Home » එයාලා එක්ක ඉද්දි හැමදේම අමතක කරන්න පුළුවන්

එයාලා එක්ක ඉද්දි හැමදේම අමතක කරන්න පුළුවන්

අමිල කරුණානායක

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment
අනුෂා රණසිංහ

– ප්‍රථම ප්‍රේමයම සැබෑ වුණා
– මගෙ සිහින බලාපොරොත්තු ඔක්කොම තියෙන්නෙ සිනමාව තුළ

අමිල කරුණානායක කියන්නේ අපිට ඉන්න දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පියකු, නිරූපණ ශිල්පියකු සහ සිනමා නළුවකු වනවා. අමිල ප්‍රධාන චරිතයක් මවන ‘කම්බිලි‘ චිත්‍රපටය දින 50 පසුකරමින් තිරගත වෙන මොහොතක රසඳුන කෙටි කතාබහකට මෙසේ සම්බන්ධ කර ගත්තා.

ඔබේ රංගනය ඇතුළත් ‘කම්බිලි‘ චිත්‍රපටය තිරගත වෙනවා, කොහොමද ලැබෙන ප්‍රතිචාර?

චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි. ලොකු සතුටක් තියෙනවා අපේ මහන්සිය, කැපවීම වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරවලට. ලැබෙන ප්‍රතිචාර හරිම සුන්දරයි. මගේ රංගන ජීවිතේ තව තවත් ප්‍රේක්ෂකයන් අතරට යන්න ලැබුණු හොඳ අවස්ථාවක්. ඒනිසා භානුකගේ චරිතය කිරීම ගැන ලොකු සතුටක් තියෙනවා.

‘කම්බිලි‘ කියන්නෙ අලුත්ම අධ්‍යක්ෂවරයෙක්ගෙ නිර්මාණයක්. කොහොමද ඔහු සමඟ වැඩ කිරීම?

‘කම්බිලි‘ ප්‍රසාද් කළුපහනගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය. නමුත් ඔහු ලංකාවේ ප්‍රධාන පෙ‍ෙළ් මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්. ඔහු යටතේ රූප රචනා 10කට වගේ මට දායක වෙන්න ලැබුණා.ඒ නිසා ප්‍රසාද් එක්ක වැඩ කිරීම මම කිසිදු ආධුනික බවක් දැක්කේ නැහැ. ප්‍රසාද්ට තියෙන්නේ වෙනස්ම දැක්මක්. වාණිජ සිනමාවේ නිර්මාණකරුවෙක් විදියට මම ඔහුව දකින්නේ. ඔහු තුළත් ලොකු විශ්වාසයක් තිබුණා මා කෙරෙහි. ඒ නිසා ඔහු මුල ඉඳන්ම මා එක්ක චිත්‍රපටයක් කරන්න කැමැත්තක් තිබුණා. ඒ දේවල් එක්ක මේ ලැබුණු අවස්ථාව හොඳයි. ඔහුත් මේ නිර්මාණය හරහා අත්දැකීම් එකතු කර ගන්න ඇති. ඔහු හොඳ දැක්මක් සහිත හොඳ ගමනක් යා හැකි අධ්‍යක්ෂවරයෙක්.

අමිලව අපිට නිතරම දකින්න ලැබෙන්නෙ නැහැ, ඇයි ඒ?

ඒකට හේතුව මම රංගනය වගේම මගේම කියලා ඇඳුම් නිර්මාණ වැඩත් කරනවා. ව්‍යාපාරික කටයුතු එක්කත් කාර්යබහුල වෙලා ඉන්නවා. ඒ එක්කම මාව බොහෝ දෙනා දකින්නේ වාණිජ සිනමාවට කොටු වුණු රංගන ශිල්පියෙක් විදියට. ඒ නිසාම එවැනි නිර්මාණ අතරින් පමණයි මට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසාත් වෙන්න ඇති මාව නිතරම දකින්න ලැබෙන්නේ නැත්තේ. ඉදිරියේදී හොඳ අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද ?

‘කම්බිලි‘වලින් පස්සේ, සමරනායක අධ්‍යක්ෂණය කළ ‘රජදහන‘ චිත්‍රපටය සහ සීසන් අලි කියන මාලදිවයින් අධ්‍යක්ෂවරයෙක් කරපු ‘කෞෂි‘ කියන චිත්‍රපටය එන්න තියෙනවා. හැබැයි මේ නිර්මාණ දෙකම ‘කම්බිලි‘වලට කලින් රූගත කළ නිර්මාණ.

සිනමාව පමණ ද ඔබේ කලා මාධ්‍යය?

සිනමාව පමණක් නෙවෙයි. ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මගේ සිහින බලාපොරොත්තු ඔක්කොම තියෙන්නේ සිනමාව තුළ. ඒ නිසා ඒකට හානි වෙන ආකාරයේ නිර්මාණවලට මම සහභාගි වෙන්න අදහසක් නැහැ. සිනමා නිර්මාණයක් ලැබුණාම තමයි මට මගේ උපරිම කැපවීම දෙන්න පුළුවන්. ඒ නිසා මම ආස කරන, මම කැපවෙන සිනමාව මගේ මාධ්‍යය වෙනවට මම කැමැතියි.

