Home » ඩුබායිහි මෙරට කන්සියුලර් කාර්යාලය අහක බලද්දී ශ්‍රී ලාංකික අනාතයන් මෙරටට එවූ එරට අපේ මිනිසුන්ගේ මනුෂ්‍යත්වයේ මෙහෙයුම

ඩුබායිහි මෙරට කන්සියුලර් කාර්යාලය අහක බලද්දී ශ්‍රී ලාංකික අනාතයන් මෙරටට එවූ එරට අපේ මිනිසුන්ගේ මනුෂ්‍යත්වයේ මෙහෙයුම

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment
අල් හුඩ­යිබා උද්‍යා­නය තුළ මේ පිරි­සගේ දවස් ගෙවුණු අයුරු

අල් හුඩ­යිබා උද්‍යා­නය තුළ මේ පිරි­සගේ දවස් ගෙවුණු අයුරු

ල් හුඩයිබා උද්‍යානය පිහිටා ඇත්තේ ඩුබායි සට්වාහි කොන්සල් ජෙනරාල් කාර්යාලය පසුපසය. වැලි සහිත පොළොවේ වවා ඇති සෙවණ ගස් තුන හතරකින් සහ එම සෙවණ ගස් යට සැදූ කොන්ක්‍රිට් බංකු කීපයක් පමණක් නිසා මේ ස්ථානය උද්‍යානයක් ලෙස නම් කර තිබේ. තුන් පැත්තකින් ගොඩනැගිලිවලින් වටවූ පටු ඉඩක් සහිත එම ස්ථානය උද්‍යානයක් කිව නොහැකි තරම් කටුක මුඩු බිමකි. මේ ගිම්හානයේ දිවාකල හාත්පස උෂ්ණත්වය සෙල්සියස් අංශක 45කට වඩා ඉහළ අගයකි. ප්‍රාණින් වියළා දමන උණුසුමකින් පරිසරය ගිනි ගනිමින් ඇත.

එවන් වටපිටාවක මේ පටු උද්‍යානයේ කුසට අහරක්, වතුර පොදක් නැතිව, වැඟිරෙන දහදියෙන් තෙත් බරිත වුණු සිරුරට දිය පොදක පහසක් නැතිව, නිශ්චිත සනීපාරක්ෂක පහසුකමක් නැතිව අසරණ වූ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මහමඟට වැටී ජීවිතය පමණක් රැකගෙන පිනට දෙන දෙයක් වේ නම් ඉන් පමණක් සෑහී ජීවත්වෙමින් සිටියහ.

මේ අසරණයෝ මව්බිමේදී ව්‍යසනයට ලක් කළ ජීවිතයට පිළිතුරු සොයා මැදපෙරදිග රැකියාවකට යොමුවූ මිනිස්සු වෙති. මැද පෙරදිග ගෘහ සේවය ඇතුළු සුළු රැකියා තෝරා ගැනීමේ දී අශිෂ්ට මිනිස් ජාවාරම්කාරයන්ගේ පහසු ගොදුරුවී මව්බිමේදී අත්විඳි ව්‍යසනය ජීවිත ඛේදවාචකයකින් කෙළවර කරගත් අසරණ නූගත් මිනිසුන්ය. මේ ගැහැනු සහ පිරිමි 20ක් අල් හුඩයිබා උද්‍යානයේ රැඳී උන්හ. මේ වනවිට ඩුබායි රාජ්‍යයේ ක්‍රියාත්මක වී ඇති සහන කාලය උපයෝගී කරගෙන ජීවිත පමණක් රැගෙන නැවත මව් රටට යෑම පමණක් අපේක්ෂාවෙන් ඉන්නා මේ අසරණයන් සාහසික අපරාධකරුවන්ගේ ගොදුරු වී සිටින අයුරු වාර්තා විය.

