Home » ලංකාවේ එකම වනඅලි කළමනාකරණ රක්ෂිතය පුස්සක්ද?

ලංකාවේ එකම වනඅලි කළමනාකරණ රක්ෂිතය පුස්සක්ද?

by gayan
September 28, 2024 12:30 am 0 comment

ලංකාවේ අලි මිනිස් ගැටුමට තීරණාත්මක විසඳුමක් ලබා දෙමින් හම්බන්තොට මහ සංවර්ධන සැලැස්ම යටතේ මෙරට ප්‍රථම වතාවට වනඅලි කළමනාකරණ රක්ෂිතයක් ආරම්භ කර මේ වන විට වසර ගණනාවක් ගතවී ඇත. එසේම ඊට අදාළ ‘හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය’ ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය ද නිකුත් කර මේ වන විට වසර කිහිපයක් ගත වී අවසන්ය. මෙසේ අලි වෙනුවෙන් රක්ෂිත ප්‍රදේශයක් නම් කර තිබුණද මේ වන තෙක්ම එහි මුඛ්‍ය අරමුණ ඉටු වී නොතිබීම ජාතියේ අවාසනාවකි.

ලංකාව අලි දැකිය හැකි හොඳම සංචාරක ගමනාන්තයයි. මේ නිසාවෙන් වනඅලි දැක ගැනීමට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන්නා සේම විදෙස් විනිමය සඳහා වනඅලින්ගෙන් ඉටු වන්නේ සුවිශාල මෙහෙයකි. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ජීවත්වෙන වාසභූමිවලින් සියයට හැත්තෑවක් පමණම ව්‍යාප්ත වී ඇත්තේ වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මඟින් පරිපාලනය වන රක්ෂිත ප්‍රදේශවලින් පිටතය. මේ නිසා නිරන්තරයෙන් සිදු වන අලි මිනිස් ගැටුමේ අවසානයක් දැකිය නොහැක්කා සේම මේ තත්ත්වයන් උග්‍ර වීම නිසා 2021 වසරේ දෙසැම්බර් මස වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ආරම්භ කළ වල්සපුගල ගොවි සත්‍යග්‍රහය ලොව දිගුම කාලයක් තම ගොවිබිම ආරක්ෂා කරලීම හා සතුන්ට වෙනමම භූමියක් ඉල්ලූ සත්‍යග්‍රහය විය. දින 108ක් පුරා උද්ඝෝෂණයේ යෙදුණු ඔවුන්ගේ පොදු අරමුණ වූයේ හම්බන්තොට වන අලි කළමනාකරණ ප්‍රදේශයකි. (Managed Elephant Range) නැතිනම් අලින්ට වෙනමම බිම් කඩකි.

නමුත් වර්තමානය දක්වාම බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වූ මෙම වනඅලි කළමනාකරණ රක්ෂිත වාසභූමිය විවිධ දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ සහාය ඇතිව විවිධ ව්‍යාපාරිකයන් විසින් ආක්‍රමණය කළේ එළිපිටම බව පරිසරවේදීන් හා ගම්වැසියන් නඟන චෝදනාවය. මේ තුළ විවිධ වගා ව්‍යාපෘති, පස් කැණීම්, ගල් කොරි වැනි එකී මෙකී නොකී විනාශකාරී ක්‍රියා නිසා වන අලි කළමනාකරණ ප්‍රදේශයට අයත් වනාන්තර විනාශ වූ අතර, එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම් දිනෙන් දින උත්සන්න විය.

