තමාට තමා අමතක වුවහොත් ඒ ජීවිතයෙන් කවර ඵලයක්ද? එහෙත් ජාත්‍යන්තර ඇල්සයිමර් පර්යේෂණ ආයතනයේ දත්ත වාර්තා අනුව තමාට තමා අමතක වීම හෙවත් වැඩිහිටි ප්‍රජාව අතර ඩිමෙන්ෂියා තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස ඇල්සයිමර් තත්ත්වය හඳුනාගෙන ඇත. විශේෂයෙන් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 5-7 අතර ප්‍රතිශතයක් සහ වයස අවුරුදු 85ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 20-30 අතර ප්‍රතිශතයක් ද ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන බව කියැවේ.
පුද්ගලයාගේ දෛනික ක්‍රියාකාරීත්වයට බාධා කරන මතකය, සිතීම සහ හැසිරීමේ ගැටලු රැසක් ඇති කරන ඇල්සයිමර් රෝගයෙන් වැළකීම සඳහා ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා රෝග අතර වෙනස්කම් දැන ගැනීම, ඇල්සයිමර් රෝගියකු හඳුනා ගැනීම, ප්‍රතිකාර සහ වළක්වා ගැනීම ඉතා වැදගත් වේ. මේ පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගෙන් වැඩිදුර කරුණු විමසුවෙමු.
ඩිමෙන්ෂියා යනු මොළයේ වෙනස්කම් හේතුවෙන් ඇතිවන බුද්ධිමය ක්‍රියාවලියේ අසාමාන්‍යතාවක් වන අතර එහිදී උසස් බුද්ධිමය හැකියාවන් එනම්, මතකය, සිතීමේ හැකියාව, තම වටපිටාව පිළිබඳ විශ්ලේෂණය කිරීමට ඇති හැකියාව, ගණිතමය හැකියාව, අලුතින් යමක් ඉගෙන ගැනීමේ හැකියාව. භාෂාමය හැකියාව, උපකල්පනය කිරීම ආදී හැකියාවන්හි වෙනස්කම් ඇතිවීම විශේෂයෙන් එම හැකියාවන් ක්‍රමයෙන් නැතිවීමේ තත්ත්වයක් දැකිය හැකිය. යම් පුද්ගලයකු ඩිමෙන්ෂියා රෝගියකු ලෙස හඳුනා ගැනීමට නම් මතකය සහ චින්තන හැකියාව යන දෙකේම දුර්වලතා පැවතීම, ඒ හේතුවෙන් සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරගෙන යෑමට නොහැකි වීම සහ මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් එම තත්ත්වය පැවතිය යුතුය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික රෝග වර්ගීකරණය යටතේ ඩිමෙන්ෂියා වර්ගීකරණය කර ඇති අතර, ඒ අනුව ඩිමෙන්ෂියා තත්ත්වය ඇල්සයිමර් ඩිමෙන්ෂියාව, සනාල ඩිමෙන්ෂියාව, ෆ්‍රන්ටෝටෙම්පොරල් ඩිමෙන්ෂියාව, ලෙවී බොඩි ඩිමෙන්ෂියාව ලෙස වර්ග කර ඇත. මේ අතරින් බහුලව දැකිය හැකි ඩිමෙන්ෂියාව වන්නේ ඇල්සයිමර් ඩිමෙන්ෂියාව වන අතර, ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් තුනෙන් දෙකක් ඇල්සයිමර් ඩිමෙන්ෂියා රෝගීන්ය. වයස අවුරුදු 60ට වැඩි සියයට 5කට පමණ පිරිසක් මෙම තත්ත්වයට ගොදුරු වේ.
ඩිමෙන්ෂියා රෝගය වැලඳීමට බලපාන පාරිසරික සාධක ලෙස දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග, දුම් පානය සහ වයස්ගත වීම, විවිධ අනතුරු හේතුවෙන් හිස්කබලට හා මොළයට සිදු වන හානි, බුද්ධිමය ක්‍රියාකාරකම්වල නිරත නොවීම, අඩු අධ්‍යාපනය හා බුද්ධි හීනතාව, විෂාදය වැනි වෙනත් මානසික රෝග වැලඳී තිබීම සඳහන් කළ හැකිය.
ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ මුලින්ම ආරම්භ වන්නේ යම් පුද්ගලයකු තුළ කෙටිකාලීන මතකය අඩු වීමෙනි. යමක් තිබූ තැන සොයා ගැනීමට අසීරු වීම, දෛනික කටයුතු කරගැනීමට නොහැකි වීම ආදියෙන් ඇරඹෙන එම තත්ත්වය පණිවිඩ අමතක වීම, පුද්ගලයන් හඳුනා ගැනීමට නොහැකි වීම දක්වා වර්ධනය වේ. එම තත්ත්වය බුද්ධිමය ක්‍රියාකාරීත්වය අඩු වීම දක්වා වර්ධනය වන අතර, නිවැරැදි තීරණ ගැනීමට නොහැකි වීම, ගැටලු සම්බන්ධයෙන් නිවැරැදි විශ්ලේෂණ හැකියාව අඩු වීම මෙන්ම එතෙක් තිබූ සමාජ සාරධර්ම සහ ගුණදම් ගිලිහී යෑමෙන් සමාජයට සහ පුද්ගලයන්ට හිරිහැර කරන අයකු බවට පත්වීම දක්වා වර්ධනය විය හැකිය. එමෙන්ම අනතුරුවලට මුහුණු දීම ද සිදු විය හැකිය. තම ඇඳුම් ඇඳ ගැනීමට මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යෑමට ද නොහැකි විය හැකිය. මෙම තත්ත්වයෙන් පෙළෙන සියයට 50ක පමණ පිරිසක් තුළ අසාමාන්‍ය විශ්වාස ද ඇතිවිය හැකිය. එනම් අනිත් අය සැක කිරීම, තමාට හිරිහැර කරන පුද්ගලයන් සිටින බව විශ්වාස කිරීම, කෑමබීම ප්‍රතික්ෂේප කිරීම වැනි අසාමාන්‍ය ලක්ෂණ ඇතිවේ. ඊට අමතරව විවිධ අසාමාන්‍ය සන්නිවේදන ඇතිවන අතර, සියයට 30කට පමණ පිරිසකට කාලයත් සමඟ අසාමාන්‍ය මනෝ භාවයන් ද ඇතිවිය හැකිය. එනම් විවිධ රූප පෙනීම, ගෙදර නැති අය පවා සිටිනවා සේ දැකීම, විකෘති සතුන් සහ මිනිස් රූප පෙනීම, ළඟ නොමැති අයගේ කටහඬ ඇසීම ආදිය සිදුවිය හැකි අතර, ඇතැම් රෝගීන්ට මුල් අවධියේදී ගඳ සුවඳ හඳුනා ගැනීමේ දුර්වලතා ද ඇතිවේ. එමෙන්ම ඇතැම් රෝගීන්ට පාලනයකින් තොරව මල මූත්‍රා පිටවීම මෙන්ම නින්ද නොයෑම, ආහාර රුචිය අඩු වීම හෝ වැඩි වීම, ලිංගික ආශාවන් වැඩි වීම, පිරිසුදුකම අඩු වීම සමාජශීලී බව අඩු වීම, නිතර දුකෙන්, කනස්සල්ලෙන් සිටීම, අරමුණකින් තොරව ඇවිදීම සහ නිවෙසට එන මඟ සොයා ගැනීමට නොහැකි වීම, නිතර තරහ යෑම ආදී චර්යාත්මක වෙනස්කම් ද ඇතිවිය හැකිය.
