ආර්ථිකයට, පරිසරයට හා සමාජ ජීවිතයට අහිතකර බලපෑම් එල්ල කරන, රටකින් පිටත වෙනත් පරිසරයකට හඳුන්වා දී ඇති හෝ පැතිරී ඇති ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවීන් ආගන්තුක ආක්‍රමණශීලී ජීවීන් ලෙස හඳුන්වයි. මෙම ආක්‍රමණශීලි ජිවීන් අභ්‍යන්තර ජලාශ, දිය පහර, ඇළ වේලිවලද සමහර විට කරදිය මෙන්ම මිරිදිය ප්‍රදේශවලද පැතිරි යා හැකිය. මෙවැනි ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා සිදුවන පරිසර හානිය ඉහළ මට්ටමක පවතින අතර, ඇතැම් ආගන්තුක ආක්‍රමණශීලී ජීවීන් මිනිසාගේ ජීවිතයට ද දැඩි තර්ජනයකි.
ආක්‍රමණශීලී මත්ස්‍යයන් ගැන ඇත්ත කතාව
ශ්‍රී ලංකාවේ සත්ත්ව විශේෂ 8 ක් ආගන්තුක ආක්‍රමණශීලී ජීවීන් ලෙස දැනට හඳුනාගෙන ඇත. ඒ අතර ආගන්තුක ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ ද වන අතර, සුරතල් මසුන් ලෙස ඇති කරන්නට යැයි පවසමින් මෙරටට රැගෙන ආ මත්ස්‍ය විශේෂ ස්වාභාවික පරිසරයට මුදා හැරීම අමනෝඥ ක්‍රියාවකි. එවැනි ක්‍රියා තුළින් ශ්‍රී ලංකාවේ ජ්‍යෛව පද්ධතිය හානි වීම, මානව සෞඛ්‍ය පරිහානිය මෙන්ම මිනිසාගේ ජීවනෝපායන්ට සහ ආර්ථිකයට ද බලපෑම් එල්ල වේ.
නීති උල්ලංඝනය කරමින් පළමුවෙන්ම මෙරටට ගෙනැවිත් ඇත්තේ “පැසිෆික් සුදු ඉස්සා” (Litopenaeu svannamei) නම් ඉස්සන් වර්ගයයි. උන් මෙරටට ගෙනැවිත් ඇත්තේ 2018 වසරේදීය. පැසිෆික් සුදු ඉස්සන් (Litopenaeusvannamei) ජෝඩු 500ක් ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති බව වාර්තා වෙයි. නීත්‍යනුකූල නොවන මාර්ගවලින් මෙරටට ගෙනැවිත් ඇති ඒ මත්ස්‍ය විශේෂ පිළිබඳ මේ වන විට පරිසරවේදීහු, සතුන් පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාර්ථීන් සහ සංරක්ෂණවේදීහු දත්ත රැස් කිරීමෙහි නිරතව සිටිති.
දේදුණු ට‍්‍රවුට් Rainbow trout (Oncorhynchus Mykiss)
දේදුනු ට‍්‍රවුට් මත්ස්‍යයාගේ දිගු, තරමක් සංකුචිත සිරුර සහ දත් සහිත හනුව නිසා අනෙකුත් මත්ස්‍යයන්ගෙන් වෙන් කොට හඳුනාගත හැකිය. ඔහුගේ පෘෂ්ඨීය වර්ණය අළු පැහැ වන අතර දෙපස රිදී පැහැතිය. ළා රෝස පැහැති ඉරි ශරීරයේ දෙපස පිහිටා ඇත. හිස සහ වරල ඇතුළු සම්පූර්ණ ශරීරයම තිත් සහිතය. සෙ. මී. 45-60 දක්වා වන නමුත් උපරිම වශයෙන් සෙ.මී. 120 දක්වා වැඩීමේ හැකියාව ඇත.
1889 දී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ඇළ දොළවලට දේදුනු ට්‍රවුට් හඳුන්වා දී ඇත්තේ විනෝදයට මසුන් බිලීබෑමේ ක්‍රීඩාව සඳහාය. යටත්විජිත පාලකයන් පිටව යාමෙන් පසු විනෝදයට මසුන් මැරීමේ ක්‍රීඩාව අභාවයට ගිය අතර නුවරඑළියේ පිහිටි මසුන් බෝකරන මධ්‍යස්ථානයකින් ඔවුන් මුදාහැර ඇත. උදාහරණ ලෙස හෝටන් තැන්න සහ පට්ටිපොල පිහිටි බෙලිහුල් ඔය ආදී ස්ථානවල මේ මත්ස්‍යයා දැකිය හැකිය.