මේ පිරිස අතර අවුරුදු 60 – 55 වයසේ අසරණ මව්වරු වෙති. පියවරුන්ගේ වයසේ වියපත් පුද්ගලයෝ වෙති. ඉන්න එකම තරුණිය මේ අනාරක්ෂිත පරිසරයේ මහා ව්‍යසනයකය. ඇය තුන් මස් ගැබිනියකි. මේ තරුණිය මේ රටේ මිනිස් ජාවාරම් මාෆියාව නීත්‍යානුකූල කර ඇති ආකාරය හෙළිකරන සාධකයක් බව හෙළි කරමින් ඇත. ඇය සංචාරක වීසා මත රටෙන් පිටවී එන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී රක්ෂණ ආවරණයක් ද යටතේ ය. එය සිදුවිය හැක්කක් නොවන බව ඔබට සිතෙනු ඇත. එහෙත් ඒ අපරාධය සිදුවී තිබිණි.

මේ තරුණ ගැබිනියට උප්පැන්නයක් නැති අනාගත කිරි සප්පයෙක් කුසෙහි දරාගෙන වුව ද ලංකාවට පැමිණීමට අවශ්‍යය. ලංකාවට පැමිණ පසු ඇගේ ජීවිතය මේ සමාජය තුළ කෙසේ රක්ෂා වී පවතිනු ඇතිදැයි අපට වැටහීමක් නැත.

අල් හුඩයිබා උද්‍යානයේදී කුණු කානු පල්ලට වැටී නන්නත්තාර වී තිබුණේ ශ්‍රී ලාංකික පුරවැසි අභිමානය ය. රැකියාවක් සඳහා මව්බිමෙන් පිට වී යන සෑම පුද්ගලයෙක් ම ඒ රටේ පුරවැසි සමාජයේ ගෞරවය සහ පෞරුෂය ප්‍රකාශ කරන්නේය. රටක් විදේශයක සිය තානාපති කාර්යාල කොන්සියුලර් ජෙනරාල් කාර්යාල පිහිටුවන්නේ ඒ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් මෙන්ම ජාතියක අභිමානය සහතික කිරීම වෙනුවෙනි. තානාපති කාර්යාලයක්, කන්සියුලර් කාර්යලක් යනු විදේශයකදී අදාළ රටේ පුරවැසියන්ගේ මහ ගෙදරය. ඔබ දැනගත යුතු සාහසික ඛේදවාචකය වන්නේ ඩුබායි කොන්සියුලර් කාර්යාලය පසුපස ඇති මේ අල් හුඩයිබා උද්‍යානයේ සරණාගතයන් වී සිටි සෑම ශ්‍රී ලාංකිකයෙක්ම මෙතැනට ඇවිත් තිබුණේ කොන්සියුලර් කාර්යාලයට ගොඩවීමෙන් පසු බලු කපුටන් සේ එම කාර්යාල භූමියෙන් පන්නා ගැනීමෙන් අනතුරුවය. කොන්සියුලර් කාර්යාලයේ අය එය පවත්වාගෙන යන්නේ තමන්ගේ රටේ මිනිසුන් යාචකයන් වී ඔවුන්ගේ කාර්යාලය ඉදිරිපිට පොදු භූමියක රැඳී සිටින ආකාරය උදේ සවස දකිමින් වීමය. එතැන් සිට ප්‍රශ්නය ඇති වී තිබුණේ මේ නිලධාරීන්ගේ හෘර්දය සාක්ෂිය පිළිබඳය.

මේ අසරණ නූගත් මිනිසුන්ට මුල සිටම වැරදී තිබිණි. ඔවුන් ගොදුරු කර ගන්නේ මිනිස් ජාවාරම්කරුවන්ය. සංචාරක වීසා මත ඩුබායි වෙත ගෙන්වා වහල් සේවයේ යෙදවූ කාන්තාවන් ගණනාවක් සිය රැකියා ස්ථානයෙන් පැන ජීවිතය රැක දෙන ලෙස යදිමින් කොන්සියුලර් කාර්යාලය වෙත පැමිණ තිබිණි. අතේ සත පහක් නැතිව, ගමන් බලපත්‍ර හෝ වලංගු ලියවිලි තමන් වහල් සේවයේ යෙදවූවන් භාරයේ තිබියදී ජීවිත පමණක් රැකගෙන පැමිණි කාන්තාවන් යළිත් ඒ වහල් කඳවුරුවලට ම භාරදීමට උත්සාහ කළ කොන්සියුලර් නිලධාරීන් ගැන මේ මිනිස්සු අපට කීහ.

