Home » වසර තිස්තුනකට පසු රජිනිකාන්ත් සහ අමිතාබ් භච්චන් එක්ව රඟන වේතයියාන් දැන් තිරගත වේ

වසර තිස්තුනකට පසු රජිනිකාන්ත් සහ අමිතාබ් භච්චන් එක්ව රඟන වේතයියාන් දැන් තිරගත වේ

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment
කසුන් අරවින්ද

රජිනිකාන්ත් සහ අමිතාබ් භච්චන් කියන්නෙ ඉන්දියානු සිනමාවේ සුපිරි දැවැන්තයන් දෙදෙනකු බව රහසක් නෙවෙයි. නමුත් මේ දෙදෙනා එකට රඟපාන චිත්‍රපටයක් දැක ගන්නට ලැබීම එතරම් සුලබ සිද්ධියක් නොවන බවත් අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ හෝ වේවා, ඉන්දීය චිත්‍රපට නරඹන රසික රසිකාවියන්ට ඔන්න දැන් එම දුර්ලභ අවස්ථාව හිමි වී තිබෙනවා.

රජිනිකාන්ත් සහ අමිතාබ් දෙදෙනා රඟපාන දෙමළ සිනමාපටයක් පසුගිය 10 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කළා. එහි නම ‘වේතයියාන්‘.මෙහි තේරුම ‘දඩයක්කාරයා’යන්න යි. චිත්‍රපටය පිලිබඳ පළ වූ තොරතුරුවලින් පැවසුණේ මෙය සමාජයේ අසාධාරණයන්ට එරෙහිව සටන් කරන විශ්‍රාමික පොලිස් නිලධාරියකු පිළිබඳ කතාවක් රැගත් සිනමාපටයක් බව යි. අජිත් නැමති මෙම පොලිස් නිලධාරියාගේ චරිතයයි රජිනිකාන්ත් රඟපාන්නේ. අමිතාබ් රඟපාන්නේ සත්‍යදේව් නැමති තවත් ඉහළ පොලිස් නිලධාරියකුගේ චරිතයක්.

රජිනිකාන්ත් සහ අමිතාබ් මේ ආකාරයෙන් එකම සිනමාපටයකින් රසිකයන් හමුවට එන්නේ වසර 33 කට පසුවවීම විශේෂත්වයක්. අවසන් වරට ඔවුන් එකට රඟපෑවේ Hum නමැති සිනමාපටයේයි. එය තිරගත වුණේ 1991 වසරේ යි. ගෝවින්දා, අනුපම් කෙයර් වැනි ජනප්‍රිය නළුවන් ද මෙයට රංගනයෙන් දායක වුණා.  

‘වේතයියාන්’ ද රජිනිකාන්ත්ගේ බොහෝ චිත්‍රපට මෙන්ම ප්‍රේක්‍ෂකයන් මහත් බලාපොරොත්තු තබා සිටින සිනමාපටයක්. චිත්‍රපටය ප්‍රදර්ශනය වීමටත් කලින් සිටම ප්‍රවේශපත්‍රවලට ඉහළ ඉල්ලුමක් තිබූ බව මාධ්‍ය වාර්තාවල දැක්වුණා.

මෙම චිත්‍රපටයට කලින් රජිනිකාන්ත් ප්‍රධාන චරිතයකින් ප්‍රේක්‍ෂකයන් හමුවට ආවේ ‘ජේලර්’ චිත්‍රපටයෙනුයි. එය තිරගත වුණේ පසුගිය වසරේ යි. ‘ජේලර්’ ද ඉතා ඉහළ ආදායම් උපයන්නට සමත් වූ සිනමාපටයක්. ඉන්දියානු රුපියල් කෝටි 600 කට වැඩි ආදායමක් එය උපයා තිබූ බවයි වාර්තා වුණේ.