පුල්ලි මගුරා / රට මගුරා, Marble catfish (Clarias Batrachus)
සාමාන්‍යයෙන් සෙ.මී. 26 පමණ දිග වන නමුත් සෙ.මී. 47 ක් දක්වා දිගට වැඩීමේ හැකියාව ඇති රට මගුරා ඒකදේශික මගුරු මත්ස්‍ය විශේෂයට සමානය. මෙරට බස්නාහිර සහ වයඹ පළාත්වල ඇළ දොළවල ස්ථායී වී ඇත. ලංකාවේ හෝ වෙනත් ප්‍රදේශයක දේශීය විශේෂයන් කෙරෙහි ඇතිවන බලපෑම් වාර්තා වී නැතද පාරිසරික සමානකම් නිසා රට මගුරා ට දේශීය මගුරු වර්ග සමඟ තරගකාරීත්වයක් ඇතිවිය හැකිය.
ටැංකි සුද්දා – Tank Cleaner (Pterygoplichthys)
සුරතල් මසුන් බෝකරන ස්ථානවලින් හෝ මින් මැදුරුවලින් මෙම මත්ස්‍යයා අහම්බෙන් මුදාහැර ඇත. පැළෑටි සහිත මඩ පිරුණු පතුල සහිත ස්ථානවල ජීවත්වේ. ශ්‍රී ලංකාවේ වයඹ සහ බටහිර පළාත්වල මිරිදිය ජලාශ සහ ගංමෝයවල දක්නට ලැබේ. බෙල්ලන්විල – අත්තිඩිය, නැදිමාල, බොල්ගොඩ, පොල්ගොල්ල අවට මහනුවර ප්‍රදේශය, මාවිල් ආරු, රඹකැන්ඔය, මහඔය සහ මින්නේරිය වැව යන ස්ථානවලින් මෙම මත්ස්‍යයින් වාර්තා වී ඇත. කුඩා මත්ස්‍යයන්ගේ බිත්තර ආහාරයට ගන්නා මෙම මත්ස්‍යයා දේශීය මත්ස්‍යයන්ගේ වාසස්ථාන ද ආක්‍රමණය කරයි.
මන්නයා – Clown knife fish / Knife fish (Chitala ornata)
මින්මැදුරුවල සිට අහම්බෙන් ස්වාභාවික වාසස්ථාවලට හඳුන්වා දී ඇති මේ මත්ස්‍යයා 1992 ජූනි මාසයේ දී ඇතිවූ දරුණු ගංවතුරෙන් පසු කොළඹ අවට ජලාශවලින් වාර්තා විය. මොවුන්ගේ නිජබිම් කලාපය වන්නේ නිවර්තන ආසියාවේ ඉන්දු චීනයයි. ශ්‍රී ලංකාවේ විශේෂයෙන් ශ්‍රී ජයවර්ධන පුර දියවන්නා ඔය, බණ්ඩාරගම බොල්ගොඩ ජලාශය, සහ දොඩංගොඩ මතුගම ප්‍රදේශයේ විශාල ගංගා, ජලාශ සහ වගුරු බිම් මෙම මත්ස්‍යයාගේ වාසභූමි වී ඇත. මන්නයා දේශීය විශේෂයන්ගේ ගහණය අඩු කිරීම කෙරෙහි සම්බන්ධ බව අධ්‍යයනයන් මඟින් පෙන්වා දී ඇත.
මාබල් කැට්ෆිෂ් – Marbled catfish – Leiariusmarmoratus
බොහෝ දෙනෙක් “මාබල් කැට්ෆිෂ්” යන නමින් හඳුන්වන නමුත් මෙම මසුන්ගේ නිවැරදි නම “මාබල් වෝකිං කැට්ෆිෂ්” ය. මේ මසුන්ගේ විශේෂත්වය ඔවුන්ට ගොඩබිම මත ඇවිදීමට හැකියාවක් තිබීමය. Clariasbatrachusයන විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම මසුන් ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, නේපාලය, මැලේසියාව, තායිලන්තය හා ඉන්දුනීසියාව ඇතුළු ආසියාතික රටවල් නිජබිම කරගෙන ව්‍යාප්තවී ඇත. ලංකාවේ මිරිදිය ජලාශවල දක්නට ලැබෙන ‘මගුරා’ ගේ පෙනුමට මොවුන් බෙහෙවින් සමානය.
