සැප්තැම්බර් 21 ජනාධිපති මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද ජයග්‍රහණය මෙරට වමේ දේශපාලනික ප්‍රවාහය විසින් බොහෝ කලක සිට අපේක්ෂා කළ අරමුණක් සාක්ෂාත් කර ගැනීමකි. මෙරට වාම දේශපාලනයේ පුරෝගාමියා වූ ලංකා සමසමාජ පක්ෂය දේශපාලන බලය අත්පත් කර ගැනීමේ මාවත් දෙකක් සූත්‍රගත කළේ ය. මින් පළමු වැන්න, ජන අරගලය තුළ ගොඩනැඟෙන ජන සභා හරහා බලය අත්කර ගැනීමය. පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් හිමිකරගෙන බලය අභ්‍යාස කිරීම දෙවැන්නය. ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ මහජන එක්සත් පෙරමුණ 1960 මාර්තුවේදී තනි තනිව ඒ උත්සාහය දැරූහ. මෙරට වාමවාදී දේශපාලන ප්‍රවාහයේ අනෙක් පක්ෂය ලෙස 1965 මැයි 14වැනි දින පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළ හැකිය.
වසර හැත්තෑවක කාලයක් පුරා ලංකාවේ වම විසින් සිදු කිරීමට උත්සාහ කෙරුණු ක්‍රියාදාමයක් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට පසුගිය 21 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවට හැකියාව ලැබිණි. එය ප්‍රාතිහාර්යයක් යැයි කීම නිවැරදියි. එසේ නම් ප්‍රාතිර්යයන් සිදු කළ හැකියි. එසේම ජනතාව අපේක්ෂා කළ පද්ධතිමය වෙනස ද විය. එය කොයිතරම් දුරකට සාක්ෂාත් කර ගත හැකිද යන්න පිළිබඳ මෙහිදී වඩාත් විශ්ලේෂණාත්මක ව සලකා බැලිය යුතුය.
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වූයේ මනාප ඡන්ද 5,740,179කිනි.ඔහුගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස ඡන්ද 4,530,902ක් ලබාගෙන තිබේ. මෙය සාකච්ඡාට බඳුන් කළ යුතු ප්‍රධාතම කරුණකි. සාමකාමිව පාර්ලිමේන්තුව හරහා වමට බලය පැමිණිය හැකිය යන්න වසර 75කට පමණ පසුව කිසියම් ප්‍රමාණයකට ඔප්පුවී ඇත. ලංකාවේ දක්ෂිණාංශික බලයට එරෙහිව වමකට බලයක් ලබා ගත හැකිය යන දේ මෙවර ජනාධිපතිවරණයේදී සාර්ථක පෙන්වා දුන් කරුණකි.
මෙහිදි මතුවන තර්කයක් තිබේ. අංක ගණිතය පැත්තෙන් අපි මේ ඡන්ද ප්‍රතිඵලය විශ්ලේෂණය කරන්නේ නම් අනුර කුමාර දිසානායකට මනාප 50%ක ප්‍රතිශතයක් නැතැයි යන තර්කය ඇතැමුන් විසින් මතු කරයි. ඇතැම් පිරිස් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වුවහොත් 50%ක බලයක් ලබා ගැනීමට හැකි වෙතැයි යනුවෙන් තර්කයක් ගොඩනඟයි. මේ ඡන්දය විශ්ලේෂණය කිරීමේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස රනිල් වික්‍රමසිංහ සහ සජබ නායක සජිත් ප්‍රේමදාස ලබාගත් සමස්ත ප්‍රතිඵල අනුව 50% කට වඩා ඡන්දය ඔවුන්ට හිමිවී ඇති නිසා පක්ෂ ජයග්‍රහණය කරන්නේය යන මතය ඇතැමුන් විසින් පෙන්වා දෙයි.
අංක ගණිතය ගත් විට එය සත්‍යයක් වුවත් එය වැදගත් තර්කයක් නොවේ. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය එකට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නම් ඔවුන් මීටත් වඩා අඩු ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඉඩ තිබිණි. ඒ පක්ෂ දෙකේ එකතු වීමත් සමඟ ජනතාවට කාලාන්තරයක් තිස්සේ තිබු බලාපොරොත්තු ඉටු කරගත නොහැකි වන බවට වූ සැකය එම පක්ෂ හා සන්ධානගත වූ පක්ෂවලට ඇති විය හැකිය. මේ මතවාදය ජනතාව තුළට ද ගලා යා හැකිය. ඒ නිසා මෙවැනි ප්‍රශ්නයකදී අංක ගණිතමය විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවේ. එහිදී ජනතාව කුමන දිශානතියකට ගමන් කරන්නේ ද යන්න පිළිබඳ කරුණක් ද පැන නැඟේ. එවැනි තත්ත්වයක් තුළ රනිල් සජිත් එකමුතුවෙන් පසු ගිලිහී යන ඡන්ද ප්‍රමාණයක් මාලිමා වෙත ගොනු විය හැකිය යන මතය ද මතුවී තිබේ.
එමෙන්ම එවැනි සන්ධානගත වීමකදී ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයට තවත් ඡන්ද ප්‍රතිශතය වැඩි විය හැකි බවට තාර්කික අනුමාන ද වේ. එහිදී මිනිසුන්ගේ අපේක්ෂා අභිප්‍රායන් තව දුරටත් ජාතික ජන බලවේගය හරහා ඉටුකර ගැනීමට හැකි වනු ඇතැයි යන අදහස ඡන්දදායකයා තුළ ද ඇති විය හැකිය.
ඔවුන්ගේ මේ තර්කය එම තර්ක ගොඩනඟන ඇතැම් මන්ත්‍රීවරුන්ට පමණක් තර්කානුකූල විය හැකි බව පෙනේ. නමුත් එය මහපොළොවේ යථාර්ථය නොවන බව පැහැදිලි කර ගත යුතු කරුණකි. ඒ අනුව පැහැදිලිවන කරුණක් නම් ලංකාවේ දක්ෂිණාංශයට තමන්ට තවදුරටත් බලය තියා ගැනීමට හැකි වෙතැයි සිතිය නොහැකි බවය. දක්ෂිණාංශයට තවදුරටත් බලය තබා ගැනීමට නොහැකිය යන තර්කය මතුවන්නේ මිනිසුන් ඒ පැත්තට ඡන්දය දෙන්නේ නැත යන අර්ථයෙනි.
2022 වසරේදී පැවැති අරගලයෙන් ජනතාව එම හැරවුම සනිටුහන් කරන ලදී. එයින් පෙන්නුම් කරන අදහස නම් ජනතාව තවදුරටත් දක්ෂිණාංශය පැත්තට ඡන්දය නොදෙන බවය. සැබෑ ගමන් මඟ තේරුම් ගැනීම සඳහා ජනතාව පෙළගැසී ඇත.
ජාතික ජන බලවේගයට ගොඩනැඟෙන මේ රැල්ල තේරුම් ගැනීමට දක්ෂණාංශික දේශපාලන පක්ෂ සබුද්ධික විය යුතුයි. ජාතික ජන බලවේගයට පැහැදිලි ජන රැල්ලක් ගොඩනැඟී ඇත. ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ ඉතා නිවැරදි සහ පූර්ණ එකකැයි එයින් නො කියවේ. ඒ හිඩැස් නිසි ලෙස හඳුනා ගෙන ජන අරගල සන්ධානය ඉදිරිපත් කළ වැඩපිළිවෙළ විවිධ පැති වලින් ඉදිරියට ගිය එකක් වුව ද, පාර්ලිමේන්තුවාදී මහජන රැල්ලට ඒ මඟින් ආමන්ත්‍රණය කළ නොහැකි බවද අවබෝධ කරගතයුතුය. එහෙත් මේ පවතින ජන රැලි පිටතින් එන, බහිෂ්කර, උපදේශකයන් පිළි නොගනියි. ඒ ප්‍රවාහයෝ වැටකඩොළු නො සලකා ගලා යති. මේවා උපායික ප්‍රශ්නය (tactical) වෙයි.