“මිනිස්සු එක්ක නිදියගෙන හරි ඩිරාම් 5000ක් හොයාගෙන වරෙන් පාස්පෝට් එක ගන්න…” එක් කාන්තාවකට කොන්සියුලර් කාර්යාලයෙන් පවසා තිබිණි. එය කළ නොහැකි නිසා ඇය අල් හුඩයිබා උද්‍යානයේ සරණාගතයන් අතරට පැමිණ තිබිණි.

2023 වර්ෂයේ පමණක් 297656ක් විදේශ රැකියාවලට එහි ආහ. එයින් සියයට 44.7 ක් කාන්තාවෝ වෙති. ඒ කාන්තාවන් අතර සියයට 85ක ප්‍රතිශතයක් රට හැර ආවේ මැදපෙරදිග ගෘහ සේවයටය. රටේ විදේශ විනිමයෙන් සියයට 56ක් උපයා දුන්නේ මේ ගෘහසේවක කාන්තාවන්ය. මේ තානාපති කාර්යාල නඩත්තු කරන්නට එවන ඩොලර්වලින් අඩකට වැඩි පංගුවකට දායකත්වය මේ අසරණ ගෘහ සේවිකාවන්ගේය. උන් සම්බන්ධව කොන්සියුලර් කාර්යාලය කටයුතු කරමින් සිටි ආකාරය සම්බන්ධව ඩුබායි ශ්‍රී ලාංකිකයින් දැඩි කම්පාවකට පත් කර තිබිණි.

මෙතැන් සිට අප ඔබට කියන්නේ මේ විදේශ සේවයට ආසන්නයකටවත් පැමිණිය නොහැකි ජාතික වගකීමෙන්, ජාතියක් පිළිබඳ වූ ගෞරවයෙන්, අපේ රටේ අවරගණයේ දේශපාලනය ලැජ්ජාවට පත් විය යුතු ආකාරයේ මනුස්කම පිරුණු අපේ රටේම මනුෂ්‍යයන් පිරිසකගේ මහා ආදර්ශයක් පිළිබඳ කතාවකි.

ඩුබායි හි ශ්‍රී ලාංකිකයෝ එක්ව සමූහගතව සිටිති. ඒ UAE අත්වැල නමින් එකමුතු කරගත් සාමාජිකයන් 26000කින් සමන්විත ෆේස් බුක් සමූහයක් තුළය. මේ සමූහය පරිපාලනය කරනු ලබන්නේ විවිධ වෘත්තීමය කුසලතා පූර්ණ 11 දෙනකුගෙන් යුතු විශිෂ්ටයන් කණ්ඩායමක් විසිනි. ඩුබායි කොන්සියුලර් කාර්යාලය පසුපස අල් හුඩයිබා උද්‍යානයේ හිඟමනට වැටි සිටින ශ්‍රී ලාංකිකයන් පිරිස දකින්නේ ඔවුන්ගෙන් එකෙකි.

මේ කම්පිත දැකීම ඔහු තිගස්වා තිබිණි. එතැන් සිට මේ පිරිස වෙනුවෙන් කළ යුත්ත කුමක්දැයි තෝරමින් කොන්සියුලර් කාර්යාලයේ රාජකාරී වගකීම යුතුමක් ලෙස සලකා සැලසුම් කළේ මේ තරුණ කණ්ඩායම සහ ඔහු හා බැඳුණු ශ්‍රී ලාංකිකයන් සමූහය ය. මේ මානුෂික ඛේදවාචකයේ තරම අපට කියන්නට, අල් හුඩයිබා සරණාගතයන් සමඟ සංවාදයක් ගොඩනඟා ගන්නට පාලම සදා දෙන්නේ UAE අත්වැල ශ්‍රී ලංකා සාමුහිකය ය.

මා එතැන සිටි ගැබිනි තරුණියගේ නම ඇසුවේ නැත. ඒ තුන්මස් ගැබිනි මව අපට කම්පනය දරාගෙන කතා කළාය.