ඇලිගේටර් ගාර් – Alligator Gar (Atractosteus spatula)
ඉතා පැරණි මත්ස්‍ය පවුලක් වන ගාර් පවුලේ ප්‍රමාණයෙන් විශාලතම සාමාජිකයා ඇලිගේටර් ගාර් වේ. Lepisosteidaeකුලයට අයත් වේ. මොවුන් ජලජ පරිසර පද්ධති තුළ ඉහළ මට්ටමේ විලෝපිකයන් ලෙස පරිසර සමතුලිතතාවට දායක වන අතර මොවුන්ගේ පැටවුන් හා බිත්තර වෙනත් මසුන්ගේ ගොදුරු බවට පත්වේ.
සීමාව ඉක්මවා මසුන් ඇල්ලීම මොවුන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇත. වර්තමානයේ වන විට ලාංකික මසුන් ඇතිකරන්නන් අතර ද ප්‍රචලිත ඇලිගේටර් ගාර් මුලින්ම ශ්‍රී ලංකාවට 2000 වසරේ දී ආනයනය කර ඇති අතර ඔවුන් ස්වාභාවික පරිසරයෙන් අල්ලා ගත් මසුන්ය. නමුත් මේ වන විට ගෙන්වනු ලබන්නේ ඉන්දුනීසියාවේ අභිජනනය කළ පැටවුන්ය.
මොසැම්බික් – රතු තිලාපියා
Mozambique Tilapia (Oreochromism ossambicus)
ශ්‍රී ලංකාවේ ජලජීවී වගාවට හඳුන්වා දුන් මුල්ම මත්ස්‍යයාය. අප්‍රිකාව නිජ බිම වන මොවුන්ට කිවුල්දිය වතුරේ හා මිරිදිය ජලයේ අපහසුවකින් තොරව ජීවත් විය හැකිය. මොසම්බික් මත්ස්‍යයන් වර්ග දෙකක් වන අතර, මොවුන් අවුරුදු එකොළහක් පමණ ජීවත් වේ. ශක්තිමත් සෞඛ්‍ය මට්ටමක් ඇති මෙම මත්ස්‍යයන්ට හොඳින් ආහාර ලබා දෙන විට ශීඝ්‍රයෙන් වර්ධනය වේ. මෙම මසුන් තමන්ගේ වාස භූමි වෙන්කර ගන්නා අතර, ඔවුන්ගේ දේශසීමාවට වෙනත් මත්ස්‍යයකු පැමිණියහොත් දරුණු ලෙස පහර දීමට පෙලඹේ. ඔවුන් හොඳ මදුරු කීට භක්ෂක මත්ස්‍ය විශේෂයකි.
ටින්ෆොයිල් බාබ් මසුන් (Barbusschwanefeldi)
අග්නිදිග ආසියාව නිජබිම කරගත් මෙම මත්ස්‍යයාට ශක්තිමත් මෙන්ම කලහකාරී නොවන මත්ස්‍යෙයකි. කුඩා මසුන් ආහාරයට ගන්නා නිසා මසුන් තෝරා ගැනීමේ දී ඒ ගැන සැලකිලිමත් විය යුතුය. උපරිම වශයනේ අඟල් 14ක් පමණ විශාල වන නිසා අවම වශයෙන් ජලය ගැලුම් 70කවත් ධාරිතාවක් ඇති ටැංකියක් අවශ්‍ය වේ. සර්ව භක්ෂක බැවින් ටැංකියේ ඇති ජලජ ශාක කා දැමීමටත් ඉඩ ඇත. බිත්තර මඟින් වර්ගයා බෝ කරන මොවුන්ට වසර 8ක පමණ උපරිම ආයු කාලයක් හිමිය.
ආක්‍රමණශීලී, ආගන්තුක ජීවීන් මෙරටට රැගෙන ඒම පිළිබඳව පරිසරවේ දී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පැවැසුවේ මෙවැනි අදහසකි.
“ආක්‍රමණශීලී ආගන්තුක ජීවීන් මෙරටට රැගෙන ආවට පසු අවදානම වළක්වා ගැනීමට කටයුතු කරනවාට වඩා එවැනි ජීවීන් මෙරටට ගෙන ඒමට පෙර අවදානම් තක්සේරුවක් සිදු කර අඩු අවදානමක් තිබෙන ජිවීන් පමණක් ගෙන ඒමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ වගේම 2016 දී සකස් කළ ආක්‍රමණශීලි ආගන්තුක ජීවීන් පිළිබඳ ප්‍රමුඛතා ලැයිස්තුව කඩිනමින් යාවත්කාලීන විය යුතුයි.
