Home » සුවිසල් නිවෙසක දොරවල් වහගෙන දහඅටේ කල්ලිය අල්ලපු ජල්ලිය

සුවිසල් නිවෙසක දොරවල් වහගෙන දහඅටේ කල්ලිය අල්ලපු ජල්ලිය

by thanushika
October 12, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

මුහුණුපොතේ සාද දිනපතාම පුවත් මවයි. මුහුණුපොතෙන් පවත්වන සමහර සාදවලට සහභාගී වන අයට සිදු වී ඇත්තේ පොලිස් අත්අඩංගුවට පත්වීමටයි. ඒ හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟය. මුහුණුපොතේ සාද සමහර අවස්ථාවල අවසන් වන්නේ එවැනි කරුණු කාරණා ගොන්නකට තරුණ තරුණියන් යෞවන යෞවනියන් මැදි කරමින් යැයි කීවාට එය වැරදි නැත.

මුහුණුපොතෙන් සංවිධානය කරන ඇතැම් සාදවල පළමු අරමුණ මත්ද්‍රව්‍ය ජාවාරමයි. මේවා සංවිධානය කරන්නන්ගේ එකම අභිප්‍රාය ද එයයි. ඉතාම සංවිධානාත්මකව සිදු කැරෙන මේ වැඩපිළිවෙළේදී මුහුණුපොතේ සාද සංවිධායකයන් හරිහම්බ කරගන්නා මුදල් කන්දරාව අතිමහත්ය.

පොලිසිය සඳහන් කරන අන්දමට මුහුණුපොත මඟින් පසුගිය දින කීපයේදී සංවිධානය කළ ‘මත් සාද’ සම්බන්ධව විමර්ශන හතරක් සිදු කැරිණි. සුරාබදු නිලධරයෝ මීගමුව සහ කඩවත එවැනි සාද දෙකක් වැටලූහ. මාතර සහ මීගමුව දුන්ගාල්පිටියේදී ද මුහුණුපොතේ එවැනි සාද දෙකක් වැටලීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

මුහුණුපොතේ සාදවලට වැඩිපුරම පැමිණෙන තරුණ තරුණියන්ගේ අරමුණ විනෝද වීමට වඩා මත්ද්‍රව්‍ය, මත්පෙති ලබා ගැනීම බව පොලිසියේ අදහසයි. මේ සාදවලට සහභාගී වන යෞවන යෞවනියන්ට පිරිමි ගැහැනු ගණිකාවන් සැපයීම මෙන්ම මත්ද්‍රව්‍ය සැපයීම සඳහාද සංවිධානාත්මක කණ්ඩායම් පෙළ ගැසී සිටීම සුවිශේෂිය.

මුහුණුපොත මඟින් සංවිධානය කරන මත්සාද වැටලීම සඳහා පොලිසිය දිගින් දිගටම මෙලෙස මෙහෙයුම් සහ විමර්ශන සිදු කරන අතරේ රාගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එවැනි මෙහෙයුමකට අත ගසන්නේ පසුගියදාය. ඒ රාගම පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරාට ලැබුණු තොරතුරකට අනුවය.

රාගම නුගවෙල ප්‍රදේශයේ පිහිටි නිවෙසක අධිබල ශබ්ද සහිත සංගීතය නිකුත් කරන උපකරණද යොදාගෙන මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වෙන බවට රාගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරාට සිය පෞද්ගලික ඔත්තුකරුවන් මඟින් තොරතුරක් ලැබෙන්නේ පසුගියදාය.

බුද්ධි නිලධාරීන්ද යොදාගෙන මේ තොරතුරේ සත්‍ය අසත්‍යතාව ගැන සොයන ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා දැනගන්නේ ලැබුණු එම තොරතුර සත්‍ය සහ නිවැරදි බවය.

මේ බව කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බැසිල් ක්‍රිෂාන්ත ජයවර්ධන, සහකාර පොලිස් අධිකාරී අර්ජුන කොඩිකාර යන නිලධරයන් දැනුම්වත් කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා, රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂට සිය මෙහෙයුම පිළිබඳ තොරතුරු දන්වා නිලධාරීන් කණ්ඩායමක් සමඟ අදාළ නිවෙසට යන්නේ ක්ෂණිකවය.