“මම ආවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මුදල් ගෙවලා රක්ෂණය වෙලා. මේ ආපු ගමනේදි කවදාවත් නොහිතපු තරම් පීඩාවට පත් වුණා. අන්තිමට පඩි දෙන්නේ නැතිව දස වද දිදී වැඩ ගන්නකොට මම ඉන්න තැනින් පැනලා ඇවිත් කන්සියුලේට් එකෙන් ඉල්ලුවේ මම අසරණයි මට ඉන්න තැනක් දෙන්න කියලා. ඒ අය මාව පන්න ගත්තා. මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා කන්සියුලේට් එක දැනගෙන හිටියේ නෑ, පස්සේ මේකට මැදිහත් වුණු මහත්තුරු නිසා තමයි ඒ අය දන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්නෙ කියලා.”

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රක්ෂණ ගාස්තු ගෙවා පැමිණි ඇයට අවශ්‍ය රැකවරණය සැපයීමේ රාජ්‍ය වගකීම තුට්ටුවට දැම්මා පමණක් නොව, ඇය දූෂණයට ලක් වි ගැබ් ගෙන ඇති බව දැනගත් මොහොතේ පවා මානුෂික පදනමක් මත හෝ ඇයට ආරක්ෂිත නිවෙසක නවාතැන් දෙන්නට මේ කන්සියුලර් කාර්යාලය කටයුතු කර තිබුණේ නැත. ඇය අල් හුඩයිබා හි අනාරක්ෂිත ගස් අතර ඇති කොන්ක්‍රීට් බංකුවක් මත හිදගැනීමට ගියාය.

රානි අක්කා එතැන සිටින තවත් අසරණ කාන්තාවකි. මැදිවිය ඉක්මවූ ඇය කතා කරන්නේ සියලු අපේක්ෂා බිඳ වැටී ඇති ගැහැනියක ලෙසය. සාමාන්‍ය ශ්‍රමිකයන් සේ මැදපෙරදිග රැකියා සඳහා අවස්ථා සපයන ගිවිසුම්ගත ඒජන්සිවලට එම රැකියා ලබා ගැනීමට මුදල් ගෙවිය යුතු නැත. ඔවුන් සියලුම පහසුකම් සපයා රැකියා ගිවිසුමට එළඹෙන ශ්‍රමිකයා අතට ලක්ෂ දෙකක මුදලක් ලබා දීම කළ යුතුය. යම් මට්ටමේ හෝ සාධාරණයක් සහිත ඒජන්සිකරුවෝ රුපියල් ලක්ෂයක මුදලක්වත් ලංකාවේදී ශ්‍රමිකයා වෙත ලබා දෙයි. රානි අක්කා මුල සිටම සූරා කෑමට ලක් වී තිබිණි.

“මම ලංකාවෙදි සබ් කෙනකුට පොත භාර දුන්නේ. එයා ගිහින් ඒජන්සියට කතා කළා. සියලු දේ කරලා මට පනස් දාහයි අතට දුන්නේ. ඊට පස්සේ මෙඩිකල් දාලා සාජා වීසා ගහලා මට යන්න කියලා දුන්නා. මට දීලා තිබුණෙ විස්ට් වීසා.

මම ඇවිත් අවුරුදු 09යි. අවුරුදු හතරහමාරක් මම කොම්පැණියෙ වැඩ කළා. අවුරුදු හතරහමාරෙ පඩිය විතරයි දැම්මේ. හිටියෙ යාළුවකුගේ ගෙදර. දැන් රටට යන්න ඕන කිව්ව ගමන් මාව දැම්මා ඒජන්සිකාරයගෙ ගෙදරට. අවුරුදු එක හමාරක් ඒජන්සිකාරයගේ ගෙදර හිර කරලා මගෙන් වැඩ ගත්තා. මගේ නැන්දම්මලා දෙන්නම නැති වුණාම තමයි එක දවසක් මට කෝල් එකක් අරන් දුන්නේ. මගේ දුවට මම විස්තරේ කියලා ඇඬුවා. ඒ වෙලාවෙ දුව විදේශ සේවා එකට ගියා. ඒත් සහනයක් ලැබුණේ නෑ. මේ රටේ මුල් කාලෙදී වැඩ කරලා උපයපු සල්ලිවලින් බාගයක් ගත්තේ ඒජන්සිය. එහෙම කරලා පාස්පෝට් හංගගෙන මගෙන් වැඩ ගත්තා. මම ගියා ලේබර් කෝට් එකට. පැය 24ට කලින් පාස්පෝට් එක මට ගෙනත් දෙන්න කියලා කිව්වා. ජොබ් කැන්සල් එකත් අතට දුන්නා. මම ඒක අරන් කෙළින්ම කන්සියුලර් එකට ආවා. ආවට පස්සේ මට කිව්වා මෙච්චරකල් ඉඳලා උඹලා එම්බසියට ආවට පස්සේ ටිකට් දෙන්න බෑ, උඹලා මිනිස්සු එක්ක හරි බුදියලා සල්ලි අරන් වරෙල්ලා ටිකට් එකට කියලා. එදා ඉඳලා මම අල් හුඩයිබා එකේ ගහක් යට ඉන්නවා.

