Home » එ.ජා.ප.යට අලුත් නායකත්වයක් ලැබුණොත් සන්ධානගතවීම ගැන සාකච්ඡා කළ හැකියි

එ.ජා.ප.යට අලුත් නායකත්වයක් ලැබුණොත් සන්ධානගතවීම ගැන සාකච්ඡා කළ හැකියි

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

– අපේ ඉලක්කය මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස අගමැති තනතුරට ඔසවා තැබීමයි
– නව ජනාධිපතිවරයාගේ පත්වීම මේ රටේ තුනෙන් එක් කොටසක අපේක්ෂාවක් පමණයි
– ඡන්දය ලබා දුන් ප්‍රතිශත සැසඳීමේදී සමගි ජන බලවේගයට නැඟිටින්න පුළුවන් කියන පණිවිඩය ලබා දී තියෙනවා

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ජයගත්තා. වාමාංශික අපේක්ෂකයකු ජයගත් මුල්ම අවස්ථාව ලෙස ජනපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ගැන හිතෙන්නේ කුමක්ද?

මේ රටේ ඡන්දදායකයන්ගෙන් තුනෙන් එකක ජයග්‍රහණයක් පමණයි. ඒ නිසා නව ජනාධිපතිවරයාගේ පත්වීම මේ රටේ තුනෙන් එක් කොටසක අපේක්ෂාවක් පමණයි. නමුත් ව්‍යවස්ථානූකූලව මේ ජයග්‍රහණය පිළිගත යුතුයි. රටට හොඳක් වෙනවා නම් හෝ රට යහපත් මාර්ගයකට යොමු වෙනවා නම් එය හොඳ දෙයක්. ඒ නිසා අපි ඔවුන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. එතුමාට දැන් විශාල අභියෝග ගණනාවක් තියෙනවා. රට බංකොලොත් වෙලා ආර්ථික අවදානමක තියෙන්නේ. එයින් ගොඩ ගැනීමට කරන කැප කිරීම හා ගන්නා ක්‍රියාමාර්ග ඉතා වැදගත් වේවි. එසේම නීතිගරුක සාධාරණ සමාජයක් ගොඩ නැඟීමටත් යම් කැපකිරීමක් සිදු කරන්නට වේවි. මේ අනුවයි ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ පැවැත්ම පවතින්නේ.

ජාතික ජන බලවේගය කෙරෙහි ජනතාව නැඹුරු වීමට ප්‍රධාන හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද? මෙය අරගලයේ තවත් දිගුවක්, එනම් අරගලයෙන් මතුවූ රැල්ලක් ලෙස සමහරු දකිනවා. මේ ගැන ඔබේ අදහස?

අරගලයෙන් පස්සේ මහජනතාව යම් වෙනසක් සිදු විය යුතුය යන මතයේ සිටින බව පැහැදිලියි. එසේම පොහොට්ටුවට ඡන්දය දුන් පිරිසෙන් යම් ප්‍රමාණයක් පමණයි ඔවුන්ට ඡන්දය ලබා දී ඇත්තේ. අලුත් ඡන්දදායකයන්ගෙන් යම් කොටසකුත් ඔවුන්ට ඡන්දය ලබා දී තියෙනවා. කෙසේ වුවත් වෙනසක් සඳහා ඡන්දය ලබා දීමක් තමයි සිදු වූයේ. ඒ අත්හදා බැලීම ජනතාව සිදු කළා.

පරාජය වීම කෙරෙහි බලපෑ සමගි ජන බලවේගයේ අඩුපාඩු ලෙස ඔබ දකින්නේ මොනවාද?

ප්‍රධාන හේතු කිහිපයක් අපි හඳුනා ගත්තා. පළමුවැන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරිපත් වීම. එය අපේ ඡන්දදායකයන්ට විශාල බලපෑමක් සිදු කළා. එක්සත් ජාතික පාක්ෂික ඡන්ද පදනමින් කොටසක් එනම් , ඔහු ඡන්ද ලක්ෂ 22ක් ලබා ගත්තා. එය ලංකා ඉතිහාසයේ පළමු වතාවට තෙවැනි අපේක්ෂකයකුට ලැබුණු ඡන්ද ප්‍රමාණයක්. අරගලයෙන් පසුව මහජනතාව අලුත් අපේක්ෂාවක් වෙනුවෙන් ජාතික ජන බලවේගයට තල්ලු වුණා. එය ඔවුන් ගොඩනඟා ගත් ජයග්‍රහණයක්.