කෙසේ වුවත් ජාජබ ජනපතිවරයා පත්වී ඇත්තේ දෙවන මනාපය හරහා ය, තවමත් 57% ජාජබට එරෙහිය, වැනි බෙලහීන තර්ක අප කිසිසෙත් සැලකිය යුතු නොවෙයි. සමාජ පහළ මාලය පූර්ව ජනපතිවරණ සමයේ චලනය වූ හැටි පසුගිය කාලය පුරා අපි දුටුවෙමු.
එසේම පැවැති මැතිවරණය සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේදී මේ ඡන්දයෙන් ලංකාවේ උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතාත්මකව පැහැදිලි වන කරුණක් වෙයි. සමස්ත සමාජයට පවතින ප්‍රශ්නයට එහා ගිය තවත් ප්‍රශ්නයක් ඔවුන්ට පවතින බව පැහැදිලි වන කරුනකි. ඒ ප්‍රශ්නය දකුණේ සිංහල ජනතාවගේ ප්‍රශ්නය නොවෙයි; පසුගිය දිනක පැවැති ඡන්දයේදී මේ දෙමළ ජනතාවගේ හැසිරිම පෙන්නුම් කරන්නේ ඊට වඩා එහා ගිය ගැටලුවක් ඔවුන්ට පවතින බවයි. එනම් ඡන්ද සටනේදී ජාතික ජන බලවේගය ප්‍රමාණවත් තරම් ආමන්ත්‍රණයක් එම ජන කණ්ඩායම්වලට නොකළ බවයි; ඡන්ද සිතියම දෙස බැලූ විට මුළු උතුරුකරය කොළ පාට වන අතර දකුණුකරය රතු පාට වෙයි. එය දක්ෂිණංශිකද වාමාංශිකද යන බෙඳීම නොවෙන බවත් ජනපති අනුර කුමාර දිසානායක විසින් උතුරුකරයේ ජනතාව වෙත මීට වඩා ආමන්ත්‍රණය කළ යුතු බව එයින් පැහැදිලි වෙන කරුණකි. ඔවුන් ජාජබ වෙත ඡන්දය ලබාදීමට නම්; මීට වඩා ඔවුන්ගේ එම ගැටලුවට ආමන්ත්‍රණය කළ යුතු වෙයි.
මේ අනුව පැහැදිලි වන්නේ තවමත් ජාතික ජන බලවේගයට ආමන්ත්‍රණය කළ නොහැකි වූ එහෙත් මේ රටේ ජනතාව ඉදිරියට ගෙනයා යුතු ගැටලුවක් ඉතිරි වී ඇති බවයි. ඒ කරුණ නොසලකා හැරිය නොහැකිය. මේ රටේ පවතින ප්‍රධාන ගැටලුව වන්නේ දිළිඳුකම පෙරදැරිව ඇති ආර්ථික ගැටලුව වුවත් මේ සියල්ල අතික්‍රමණය කරමින් ඉන් ඔබ්බට ගිය ගැටලුවක් උතුරට සහ කන්ද උඩරටට පවතී, ඒ නිසා ආණ්ඩුව විසින් රටේ සමස්ත ආර්ථික ගැටලුව විසඳිය යුතු සේම දෙවැනුව මේ ප්‍රදේශවල ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙයි.
එසේම සමස්ත ජනතාවට ඇති මූලික ප්‍රශ්නය පිළිබඳ පැහැදිලි කර ගැනීමේදී ජනතාව අපේක්ෂා කළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහතට දැමීම, අනෙකුත් අත්‍යවශ්‍ය දේ සම්බන්ධයෙන් තීන්දු ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවලට පැමිණිය යුතු බවය. ආජන්ටිනාවෙ මුදල් අමාත්‍යවරයා මාර්ටින් ගුෂ්මන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි එලෙසින්ම පිළිපැදීමට යෑමේදී ඔහුට ජනතාවගෙන් විරෝධයක් මතුවී අවසානයේදී අමාත්‍යධූරයෙන් ඉවත්වීමට සිදුවිය.
