ශ්‍රී ලංකාව ලොව ම්ලේච්චතම ත්‍රස්තවාදී සංවිධානය සමග වසර 30 කට ආසන්න කාලයක් මාරාන්තිකව සටන් වැද ලැබූ යුධ විජයග්‍රහණය ලෝක යුධ ඉතිහාසයේ අග්‍රගන්‍යම යුධ ජයග්‍රහණයක් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කරනුයේ, මෑත ඉතිහාසයේ ලොව කිසිඳු රටක් මෙතරම් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා නොතිබීම ද එහිදී යුද්ධ හමුදාව ඇතුළු ලාංකීය රණවිරුවන් පෙන්නුම්කල මානුෂීය මෙහෙවර ද ලොව තුල යථාවත් කල ප්‍රාතිහාරයක් බව තමන් අදත් දැඩිසේ විශ්වාස කරන බවයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පරිදිවේ,
ජාතියේ ප්‍රණාමය පිදුම් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා හැත්තෑ පස්වන මහාභිමානයට මාගේ ශීර්ෂ ප්‍රණාම උත්තමාචාරයයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘ජාතියේ ආරක්ෂකයා’ වී 75 වැනි සංවත්සරය ප්‍රෞඩව සමරන මෙම මහාභිමානී මහෝත්සවයේ දී, දශක හතරකට අධික කාලයක් උදාරතර හමුදා සේවයක යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨම හමුදා නිලධාරියා සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ද අපරාජිත යුද්ධ හමුදා නිලදරුවෙකු ලෙස ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ඇතුළු වීරෝධාර යුද්ධ හමුදා රණවිරුවන්ට මගේ අබිමන් ආශිංසන පිලිගන්වමි.
ගෙවී ගිය 75 වසරක යුගාතීතය තුල මව්බිමේ ස්වෛරීත්වයත්, භෞමික අඛණ්ඩතාවත් ප්‍රාණසමව සුරක්‍ෂා කිරීම උදෙසා ත්‍රිවිධ හමුදාවේ ප්‍රභලතම බලවේගය ව යුද්ධ හමුදා රණවිරුවන් ජීවිත පරිත්‍යාගව සිදුකල අපරිමාන දුෂ්කර ක්‍රියාවන්හි ප්‍රථිපලයක් ලෙස මරබිය පහකල මව්පොළොවක සමකාලීන ලාංකිකයන් සහජීවනයෙන් ජීවත්වන බව සතුටු සිතැතිව සිහිපත්කර සිටිමි. එහිදී මවුබිම උදෙසා ජීවිත පරිත්‍යාග කල යුද්ධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් සහ රණක්‍ෂිතයට පත්වූ රණවිරුවන් මම භක්තිමත්ව සදාකල් සිහිපත් කරමි. එසේම මෙකී වීරෝධාර රණවිරුවන්ගේ නෙකාකාර ජීවිත කැපකිරීම් තුල ජාතියට උරුමකල නිදහස් නිවහල් මව්බිම උපදින මතු පරපුර පතා රැකදීම ද ඔබේ සහ මගේ ප්‍රධානම ජීවන ප්‍රතිපදාව විය යුතු බව සිහිකල යුතුය.
ලොව ම්ලේච්චතම ත්‍රස්තවාදී සංවිධානය සමග වසර 30 කට ආසන්න කාලයක් මාරාන්තිකව සටන් වැද ලැබූ යුධ විජයග්‍රහණය ලෝක යුධ ඉතිහාසයේ අග්‍රගන්‍යම යුධ ජයග්‍රහණයක් විය. මෑත ඉතිහාසයේ ලොව කිසිඳු රටක් මෙතරම් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා නොතිබීම ද එහිදී යුද්ධ හමුදාව ඇතුළු ලාංකීය රණවිරුවන් පෙන්නුම්කල මානුෂීය මෙහෙවර ද ලොව තුල යථාවත් කල ප්‍රාතිහාරයක් බව මම අදත් දැඩිසේ විශ්වාස කරමි. එයට රණවිරුවන් සතුව පැවති අපරාජිත මානසිකත්වය, නිර්භයබව සහ අද්විතීය ප්‍රාණ පූජාව ‘නොහැක්කක් නොමැත’ යන ප්‍රයාමය සාක්ෂාත් කිරීමට මහෝපකාරී වූ සත්‍යය බව මම අදහමි.