ගංගේෂ්වරීට සිංහල කතා කිරීමට අසීරුය. ඇය දෙමළ භාෂාවෙන් කීවේ පොලිස් නිලධාරියකුගේ නිවෙසේ වැඩට ඇයව ගෙන්වා තිබුණේ විසිට් වීසා මත බවය. ගුවන් තොටුපළේ දී ඒ ගැන ඇයගෙන් කිසිවක් නොවිමසූ බවය. පොරොන්දු වූ රැකියා ස්ථානයට නොයවා මාස දෙකක් තිස්සේ කන්න බොන්නවත් නොදී ඒජන්සියේ සිරකරගෙන ඇය වහල් සේවයේ යෙදවූ බව ගංගේෂ්වරී කීවාය. ඉන් අනතුරුව ඇයව දින 10 , 15 බැඟින් නිවාසවල වැඩට යොදවා උපයන මුදල් ඒජන්සිය විසින් ලබා ගත් අයුරු ද පැවසුවාය.

“ඒ ඒජන්සිය කළේ මජීදා. එයා ලංකාවෙ කෙනෙක්. මාව වැඩට යවලා මගේ පඩි ඒජන්සිය ගත්තා. මාස 08ක් 10ක් තියාගෙන හිටියා. ඒ අය මට ගහනවා හොඳටම. බය හින්දා එතනින් එන්න හිතුවෙ නෑ. බැරිම තැන බස් හෝල්ට් එකට ඇවිත් ටැක්සියකින් කොන්සියුලර් ඔෆීස් එකට ආවා. ඒ අය කිව්වේ කරන්න දෙයක් නෑ… “දැන් යනවා ආපහු ඒජන්සියට. ලක්ෂ හතරක් හොයාගෙන ගෙවලා පාස්පෝට් එක අරන් එනවා” කියලා. ගියා නම් මාව ගහලා මරයි. ලියවිල්ලක් කිසිම දෙයක් නෑ. මම කන්සියුලේට් එකෙන් එලියට ඇවිත් මෙතෙන්ට ආවා.” ගංගේෂ්වරී එදා සිට අල් හුඩයිබා පාර්ක් එකේය. තේරුම් ගත නොහැකි තත්ත්වය වන්නේ කොන්සියුලර් කාර්යාලය මේ ආකාරයෙන් හැසිරෙන්නේ පොදු සමා කාලයක් තුළ විශේෂ සහන යටතේ මෙවැනි අසරණයන් මව් රටවලට යැවීම සඳහා විශේෂ වැඩසටහනක් ඩුබායි රාජ්‍යයේ ක්‍රියාත්මක වන පසුබිමක වීමය.

නදීකා මැදවියට ආසන්න කාන්තාවකි. ඇය හෙළි කළේ මිනිස් ජාවාරම් කාරයන්ගේ අවමන් සහගත ජාවාරමේ බිහිසුණු කතාවකි.