“ අද හම්බන්තොට ඇත්තේ නාමික වනඅලි කළමනාකරණ රක්ෂිතයක්. අදටත් මෙය වනජීවී සංරක්ෂිත කලාපයක් වශයෙන් කිසිදු බලයක් නැති රක්ෂිතයක්. මෙහි යම් ප්‍රශ්නයකට කතා කළ යුතු වන්නේ මදුනාගලට. සතුන් ආරක්ෂා වීමට අඩුම තරමින් වනජීවි බීට්ටුවක් හෝ මේ තුළ තිබිය යුතුයි. අද මේ අවට ජනතාව පවා සිටින්නේ අසරණවයි. ඒ වගේම මේ වනඅලි කළමනාකරණ රක්ෂිත ගැසට්ටුව නාමික එකක් පමණයි. මේ තුළ කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද? නොකළ හැකි ක්‍රියාකාරකම් මොනවාද යන්න සඳහන්ව නැහැ. මේ ගැසට්ටුවේ ඇති භූමි ප්‍රමාණය අද වන විට දකින්නට නැහැ. මේ හානි වූ භූමිය ගියේ කාටද? නැති වූ මේ භූමිය යළිත් වන සතුන්ට දිය යුතුයි නේද? මෙය වනජීවී කලාපයක් බවට පත්කර මෙහි වගකීම කාට හෝ පැවරිය යුතුයි නේද? අපි හඬ නඟන්නේ ඒ වෙනුවෙන්. මේ රක්ෂිතය බලපෑමකින් තොරව කැලෑවක් වූ දවසක මේ ප්‍රශ්නයට විසඳුමක් දේවි.“ ඒ හඬ මේ පිළිබඳ නිරන්තර අධ්‍යයනයක නිරතව සිටින පරිසරවේදී සමීර වීරතුංග ගේය.

එදා දින 108ක් පුරා දිගු සටනක නියැළෙමින් ලබාගත් අලි කළමනාකරණ ප්‍රදේශය මහ පොළොවේ යථාර්ථයක් බවට පත්කිරීමට අදත් මේ ගොවියෝ නොනවතින සටනක නියැළී සිටිති. අලි කළමනාකරණ ප්‍රදේශය වටා පිහිටි මහගල්වැව, උනාතුවැව, කුඩාඉඳිවැව, තැලිගම, දිමුතුගම, පඩව්ගම, ගොන්නෝරුව, හැඩිල්ල, උඩමත්තල, පහළමත්තල, පුංචිඅප්පුජඳුර වැනි ගම්මාන රැසක ජනතාව අදත් හූල්ලන්නේ අලි මිනිස් ගැටුමට මේ හරහා හෝ තවමත් විසඳුම් ලැබී නැති නිසාය.

“ වලව වම් ඉවුර යෝජනා ක්‍රමය ආරම්භ වූයේ 1994 වසරේදී. ගොවි ජනපද ජනාවාස ආරම්භ වන්නේ 2000 වසරේදී. මේ කාලය තුළ වන සතුන් කරදරයක් නොවන පරිදි ජීවත්ව සිටි අතර අද මෙන් මිනිසුන්ට හානියක් සිදු වූයේ නැහැ. 2000 වසරේ මේ ප්‍රදේශයේ වූ සංවර්ධනයත් සමඟ මෙහි වූ සතුන්ගේ ජනාවාස අහිමි වීම නිසා මිනිසුන් සමඟ පොරබදිමින් ජීවත් වන්නට වුණා. මේ නිසා අලි මිනිස් ගැටුමට විසඳුමක් ලබා දෙන්නට දේශපාලන අධිකාරියත් සමඟ සාකච්ඡා කර 2012 වසරේදී යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයක් නමින් කොටසක් වෙන්ව විදුලි වැටකින් වෙන් කිරීම සිදු කළා.

2014 වසරේදි කෝටි එකහමාරකට වැඩි මුදලක් වියදම් කරමින් වළවේ ගඟෙන් මෙහා වූ සියලු වන සතුන් ලුණුගම්වෙහර හා බූන්දල ජාතික වනෝද්‍යානවලට පලවා හැරියද ඒ මෙහෙයුම අසාර්ථක වුණා. අලි 118ක් පමණක් රැගෙන යනන්ට සූදානම් වුවද ලුණුගම්වෙහෙර ධාරිතාව මත මේ ප්‍රමාණය ඇතුළු කළ නොහැකි වුණා. මේ නිසා කොටසක් ලුණුගම්වෙහෙරටත්, ඉතිරි ප්‍රමාණය මේ යෝජිත වනඅලි කළමණාකරණ රක්ෂිතය නම් වූ ප්‍රදේශයටත් දැම්මා.