දැන් හිතෙන්නේ නැද්ද එක්සත් ජාතික පක්ෂයේ බෙදීම මේ ජයග්‍රාහී ගමන දෙදරීමට හේතුවක් වූ බව ?

මෙම මැතිවරණ ප්‍රතිඵලය විග්‍රහ කිරීමේදී ඒ තර්කය ඕනෑම කෙනෙකුට ගොඩ නඟන්න පුළුවන්. ලක්ෂ 22ක් වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රමාණය හා සජබ ලබාගත් ලක්ෂ 45 එකතු කළ පසු ලක්ෂ 67 ක් වෙනවා. එවිට අනුර කුමාර මහතාගේ ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. එහි තර්කයක් තියෙනවා. ඇත්තටම අවාසනාවන්ත ලෙස අපේ ඡන්ද දායකයන්ගේ හා අනුර කුමාර විරෝධි ඡන්ද දායකයන්ගේ බෙදීම තමයි මේ ප්‍රශ්නයට මූලික හේතුව.

මහ මැතිවරණයකට ඇත්තේ තවත් කෙටි කාලයක්…මේ පක්ෂ දෙක එකතු වුණොත් ජාතික ජන බලවේගයට එරෙහිව සටනක් කිරීමට හැකිවේ යැයි විශ්වාස කරනවාද?

එකතු වීමක් සම්බන්ධව එවැනි යෝජනාවක් ඉදිරිපත් වී තියෙනවා. අපේ කළමනාකරණ කමිටුවත් ඒ ගැන දීර්ඝව සාකච්ඡා කර තියෙනවා. අපි ඒ යෝජනාව බාර ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අපේ පක්ෂය මේ සතියේදී තීරණයක් ගනීවි. රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගත යුතුයි. එසේම එක්සත් ජාතික පක්ෂය හා සන්ධානගත වීම ප්‍රයෝජනවත් කාර්යයක් සේ දකිනවා.

ඒ කියන්නේ එකතු වීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති බවද?

මේ වන විට තීරණයකට ඇවිත් නැහැ. යෝජනාවට කොයි ආකාරයෙන් අවතීර්ණ විය හැකිද යන්න පිළිබඳ සලකා බලමින් පසුවෙනවා.

හිටපු ජනාධිපතිවරයා නැවතත් මැතිවරණයට නොඉල්ලන බවට ප්‍රකාශ කළා. එවන් පසුබිමක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මේ ගමන යා නොහැකි ඇයි?

මේ යෝජනාවේ තවත් හරයක් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බව. ඔහු කෙරේ විශ්වාස තැබීමට අපහසු කරුණු ගණනාවක් තියෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකත්වයක් ලබා දෙනවා නම් සන්ධානගත වීම සම්බන්ධව ඊළඟ සාකච්ඡාවලට යා හැකි වෙනවා. මෙතෙක් නිල වශයෙන් එවැනි අදහසක් ඉදිරිපත් වී නැහැ. රුවන් විජයවර්ධන නායකත්වයට පත් කළ යුතුය යන අදහස එක්සත් ජාතික පක්ෂයේ තියෙනවා. ඒ නිසා එය පක්ෂයේ තෝරා ගැනීමක් මිස ඊට අපිට නිර්දේශ ලබා දෙන්න බැහැ. එක්කෝ මේ පක්ෂ දෙකම එකතු කරලා සජිත් ප්‍රේමදාස මහතා නායකයා බවට පත් කළ යුතුයි.

මහ මැතිවරණයට ඇත්තේ කෙටි කාලයක්. ජාතික ජන බලවේගයට සටනක් දිය හැකි පරිදි පක්ෂ සංවිධාන කටයුතු සිදු කරන්නේ කොයි ආකාරයෙන්ද?

මැතිවරණ ව්‍යාපාරයක් සිදු කළ නිසා අපිට මේ කාලය ප්‍රමාණවත්. අපි ප්‍රචාරක කටයුතු සුපුරුදු පරිදි ළඟදීම ආරම්භ කරනවා.

මෙවර ඡන්දය ලබා නොදුන් පිරිස විශාලයි. මේ පිරිස ග්‍රහණය කර ගැනීමේ සැලැස්මක් තිබෙනවාද ?