මම ලංකාවෙන් ආවේ 2022.10.06 වැනිදා. ලංකාවෙන් එන්න කලින් මට ලක්ෂ 2ක් දෙනවා කිව්වා. ඒ මුදලින් මට සතයක්වත් දුන්නේ නෑ, මාව ඩුබායිවලට එව්වේ මාස හයක විසිට් වීසා එකකින්. මෙහාට ආවේ මෙහෙදි හරි සල්ලි ලැබෙයි කියලා හිතලා. ඒත් එහෙම දෙයක් වුණේ නෑ. රජිමාන්වල ඒජන්සියේ අජිමිර් කියන ලංකාවේ කෙනා තමයි මාව බාර ගත්තේ. එයා මාව එයාගෙ ගෙදර එක්ක ගියා. මම ඇහුවා මම ආවේ ගාමන්ට් එකක වැඩ කරන්න. ගෙවල්වල වැඩ කරන්න නෙමෙයි කියලා. එයා කිව්වා ගෙවල්වල වැඩ කරලා තමයි ගාමන්ට් එකට දාන්නේ කියලා. විසිට් වීසා ඉවරවෙනකම් මාව එයාගෙ ගෙදර තියන් හිටියා.

ඒ කාලෙ අපායෙ ගත කළා වගේ…ගෙදර වැඩ කරලා පඩි ඉල්ලුව හැමදාම අජ්මිර් ගේ නෝනා මට ගහනවා. එක දවසක් ෆෝන් එකෙන් ඇහැට ඇන්නා. තවම ඇහැක් පේන්නේ නෑ. ඔලුවට ගැහුවා. අත් දෙකට ගැහුවා. දැන් අත් හිරිවැටිලා. කන්න දුන්නෙ නෑ හරියට. වතුර බිල යනවා කියලා නාන්න දුන්නේ නෑ. 23.05.10 වෙනකම් අජිමිර් එයාගෙ ගෙදර තියාගෙන මගෙන් වැඩ අරන් පස්සේ එයාගෙ අක්කට මාව භාර දුන්නා. අජ්මිර් අක්කා එක්ක එකතු වෙලා තමයි ඒජන්සිය කරන්නේ.

මෙතන තව හවුස්මේට්ලා අවුරුදු හතරක් තිස්සේ තියාගෙන ඉන්නවා. අවුරුදු 4ක් වහල් වැඩ කරන ජයකොඩි කියලා අක්කා කෙනෙක් එතන හිටියා. පඩියක් නෑ. මේ රටට ආපු ගමන් ඒ මනුස්සයගේ ෆෝන් එකත් අරන්. එයාට තමන් වැඩ කරන තැන ගැනවත් කියන්න කතා කරගන්න විදිහක් නෑ. ගෙවල්වල මිනිස්සු ඒ අක්කට මොනව උනාද දන්නෙ නැතිව අවුරුදු හතරක් ඉන්නවා. දැන් එයාට මොනවා වෙලා ද දන්නෙ නෑ. මම තීරණය කළා මැරුණත් මේ ගෙදරින් යනවා කියලා. මම පැනලා යාළුවකුගේ බෝඩිමකට ගියා. ගිහින් මම කෙලින්ම ආවෙ කන්සියුලර් කාර්යාලයට. ඒ අය මාව බාරගත්තෙ නෑ… මම මෙතන හිටන් ඉන්නවා අවුවේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිව. ඒ වෙලාවෙ එතනට ආපු ලංකාවෙ කෙනෙක් මගෙන් සිද්ධිය අහලා මේ පාර්ක් එකට එන විදිහ කිව්වා. එදා ඉඳන් මම මෙතන”

අජන්ත නමැති මැදිවියේ පුද්ගලයා ඩුබායි ගෙන් වූ ඒජන්සිය ඔහුව ගෙන්වා තිබුණේ හෝටලයක රැකියාවක් සඳහාය. ඒ වෙනුවෙන් ඔහුගෙන් රුපියල් ලක්ෂ 4ක් අය කරගෙන තිබිණි. තවත් පනස්දහසක් අතේ තබා ගන්නා ලෙස දන්වා තිබිණි. ඔහුව යොමු කර තිබුණේ හෝටලයක රැකියාවකට නොව, කාන්තාරයක ඉදිවන මාර්ගයක කානු කැපීමටය.

