පාර්ශ්වයන් අනෝන්‍ය ප්‍රහාරාත්මක හරඹය ලෝකයට ප්‍රදර්ශනය කරද්දී යුද්ධයට මැදි වූ සිවිල් වැසියන් අතර වඩාත්ම පීඩාවට පත් සමාජ ස්ථරය වන්නේ අන් කවරකු නොව කාන්තාවන් හා ළමුන්ය.
ගාසා දරුවන්ගේ මානව අයිතිවාසිකම්
මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව ළමා විය යනු විශේෂ රැකවරණය හා සහාය අත්‍යවශයෙන්ම ලැබිය යුතු අවධියකි. එහෙත් වත්මන් යුධ වපසරිය තුළ ගාසා හි නොනවතින යුධ ප්‍රචණ්ඩත්වයට පත් වූ ළමුන්ට මෙම සුරක්ෂිතභාවය කෙතරම් දුරකට වලංගු ද යන්න ඉතා බැරෑරුම් ගැටලුවකි. 2024 වසරේ පාසල්වලට ඇතුළත් වීමට සිටි දරුවන් 6500කට එම අයිතිය අහෝසි වී ඇත. ඊශ්‍රායල ප්‍රහාර පාසල් අධ්‍යාපන ආයතන වෙත එල්ල වීම හා ඒ හා සම්බන්ධ සෙසු සිද්ධීන් හේතුවෙන් පලස්තීන දරුවන්ට අධ්‍යාපනයට ඇති අයිතිය උදෙසා සුවිශේෂි වූ නිශේධනීය බලපෑමක් එල්ල කොට ඇති බව විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයෝ පවසති. එමෙන්ම ගාසා තීරයේ දරුවන්ට අධ්‍යාපනයට ඇති ඉඩකඩ හා අයිතිය උල්ලංඝනය වීම තුළ පලස්තීන දරුවන් අතර දිගුකාලීන යුද්ධයේ අමිහිරි අත්දැකීම්, අස්ථාවරත්වය ප්‍රබලව පැන නැඟීම හමුවේ ඔවුන් මානසික ආතතියන්ට ඉතා පහසුවෙන්ම ගොදුරු වන බව ළමා අයිතිවාසිකම් පිළිබඳ විද්වතුන් දිගින් දිගටම ප්‍රකාශ කොට ඇත.
අවතැන් වීම්, අසරණ වීම් බලාපොරොත්තු සුන්වීම් ඉතා ප්‍රබල වූ විට ළමා වියේ සුන්දරත්වය විඳගන්නේ කෙසේද? එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේ සභාපති Bragi Gudbrandsson ප්‍රකාශ කොට තිබුණේ, ගාසා හි තරම් ළමුන් උදෙසා වන මහා ප්‍රචණ්ඩත්වයක් වෙන කිසිදු ස්ථානයක නොදුටු බවය. කුඩා දරුවන් කුසගින්නෙන් පෙළීම, බෙහෙත් නොමැතිව මරණයට පත්වීම හමුවේ අත්විඳින මෙම මහා ඛේදවාචකය විස්තර වී තිබූයේ, සියලුම ගාසා දරුවන් යුද්ධයේ කම්පනය අත්විඳින බවත් එයට නිරාවරණය බව බවත්ය. ගාසා හි වැසියන් සෑම 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුම අභ්‍යන්තරිකව අවතැන් වී ඇති අතර, එයින් භාගයක්ම දරුවන් වීම මහා අභාග්‍යයකි.
මේ මස 10 වෙනිදා නිකුත් වූ නිවේදනයට අනුව උතුරු ගාසා හා ගාසා වැසියන් දහස්ගණනින් වාසස්ථාන නොමැතිව වීථි පුරා සැරිසරමින් පෙන්වා දෙන යථාර්ථය වන්නේ යුද්ධය තමන්ට සියල්ල අහිමි කළ බවය. කුඩා දරුවන්, නොමේරු ළදරුවන් ස්වකීය ජීවිත රැකගැනීමේ මහා සටනක නිරතව ඇත. ගාසාහි සෞඛ්‍ය පහසුකම් කෙතරම් අඩාළ කර ඇත්ද යත් ළමා ප්‍රතිකාර ඇතුළත් එකම රෝහල වන Kamal Adwan රෝහල ද යුද්ධයේ ග්‍රහණයට හසු වී ඇත. උතුරු ගාසා හි හමුදා මෙහෙයුම් උච්චවීමත් සමඟ ළමුන් අත්අඩංගුවට ගැනීම, ඝාතනය කිරීම හා මවුපියන්ගෙන් වෙන් කිරීම ඇරඹී ඇති බව වාර්තා වේ. ගාසා හි දරුවන් උදෙසා තවත් කුමන ආකාරයේ අයිතීන් සුරක්ෂිත වීමට තිබේද යන්න විශාල ගැටලුවකි. උතුරු ගාසාව ආහාර නොමැතිකම, ඉන්ධන හිඟය, කඩ සාප්පු, වෙළෙඳ භාණ්ඩ හිඟකමින් විශාල අර්බුදයකට මැදිව ඇත.