මැතිවරණ ව්‍යාපාරය කොයි ආකාරයෙන් සිදු වන්නේද යන්න පිළිබඳ අවසන් නිගමනයකට පැමිණ නැහැ. කෙසේ වෙතත් ඡන්දය ලබා දුන් ප්‍රතිශත සැසඳීමේදී සමගි ජනබලවේගයට නැඟිටින්න පුළුවන් කියන පණිවිඩය ලබා දී තියෙනවා. අපේ ඉලක්කය වන්නේ මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස අගමැති තනතුර දක්වා ඔසවා තැබීමයි. ඒ වෙනුවෙන් අපේ ඡන්ද ව්‍යාපාරය සුදානම් වෙනවා.

දෙවැනි මනාපය සලකුණු කිරීම සඳහා තම ඡන්දදායකයන් දැනුවත් කිරීමට හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක යන දෙදෙනාම නැඹුරු වූයේ නැහැ. එනිසා එම දෙදෙනාම පරාජය වී මාලිමාවේ අපේක්ෂකයාට ජයග්‍රහණය ලැබීමේ මාර්ගය විවර වුණා කීවොත් නිවැරදිද ?

ඇත්තෙන්ම දෙවැනි මනාපය ගැන කවුරුත් වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. ඉතාම සුළු පිරිසකුයි දෙවැනි මනාපය පිළිබඳ අවබෝධයකින් කටයුතු කර තිබුණේ. උනන්දු නොවුණේ ඡන්ද පත්‍රිකා අවලංගු වීමට තිබූ වැඩි ඉඩකඩ නිසයි. ඒ නිසා අපි ප්‍රවේසම් වුණා. ඡන්ද දායකයන් තමන්ට තිබූ මේ අවස්ථාව භාවිත කළා නම් හොඳයි.

මේ වන විට ඉදිරි මහ මැතිවරණය සඳහා සුදානම කොහොමද?

ජනාධිපතිවරණයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා ශක්තිමත්ව මේ මැතිවරණයටත් මුහුණ දෙන්න සූදානම්. අපේ මැතිවරණ මෙහෙයුම් වැඩ පිළිවෙළ ආරම්භ කරන්නට තීරණය කළා. නාම යෝජනා කමිටුව පවා අපි පත්කර තියෙනවා.

ප්‍රධාන පක්ෂ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ගැන කතා කළත් ඒවා තුට්ටුවකට මායිම් නොකර රාජ්‍ය සේවකයන් ජාතික ජන බලවේග අපේක්ෂකයාට ඡන්දය ලබා දුන්නා නේද..?

වැටුප් වැඩිවීම් පමණක් නෙමෙයි රටේ ජනතාවට ලබා දුන් පහසුකම් සම්බන්ධයෙනුත් ජනතාව නිසි සැලකීමක් දක්වා නොමැති බව පැහැදිලියි. අපි සක්වල වැඩ සටහන හරහා විශාල වෙහෙසක් ගත්තා. බස්රථ ලබා දුන්නා. මේවාට කෘතගුණ දැක්වීම පිළිබඳ සැලකිල්ල අඩු බව පෙනුනා. ඒවා ගැන අඩු ඇගැයීමක් සිදුවු බව පැහැදිලියි. රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙනුත් අපි මැතිවරණ වේදිකාවල බොහෝ දේ පැවැසුවා. නමුත් රාජ්‍ය සේවකයන්ගේ බහුතරය ඡන්දය ලබාදුන්නේ මාලිමාවට. ඔවුන් වැටුප් නැතිව හෝ වැඩ කරන්න සූදානම් ඇති.

පොදු ජන නියෝජිතයන් පක්ෂ මාරු කරන විට පාක්ෂිකයන් ඔවුන් සමඟ නොගිය බව මෙවර ඔප්පු වුණා?

මෙවැනි දේවල් මැතිවරණ ව්‍යාපාරවල සිදු වෙනවා. නමුත් නව සංස්කෘතියක් ඇති කරන එක හොඳයි. ඡන්ද දායකයන්ගේ විශ්වාසය තහවුරු වන මැතිවරණ ක්‍රමයක් ඇති විය යුතුයි. තේරී පත්වන මන්ත්‍රීවරු ජනතාවට වගකියන ක්‍රමයක් ඇති වීම වැදගත්.

වත්මන් ජනාධිපතිවරයාට දක්වන සහයෝගය කෙබඳුද?

පාර්ලිමේන්තුව හරහා ලබා දිය හැකි සහයෝගය එනම් ආණ්ඩුව ගෙනෙන අණ පනත් ජනතාවාදී නම් අපි සාධාරණව ක්‍රියාකරනවා. එයින් ආණ්ඩුවට එකතු වීමක් ගැන කියවෙන්නේ නැහැ.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division