Home » මහජනතාව කෘතඥතාවකින් තොරව වෙනත් විකල්පයක් කෙරෙහි විශ්වාසය තැබුවා

මහජනතාව කෘතඥතාවකින් තොරව වෙනත් විකල්පයක් කෙරෙහි විශ්වාසය තැබුවා

එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

පසුගියදා පැවැති ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද පදනම අඩු වීම කෙරෙහි බලපෑ හේතු මොනවාද යන්න හඳුනාගෙන තිබෙනවාද?

රටේ සිවිල් යුද්ධයක් ඇතිවී රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති බවටත් පසුව ජනාධිපති බවටත් පත් වී මේ අර්බුදකාරී තත්ත්වය අවසන් කරන්න දේශපාලන හේතුවලින් තොර නායකත්වයක් රටට ලබා දුන්නා. ඒ නිසි නායකත්වය ලබා දීමෙන් පසු රට ස්ථාවර කර මැතිවරණයක් පැවැත්විය හැකි තත්ත්වයකට රට පත් කළා සේම මැතිවරණ කොමිසමට ඊට සුදුසු වාතාවරණය සකස් කර දුන්නා. ඒ ඇති කළ තත්ත්වය තුළ එතුමාට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඔහුට තිබූ එකම විකල්පය වුණේ තමා රටේ 8 වැනි විධායක ජනාධිපති කළ කණ්ඩායම සමඟ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමයි. ඒ අනුව ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. මහජනතාව එතුමා කළ කාර්යභාරය අගය කළේ නැහැ. කෘතඥතාවකින් තොරව කටයුතු කර වෙනත් විකල්පයක් කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ වගකීම මහජනතාව විසින් අද භාර ගෙන තිබෙනවා. ඒ වගේම මහජනතාව අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි විශ්වාසය තබා තියෙනවා. ඒ අනුව සිදු වන්නේ කුමක්ද කියා අපි ටික කලක් බලා සිටිමු.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා සජබ නායක සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය බන්දේසියක තබා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට පිළිගැන්වූවා. දෙදෙනා එක්ව තරග කළේ නම් ජයග්‍රහණය ලබන්නට ඉඩ තිබුණා කියලා හිතනවද?

එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන සන්ධානයත් එකට එකතු වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ‍එක්සත් ජාතික පක්ෂ ඡන්ද පමණක් නෙමෙයි විවිධ ස්වාධීන මත දරන නිදහස් මතධාරීන්ගේ ඡන්ද ප්‍රමාණයේ පිළිඹිබුවත් තමයි අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද පදනමේ තිබෙන්නේ. ඒ පදනම ඉහත කරුණක් සමඟ ගළපා ගැනීම කිසිදු හරයක් නැති දෙයක් ලෙසයි මම දකින්නේ. මේ දෙක එකතු කර ගණන් බැලීම දේශපාලනයේ මහ අනුවණ කමක් ලෙසයි මට පේන්නේ.

එසේනම් ඉදිරි මහ මැතිවරණයට මේ පක්ෂ දෙකේ එකතු වීමක් ගැන කතා කරන්නේ ඇයි?

එක්සත් ජාතික පක්ෂය හා එදා අපේ පක්ෂයෙන් කැඩී ගිය පිරිස එකතු කිරීම සම්බන්ධයෙන් විවෘත ආරාධනාවක් කර තිබෙනවා. ඒ පක්ෂය විසින් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කර තියෙනවා. මෙසේ ප්‍රතික්ෂේප කිරීමෙන් වන්නේ ජාතියක් ලෙස අනාගතයේදී සියලු දෙනාට ඒ සඳහා වන්දි ගෙවීමට සිදු වීමයි.

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ඔබ දකින්නේ කෙසේද?

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා නව බලාපොරොත්තුවක්. ඒ තත්ත්වයට මුහුණ දීමට විනය ගරුක වෙනත් කණ්ඩායමක් තිබිය යුතුයි. එසේ මුහුණ දීමට මේ වන විට වෙනත් කණ්ඩායමක් බිහි වී නැහැ. ආණ්ඩුවේ පාලනයට ඉහළින් තිබෙන දේශපාලනමය පාලනයක් තිබෙන ක්‍රියාවලියක් ඇති වෙලා. මෙතෙක් තිබුණේ ඒ තත්ත්වය නෙමෙයි. උදාහරණයක් ලෙස මැතිවරණයක් අවසානයේ පොලිසියෙන් පෙළපාළි යන්න එපා කියා නිවේදනය කළොත් මහජනතාව පෙළපාළි යනවා. කෝලාහල ඇති කරන්න එපා කියා පොලිසියෙන් කිව්වොත් ජනතාව කල කෝලාහල ඇති කරනවා. අද තිබෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයක්. අපි එය තේරුම් ගත යුතුයි. උදාහරණයක් ලෙස රජයෙන් නිවේදනයක් නිකුත් කිරීමට වඩා ඔවුන්ගේ පක්ෂය තුළින් නිකුත් කරන නිවේදනයක් ගම් මට්ටමේ පහළම සාමාජිකයා දක්වා ක්‍රියාවට නැංවෙනවා. එය වෙනත් දේශපාලන දර්ශනයක්. උදාහරණයක් ලෙස ගතහොත් චීනයේ තිබෙන පාලන ක්‍රමයට සමාන, චීන කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවේ වගන්ති හා සමාන ක්‍රියාවලියක්. එවැනි ක්‍රියාවලියක් ඔය බහුබූත විරුද්ධ පක්ෂ කණ්ඩායම්වලට පාලනය කළ හැකි යැයි මම විශ්වාස කරන්නේ නැහැ.

