Home » පොත් ලියන ගී ගයන නයනා

පොත් ලියන ගී ගයන නයනා

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment
නෙත්මි පූජනී රත්නායක

සංගීත ක්ෂේත්‍රයට කොතෙක් නිර්මාණ බිහි වුවත් රටක ජීවනාලිය බඳු කම්කරු පිරිස සම්බන්ධ කර ගනිමින් නිර්මාණය වූ ගීත අහන්නට හෝ දකින්නට ලැබෙන්නේම නැති තරම්ය. එවැනි කාලවකවානුවකදී ඔවුන් පිළිබඳව ගීතයක් එළිදැක්වීමට කටයුතු කළ ගායන ශිල්පිනියක මෙන්ම සංගීත ගුරුවරියක ද වන විශාරද නයනා රාජපක්ෂ සමඟ කරන කතාබහකි මේ.

“මම ඉගෙන ගත්තෙ මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයේ. විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය තමයි මගේ සංගීත ගුරුවරිය වුණේ. මේ වෙනකොට මම කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ සංගීත ගුරුවරියක් විදිහට සේවය කරනවා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය හදාරමින් සිටිනවා.

මැයි දින ගීතයක් මේ වෙනකන්ම නිර්මාණය වෙලා නැහැ. මීරිගම ප්‍රදේශයේ පදිංචි වීරසිරි පල්ලියගුරු කියන විධායක නිලධාරී මහත්මයා ඔහු ලිවුව මේ ගීතය මට ගෙනත් දුන්නා. මේ ගීතයට සංගීතය නිර්මාණය කළේ විශාරද ජගත් වික්‍රමසිංහයන්. යූටියුබ් හරහාත් මේ ගීතය නරඹන්න පුළුවන්.’

නයනා මීට පෙර ද ගීත කිහිපයක්ම ගායනා කර ඇත. ඇය ගීත ගායනයේ මෙන්ම ලිවීමේ ද දක්ෂය.

“මීට කලිනුත් මම ගීත කිහිපයක්ම ගායනය කර තිබෙනවා. බන්දුල නානායක්කාරවසම් විසින් රචනා කළ රෝහණ වීරසිංහයන් විසින් සංගීතය නිර්මාණය කළ ‘ඔබ පිදූ හසරැල්’ ගීතයත්, මා විසින්ම රචනා කළ රෝහණ වීරසිංහ විසින් සංගීතය නිර්මාණය කළ ‘පෙම් කුමරෝ’ ගීතයත්, කලකට පෙර නැසී ගිය ගී පද රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ රචනා කළ ලක්ෂ්මන් විජේසේකරයන් සංගීතය නිර්මාණය කළ ජගත් වික්‍රමසිංහ සමඟ ගායනා කරන “පිණිබිඳු වස්සන” ගීතයත්, “නිසල මේ වන ඉසව්වේ” යන ගීතයත් ගයා තිබෙනවා. ඒ ගීත සියල්ලටම හොඳ සංගීත නිර්මාණයන් ලැබුණා.

ගීත ගායනයට අමතරව මම ළමා කතන්දර පොත් අටක් ලියා තිබෙනවා. ඒ පොත් ගොඩගේ ප්‍රකාශන විදිහට නිකුත් කර තිබෙනවා. ඒ අතර භාරත ගායන ශිල්පීනි ලතා මංගේෂ්කාර් පිළිබඳව චරිතාපදානයක් සහ විශ්ලේෂණයක් ඇතුළත් කෘතියක් මා විසින් ලියා පළකළා. මීට පෙර ඇය පිළිබඳව අපේ රටේ ලියවිලා තිබුණෙ නැහැ. මගේ ශාස්ත්‍රපති උපාධියේ නිබන්ධනය සඳහා නැසී ගිය ප්‍රවීණ ගී පද රචක ඩෝල්ටන් අල්විස් පිළිබඳ ගීත විශ්ලේෂණයක් කළා. එයත් ග්‍රන්ථයක් ලෙස එළිදැක්වුවා.” ගුරුවරියක ලෙස සේවය කරන අතර නයනා තවත් කටයුත්තකට මේ දිනවල අතගසා සිටින්නීය. ඒ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධව නව වන්නමක් එළි දැක්වීමටය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division