නමුත් පසුකාලයේ නිරීක්ෂණයකින් තොරව සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් නිසා සතුන්ට නැවතත් සිය ජනාවාස අහිමි වීම නිසා ඔවුන් ගම්මානවලට කඩා වදින්නට පටන් ගත්තා. මේ නිසා 2018 ජනවාරි 21 වැනිදා අලි මිනිස් ගැටුමට විසඳුමක් වශයෙන් මෙම යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට නීතිමය බලතල ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් දේශපාලන අධිකාරිය ඊට එකඟ වුණේ නැහැ. මේ නිසා ගොවි සංවිධාන 86ක එකමුතුවෙන් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය හරහා විසඳුමක් අපේක්ෂා කළා. මේ නිසා ඉහත අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ වැඩිම වියළි කලාපයක් පවතින හම්බන්තොට සූරියවැව ප්‍රදේශවල හෙක්ටයාර් 23743.55ක බිම් ප්‍රමාණයක් සතුන් වෙනුවෙන් නිදහස් කර ගන්නට 2022 වසරේදී හැකි වුණා. නමුත් මේ ගැසට්ටුව නීත්‍යානුකූල ගැසට්ටුවක්ද යන ප්‍රශ්නය මතුවුණා. මෙහි නීති රෙගුලාසි කිසිවක් නැති නිසා අදටත් අදාළ බලධාරීන් හා ගොවි සංවාධාන අතර මේ පිළිබඳ සාකච්ඡා සිදු වෙමින් තිබෙනවා“ඒ, පරිසර යුක්ති කේන්ද්‍රයේ මාධ්‍ය නිලධාරි රන්ජන් කරුණානායක හා ප්‍රතිපත්ති හා සැලසුම් නිලධාරී විශ්ව සචිත් පෙරේරාය.

එදා සිදු කළ නොනවතින ගොවි අරගලය වෙනුවෙන් ආණ්ඩුව සිදු කළේ වන අලි කළමනාකරණ ප්‍රදේශය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2222/62 දරණ අති විශේෂ ගැසට් පත්‍රය 2021 අප්‍රේල් 09 වැනිදා නිකුත් විය. ඒ අනුව දකුණු සහ ඌව පළාත්වල හම්බන්තොට සහ මොණරාගල යන පරිපාලන දිස්ත්‍රික්කවල පිහිටා තිබෙන හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර සහ තණමල්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හෙක්ටයාර 23746.55ක භූමි ප්‍රමාණයකින් ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ නමින් වෙන් වුවද පරිසරවේදීහු හා ගොවි සංවිධාන චෝදනා කරන්නේ අද වන විට එය පුස්සක් බවට පත්ව ඇති බවය.

මේ ගැසට්ටුව යටතේ අලින්ට හෙක්ටයාර 23746.55ක භූමි ප්‍රමාණයක් වෙන් කළද අදද ඒ තුළ ව්‍යාපාර සිදු වෙයි. සතුන්ගේ පරිසරයේ ජනාවාස වී ඇත්තේ ජනතාවය. තවත් තැනක ගල් කොරිය. තවත් පැත්තක කැලය විනාශ වීමේ කූට ජාවාරම්ය. තවත් තැනක ඉදිකළ වගාවන්ය. මේ තුළ වූ ඉඩකඩම්වලට අයිතිකරුවෝ බොහෝය. කොටසක් මහවැලියටත්, තවත් කොටසක් වන සංරක්ෂණයටත් තවත් කොටසක් දිසාපති ලේකම්වරයාටත් බලය පැවැරේ. අද ලංකාවේ එකම වන අලි කළමනාකරණ රක්ෂිතයම වන අලින්ට ජීවත් විය නොහැකි ආකාරයේ විෂම එකකි. මේ භූමියේ මහවැලියට අයත් හෙක්ටයාර් ගණනින් විවිධ ව්‍යාපෘති සඳහා ලබා දෙන බවට ගොවියෝ චෝදනා කරති.

