Home » කටුනායක හරිත මාවතෙන් මෙරටට ආ කෝටි 43 ක කුෂ් අල්ලන්න රේගුව කළ මෙහෙයුම

කටුනායක හරිත මාවතෙන් මෙරටට ආ කෝටි 43 ක කුෂ් අල්ලන්න රේගුව කළ මෙහෙයුම

by thanushika
October 12, 2024 12:30 am 0 comment
කටුනායක - ටී. කේ. ජී. කපිල

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාව වෙත පිවිසීමේ ‘රන් දොරටුවයි’. ඒ තුළින් නිතිපතා රාජ්‍ය නායකයන්, රාජතාන්ත්‍රික දූත පිරිස්, විදේශීය සංචාරකයන්, රැකියා සඳහා ගොස් පැමිණෙන්නන්, ශිෂ්‍යත්ව සහ උසස් අධ්‍යාපනය නිමා කර පැමිණෙන්නන්, ආගමික නායකයන්, විදේශීය ක්‍රීඩකයින් ඇතුළු තවත් විවිධ වර්ගයේ ගුවන් මගීන් පිරිස් පැමිණෙමින් සිටිති. ඒ අතර රටට වින කරන මත්ද්‍රව්‍ය රැගත් අතොළොස්සක පිරිසක්ද මෙම ගුවන් මගීන් අතර මෙරටට පැමිණෙමින් සිටිති.

ඔවුන් අනෙකුත් ගුවන් මගීන්ගෙන් වෙන් කර හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඉදිරි පියවර ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ තුළ විවිධ රාජ්‍ය ආයතනික නිලධාරීන් පිරිසක් ද දිවා රෑ නොමැතිව සිය ආවේක්ෂණ රාජකාරී ඉටු කරමින් කටුනායක ගුවන් තොටුපොළ තුළ රැඳී සිටිති.

ඒ අතර රේගු නිලධාරීන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්, ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන්, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මෙන්ම වෙනත් විවිධ රාජ්‍ය ආයතනවලට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ද සේවයේ යෙදී සිටිති.

ඉකුත් දා උදෑසන ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය, ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන්ගෙන් පිරී ඉතිරී යමින් පැවැතිණි.

ඒ අතර කටුනායක ගුවන් තොටුපොළ සිසාරා වූ නිවේදනයකින් කියැවුණේ එදින උදෑසන 09.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන්යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන වගයි.

එම ගුවන්යානය පැමිණ පැයක පමණ කාලයකට පසුව කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට පැමිණියේ 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙකි.

කටුනායක ගුවන් තොටුපොළ භාවිතාව, පරිචය අනුව මත්ද්‍රව්‍ය, හොර බඩු ආදිය රැගෙන ඒම සදහා විශේෂයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් මින් පෙර සැකයකට හෝ අත්අඩංගුවට පත් වී නොමැති වුවත්, මෙම බ්‍රිතාන්‍ය ජාතිකයාගේ හැසිරීමෙහි තිබූ අසාමාන්‍යතා නිසා මොහු නවතා යම් විමර්ශනයක් කිරීමට ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ක්‍රියා කර තිබිණි.

21 හැවිරිදි මෙම බ්‍රිතාන්‍ය ජාතික තරුණයා, එරට ආරක්ෂක අංශයේ සේවයේ නිරත වී සිටින අයෙකු විය. ඔහු මෙරට සිටින මිතුරෙකු මුණ ගැසීම සඳහා පැමිණෙන බව රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබුණි.

එම පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ රේගු නිලධාරීන්, ඔහු විසින් රැගෙනවිත් තිබූ ගමන් මලු දෙක විවෘත කර පරීක්ෂා කර බැලීමට සූදානම් වූ අතර, එම ගමන් මලු තුළින් පුද්ගලයෙකුට දරාගත නොහැකි තරමේ දැඩි “කුෂ්” මත්ද්‍රව්‍ය ගන්ධයක් වහනය විය. ඒ අනුව මේ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ගමන් මලු දැඩි පරීක්ෂා කිරීමකට ලක් කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ මෙතෙක් විශාලතම “කුෂ් ” මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන්ට ඒ වන විට හැකි වී තිබිණි.

මෙම “කුෂ්” නමැති ගංජා විශේෂය බොහෝ විට අමෙරිකාවේ භාවිත කෙරෙන මත්ද්‍රව්‍යයකි. මීට පෙර අවස්ථා ගණනාවකදී මෙම ගංජා තොග කුඩා ප්‍රමාණයෙන් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි. රුපියල් හතළිස් තුන්කෝටි හැටහතර ලක්ෂ අසූ දහසක් වටිනා මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය කිලෝ ග්‍රෑම් 43යි ග්‍රෑම් 648ක බරකින් යුක්ත විය. මෙම මත්ද්‍රව්‍ය තොගය සම්පූර්ණයෙන්ම අසුරා තිබුණේ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ගමන් මලු දෙක ඇතුළේය.

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ මෙසේ අත්අඩංගුවට ගත් විශාලතම “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ සිට රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මෙන්ම රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ද කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිස්‍රය වෙත පැමිණ සිටියේය. එම නිලධාරින්ගේ පැමිණීම මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමේ වටිනාකම නිහඬව ප්‍රකාශ කිරීමක් වූ අතර, එය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ රේගු නිලධාරීන් තවදුරටත් දිරිමත් කිරීමක් ද විය.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division