Home » සිතට කයට වද දෙන චර්ම රෝග සුවයට මග

සිතට කයට වද දෙන චර්ම රෝග සුවයට මග

by sachintha
October 12, 2024 12:34 am 0 comment

චර්ම රෝග යනු සමේ ඇතිවන රෝගයි. චර්ම රෝගවලට “කුෂ්ඨ රෝග” කියා ද කියති. කුෂ්ඨ රෝගයේ දී සම ඉරිතළා ස්‍රාවයක් පිටතට පැමිණෙයි. එබැවින් සියලුම චර්ම රෝග කුෂ්ඨ රෝග නොවේ.

අවුරුදු 3000 කටත් පෙර ලියැවුණු පුරාණ ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථවල කුෂ්ඨ රෝග පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීම් හා ප්‍රතිකාර සඳහන් කොට තිබීම මඟින් එම රෝග එකල සමාජයේ ද බහුල වූ බව අවබෝධ කරගත යුතුය. චර්ම රෝග, මහා කුෂ්ඨ, ක්ෂුද්‍ර කුෂ්ඨ කියා ප්‍රධාන වර්ගීකරණයන් දෙකක් යටතේ දක්වා තිබේ. වර්තමානයේ අපට හමුවන බොහෝ චර්ම රෝග අයත් වනුයේ ක්ෂුද්‍ර කුෂ්ඨගණයටයි.

චර්ම රෝග සුව කිරීම තරම් මහා පුණ්‍යකර්මයක් වෙනත් නැතැයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පවසයි. එසේ පැවසීමට හේතු වන්නේ චර්ම රෝගය කායික රෝගයක් වුව ද එයින් රෝගියාගේ සිත තුළ අප්‍රමාණ සිත් තැවුලක් හටගන්නා බැවිනි. “රෝගියෙකුට උවටැන් කරන්නා මට උවටැන් කළා වැනිය” යනුවෙන් බුදුරජාණන් වහන්සේ පැවසුවේත් කුෂ්ඨ රෝගයක් නිසා ජරාපත් වූ පූතිගත්තිස්ස තෙරුන්ට උවටැන් කිරීමෙන් අනතුරුවය.

• මානසික පීඩාවක් ගෙන දේ

ඇතැම් චර්ම රෝගවලින් රෝගියාට කිසිදු කායික අවහිරයක් සිදු නොවන අතර, එයින් ප්‍රබල මානසික පීඩාවක් ඇතිවෙයි. සුදු කබර හෙවත් ශ්චිත්‍ර (Leucoderma) එයට හොඳම උදාහරණයයි. ශරීරයේ හුදකලාව ඇතිවන සුදු ලපයක් හෝ ලප කීපයක් පසුව සිරුර පුරාම විහිඳීයාම මෙහි රෝග ලක්ෂණයයි. දැවිල්ල, කැසිල්ල, සුදු ලප මත බිබිළි හට ගැනීම ආදිය කලාතුරකින් ඇතිවෙයි. රෝගියාට මේ තත්ත්වයෙන් ඇතිවන මානසික පිඩාව අපමණය. මෙය බෝ නොවන රෝගයක් බැවින් සමාජයෙන් කොන් නොකළ යුතුය. අකණ්ඩ, දීර්ඝකාලීන ප්‍රතිකාර මඟින් මෙම රෝගය බොහෝ දුරට සුව කළ හැකිය.

මීට අමතරව මුහුණේ හෝ අත්වල, පාදවල ඇතිවන කළු ලප, කුරුලෑ ආදිය ද රෝගියාට කායික පීඩා නොදී තදබල මානසික පීඩා ඇති කරයි. අකලට හිසකෙස් පැසීම හා වැටීම ද එවැනි රෝගයන්ය. සම පිරිසිදුව තබාගැනීම, ස්වභාවික ආලේපන ගැල්වීම, පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා ගැනීම, නුසුදුසු ආහාර අනුභව නොකිරීම යනාදී කරුණු පිළිබඳ මෙහි දී අවධානය යොමු කළ යුතුය. මීට අමතරව ශරීරයට මෙන්ම මනසට ද එකසේ පීඩා ගෙන දෙන චර්ම රෝග බොහොමයක් දැකගත හැකිය. අතුල් පතුල් පැළී ස්‍රාව ගැලීම, දැඩි වේදනාව, දැවිල්ල මෙන්ම කැසීම ඇතිවීම, ශරීරයේ ඕනෑම ස්ථානයක තුවාල හට ගැනීම, සැරව පිරුණ හෝ සැරව රහිත ගෙඩි හට ගැනීම, එම රෝග ලක්ෂණවලින් සමහරක් වෙයි. මෙහිදී අතුරු ඵල ලෙස නින්ද නැතිවීම, කෑම රුචිය නැතිවීම, මලබද්ධය, මුත්‍රා දාහය, අධික රුධිර පීඩනය වැනි අමතර රෝග තත්ත්වය ද අැති වෙයි.

• යහපත් ආහාර

විහරණ රටාවකින් සුවය

සම පැළී සැරවා ගලන කැසීම දැවිල්ල සහිත චර්ම රෝග බොහොමයක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව යහපත් ආහාර විහරණ රටාවකින්ද ඖෂධීය ප්‍රතිකාර මඟින් සුව කර ගත හැකි වෙයි.

සමාජයේ දී බහුලව හමුවන චර්ම රෝගයක් ලෙසට පොතු කබර රෝගය හඳුන්වා දිය හැකිය. මෙහි දී අත්පාවල, උදරය, පිට ප්‍රදේශවල වැලමිට සන්ධිවල, කන් පෙතිවල හා හිසකෙස් මායිම්වල සුදු – කළු පැහැති පොතු ගැලවී යන ස්වභාවයෙන් යුතු පැල්ලම් ස්වරූපයක් හට ගනී. මේවා කැසීම් සහිතය. මේ රෝග තත්ත්වයෙන් රෝගියා කායිකව මෙන්ම මානසිකව ද පීඩා විඳියි. නිසි ක්‍රමවේදයකින් යුතු ඖෂධ ප්‍රතිකාර මගින්ද, ආහාර විහරණ රටාවක් මඟින් ද පංචකර්ම ප්‍රතිකාර මඟින් ද, බාහිර ආලේපන ගැල්වීම යන සියල්ල මගින් මෙම රෝගය මනා සේ සුවකර ගත හැකිය.

ශරීරයේ අභ්‍යන්තර අවයව වන අක්මාව, වකුගඩු ආදියට ද හානිකර නොවන ස්වභාවික ඖෂධීය ප්‍රතිකාර මඟින් ඔබට පීඩා ගෙන දෙන චර්ම රෝගය සුව කරගත හැකිවීම ඔබට මෙන්ම, රටට ද ආර්ථික වශයෙන් ප්‍රතිඵලදායක වනු ඇත.

lකුරුණෑගල ආයුර්වේද මහ රෝහලේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය නිලධාරිනි ශාන්ති ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division