“මේවා සියල්ල අසාධාරණයි. මේ ගම්මාන ඉවත් කරන්න. මහවැලිය සතු භූමි ප්‍රමාණය සතුන්ට ජීවත් වන්න ලබා දෙන්න. මේ හරහා ප්‍රධාන වනෝද්‍යාන තුනකට ගමන් කරන අලි මංකඩ තියෙනවා. කොටසක් අලි බූන්දල ජාතික වනෝද්‍යානයටත්, තව මාර්ගයකින් ලුණුගම්වෙහෙරටත්, එතැනින් උඩවලවෙටත් ගමන් කරනවා. මේ නිසා ජාතික වනෝද්‍යාන තුනකට අලි ගමන් කරන මාර්ග වැටිලා තියෙන්නේ මේ හරහා. මේ වන විට මෙහි සෝලා පැනල් ඉදිකිරීමටත් කටයුතු යොදා තියෙනවා. මේ හරහා පරිසරයේ සියලු ගස් විනාශ වෙනවා. වර්ෂාව නැතිවී කාන්තාර බවට පත් වෙනවා. අපි සංවර්ධනයට විරුද්ධ නැහැ. නමුත් මේ සංවර්ධනය කිරීමට ප්‍රථම මානව අයිතීන් සේම සතුන්ගේත් අයිතීන් ද සුරැකිය යුතුයි.

මේ සම්බන්ධයෙන් ඇති චෝදනාවලට නිමක් නැත. මේ ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව විටක වියරු වැටී ඇතුවා සේය. ඒ අලි මිනිස් ගැටුමින් ඔවුන් දැඩිව හෙම්බත්ව සිටින නිසාය.

“මේ කැලෑ ප්‍රදේශයේ ගල් මෝල් අටක් දැනට තියෙනවා. නමුත් මේවා පැවැත්විය යුත්තේ ක්‍රමානුකූල ආකාරයටයි. කිලෝ මීටර් දෙකෙන් දෙකටයි මේ ගල් මෝල් තියෙන්නේ. එක ගල්වලක වෙඩිල්ලක් දාන විට ඒ සතාට විශාල කම්පනයක් ඇති වෙනවා. මේ නිසා අලියට යන්න තැනක් නැති වෙන කොට ඌ වියරු වැටෙනවා. අද දිවා රෑ වෙහෙස වී රැකියාව කළ පසු මේ පළාතේ මිනිසුන්ට ගතේ වෙහෙස නිවා ගන්න කාලයක් නැහැ. දවල් ගොවිතැන් බත් කරනවා. රාත්‍රී කාලයේ තමන්ගේ වගාව රැකගන්න අවදියෙන් සිටිනවා. අපිටත් ගෙවල් දොරවල් තියෙනවා. නමුත් බැරි වෙලාවත් එක මොහොතක් ඇහැ පියවුණොත් අපේ වගාව සෑහෙන්න ආපස්සට යනවා. මේවාට වන්දි දෙන්න කිසිවෙකුත් නැහැ.

අදවන විට අලි වැටට අලියා හුරු වී තියෙනවා. කරන්ට් නොවදින තැනකට කොටයක් දමා අලි වැට කඩන්න අලියා හුරුවෙලා.

අලි කලමනාකරණ රක්ෂිත ඒකකය පවත්වා ගෙන යාමේ වගකීම ඇත්තේ දිසාපතිට. නමුත් ප්‍රශ්නයක් වූ විට කිසිවකුත් වගකීම ගන්නේ නැහැ.

අද අලින්ට කැළෑවේ කෑමට ආහාර නැහැ. සමහර රක්ෂිතවල අලි නිශ්චිත කාලයකට පමණක් ගම් වැදුණත් මේ පළාත්වල අලි හැම කාලයකටම ගම් වඳිනවා. මේ නිසා අලි මිනිස් මුහුණට මුහුණ ගැටීම් වැඩියි. අලි මිනිසුන්ට හීලෑ වීම නිසා නිවෙස් ආශ්‍රිතව ගැවසීමට උන් බය නැහැ. ගම් වදින අලි කැලැවේ ගස්වැල් කෑමට කැමැති නැහැ. ඌන් වගාවේ ඇති රසවත් පලතුරු කෑමට රුසියො. මේ නිසා කරන්ට් වැට තිබුණත් මරාගෙන මැරී හෝ ගම් වදින්නටයි උත්සාහ කරන්නේ. ඉස්සර මේ කැලේ අලි මයිල ගස්, තම්පලා ගස් කඩාගෙන කනවා. දැන් අලියෙක් කැලෑවෙන් එළියට බහින්නේ මැරිච්චි කොටයක් අරගෙන. ඒ එය දමා විසිකර අලි වැට කඩන්න. අද අලි වගේම ගම්මුත් දැඩිව අසරණ වෙලා…..“ ඒ වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම ඇතුළු ගොවීන්ය.