සියලු දේ අහිමි කරගත් මෙම පුද්ගලයා එම ස්ථානයෙන් පැන කන්සියුලර් කාර්යාලයට පැමිණි විට ඔවුන් යළිත් ඔහුව මේ රටට ගෙන්වූ ඒජන්සිය සමඟ කතා කර එතැනටම යොමු කරන්නට උත්සාහ කර තිබිණි. අජන්ත එය ප්‍රතික්ෂේප කර අල් හුඩයිබා උද්‍යානයට පැමිණියේය. මේ ස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේම කතාව එකය. මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී අනාථව කොන්සියුලර් කාර්යාලට පැමිණි පසු එතැනින් පලවා හළ මිනිස්සුය. UAE අත්වැල ශ්‍රී ලංකා සාමුහිකයේ ආදරණීය මිනිස්සු මැදිහත් වන්නේ සියල්ලන් විසින්ම සූරාකෑමෙන් අනතුරුව පරඬැල් සේ අත්හැර දැමූ මේ අසරණයන් වෙනුවෙනි. මේ සාමූහියේ පරිපාලකයන් 11 දෙනා අල් හුඩයිබා සරණාගතයන් වෙනුවෙන් වැඩසටහනක් හැදූහ. සිය සමූහයේ සාමාජිකයන්ට මේ ඛේදවාචකය දන්වා වැඩසටහනට එක්විය හැකි පිරිස වෙනම වට්ස්ඇප් සමූහයකට ගොනු කළහ. අනතුරුව පියවරින් පියවර වැඩ පිළිවෙළ ගොඩනැඟූහ.

” මුලින්ම මේ වැඩේට ඍජුව එකතු වුණු කණ්ඩායම එක්ක මේ පිරිසට තුන් වේලට කෑම දෙන විදිහ සැලසුම් කළා. ඇඳුම් පැළඳුම් දෙන විදිහ සනීප ආරක්ෂක පහසුකම් හදලා දෙන විදිහ, මේ මිනිස්සුන්ට නාගන්න අවස්ථාවක් සල්සවන විදිහ ගැන වැඩ සැලැස්මක් සකස් කළා. වගකීම් පැවරුවා. කියන්න කනගාටුයි. මේ අයට නාගන්න අවස්ථාවක්, වැසිකිලියක් භාවිත කරන්න අවස්ථාවක් දෙන්න කියලා කන්සියුලර් කාර්යාලයෙන් ඉල්ලුවා. එකපාරටම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ”

“ඒත් අපි අපේ වැඩ සැලැස්ම ක්‍රියාත්මක කරන ගමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති උදේන්ද්‍රරත්න මහත්මයට මේ තත්ත්වය ගැන කිව්වා. ඔහු ඒ වනවිට මේ කන්සියුලර් කාර්යාලයෙ හැසිරීම මේ තරම් පහළ තැනක තියෙනවා කියලා දැනුම්වත් වෙලා හිටියෙ නෑ. ඔහුගේ විශාල මැදිහත් වීමක් සිද්ධ වුණා කොන්සියුලර් කාර්යාලය ක්‍රියාත්මක කරගන්න. ”

“ඒ අතරෙ අපි මේ කණ්ඩායමට ටිකට් විස්සක් වෙනුවෙන් ඩොලර් 6000ක් හොයාගන්න වැඩපිළිවෙළක් හැදුවා. අපි සල්ලි අතට ගත්තේ නෑ. මේ වෙලාවෙ මහා විශාල උදව්වක් ජාතික ගුවන් සේවය විදිහට ශ්‍රී ලන්කන් ගුවන් සේවය කළා. ඔවුන් අපි වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සහිත ගිණුමක් නිකුත් කළා. ඒ ගිණුමට මුදල් වැටෙනකොට ගුවන් ටිකට් පතක් සඳහා මුදල සම්පූර්ණ වුණු ගමන් ඔවුන් ගුවන් ගමන් ටිකට් පතක් වෙන් කළා. අති විශිෂ්ට සන්නිවේදන සම්බන්ධයක් අප එක්ක තියා ගත්තා. ”

“අපි මේ විදිහට මේ වැඩේ කරන් යද්දි අපි අපේ සමූහයට යොමු කළ වීඩියෝවකින් එවකට කම්කරු ඇමති මනුෂ නානායක්කාර සම්බන්ධව කළ විවේචනය ඔහු දැක තිබුණා. මනූෂ අපිට කතා කළා. ඉතාම සුබවාදීව මේ ප්‍රශ්නය එකක් ගනුදෙනු කරන බව පෙන්වමින් ටිකට් 15ක් එවන්න සූදානම් කරන බව කිව්වා. කියන්න කනගාටුයි. ඒ වැඩේ සිද්ධ වුණේ නෑ.” “ඊට පස්සේ විදේශ කටයුතු රාජ්‍ය ඇමතිව සිටි තාරක බාලසුරියට කතා කළා. ඔහු එක්වරම විසිට් වීසා ගිහින් ඉන්න මිනිස්සු සම්බන්ධව කරන්න දෙයක් නෑ කියලා මේ සංවාදය පවත්වා ගැනීමත් ප්‍රතික්ෂේප කළා.”