UNICEF හා සෙසු මානුෂීය ආයතනයන් මෙම තත්වයෙන් ගාසා වැසියන් හා දරුවන් මුදා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතද එම සංවිධාන පවසන්නේ, අවසානයක් නොමැති අභියෝගයන්, මරණයේ සෙවණැලි, අවතැන්වීම් හා බලාපොරොත්තු සුන්වීම් සමඟ තමන් ද සටන් කරන බවයි. ගාසාහි තත්ත්වය කොතරම් බරපතළ ද යන්න ඔප්පු වීමට තව කුමන සාක්ෂි අවශ්‍ය වේද? අලුත උපත් දරුවන් එන්නත් නොමැතිකමින් මිය යයි.
ගාසාහි ළමුන්ගේ සුරක්ෂිත භාවය උදෙසා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම
ජාත්‍යන්තර ප්‍රජාව කිහිප වරක්ම සටන් විරාම ගිවිසුම් ඔස්සේ ගාසා ගැටුමට මැදිහත් වුවද ඒවා සාර්ථක නොවීම තුළ දහස් ගණනින් ජීවිත අහිමිවීම පමණක් ශේෂ විය. යුද්ධයක දී දරුවන් මරණයට පත්වීම, අවතැන් වීම, මවුපියන් අහිමි වීම කිසිසේත් සිදු විය යුතු ඒවා නොවේ. සෑම දරුවෙකුට ම සෑම අවධියකම (වයස් භේදයකින් තොරව) ජීවත් වීමට, ඉගෙනීමට හා බය හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව, අපචාරය හා නොසැලකීමෙන් තොරව, වෙනස්කමකින් තොරව සිටීමට මූලික අයිතිවාසිකමක් ඇත.
මේ ආකාර ළමා අයිතීන් ගොන්නෙන් එකදු අයිතිවාසිකමක් හෝ ගාසාහි දරුවන්ට ශේෂ වී ඇතිද? පසුගිය වසරේ ඔක්තෝබර් සිට 2024 අගෝස්තු කාලය අතර මියගිය ගාසා දරුවන්ගේ 30%ක් අවුරුදු 5ට අඩු දරුවන් වන අතර, මාස 12ට අඩු දරුවන් 710ක් පමණ ද ඝාතනයට ලක් වී ඇත. මෙලොව එළිය දකින කිරි දරුවන් පවා බිහිසුණු යුද්ධයේ අඳුරු සෙවණැලිවල ගොදුරු බවට පත්විය යුතුද? මෙම මස ලැබූ නවතම වාර්තාවන්ට අනුව ඊශ්‍රායලය විසින් අත්පත් කොට ගත් ගාසා තීරයේ ප්‍රදේශයන් වාර්තාගත වී ඇත්තේ ලෝකයේ දරුවන් උදෙසා වූ මාරාන්තිකම ස්ථානය (Deadlist Place) ලෙසයි.
මේ වන විට ගාසා තීරයෙන් ලැබෙන නවතම පුවත්වලට අනුව, ගාසා වැසියන් පෙර නොවූ විරූ ආකාරයේ දැඩි මානුෂීය ආධාර අර්බුදයකට මුහුණ පා ඇත. ලෝක මානුෂීය ආධාර සංවිධාන නොකඩවා පෙළ ගැසෙන අතර ගාසා හි කුඩා දරුවන් ආහාර සොයමින් සැරිසරන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේ ඔබ දැනටමත් ග්‍රහණය කොට ගෙන ඇත. යුද්ධය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි ප්‍රපංචයක් වන්නේ මේ නිසාවෙනි.
එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීමකට අනුව ගාසා තීරයේ මේ වන විට සාගත තත්ත්වයක් පැතිර යමින් පවතී. උතුරු ගාසාව කුසගින්න, මන්දපෝෂණය, වසංගත රෝගවලින් ග්‍රහන සංහතියේ ඛේදජනකම ස්ථානය වී හමාරය. 21 වන ශතවර්ෂයේ දරුණුතම සාගත තත්ත්වය ලෙස උතුරු ගාසාහි වර්තමාන ස්වභාවය ලෝක සෞඛ්‍ය විශේෂඥන් විසින් පෙන්වා දී ඇත. ගෝලීය ප්‍රජාව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් ගාසාව අරඹයා ගැනීමට තවත් පමා වන්නේ නම් පලස්තීන දරුවන්ගේ වටිනා ජීවිතවලට වන්දි ගෙවීම කවුරුන් මත පැටවේද?
ගාසා තීරයේ මේ වන විට පවතින ආහාර හිඟතාව කෙතරම් බරපතළ ද යත් මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට ආහාර රැගත් එකදු ට්‍රක් රථයක් හෝ ගාසා තීරයට ඇතුළු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. පසුගිය සැප්තැම්බර් වන විට එතෙක් පැවති ආහාර තොග අවසන් වී තිබීම හේතුවෙන් කුඩා දරුවන් ද ඇතුළුව ගාසා වැසියන් අධික කුසගින්නෙන් පෙළෙන බව නවතම ආරංචි මාර්ග හෙළි කොට ඇත. පාන් ප්‍රධාන ආහාරය කොටගත් පලස්තීනුවන් එම ආහාර හිඟගෙන් යුද්ධයේ ආරම්භයේ පටන්ම පීඩාවිදී. මෙය ඉතාම බරපතළ තත්ත්වයක් වන අතර, ලෝක නායකයන් ගාසා තීරයේ පවතින දැඩි ආහාර හිඟය ඇතුළු මානුෂීය ආධාර ගැටලුවලට වහ වහා පියවර ගත යුතුය.
එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගතයන් සඳහා වූ ඒජන්සිය (UNRWA) ප්‍රකාශ කොට ඇත්තේ, සරණාගත කඳවුරු ඇතුළත හා පිටත කුසගින්නෙන් පෙළෙන ජනතාව ආහාර සලාක පත්‍රිකා ලබාගැනීමට උත්සහ කරන බවයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරස්ගේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ උතුරු ගාසාවේ Jabila සරණාගත කඳවුර අසල ආහාර බෙදාදීමේ මධ්‍යස්ථානයක වැසියන් 10 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බව මෙම මස 10 වැනිදා වාර්තා වී ඇති බවය. ඊශ්‍රායල හමුදා කුසගින්නෙන් පෙලෙන ජනයා අරඹයා කුමන ආකාරයේ බලය පෙන්වීමක් සිදු කරන්නේ ද?
ඊශ්‍රායලය මේ වන විට ඉතා විශ්වාසනීය ලෙස තහවුරු කොට ඇත්තේ, හමාස් ජ්‍යෙෂ්ඨ නායක යහියා සින්වර් ඔක්තෝබර් 17 වැනිදා ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාරයකින් Rafa නගරයේදී මිය ගොස් ඇති බවය. නායක සින්වර් ඊශ්‍රායලයට අත්‍යාවශ්‍ය ලැයිස්තුවේ ඉහළින්ම සිටි අයෙකු බවත් 2023 ඔක්තෝබර් 07 ප්‍රහාරය පිටුපස ප්‍රධාන සැලසුම්කරු යහියා සින්වර් බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.
මෙම ඔක්තෝබර් 7 වැනිදාට ගාසා තීරයේ ඊශ්‍රායල්-හමාස් ගැටුමට වසරක් පිරෙන අවස්ථාව වන විට, UNICEFහි ප්‍රධානී අනතුරු අඟවා ඇත්තේ, ගාසාහි දරුවන්ට පශ්චාත් පාරම්පරීය අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇති බවය. විදෙස් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරනු ලබන්නේ මේ වන විට උතුරු ගාසාව සමූහ ඝාතක කලාපයක් (Genocide) වී හමාර බවය. කුඩා දරුවන් ද ඇතුළුව අවතැන් වී සිටින ගාසා වැසියන් අරඹයා අනාථ කඳවුරුවලට ඊශ්‍රායල හමුදා එල්ල කරනු ලබන ප්‍රහාර මහා පරිමාණ මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීමක් බවය.
පී. ආර්. දුෂාන්ති සිල්වා