පොලිස් නිලධාරීන් එහි යන විට නිවෙසේ දොරගුළු දමා වසා තිබූ අතර ගේට්ටුවලට ද ඉබි යතුරු දමා තිබුණි. නිවෙසේ රෝලර් ගේට්ටුවක් තිබුණු අතර පිටතින් කිසිවකුට ඇතුළුවිය නොහැකි ලෙස ආරක්ෂිත තාප්පය ද යොදා තිබුණි. තාප්පයෙන් පැන නි‍ෙවසට ප්‍රවිෂ්ට වන පොලිස් නිලධාරීන් දකින්නේ නිවෙසේ විසිත්ත කාමරයේ හෙරොයින්, ගංජා, අයිස් සහ මත්පෙති තබාගෙන විනෝද වෙමින් සිටින තරුණ තරුණියන් පිරිසකි.

මේ පිරිස සංඛ්‍යාවෙන් 18කි. පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය සමඟ එම පිරිස අත්අඩංගුවට ගන්නේ ඒ අනුවය. ඇතැම් පුද්ගලයන් ඒ වන විට සිට ඇත්තේ අඩනිරුවතිනි. මත්පෙති සහ මත්ද්‍රව්‍ය ද ඔවුන් සතුව තිබිණි.

එලෙස අත්අඩංගුවට ගත් 18 දෙනා අතර යුවතියන් දෙදෙනෙකු ද සිටීම සුවිශේෂීය. ඉන් එක් යුවතියකගේ පියා විදේශගත වී සිටි. මව ජීවත්වන්නේ පවුලෙන් වෙන්වය. එම යුවතිය දිවි ගෙවන්නේ තනිවමය.

මේ අයගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ මේ සියලු දෙනා මුහුණුපොතෙන් දැන හඳුනාගත් අය බවයි. ඒ පිරිස එකතුවී මෙලෙස සාදයක් සංවිධානය කර ඇති අතර ඊට සහභාගී වූ ඇතැමුන් සාදයේදී භාවිත කිරීම සඳහා මත්ද්‍රව්‍යද ගෙනවිත් ඇති බව විමර්ශනවලදී හෙළි විය.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් රාගම පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ මේ අය දෙමටගොඩ, කොටහේන, මීතොටමුල්ල, ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

පොලිසිය මේ අයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී හෙළි වී ඇත්තේ ඇතැමෙක් එකිනෙකා නොහඳුනන බවයි. මුහුණුපොත ඔස්සේ කාලයක සිට මේ සාදය පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කර ඇති බවද හෙළිවන්නේ එම ප්‍රශ්න කිරීමේදීය.

මුහුණුපොත මඟින් මෙලෙස සංවිධානය කරන සාදවලට මත්ද්‍රව්‍ය සැපයීම සඳහා සූදානමින් සිටි සංවිධානාත්මක පිරිසක් මේ සාදයටද මත්ද්‍රව්‍ය සපයා ඇතැයි සැක කරන පොලිසිය ඒ ගැන සොයාගෙන යන්නේ මේ අයට මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය ගැන නියම තොරතුරු හෙළිකර ගැනීම සඳහාය.

මුහුණුපොතේ සාදය පැවැත්වූ ස්ථානයේ සිටියදී අත්අඩංගුවට ගන්නා ලද යෞවන යෞවනියන් වයස අවුරුදු 18 – 19 අතරේ පසුවන අය වෙති.

මෙහිදී අත්අඩංගුවට ගන්නා ලද එක් අයකුගේ පියා පොලිස් නිලධාරියෙකි. තවත් අයකුගේ මව හෙද නිලධාරිනියකි.

මෙහි සංවිධායකයා රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂගේ මෙහෙයවීමෙන් රාගම පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා, උප පොලිස් පරීක්ෂක එස්. ඒ. ඩී. පී. ධර්මසිරි, කොස්තාපල්වරුන් වන (33281) සුමිත්, (79725) අමිල, (102422) ලක්ෂිත, (103160) චේතන, (102635) ප්‍රදීප්, (11366) කුමාර, සිවිල් ආරක්ෂක නිලධාරිනී (220580) එස්. එස්. බන්දුමතී යන නිලධාරීන් නිලධාරිනියන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division