ඡන්දය පැරදුණ පසු ගොඩාක් පක්ෂවලින් කතා කළා. නමුත් වචනයක් දුන්නේ නැහැ.
මහමැතිවරණයට ආසන්නයි. ඔබ නියෝජනය කරන සමගි ජනබලවේගයට මෙවර ජයග්‍රහණය ලබා ගන්නට හැකිවෙයිද?
අපි ඇත්තට මුහුණ දිය යුතුයි. ජනාධිපතිවරණයක් අවසන් වූ පසු මහමැතිවරණයේ බලය බොහෝ විට යන්නේ ඒ පැත්තටමයි. ඒ නිසා මෙවර අපි උත්සහ කරන්නේ ආණ්ඩුව ලබා ගන්නා තැනට යන්න. අපිට මේ ආණ්ඩුව ගැන පුරෝකථන දෙන්න කාලය මදි. ඇත්තම තත්ත්වය අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ දෙසැම්බර්වලින් පස්සේ. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වන විට වෙන්න පුළුවන් දේවල් මම මේ විදියටම කිව්වා. එදා මම කිව්වා ඔහු පාලනයේ ඉන්නේ අවුරුදු දෙකයි කියලා. ඒ විදියටම වුණා. එදා අපි වේදිකාවේ සටන් පාඨ කිව්වත් එතුමාගේ කකුලින් ඇද්දේ නැහැ. මම අදටත් වර්තමාන ජනාධිපතිවරයා ගැන වේදිකාවේ විවිධ පුරෝකථන කරනවා. නමුත් ඒවා ඇත්ත වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අපි එතුමාට වැඩ කරන්න දීලා බලාගෙන සිටිය යුතුයි. හදිසියේවත් වැරදි මාර්ගයක යනවා නම් ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි. සජබය කාර්යභාරය එයයි. 2028 වන විට අපි සියලු ණය ගෙවිය යුතුයි. ඒ ගමනට හැමෝම උදවු කළ යුතුයි. මේ අවස්ථාවේ එතුමාට වැඩ කරගෙන යාමට අවශ්‍යයයි. විපක්ෂයට යනවා නම් අපි ප්‍රබල විපක්ෂයක් ගොඩනැඟිය යුතුයි.
පසුගියදා ඔබ නියෝජනය කරන සජබ වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඔබ ඉවත් වෙනවා. ඒ ඇයි..?
ජනාධිපතිවරණයේදි ලංකාව පුරා ආසන 160ටම යන්න පුළුවන් වුණා. ඒ නිසා කඩුවෙල මගේ ආසනයේ වැඩ ගොඩාක් අතපසු වුණා වගේම විශාල පසුබෑමකට ලක් වුණා. මේක මගේත් කැම්පේන් එක. මමත් ජයග්‍රහණය කළ යුතු වෙනවා. නමුත් ජාතික සංවිධායක වීම ලොකු වගකීමක්. සියයට සියයක් ඒ සඳහා කැපවීම ලබා දෙන්න බැරිනම් මම ඉවත් විය යුතුයි. වගකීම වසරින් වසර වෙන කෙනකුට පැවරිය යුතුයි. මේ සියලු කාරණා නිසයි මම ඉවත් වුණේ
ඔබ පවසන්නේ එය කිසිවකුගේත් බලපෑමකින් සිදු නොවූවක් බවද..?
නෑ. කවුරුත් මට බලපෑම් කරන්න එන්නෙත් නැහැ. මම ඒවට යටත් වෙන කෙනෙකුත් නෙමෙයි. මහලේකම්තුමා මගේ අස්වීමේ ලිපියවත් භාර ගත්තේ නැහැ. අපි ජනතාව හා පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු යා යුතුයි. ඒ කාරණාව ඉටු කරගන්න මේ වගකීම බර වැඩියි.
සජබයට උදවු කළ පිරිසකට යම් ආසාධාරණ සිදුවූ බව කියැවෙනවා. මේක පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නේද?
අපි දැන් පරාද වෙලානේ ඉන්නේ. දිනලා හිටියා නම් මේ තත්ත්වය ඊට වඩා වෙනස්. පරාද වීම නිසා හැමෝම ඉන්නේ මානසික සිත් වේදනාවක. එතකොට යම් සිදුවීම් සිදුවීම අඬන්න ඉන්න කෙනාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ. අපිට මෙහෙම කනගාටු නම් නායකතුමාට කොහොම කනගාටු ඇද්ද? නායකතුමා සුහුරු පන්ති කාමර 400ක් දුන්නා. බස් දුන්නා. නමුත් ඒ කිසි දෙයක් ප්‍රයෝජන වුණේ නැහැ.
නමුත් පක්ෂය වෙනුවෙන් වැඩ කළ පිරිසට අසාධාරණයක් වූ බව කියැවෙනවා?
දමිතාට මඩ ආවේ දේශපාලනයට ආ නිසා. අද සමාජ මාධ්‍ය තියෙන්නේ මාලිමාවට උදවු කරන අය අත. මේ හරහා ඇය පිළිබඳ විශාල වෛරයක් ඇති කළා. නාම යෝජනා අත්සන් කළ පසු නම කැපීම කිසි තැනක නොවිය යුතු දෙයක්. මමත් කාන්තාවක්. මටයි, රෝහිණී කවිරත්න මහත්මියටයි තමයි මුලින්ම ඉල්ලන ලිස්ට් එක ආවේ. ඇයට රත්නපුරයෙන් ඉල්ලන්න කිව්වේ හේෂා මන්ත්‍රීතුමා. මේක අපිට වුණා නම් කොහොමද? ඇය සිය වාහනය විකුණලා රත්නපුරයෙන් ගෙයකුත් කුලියට ගත්තා.
මැතිවරණයක් ආසන්නයේ මෙවැනි දේ පක්ෂයට විශාල බලපෑමක් නේද?
සමහර අය මනාප පොරය නිසා කරන වැඩවලින් පක්ෂයයි සවුත්තු වෙන්නේ.
සමගි ජන බලවේගයේ අර්බුදයක් පවතින බව බොහෝ දෙනා කියනවා. එය ඇත්තද?
ඇත්තටම ආණ්ඩු පක්ෂයේ හිටියා නම් කවුරුත් මීඩියා ඉස්සරහට ගිහින් මට අරක ලැබුණේ නැහැ කියලා කියන්නේ නැහැ. අපි ඉන්නේ විපක්ෂයේ. තවත් පැත්තකින් මෙය පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය. පක්ෂයක් බිංදුවට වැටෙනවා. ආයිත් නැඟිටිනවා. හොඳම උදාහරණය මාලිමාව. එය වතුරට දාපු කිරල ඇඹයක් වගේ. ඒ නිසා ඉවසීමෙන් වැඩ කරමු. අපි නැඟිටින දිනයක් එනවා.
ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්නෙ