ඉන් අනතුරුව මැතිවරණයේදී ඔහුගේ පක්ෂය පරාජයට පත් විය. අනතුරුව අන්ත දක්ෂිණාංශික පක්ෂයක් බලයට පත්විය. අප ආජන්ටිනාවට අත්වූ තත්ත්වය සම්බන්ධව සැලකීමත් විය යුතුයි. එසේම හොඳම උදාහරණ ලෙස තායිවානය හැඳින්වීමට හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එහා විසඳුමක් නැතැයි යන කතාව පිළිනොගත් රටක් ලෙස එය හඳුනාගත හැකිය. කෙසේ වුවත් ලෝකයේ රටවල් 70 ගණනක් මේ දැවැන්ත ණය අර්බුදය ඉදිරියේ සිටියි. අප සැලකිලිමත් විය යුත්තේ ඒ සම්බන්ධවයි.
මෙරට ජනතාවට යම් ස්වාධීන ජනාධිපතිවරයකුගේ අවශ්‍යතාව කාලාන්තරයක් පුරා පැවැතියේය. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් පිළිබිඹු වන්නේ එයයි. ජනතාව ගෝඨාභය රාජපක්ෂ දුටුවේ ස්වාධීන පුද්ගලයෙක් මිස පක්ෂයක පුද්ගලයකු ලෙස නොවන බව පැහැදිලිය.
ස්වාධීන පුද්ගලයෙක් ලෙස යම් හැරවුම් ලක්ෂයක් පෙන්නුම් කරමින් ඔහු ඡන්දයට එකතු විය. එහෙත් ඒ අපේක්ෂාවද බිඳියමින් ඔහු ජනතාව විසින්ම අරගලයක් තුළින් ඉවත් කිරීම සිදු විය. එතැන් සිට මිනිසුන් තවත් මඟක් සොයමින් සිටියහ. ඒ අනුව රටේ පැවතියේ සංක්‍රාන්තික කාලයකි. ඒ සංක්‍රාන්තික කාලය පිළිබඳ හිටපු ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ තේරුම් ගත්තේය. ඒ අනුව ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරියට පැමිණියේය. මෙවර මැතිවරණයේදී ඔහුත් සාර්ථක පාලකයෙක් ලෙස ජනතාව පිළිනොගත්තේය. ඔහු රට සුවපත් කළ බව ඔහුම පැවැසුවද රට ලෙඩ කළේ කවුරුන්ද යන්න ගැටලුව ජනතාව තුළ පැහැදිලිව පැවැතියේය.
රට ලෙඩවීම පටන් ගන්නේ ඔවුන්ගේ පාලන සමයේදීය. ආර්ථික වර්ධන වේගය බින්දුවට අඩු වන්නේ ඔවුන්ගේ පාලන සමයේදීය. ඒ පාලන සමයේදී මේ ආර්ථික කඩා වැටීම සිදු වූ බව ඉතා පැහැදිලිය.
පැහැදිලිම පරණ ක්‍රමවේදය අසාර්ථක වීමක් සිදු වූවා පමණක් නොව, මේ සමස්තය අසාර්ථකයි යන කාරණ ජනතාව තුළ පැවැතියේය. ඒ අනුව ජනතාව වෙනසක් සොයමින් සිටි බව පැහැදිලිය. ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ විධායක ජනාධිපතිවරයෙක් ජනතා අරගලයකින් පලවා හැර අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් යටතේ පාලනය වූ පසුබිමක සිට ඒ සියල්ල කෙරෙහි කලකිරී මෙරට පොදු ජනතාව මෙවර ජනාධිපතිවරණයේ විකල්පයක් කෙරෙහි නැඹුරුතාවක් දක්වා ඇත. එනම් මෙවර රනිල් වික්‍රමසිංහගේ පරාජයෙන් පැහැදිලි වන්නේ ඔහු කෙරෙහි ද ජනතාවගේ විශ්වාසයක් නොමැති බවයි. මේ අවස්ථාවේදී එකම විකල්පය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාවේ නායකත්වය බව ජනතාව තේරුම් ගෙන තිබිණි.