මේ පළාතේ වගා කටයුතු සඳහා ලබාදී ඇත්තේ හෙක්ටයාර් 5700ෙක ප්‍රමාණයකි. ඒ භූමියේ නිදහසේ වගා කටයුතු සිදු කර ගෙන යාමට ඔවුන්ට ඇවැසිය.

ගම්මුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ මේ යෝජිත වනඅලි කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙසටය. එසේම මෙම ගැසට්ටුවට නීතිමය පසුබිමක් ලබා දෙමින් අලින්ට හිමි මේ භූමිය නිදහස් කර දෙන ලෙසත් ප්‍රධාන වනෝද්‍යාන තුනකට යා හැකි අලි කොරිඩෝ ඇති මේ මං විනාශ නොකරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. ඊට නිදහස් පරිසරයක් සකස් කර දීම අත්‍යවශ්‍ය වේ.

යෝජිත වනඅලි කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමෙන් අලි මිනිස් ගැටුමට මැදි වූ එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු නීති සහාය හා වන අලි කළමනාකරණ රක්ෂිතය ක්‍රියාවට නැංවීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් සිය පූර්ණ මැදිහත් වීම ලබා දීමට කටයුතු කරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා නිතීඥ නිල්මල් වික්‍රමසිංහ ද පවසන්නීය.

“හම්බන්තොට යෝජිත වනඅලි කළමනාකරණ සැලැස්ම ක්‍රියාවට නැඟීම පමා කිරීම නිසා අද වන විට මේ ප්‍රදේශයේ ජනතාව මෙන්ම ගොවීන්ද ගැටලු රැසකට මුහුණු දී තිබෙනවා.දිනෙන් දින මෙම සැලැස්ම ක්‍රියාවට නැංවීම ප්‍රමාද වීම හේතුවෙන් සිදුවන අලි මිනිස් ගැටුම මේ ප්‍රදේශයේ දැඩි ලෙස උග්‍ර වී තිබෙනවා. ඒ විතරක් නෙමේ, මෙම වන අලි කළමනාකරණ සැලැස්ම ක්‍රියාවට නැඟීම සඳහා යෝජිතව ඇති වන ඉඩම් ටික පවා මේ වන විට විවිධ පුද්ගලයන්ට බදු පදනම යටතේ විවිධ පාර්ශ්ව වෙත ලබා දීම නිසා එම භූමි ප්‍රමාණය ද අඩු වෙමින් තියෙනවා.වන අලි ප්‍රහාර හමුවේ අසරණව සිටින මේ ගොවි ජනතාවට කාගෙවත් පිහිටක් නැතිව තියෙනවා. ඒ නිසා අප පරිසර යුක්ති කේද්‍රය විදියට මේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු නීති සහාය ලබා දීමටත් ඒ වගේම මෙම අලි කළමනාකරණ රක්ෂිතය ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සඳහා අවශ්‍ය සියලු නීති සහායත් ලබා දීමට අප කටයුතු කරනවා.

ලංකාවේ අලි මිනිස් ගැටුම නිසා අලි වගේම ගොවි ජනතාවත් දැඩි ලෙස පිඩාවට පත්ව තිබෙනවා.වනජීවී දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව 2012 වසරේ සිට 2016 වසර දක්වා වු වසර 05ක කාලය තුළදි විතරක් වන අලි මරණ 1173 ක් වාර්තා වෙනවා.ඒ මරණ අතර වන අලි 195 මිය ගොස් තිබුණේ හක්කපටස් හේතුවෙනුයි. ඒ වගේම අලි මිනිස් ගැටුම නිසා මිය ගිය මිනිස් ජීවිත ප්‍රමාණය 321ක් වසර පහ තුළදි පමණක්. 2016 සිට මේ දක්වා මියගොස් ඇති වන අලි මරණ හා මිනිස් ජීවිත ප්‍රමාණය මීට වැඩියි. මේ නිසා වන අලි ගැටලුවට කඩිනම් විසදුමක් ලබා දිය යුතුමයි. මේ සූරියවැව ජනතාව කියන්නේ අලි මේ පැත්තෙන් එළවන්න කියලා නෙමේ. මේ මිනිස්සු කියන්නේ අලි ඉන්න කැලේ අලින්ට දෙන්න කියලයි.“ ඒ පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා නිතීඥ නිල්මල් වික්‍රමසිංහයි.