රංගන ශිල්පියෙක් වගේම ඔබ හොඳ තරුණ ව්‍යවසායකයෙක්, කොහොමද මේ දිනවල ව්‍යාපාර කටයුතු…?

ව්‍යාපාර කටයුතු විදියට මම කරන්නේ Men’s Wear Brand එකක් A Detail කියලා. මම මෝස්‌තර නිර්මාණ ශිල්පය පැත්තෙන් මගේ උපාධිය ගත්තේ. කාලයක් මම ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනවල වැඩ කළා. ඒ කාලය තුළ හිතුණා මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් කරන්න ඕනේ කියලා. මම ගොඩක් පිටරට බ්‍රෑන්ඩ් එක්ක වැඩ කළ කෙනෙක්. ඒ ලබා ගත්ත දැනුම ලංකාවේ අය එක්කත් බෙදා ගන්න මම ආස කළා. ව්‍යාපාරය කළත් මම හිතන්නේ හොඳම ව්‍යාපාරිකයෙක් නෙවෙයි. මෝස්තර නිර්මාණය කියන්නේත් කලාව හා සම්බන්ධ දෙයක්. මම කරන නිර්මාණය විඳින්න ආසාවෙන් තමයි මේ නිර්මාණ කරන්නේ. මගේ ඇඳුම් නිර්මාණ පාරිභෝගිකයන් මිලදී ගැනීම තුළ තමයි මම සතුටු වෙන්නේ. දැනට බස්නාහිර පළාත අවට තමයි මගේ ඇඳුම් මිලදී ගන්න පුළුවන්. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා දිවයින පුරා A Detail කියන බ්‍රෑන්ඩ් එක අරගෙන යන්න.

පළමු පෙමම විවාහයක් දක්වා ගිය ආදර කතාවක් ඔබට තියෙන්නේ. කොහොමද ඒ ආදරේ දකින්නෙ?

ආදරේ ගැන කිව්වොත්, ප්‍රථම ප්‍රේමය තමයි මගේ භාර්යාව වෙන්නේ. ඒක සුන්දර හැඟීමක්. මුල් අවධියේ ආදරේ කරන්න පටන් ගන්නකොටම හම්බෙන කෙනා එක්ක ජීවිතේ බෙදාගත්ත අවස්ථාවන් සුන්දරයි. මුල් කාලයේ ඉඳන්ම දන්නා හඳුනන කෙනෙක් එක්ක ජීවත් වෙන්නත් පහසුයි. මම නිරූපණ ක්ෂේත්‍රයට එද්දිත් විවාහකයි. ඒ ආදරේ ගැන දැන් කතා කළොත් ආදරේ තවත් වැඩි වෙලා. අපිට ලස්සන බබාලා දෙන්නෙක් ඉන්න නිසා අපේ ආදරේ ඒ අය අතරෙත් බෙදිලා ගිහින් තියෙනවා. ඒ එක්කම වගකීම් වැඩිවෙලා තියෙනවා.

ඇයගෙන් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?

ඇය ඉංජිනේරුවරියක්. ඇයගෙන් ලැබෙන සහයෝගය තමයි මට කලාව කරගෙන යන්න ලබා දෙන නිදහස. ඇය දරුවන් දෙදෙනාවත් ආදරෙන් බලාගන්න ගමන් රැකියාව කරනවා. ඒක ලෙහෙසිපහසු කටයුත්තක් නෙවෙයි. ඇය මගේ නිර්මාණවල හොඳ විචාරකයෙක්. මම විශ්වාස කරනවා ඇය තමයි මට හරිම විචාරය දෙන්නේ කියලා.

පොඩ්ඩො දෙන්නා එක්ක ගෙදර ගත වෙන ජීවිතේ කොහොමද?

අපේ කාර්යබහුල ජීවිතේ තියෙන ප්‍රශ්න අමතක කරන්න පුළුවන් එයාලා එක්ක ඉන්න වෙලාවට. තියෙන කනගාටුව තමයි එයාලා එක්ක ඉන්න තියෙන කාලය අඩුවීම. අපි එක්ට ගමන් යන්න, ෆිල්ම් බලන්න ආසයි. මට ඉන්නේ දුවයි පුතයි. දුව තමයි බාලයා. දුවට අවුරුදු 4යි. එයාලගේ හුරතල් බල බල ජීවත් වෙන්න තියෙනව කියන්නෙම සතුටක්. එකම දුක සමහර වෙලාවට මම ගෙදර එද්දී මගේ ගැන අහලා නින්දට ගිහින් තියෙනවා. මමත් එයාලා එක්ක ඉන්නේ පොඩි ළමයෙක් වගේ. සමහර පොඩි පොඩි දේවල්වලින් මම ඒ අයව සර්ප්‍රයිස් කරනවා. ඒ නිසා මා එක්ක කාලය ගත කරන්න කැමැතියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division