අපි එතරම් තැකීමක් නොකරන විසිතුරු මත්ස්‍යයන් දරුණු ආක්‍රමණිකයන් විය හැකියි. එම ජීවින් ජලජ පරිසයේ ජීවත්වන මත්ස්‍ය පැටව්, බිත්තර සහ අාවේණික උභය ජීවීන්ගේ බිත්තරත් විනාශ කරන්න පුළුවන්. එම නිසා එම මත්ස්‍යයන් ඇති කරන අයට දැඩි නිර්ණායක ලබා දිය යුතුයි. එම මත්ස්‍යයන් ස්වාභාවික පරිසරයට මුදා හැරීම තහනම් කළ යුතුයි. ආක්‍රමණකාරී මාළුන්ගෙන් තියෙන ප්‍රධානම තර්ජනය තමයි ස්වාභාවික මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීමයි. එයින් මිරිදිය පරිසර පද්ධතියේ සමතුලිතතාවට බාධා ඇති වෙනවා. ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වඳ වෙලා යන්නත් මේ ආක්‍රමණකාරී මසුන් හේතුවක් වෙනවා. ආක්‍රමණික මත්ස්‍ය විශේෂ ලංකාවට ගෙන එන්නේ සුරතල් මසුන් ආනයනය කරන්නන්. සමහර වෙලාවට අලුත් සුරතල් මාළු ප්‍රභේද කියලා හඳුන්වා දෙන්නේ මේ වගේ ආක්‍රමණික මත්ස්‍යයන්. මත්ස්‍යයන් ඇති කරන අය මේ මත්ස්‍යයන් මිල දී අරගෙන ටික කාලයක් ඇති කරනවා. ඊට පස්සේ එයාලගේ මාළු ටැංකියට ඒ මාළුන්ගෙන් තර්ජනයක් ඇති වුණාම ඇළදොළ ගංගාවලට මුදා හරිනවා. එවැනි මත්ස්‍යයන් මෙරටට ගෙන ඒමට පෙර හඳුනා ගැනීම වැදගත් වන්නේ මෙරටට රැගෙන ආවට පසු පාලනය කිරීම දුෂ්කර කාර්යයක් වන නිසයි. ඒ වගේම සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත, රේගු ආඥා පනත, ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණ පනත සහ ශාක ආරක්ෂණ පනත යන පනත් පහ යටතේ මේ පිළිබඳ නීතිමය ප්‍රතිපාදන සලසා තිබෙනවා. නීතිමය තත්ත්වය එසේ වුවද ජෛව විවිධත්වයට හානි කරන ආක්‍රමණශීලි ජිවීන් මැඬලීම සම්බන්ධයෙන් මහජනතාවට ද විශාල වගකීමක් තිබෙනවා.”
රට හමුවේ ඇති අභියෝග
මේ සම්බන්ධයෙන් පරිසරවේ දී ගීත් ගුණසේකර මෙසේ පැවැසීය.