‘වේතයියාන්’ තිරගත වීමට ආසන්නව තිබිය දී රජිනිකාන්ත් හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමත් විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් වුණා. ඔහු මේ ආකාරයෙන් රෝහල්ගත කර තිබුණේ සැප්තැම්බර් 30 වැනි දිනයි. දැඩි වේදනාවකින් පීඩා විඳිමින් සිටි ඔහු එදින රාත්‍රියේ තමිල්නාඩුවේ චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළත් කර තිබුණා.

රජිනිකාන්ත් ඔහුගේ සිරුරේ ප්‍රධාන රුධිර ධමනියක් ඉදිමීමේ තත්ත්වයකින් පීඩා විඳිමින් සිටි බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ. එදින ඔහු වෛද්‍යවරුන්ගේ දැඩි පරීක්‍ෂාව යටතේ පසු වූ අතර රජිනිගේ රසිකයන් මෙම සිදුවීමෙන් දැඩි කම්පනයට පත්ව සිටිනු දැකගන්නට ලැබුණා. නමුත් ඔවුන්ගේ බිය සැක තුරන් කරමින් වෛද්‍යවරුන් පැවසුවේ රජිනිගේ තත්ත්වය බරපතළ නොවන බව යි.

ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි, තමිල්නාඩු මහඇමැති එම්. කේ. ස්ටාලින්, සහෝදර නළුවන් වන අමිතාබ් බච්චන්, කමල් හසන් ඇතුළු බොහෝ දෙනෙක් රජිනිකාන්ත් ට ඉක්මන් සුවය පතමින් පණිවුඩ සටහන් කර තිබෙනු දැකිය හැකි වුණා.

දින දෙකක් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමෙන් පසු සැප්තැම්බර් 3 වැනි දින රජිනිට රෝහලෙන් නික්ම යාමට හැකි වී තිබුණා.

සිනමාව තුළ තවමත් ඉතාම ක්‍රියාකාරි, කාර්යබහුල නළුවකු වුවත් මේ වනවිට රජිනිකාන්ත්ගේ වයස අවුරුදු 73 ක්. ඔහු පසුගිය කාලයේ කිහිපවරක්ම සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දුන් ආකාරය දැකිය හැකි වුණා. වසර කිහිපයකට පෙර වකුගඩු ආබාධයකට ද ලක් වූ අතර එකල පැවසුණේ ඔහුගේ වකුගඩුවල සියයට 60 ක් පමණ අක්‍රිය වී ඇති බවයි. මේ නිසා 2016 වසරේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ද මුහුණ දීමට ඔහුට සිදු වුණා.

2021 වසරේ පැවති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තරග කරමින් දේශපාලනයට පිවිසීමට රජිනිකාන්ත් බලාපොරොත්තුවෙන් සිටියත් මෙම වකුගඩු ආබාධය නිසා ඔහුට එම අදහස පවා අත්හැර දමන්නට සිද්ධ වුණා. එම කාලයේ ඉන්දියාව තුළ කොවිඩ් වසංගතය පැතිරෙමින් තිබූ අතර එවැනි තත්ත්වයක් තුළ රජිනි ජනතාව අතර ගැවසෙමින් දේශපාලන කටයුතුවල නිරත වෙනවාට ඔහුගේ වෛද්‍යවරුන් විරුද්ධ වුණා. ඊට හේතු වුණේ ඒ වන විට වකුගඩු ආබාධය නිසා රජිනිගේ සිරුරේ ප්‍රතිශක්තිය හීන වී තිබීමයි. අවසානයේ රජිනිකාන්ත් දේශපාලනයට එක්වීමේ අදහස සිතින් අයින් කර ගත්තා.

2021 වසරේ ඔහුට තවත් සැත්කමකට මුහුණ දෙන්න සිදු වුණා. එයත් හදවත් සැත්කමක්. එම සැත්කම කරන්නට සිදු වුණේ ඔහුගේ ලේ නහරයක වූ අවහිරතාවක් ඉවත් කිරීම සඳහා යි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division