“කමක් නෑ… අපි වැඩේ කළා. දවස් 12ක් යන්න ඇති. ටිකට් 20ක් ලෑස්තියි. මේ වනවිට ඒ මිනිස්සු මාස ගණනකින් තුන්වේල කාලා, නාලා වැසිකිළියක් භාවිත කරන් ඉන්නවා. ටිකට් 20 ලෑස්තියි. ඡන්දෙන් පස්සේ ඒ අයගෙන් 4 දෙනෙක් ලංකාවට ආවා. ඒ අතර අර ගැබිනි කාන්තාවත් ඉන්නවා. අපි කියන්නේ අපේ මිනිස්සු හරියට බලාගන්න රටක් හදන්න. ඔබ දන්නව ද විදේශයකදි එක පුරවැසියන් කොටසක් මේ විදිහට අන්ත අසරණ වෙලා පාරට වැටුණම ඒ සමස්ථ ජාතිය දිහා ඒ විදේශිකයො බලන විදිහ. ඒ මහා විනාශකාරී ආකල්පය මේ රටවල වැඩ කරන හැම ශ්‍රී ලාංකිකයකුටම බලපානවා. ඒ අපරාධය වෙන්න දෙන්න එපා. රටක දේශපාලන අධිකාරියක් බලයට එන්නේ ඒ මහා වගකීම ඉෂ්ට කරන්න. ඒ වගකීමේ කෑලි අපිට පටවන්න නෙමෙයි…”

UAE අත්වැල ශ්‍රී ලංකා සාමුහිකයේ තරුණයෙක් අපට කීවේය. මේ වැඩසටහන මුළුමනින්ම සංවිධානය කළ ප්‍රධාන විධානයේ ඔහු සිටියේය. අපට ඔයාලගෙ නම් ටික කියන්න… මිනිස්සු කැමති වේවි ඒක දැනගන්න… මම කීවෙමි.

ඔහු සිනාසුණේය. ඔහු සමඟ මේ සංවාදයට එක් වී සිටි අනික් තරුණයන් ද සිනාසුණේය.

මේක සාමුහිකයක වැඩක්. නම් වලින් කියන්න බැරි විශාල පිරිසක් එකතු වෙලා වගකීම් බෙදාගෙන කළ වැඩක්. අපි මේ වැඩේ කළා. මේ රටේදි අසරණ වෙන හැම කෙනාටම අපි පිහිට වෙනවා. ජාතියක පුරවැසි වගකීම කියලා හිතලා අපි කරනවා. UAE අත්වැල මේ වැඩේ කළා කියලා කියන්න. ඒ ඇති.

තව දෙයක්…දෙයියන්ගෙ නාමෙට අපේ අසරණ මිනිස්සු මේ විදිහට කුණු මාළු ගානට දාන මිනිස් ජාවාරම් කාරයො එක්ක එකතු වෙලා ඉන්න රාජ්‍ය නිලධාරින් සහිත මාෆියාව නවත්තන ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අලුතෙන් පත්වුණු ආණ්ඩුවටවත් කියලා බලන්න…“

ඇත්තේ හෙට දිනය පිළිබඳ වූ බලාපොරොත්තුවක් පමණි. මිනිසෙකුට මිනිසකුගේ වටිනාකම ලබා දිය හැකි සමාජයක් පමණක් ප්‍රාර්ථනා‍වෙන් නවතිමි.

උද්‍යාන්‍ය තුළ අස­ර­ණව රැඳි සිටින ශ්‍රී ලාංකේ­යන් පිරිස

උද්‍යාන්‍ය තුළ අස­ර­ණව රැඳි සිටින ශ්‍රී ලාංකේ­යන් පිරිස

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division