වැටුණු අවස්ථාවේ රට බේරා ගත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මහජනතාව කෘතගුණ සැලකුවේ නැහැ කියා ඔබ ඇතුළු බොහෝ දෙනා චෝදනා කරනවා….?

හිටපු ජනාධිපතිතුමා රටේ සිවිල් යුද්ධයක් ඇති වී රට ආර්ථික වශයෙන් විනාශයට යන විට, මැතිවරණයක් තියා ගන්න බැරි තත්ත්වයක් ඇති වී ඇණ කොටා ගන්නා විට එතුමා ඒ වගකීම භාරගෙන මැතිවරණයක් පැවැත්විය හැකි පරිසරයක් ඇති කළා. එතුමාට ස්තූති කරන්නවත් කෘතවේදීත්වයක් නැති සමාජයක කරන දේශපාලනය ගැන කල්පනාවෙන් සිටිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස එදා එතුමා කළ ක්‍රියාවලියට ජාතියේ කාතඥතාව හිමිවිය යුතුයි. ඉතිහාසය පුරාවට ලංකාවේ කෘතවේදී ජනතාවක් හිටියේ නැහැ. උදාහරණයක් ලෙස සී. පී. ද සිල්වාට හූ කියලා එලෙව්වා. සී ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර නිදහස් අධ්‍යාපනය උරුම කර දුන්නා. ඔහු පරාජය කර ගෙදර යැව්වා. මේ ශ්‍රී ලාංකිකයන්ගේ හැටි.

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මහජනතාව සැලකුවේ තවත් දිගු කාලයකට රට ණය කන්දක ගිල්වා දැමූ වෑයමක් හැටියට නේද…?

මේ තමයි ශ්‍රී ලාංකිකයන්. කෘතවේදීත්වය පිළිබඳ ප්‍රශ්නය මතුවුණේ එතුමාට පමණක් නෙමෙයි, ඉතිහාසය පුරාවටමයි. ඒ නිසා තමයි අනගාරික ධර්මපාලතුමා කිව්වේ ඔහුගේ දේහයවත් ශ්‍රී ලංකාව දෙසට හරවන්න එපා කියලා.

ජනතාවගේ කෘතවේදීත්වය මේ ආකාරයෙන් අහිමි වන බව මුලින් සිතුණේ නැද්ද?

අපි සටනකට බැස්සහම සටනේ ඇති අඩුපාඩු සොයන්නේ නැහැ. දිනනකම් අපි සටන් කරනවා. මේ සටන දිනන්න පුළුවන්. පරදින්න පුළුවන්. දිනුවත් පැරදුනත් සටනක ස්වභාවය එයයි.

ජනතාව ඡන්දය දීමේදී පක්ෂය ගැන ද සොයනවා. ජනාධිපතිවරයාගේ ඡන්ද පදනම ශක්තිමත් නොවීමට හේතුව එජාපයෙන් ඉදිරිපත් නොවී ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම කියලා ඔබ හිතනවාද?

එහෙම වුණා නම් එතුමා කෘතවේදීත්වය නොදක්වන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතුමා 8 වැනි විධායක ජනාධිපති කළ කණ්ඩායම කුමන ආකාරයකින් සමාජය හඳුනා ගත්තත් එතුමාට වසර 30ක් විධායක ජනාධිපති වීමට බාධා කළ පිරිස් සියල්ලම පරාජය කරමින් ඔවුන් එතුමා 8වැනි විධායක ජනාධිපති ධුරයේ තැබුවා. ඒ නිසා එතුමාට යුතුකමක් තිබුණා වරක් හෝ මේ කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමට ඉදිරිපත් වීමට. එතුමා සිය කෘතවේදිත්වය ඒ ආකාරයෙන් දක්වා තිබුණත් ජනතාව එය වෙනත් විදියකට දැක්වූවා.

පක්ෂ නියෝජිතයන් හිටපු ජනාධිපති සමඟ පැමිණියත් ඔවුන් සමඟ පාක්ෂිකයෝ පැමිණියේ නැහැ නේද?

සටනක් කළ පසු දිනනවා. පරදිනවා. පැරදුන විට අපි විවිධ හේතු හොයනවා. අපි සටන් කළා. නමුත් පැරදුණා. අපි එය භාර ගන්නවා. ජයග්‍රණය කළ කණ්ඩායමට අපි සුබ පැතුවා. අපි කිව්වා මේ රට තිබුණට වැඩිය හොඳ තැනකට ගෙනියන්න කියලා. අපි බලමු ඔවුන් ගෙනියනවද? නැතිනම් බිම දානවද කියලා.