ඇල්සයිමර් ඩිමෙන්ෂියා ඇති වීමට හේතුව මොළයේ තිබෙන ඇමයිලොයිඩ් හා ටවු නමැති ප්‍රෝටීන මොළයේ ස්නායු සෛල තුළ සහ ඒ අවට තැන්පත් වීම නිසා ක්‍රමයෙන් ස්නායු සෛල විනාශ වීමය. ඊට අමතරව පාරම්පරිකව මෙන්ම ජාන කිහිපයක් නිසා ද මෙම රෝගය වැලඳිය හැකිය. එම ජාන හේතුවෙන් අඩු වයසින් මෙම රෝගය වැලඳිය හැකි අතර, දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී රෝග, දුම් පානය, අඩු අධ්‍යාපනය සහ බුද්ධි හීනතාව, විෂාදය වැනි වෙනත් මානසික රෝගවලට ගොදුරු වී සිටීම, බුද්ධිමය ක්‍රියාකාරකම්වල නිරත නොවීම සහ හදිසි අනතුරු නිසා මොළයට සහ හිස් කබලට සිදු වන හේතු නිසා ද මෙම රෝගය ඇතිවිය හැකිය.
මෙම ඇල්සයිමර් ඩිමෙන්ෂියා රෝගය වැලඳීමට පෙර වළක්වා ගැනීම වැදගත් වන අතර, ඒ සඳහා දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී රෝගවලට නිවැරැදි ප්‍රතිකාර ලබමින් රෝගය නිසි ලෙස පාලනය කර ගැනීම, වයසට ගියත් අලුතින් දේවල් ඉගෙනීම හා දැනුම වර්ධනය කර ගැනීමේ ක්‍රියාකාරකම්වල නිරත වීම මොළය මෙහෙය වන ක්‍රියාකාරකම් හා අභ්‍යාසවල නිතර යෙදීම, ශාරීරික ව්‍යායාම්වල නිරත වීම සහ දිනපතා සමතුලිත ආහාර වේලක් ලබා ගැනීම වැදගත් වේ. ලුණු අධික ආහාර සහ මස් මාංස විශේෂයෙන් රතු පැහැති මස් වර්ග භාවිතය අවම කළ යුතු අතර, එළවළු, පලතුරු, මාළු සහ ධාන්‍ය වර්ග වැඩි වශයෙන් භාවිතය සුදුසු වේ.
රෝග ලක්ෂණ කල්තියා හඳුනාගෙන රෝහලක් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු වීමෙන් ඖෂධ සහ මනෝ සායනික ප්‍රතිකාර මඟින් රෝගයට ප්‍රතිකාර ලබාගත හැකිය. රෝගය මුළුමනින් සුව කිරීම අපහසු වුවත් නිසි ප්‍රතිකාර මඟින් රෝගය මනාව පාලනය කළ හැකිය. ඒ මඟින් රෝගියාට පහසුවෙන් ජීවත් විය හැකි පරිසරය සැකසිය හැකිය. දිගුකාලීනව ඇල්සයිමර් තත්ත්වයට ගොදුරු වී සිටින රෝගියකු වෙනත් රෝගවලට ලක්වීමෙන් ඇතිවන සංකූලතා සහ ආසාදන හේතුවෙන් මරණයට පත්වීමේ අවදානම වැඩි විය හැකිය.
ඩිමෙන්ෂියා රෝගියකු රැකබලා ගැනීම ද ඉතා අසීරු කටයුත්තක් වන්නේ ඔවුන් රැකබලා ගන්නා පුද්ගලයන් ද විවිධ මානසික පීඩාවලට ලක්විය හැකි බැවිනි. එබැවින් එවැනි රෝගියකු රැකබලා ගන්නා පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය.
විශේෂයෙන් පිටරට ජීවත් වන දරුවන්ගේ මවුපියන් මෙරට හුදෙකලා වීම නිසා මානසික ගැටලු රැසකට ලක්වන බැවින් ඔවුන්ගේ මානසික මට්ටම රැක ගැනීම සඳහා ආයතන සහ සංවිධාන පිහිටුවීමේ වැදගත්කම ද විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් විසින් අවධාරණය කළේය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්