සිදු වූයේ රට හැරවීමක්ද එසේ නැත්නම් ලෝකය යන ක්‍රමවේදයත් සමඟ රට වාමවාදී නැඹුරුවකට පත් වූයේද එසේත් නොමැතිනම් මිනිස්සුන්ට විකල්පයක් අවශ්‍ය වූයේද, යන්න විමසීම වැදගත්ය. ප්‍රාග්ධනයේ බල අධිකාරිය පාලකයා වෙත තබාගෙන මේ රට ගෙනයා නොහැකිය යන කරුණ ජනතාව තේරුම් ගත් බව පෙනේ. ඒ එක්තරා ආකාරයකින් ජනතාව වමට හැරීමක් ලෙස පැහැදිලි කරගත හැකිය. එමෙන්ම ජනතාව කාලාන්තරයක් පුරා දේශපාලනිකව ලැබූ අත්දැකීම් අනුව විකල්පයක් සේවීමට පෙලඹුණ බව මෙවර මැතිවරණයේදී පැහැදිලි කරුණකි. එසේම එයට තවත් බලපාන ලද හේතුවක් නම් ජනතාව විශ්වාසය තැබූ පක්ෂ බෙදීමකට ලක්වීමය. කාලයක් තිස්සේ මෙරට ප්‍රධාන ධාරා දෙකේම දේශපාලන පක්ෂ බිඳී පක්ෂ මාරු වීම් නිසා පාක්ෂික ජනතාව විශාල කලකිරීමකට පත්ව තිබුණ ආකාරය මෙම ප්‍රතිඵලය පෙන්වා දෙයි.
ජාතික ජන බලවේගයේ දක්ෂතාව ඡන්ද ප්‍රතිඵලවලින් විශ්ලේෂණය වේ. මඟ හැරුණු මේ ඇතැම් ජන කොටස් දිනා ගැනීමට හැකි ක්‍රියාමාර්ග සකස් කර ගැනීමට දැන් ඔවුන්ට අවශ්‍යයය. ඔවුන්ගේ ප්‍රාතිහාර්යය තහවුරු වන්නේ එයද සකසා කර ගැනීමෙනි.
හොඳ වැඩපිළිවෙළක් සකස් කළ පමණින් ඡන්දයක් දිනා ගැනීමට නොහැකිය. දුර්වල තැන් සකස් කර ගනිමින් ගමන් කළ යුතුය. අයි.එම්.එෆ් එකම විකල්පය යැයි බොරුව සමාජය තුළ පැළ කරමින් බලයේ රැඳී සිටිමට උත්සාහ ගත් පිරිස කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් නැති බව ජනාධිපතිවරණ ප්‍රතිඵල පෙන්වාදී ඇත. අයි.එම්.එෆ් මාවතෙන් එහා ගොස් විමුක්තිය සොයාගත් රටවල් ද වන බව ලෝකයේ යථාර්ථය ය.
ජනපති අනුර කුමාර සහ අගමැති හරිනි අමරසූරිය ජන අපේක්ෂා ප්‍රදර්ශනය කරයි. ජනයා 2022 අරගලයෙන් ප්‍රකාශිත පද්ධති වෙනස අද ප්‍රායෝගිකව නිරූපණය සහ නියෝජනය වන්නේ ඒ යුගලය මඟිනි. හය මසකින්, දින සියයකින් සියල්ල කළ නො හැකිය. එහෙත් ජනතා අපෙක්ෂා වේගයෙන් එක් රැස් වෙයි. එය මේ ජනාධිපතිවරයා ඉදිරියේ ඇති අභියෝගයකි.
මෙරට අද පවතින තත්ත්වයට ඇද දැමූයේ දේශපාලකයන් පමණක් නොවේ. නිලධාරීන් ද එහි සම කොටස්කරුවන්ය. පද්ධති වෙනසකට යන ආණ්ඩුවක් මේ නිලධර බලය බිඳීය යුතුවේ. නව ප්‍රශස්ථ පිරිසක් සොයා පත්කරගත යුතුය. එය සිදු වෙමින් පවතින බව පැහැදිලිය. පවත්නා ව්‍යුහ වෙනස් නොකොට, නව පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත නොකොට මේ පද්ධති වෙනසක් කළ නොහැකිය.
කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදයේ සශ්‍රීක සමාජයක් ගොඩනැඟීමට ජාතික ජන බලවේගයේ අභිනව ජනාධිපතිවරයා ඇතුළු එම පිරිසට හොඳ විභවයක් ඇති බව ජනමතයෙන් පැහැදිලි වෙයි.
සුභද්‍රා දේශප්‍රිය