හිටපු ජනාධිපතිවරයා යළි තරග නොකළත් යම් අවස්ථාවක අවශ්‍යතාවක් ඇති වුණොත් ඔහු රට බාර ගන්න සූදානම් කියලා ඔබ පැවැසුවා?

එතුමා පැහැදිලිවම කිව්වා,ඕනෑම අවස්ථාවක තනතුරු තානාන්තර කිසිවක් නැතත් ලංකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටීමට සූදානම් බව.

ලබන නොවැම්බරයේ පැවැත්වෙන ඉදිරි මහමැතිවරණයට තව ඇත්තේ සීමිත කාලයක්. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අඩුපාඩු හදාගෙන ඉදිරියට මුහුණ දීමේ සූදානම කෙසේද?

මහ මැතිවරණය සම්බන්ධයෙන් මට මේ අවස්ථාවේ කිසිවක් ප්‍රකාශ කරන්න බැහැ. අපි සාකච්ඡා කරමින් ඉන්නවා. කුමන ආකාරයෙන්ද මැතිවරණයට මුහුණ දෙන්නේ කියා. සමගි සම්පන්නව මුහුණ දුන්නොත් එක පිළිතුරක් ලැබෙයි. අසමගිව මුහුණ දුන්නොත් වෙනත් පිළිතුරක් ලැබෙයි. ඒ නිසා සමගි සම්පන්නව එකමුතුව සියලු දෙනා කටයුතු කරනවාද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පවතිනවා. එසේ සමගිව කටයුතු නොකළොත් ජාතිය වෙනත් මඟකට යොමුවිය හැකියි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ වල් බූරු නිදහස සීමාවන මාවතක් විය හැකියි. එසේ නොවේ නම් ප්‍රජාතන්ත්‍රවාදය පවතින සමාජයක් විය හැකියි. එය තීරණය වන්නේ සියලු දෙනාගේ එකමුතුකමකින් මිස බෙදීමකින් නොවේ. බෙදී ගියොත් සියලු දෙනා වැනසෙන බව මතක ලබාගත යුතුයි.

හිටපු ජනාධිපතිවරයා මහ මැතිවරණයට තරග නොකළත් එතුමාගේ සහාය මහ මැතිවරණයේදී පක්ෂයට හිමි වෙයිද?

එතුමාට සහාය නොදී සිටින්නට බැහැ. සියලු කණ්ඩායම් වෙනුවෙන් එතුමා කටයුතු කරනවා. ඔහු පාර්ලිමේන්තුවට තරග නොකළත් එතුමාගේ නායකත්වය යටතේ තරග කළොත් පමණයි ඒ ඡන්ද ලක්ෂ 22 හෝ ලබා ගන්න පුළුවන් වෙන්නේ. එසේ නොවන්නේ නම් අසමගියෙන් බෙදී වෙන්වන දේශපාලන කණ්ඩායම් බවට විරුද්ධ පක්ෂය පත්වේවි. විරුද්ධ පක්ෂය හැසිරවිය නොහැකි බව ඔවුන් ප්‍රදර්ශනය කර තිබෙන බව විරුද්ධ පක්ෂය මතක තබා ගත යුතුයි. විරුද්ධ පක්ෂයේ කාර්යභාරය වන්නේ ආණ්ඩු පක්ෂය බවට පත්වීමයි. එය අසමත් බව අද ඔවුන් ඔප්පු කර තියෙනවා. එම නිසා ඒ විරුද්ධ පක්ෂයට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ සමාජයේ ස්ථාවර කිරීමට. විරුද්ධ පක්ෂයේ නායකත්වය තබා ගැනීමට නොහැකි කණ්ඩායමක් ජනාධිපති හෝ අග්‍රාමාත්‍ය ධුරයක් ලබා ගන්නේ කෙසේද? ඔවුන් අසමත් බව ප්‍රදර්ශනය කර අවසන්. මේ නිසා මේ අය ගැන විශ්වාසයක් මහජනතාවට තබාගත නොහැකියි. එදා සියයට 3ක් ගත් කණ්ඩායමක් මුළු විරුද්ධ පක්ෂයම තළාගෙන අද ඉදිරියට ගමන් කර තියෙනවා.

ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන්නේ අලියා ලකුණින්ද, නැතිනම් වෙනත් ලකුණකින්ද?

ලකුණු ගැන දැන්ම මුකුත් කියන්න බැහැ. මේ වන විට ඒවා සාකච්ඡා කරමින් පවතිනවා. අපි බලමු අවසාන නිගමනය කුමක් වේවිද කියා. රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම තමාට දුන් ඡන්ද ලක්ෂ 22ක වටිනාකම අනික් අපේක්ෂකයන්ට ලබා දීමට නායකත්වය ලබා දෙයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division