“මේ ආගන්තුක ආක්‍රමණශීලි මසුන් ලංකාව තුළ වැඩි වශයෙන් වර්ධනය වුණේ විසිතුරු මත්ස්‍යයන් ඇති කරන පුද්ගලයන්ගේ ක්‍රියා කලාප නිසයි. ඔවුන් මත්ස්‍යයන් ඇති කරන්නේ වගකීම් විරහිතව. ඔවුන්ට ඇතැම් මත්ස්‍යයන් පිළිබඳව නිසි අවබෝධයක් නෑ. ලංකාවේ සිටින ආගන්තුක ආක්‍රමණශීලි ජීවින් පිළිබඳව වැඩි වශයෙන් අධ්‍යයන කටයුතු සිදු කරන්නේ විද්‍යාර්ථින්, පරිසරවේදීන් මිසක රාජ්‍ය ආයතන නෙවෙයි. ඒ වගේම ආගන්තුක සත්ත්ව විශේෂයක් පිළිබඳව තොරතුරු වාර්තා වුවහොත් ඒ පිළිබඳව සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගැනීමක් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ වගේම ලංකාවේ ජලාශවල විදේශීය ආගන්තුක ආක්‍රමණශීලී මසුන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම නුවර වැවෙත් එවන් මසුන් හමුවී තිබෙනවා. මේ මසුන් එම ජලාශවල බෝවනවාද, එසේත් නොමැති නම් පිටතින් ගෙනැවිත් දැමූ මසුන්ද යන්න තවම වාර්තා වෙලා නෑ. විලෝපික මත්ස්‍යයන් රටේ තැනින් තැන හමුවීම නිහඬව බලා සිටිය යුතු කාරණයක් නෙවෙයි. ආගන්තුක ආක්‍රමණශීලී මසුන් ලංකාවට ගෙන ඒම තුළ ලංකාවේ දේශීය මසුන්ට දැඩි තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා. ස්වේච්ඡා අධ්‍යයන කණ්ඩායම් මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා ගත්තාට අදාළ බලධාරීන් ඒ පිළිබඳ අවධානයක් දක්වන්නේ නෑ. අපි හැකි තරම් ආගන්තුක ආක්‍රමණශීලී මසුන් ගැන ජනතාව දැනුවත් කිරිම් සිදු කරනවා. නමුත් ඒවාට නිසි ඇගයීමක්වත් ලැබෙන්නේ නෑ. මේ කාරණය සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකිරිමෙන් දැවැන්ත පරිසර ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. දැනටමත් මේ මසුන් ඇතැම් පරිසර කලාපවලට ආගන්තුක ආක්‍රමණශීලී සතුන් බවට පත්වෙලා තිබෙන්නේ. වතුරකට එක් වූ සතකු වඳ කිරීම යනු අතිශය දුෂ්කර කාර්යයක්.
ඒ වගේම වෙනත් රටවල මෙම ආගන්තුක ආක්‍රමණශිලී මත්ස්‍යයන් මර්දනය කිරීම සඳහා එම මත්ස්‍යයන් සමූල ඝාතනය කරනවා. නමුත් මෙම ආගන්තුක ආක්‍රමණශීලි මත්ස්‍යයන් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි රටක් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම එතරම් සුදුසු ක්‍රියාවක් නොවෙයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ තිබෙන සාමාජීය හා ආගමික පසුබිම නිසා එවැනි කාර්යයක් සිදු කිරීමට ද නොහැකිය. ඒ වගේම තවත් රටවල මෙම ආගන්තුක ආක්‍රමණශීලි මත්ස්‍යයන් සහ වෙනත් ජීවීන්ගෙන් ප්‍රයෝජන රැසක් ලබාගන්නවා. උදාහරණයක් ලෙස විදෙස් රටවල ආක්‍රමණශීලි මත්ස්‍යයන් කුකුල් ආහාර සෑදිමට යොදාගන්නවා. sakarmaut catfish කියන ආගන්තුක ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂය ඒ සඳහා යොදා ගන්නවා. ශ්‍රී ලංකාව වැනි රටක එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූවා නම් මත්ස්‍යයන් අල්ලන පිරිසට ඒ ආගන්තුක ආක්‍රමණශීලි මත්ස්‍යයන් අල්ළලා අමතර ආදායමක් උපයාගන්න හැකියාව තිබෙනවා. මේ වගේ ව්‍යාපෘති සිදු කරන්න අනිවාර්යෙන් රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වෙනවා.”
ඉහත සඳහන් කළ ආගන්තුක ආක්‍රමණශීලි මත්ස්‍යයන් ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට නම් අදාළ බලයලත් ආයතන හරහා මූලික පරීක්ෂා කිරීමකින් තොරව විසිතුරු මසුන් ලෙස විදේශ රටවලින් ගෙන ඒම, ආක්‍රමණශීලි ආගන්තුක මත්ස්‍ය විශේෂ ළඟ තබා ගැනීම, ප්‍රවාහනය හා බෝ කිරීම ආදිය නොකළ යුතුය. ශාක හා සතුන් ආනයනය කරන නිසි ක්‍රමවේද හා නීතිරීතිවලට එකඟව බලපත්‍ර ඇතිව සිදු කළ යුතුය. මෙම කටයුතු නීත්‍යනුකූලව සිදු කිරීම මඟින් අනවශ්‍ය තර්ජනයන්ට, දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු නොවනු ඇත.
(තොරතුරු සහ ඡායාරූප උපුටා ගැනීම- අන්තර්ජාලයෙන් සහ පර්යේෂණ පත්‍රිකා මඟින්)
දිමුතු සඳරුවන් ධර්මසිරි