වනජීවි දෙපාර්තමේන්තු බලධාරියකු ප්‍රකාශ කළේ ඉදිරියේදි මේ සඳහා නිසි විසදුම් ලබා දෙන්නට කටයුතු කරන බවයි.

“ මෙහි ඉඩම් අයිතිය තිබෙන්නේ මහවැලියට හා වන සංරක්ෂණයට. 2009 දි මෙය සකස් කළාට හම්බන්තොට ක්‍රමෝපායික පාරිසරික ඇගැයීමේ ඇති මායිම තිබිය යුතු බව අපි හදුනාගෙන තිබුණා. නමුත් මෙහි අනිකුත් ඉඩම්වල අයිතිය තිබුණේ මහවැලි අධිකාරියට. නමුත් අපි බලාපොරොත්තු වූ සියලු ඉඩම් ඔවුන් අපිට ලබා දෙන්න එකඟතාවයක් තිබුණේ නැහැ. ඔවුන් දුන්නේ අපි හදුනාගත් ඉඩම්වලින් යම් කොටසක් පමණයි. මේවායේ වැඩි කොටසක වන ආවරණ කලාප හා අලි වැඩිපුර ගැවසෙන කලාප තියෙනවා. මේ නිසා ගැසට් කළේ නැහැ කියා ජනතාව කියනවා. අපි 2021 මෙය ගැසට් කළා. නමුත් සමහර ප්‍රදේශ සම්බන්ධව එකඟතාවයක් නොමැති නිසා ගැසට් වුණේ නැහැ.

අපේ පනතේ සඳහන් වන ආකාරයට මෙය අභය භූමි බලතලවලට සමානයි. ඒවායේ පවතින නීති මෙහි ක්‍රියාත්මක වෙනවා. මේ රක්ෂිත කලාපයේ ගොඩක් ප්‍රදේශවල ගම්මාන පවතිනවා. කැලෑ ප්‍රදේශ අඩුයි. ලබන වසරේ සැලසුම්වලට දැනට පවතින මේ ගැටලු ඇතුළත් කර තියෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ අලි සිටින සමහර ප්‍රදේශ පිළිබඳ එකඟතාවයක් නොමැති නිසා වන අලි කළමනාකරණ රක්ෂිතයට ඇතුළත්ව නැහැ. මේ නිසා තමයි සූර්ය බල ශක්ති ව්‍යාපාර සඳහා ඉඩම් ලබා දෙන්නට සුදානම් වන්නේ.

වන ජීවි දෙපාර්තමේන්තුවට අනුන්ගේ ඉඩම් බලයෙන් ලබා ගන්න බැහැ. වසර 11 තිස්සේ මේ ගැන නිරන්තරයෙන් සාකච්ඡා කළා. අලි මිනිස් ගැටුම නිසා අපි ගම්මාන රාශියක් වට කර අලි වැට ගසා තියෙනවා. ඊට අමතරව දැනට ඉතුරුව ඇති වනාන්තර ප්‍රදේශ අලි වෙනුවෙන් කළමනාකරණය කරනවා. ඉදිරියට මීට සම්බන්ධ නීති ශක්තිමත් කරනවා. එසේම ඉඩම් අල්ලා ගැනීම් නවත්වන්න කටයුතු කරනවා. “ ඒ වනජීවි දෙපාර්තමේන්තු බලධාරියෙකි.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සංවිධානය කළ හම්බන්තොට වල්සපුගල මාධ්‍ය චාරිකාවකින් අනතුරුවය.

සේයාරූ – සූරියවැව විශේෂ

නුවන් ජයසේකර

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division