මව්බිමේ යහපැවැත්මට බාධක ගොඩනගන සියළු අවස්ථා වලදී සුරක්‍ෂා පවුරක් ලෙස 24 පැය පුරාම සූදානමින් සිටින දේශජ පිරිවර ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන්ය. දුෂ්කර ආපදා අවස්ථා සහ කොවිඩ් 19 යනාදී අභියෝගාත්මක අවස්ථා වලදී සිය ජීවිතයට පවතින අවදානම පිළිබඳව දශමයකුදු නොසලකා රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතාරක්‍ෂාව පතා යුද්ධ හමුදාවේ රණවිරුවන් පෑව මානව ප්‍රේමය මෙරට ජනතාව හදවත නම් පුදසුන මත තබා බැතිබරව පුදනු ඇත.
මව්බිමේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය පවත්වා ගැනීමට, මහජන ජීවිත ආරක්‍ෂා කිරීමට සහ රටේ සංවර්ධනයට ආදී විවිධාකාර ක්ෂේත්‍ර වල සාර්ථකත්වය පිණිස යුද්ධ හමුදාධිපතිවරයාගේ සිට කණිෂ්ඨතම සෙබලා දක්වා වූ සෑම නිලයකම නිලධාරීන් හා සෙසු නිලයන් රට ජාතිය උදෙසා සාමූහිකව සිදුකල සහ කරන ජාතික සේවය හා ජීවන කැපකිරීම මාගේ ප්‍රණාමයට පාත්‍ර වේ. 75 වසරක් ජාතිය ආරක්‍ෂා කරන යුද්ධ හමුදාව මතුවටද මේ ස්වෛරී භූමිය ප්‍රාණසමව රැකගත යුතුය. එසේම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රෞඩත්වය ඒකාන්ත ලෙස ආරක්‍ෂා කල යුතුය. එයට යුද්ධ හමුදා රණවිරුවන්ගේ මිලක් නැති වෙසැසි දායකත්වය අවැසි බව අවධාරණයෙන් සිහිපත් කරමි.
වසර 75 ක යුද්ධ හමුදා ඉතිහාසය තුල යුද්ධ හමුදාවට නායකත්වය ලබාදුන් සියළුම යුද්ධ හමුදාධිපතිවරුන්, විශ්‍රාමික නිලධාරීන් හා සෙසු නිලයන්ට ද සිවිල් සේවක සේවිකාවන් ඇතුළු සියළුදෙනාට ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද්‍යතන විභූතියට රැගෙන ඒම සඳහා ලබාදුන් නායකත්වයට සහ සහයෝගයට මාගේ භක්තිමත් ප්‍රණාමය පලකර සිටිමි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානය දෛනිකව ප්‍රවර්ධනය කර ගනිමින් වසර 75 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පැමිණි ගමන්මග රළු පරළු ගමන් මගකි. මේසා විසල් පරිච්ඡේදයක් තුල යුද්ධ හමුදාවට විරාජමාණවීමට ආශිර්වාදයක් වූ සියළු සුරුකම් සහ වටිනාකම් ප්‍රයෝජනයට ගෙන හෙට දවසේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සම්මුඛ වියහැකි අභියෝග සඳහා සාර්ථකව මුහුණ දීමට ශක්තිය පවතින බව මම ඒකාන්ත ලෙස දනිමි. එයට වත්මන් යුද්ධ හමුදාධිපති ඇතුළු සමස්ථ නිලධාරීන්ට හා සෙසු නිලයන්ට අවැසි සවිබලය හා තුණුරුවන්ගේ ශාන්තිය හිමි වේවායි ප්‍රාර්ථනා කරමි. හදවතක් ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දේශයේ මුර දෙව් බව මම සැමදා පවසමි – අදහමි.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී