Home » රඟමඬල එකලු කළ දුලබ මිණ වජිරා

රඟමඬල එකලු කළ දුලබ මිණ වජිරා

by Mahesh Lakehouse
September 28, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන ශිල්පිනිය ලෙස සැලකෙන ආචාර්ය වජිරා චිත්‍රසේන ඉකුත්දා සිය ජීවන රඟමඬලින් සදහටම සමුගත්තාය. ඇය අභාවප්‍රාප්ත වන විට අනූදෙහැවිරිදි වියේ පසු වූවාය. ඇය නර්තනයටම උපන් සමත්කම් පෑ නර්තන ශිල්පිනියක වූවාය. ඒ ඇය නර්තන ක්ෂේත්‍රයට අත්පොත් තබන කාලයේ පැවැති ‘කාන්තාවන්ට නර්තනය අකැප’යැයි සමාජ සම්මතයට අභියෝග කරමිනි. පුරුෂාධිපත්‍යය රජ කළ එවක නර්තන විෂය ක්ෂේත්‍රය තුළ ‘පිරිමි හා සමතැන් ගැනීමට ගැහැනු අපටත් පුළුවන්’යැයි ඕ මොනවට පසක් කර පෙන්වූවාය.

එලෙසින්ම ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය වෙමින්, චන්ද්‍රලේඛා හා මිරියම් පීරිස් පිරිමි ඇඳුම් ඇඳ රංගනයේ යෙදුණු අවධියක, වේදිකාව මත කාන්තාවට සුදුසු ස්ථානයක් සහ අනන්‍යතාවක් ගොඩනැඟීමට ඕ සම්ත් වූවාය. වර්තමාන නර්තනවේදිනියන්ට සිය කුසලතා එළිදැක්වීමට මඟහසර විවර කිරීමේ මූලික අඩිතාලම දැමීමේ ගෞරවය හිමි විය යුත්තේ ද වජිරා චිත්‍රසේනටය. හැත්තෑව දශකයේ දී වජිරා ලයනල් වෙන්ඩ්ට් වේදිකාව මත ‘කරදිය’ මුද්‍රා නාට්‍යයයේ ‘සිසී’ ලෙසත් ‘නල දමයන්ති’ හි ‘හංසයා’ලෙසත් කළ විස්මිත රංගන ගැන අදහස් පළ කළ මහැඳුරු සුචරිත ගම්ලතුන් පැවසූ යේ “ඕ දුලබ සුරාවක් පානයෙන් ලද මිහිරක් ලෙස” ය. දශක හතකට වඩා වැඩි කාලයක් ඕ තරම් හෙළ නර්තන නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා කැපවූ වෙනත් නර්තන ශිලිපිනියක සිහියට නඟාගැනීමත් අසීරුය. මෙරට නර්තන පරපුර රැසකට සිය දායාදය නොමදව ලබාදුන් ඇය නූතන පරාම්පරාවලටද ආදර්ශවත් ප්‍රතිරූපයකි.  

නල්ලපෙරුම ආරච්චිගේ වජිරා ඩයස් (චිත්‍රසේන) නමින් 1932 මාර්තු 15 වැනිදා කළුතරදී උපත ලැබූ ඇය 1938 වසරේදී කළුතර බාලිකා විද්‍යාලයට ඇතුළත්ව සිය පාසල් දිවිය ඇරැඹුවාය. මුල්වරට ඇය තනිවම නර්තනාංගයක් සඳහා ඉදිරිපත් වූයේ 1943 වසරේදී කළුතර නගර ශාලාවේ පැවැති උත්සව අවස්ථාවකදීය. එ්වන විට ඇය එකොළොස්වන වියේ පසු වූවාය. 1944 වසරේදී හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට ඇතුළත්වන වජිරා එහි වසරක කාලයක් අධ්‍යාපනය හැදෑරුවාය.

ඇගේ මව ගුරුවරියක විය. පියා සේවය කළේ කළුතර නගර සභාවේය. වජිරාගේ පියා නාට්‍යයට මහත්සේ ඇලුම් කළ රසකාමියකු විය. එනිසා කොළඹ නිෂ්පාදනය වන නොයෙකුත් නාට්‍ය කළුතරට ගෙන්වා ප්‍රදර්ශනය කිරීමට ඔහු කටයුතු කළේය. 1946 මැයි මාසයේ දි‍ෙන‍ක එවක කොළඹ නාට්‍ය ඉදිරිපත් කළ ප්‍රවිණතම නර්තන ශිල්පියා වූ චිත්‍රසේනගේ නාට්‍ය සංදර්ශනයක් පැවැත්වීමට හෙතෙම කටයුතු කළේය. මෙම නාට්‍ය බැලීමට වසර 14ක් වූ තම දියණියද රැගෙන යාමට පියා අමතක නොකළේය. මේ මනරම් නර්තන ප්‍රසංගය දෙස වජිරා විමතියෙන් බලා සිටියාය. ප්‍රසංගය නිමවීමෙන් පසු ඇය ද රැගෙන පියා චිත්‍රසේනයන් සිටි වේදිකාවට ගොඩවිය. ඔහු දුටු ගමන් පසඟ පිහිටුවා වැඳනමස්කාර කළ වජිරා තම පියාගෙන් හා මවගෙන් ඉල්ලා සිටියේ තමන්ට චිත්‍රසේනයන් යටතේ නර්තනය හැදෑරීමට අවශ්‍ය බවය. ඉන් දින කිහිපයකට පසුව පියා කොල්ලුපිටියෙහි පිහිටි චිත්‍රසේන කලායතනයට ඈ කැඳවාගෙන ගොස් චිත්‍රසේනයන්ට භාර කළාය. එසේම අධ්‍යාපන කටයුතු සඳහා කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයට ද ඕ ඇතුළත් කළාය.

වජිරා වසරක පමණ කාලයක් එහි අධ්‍යාපනයේ නිරත වූවාය. නර්තනයට මහත් සේ ඇලුම් කළ වජිරාවෝ විධිමත්ව නර්තන විෂය හැදෑරීමේ අරමුණැතිව පාසල් අධ්‍යාපනයට සමුදී චිත්‍රසේන කලායතනයේ වැඩිදුර නර්තනයේ නියැළුණාය. භාවභාව ලීලාවෙන් මනා නර්තන ලාලිත්‍යක් ප්‍රකට කළ ඇය නර්තනයේ රිද්මයන් සිය ශරීරය පුරා ගමන් කරද්දී ඉන්තොරව තමනට ජීවත් විය නොහැකි බව අවබෝධ කරගත්තා සේය. ඒ අනුව පූර්ණ කාලීනව නර්තන යෙහිම නියැළුනාය. 1948 වසරේදී ශ්‍රී ලංකාවේ නිදහස සැමරීම සඳහා නිෂ්පාදනය කරන ලද ‘පැජන්ට් ඔෆ් ලංකා’මුද්‍රා නාටකයෙන් සිය වෘත්තීය සුදුසුකම් මොනවට ප්‍රකට කළ වජිරා නර්තන වෘත්තීයවේදීනියක ලෙස ප්‍රකට වූවාය.

කලා ක්‍ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කළ කලා ශිල්පීන් රාශියකගේ දොරට වැඬුමේ නිර්මාණ සඳල්ල චිත්‍රසේන කලායතනය විය. වසන්න කුමාර, ප්‍රේමකුමාර එපිටවෙල, සෝම්බන්ධු විද්‍යාපති, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ඩබලව්. ඩී ඇල්බට් පෙරේරා (ආචාර්ය පණ්ඩිත් අමරදේව) ඇතුළු මෙහි නම් සඳහන් නොවන සියයක් ශිල්පීන්ගේ නිර්මාණ කලල රූප චිත්‍රසේන කලායතනය නම් ගර්භාශය ඇසුරේ පිළිසිඳ ගෙන තිබුණි. රබිද්‍රනාත් තාගෝර් ලංකාවට පැමිණීමත් සමඟ නැඟී ආ අරුණැලි රැස් ධාරාවෙන් විකසිත වූ ශ්‍රී ලාංකේය ශිල්පීන්ගේ නිර්මාණ හෘද ස්ඵන්දය හා බද්ධ කරනු ලැබුයේ මේ චිත්‍රසේන කලා අසපුවය.

වජිරා චිත්‍රසේන ගුරුතුමන් යටතේ නාට්‍ය කලාව මැනැවින් හැදෑරීය. චිත්‍රසේනයන්ගේ නිර්මාණයන්ට සිසුවියක ලෙස ඇයට හැකි උපරිම දායකත්වය පිරිනැමීමට ඈ මඳකුදු සුනංගු නොවූවාය. විශේෂයෙන්ම චිත්‍ර සේනයන් අලුත් අත්හදා බැලීම කෙරෙහි දක්වන ප්‍රවණතා කෙරෙහි වජිරාගේ සිත සුවඳ අරුණ උදයේ පිපි නෙළුමක් මෙන් අවධි කළාය. අල්ගම කිරි ගණිත හා ලපයා ගුරුන්නාන්සේ වැනි ශ්‍රේෂ්ඨ පාරම්පරික නැටුම් ශිල්පීන්ගේ සම්ප්‍රදායික දැනුම එම සම්ප්‍රදාය නොනසා ස්ව නිර්මාණයක් සඳහා මුසුකර ගැනීමට චිත්‍රසේනයන් දැරූ අනුපමය උත්සාය ඒ මඟින් ලැබූ දැනුම් සම්භාරය වජිරාගේ සිත පතුලට තදින් කා වැදී තිබුණි. සිය ගුරුතුමා අනුව යමින් ඒ උකහා ගත් දැනුමින් ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයක්ම ඕ කලා ලොවට දායාද කළාය. ‘හිම කුමාරි’, ‘වනජා’, ‘සේපාලිකා’, ‘රන් කිකිළි’, ‘ගිනිහොරා’ එම නිර්මාණය.

තමා විඳි අත්දැකීම් සමාජ හෘද ස්ඵන්දනය හා බද්ධ කර ප්‍රතිනිර්මාණය කිරීම නිර්මාණ කාර්ය ලෙස හඳුන්වයි. චිත්‍ර සේනයන්ගේ ඇසුරේ නිර්මාණ අභ්‍යාසයන්හි පේවූ වජිරා, ලැබූ අත්දැකීම සම්භාරය ඇගේ නිර්මාණයන් ඔස්සේ මෙලෙස ප්‍රතිරූපණය විය. තම මෙහයවීම ඔස්සේ වජිරා ලබා ඇති ප්‍රගමණය චිත්‍රසේන සූරීන්ගේ සතුටට හා චිත්ත සංතුෂ්ටියට හේතු විය.

චිත්‍රසේනයන්ගේ මඟපෙන්වීම යටතේ ඉතාමත් ආශාවෙන් නර්තනයේ යෙදුණු වජිරා, චිත්‍රසේනයන් විසින් 1949 වසරේදී නිර්මාණය කළ ‘රාවණා’මුද්‍රා නාට්‍යය සඳහා තෝරාගනු ලැබුවේය. එහිදී ඕ විසින් ඉදිරිපත් කළ සමාරම්භක පූජා නර්තනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ වෘත්තීය කාන්තා නර්තන කලාවට ජීවය දුන් පළමු උඩරට නර්තනාංගය ලෙස ඉතිහාස ගතය.

ඇගේ ආත්මීය රිද්මයෙන් පොහොසත් නර්තන ඉරියව් මනාසේ විඳිමින් සිටි චිත්‍රසේනයන් සිය ජීවන රඟමඬලට පණ දිය හැකි එකම රිද්මය ඕ බව තේරුම් ගනිමින් සිටියේද මෙකලය. තම හදවතට ඇය වඩාත් සමීප කර ගැනීමේ ප්‍රේමලාසලාවන් ප්‍රමුදිතව නැඟී අවුත් මේ ප්‍රතාපවත් මිනිසා දමයන්තියගේ අත පතන නල කුමරුන් සේ තම ආදරය නොසඟවා ඇයට පැවසීය. සිය ගුරුදේවයන්ගේ පාද පරිචාරිකාව වීම ශිව පාර්වතිය හා එක් වීමක් සේ ඕට දැනිණි. මේ ප්‍රතාපවත් මිනිසාගේ ප්‍රේමය ලබන්නට තරම් තමන් කෙරතම් භාග්‍යවන්ත වී දැයි කල්පනාවේ නිමග්න වූ වජිරාවෝ මේ ගැන සිය මා පියන්ට දන්වා සිටියාය. ඊට ඔවුන් විරෝධය පෑවේ ඔවුන් අතර පැවැති වයස පරතරය පෙන්වා දෙමිනි. නමුත් චිත්‍රසේනයන් හා ඈ තුළ පවතින අමිල ආදරය වටහාගත් මාපියෝ ඊට අවසර දුන්හ. ඒ අනුව 1950 වසරේදී චිත්‍රසේනයන් සමඟ වජිරා අතිනත ගත්තාය. ඒ වන විට ඇය 18 වන වියේ පසු වූ නව යොවුන් තරුණියක වූවාය. මේ විවාහයෙන් අනතුරුව ඇය චිත්‍රසේනයන් හා එක්ව අතිශය ජනාදරයට පත් මුද්‍රා නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කිරීමට දායක වූවා ය.

එදා ඇරඹි චිත්‍රසේන – වජිරා යුග බන්ධනය ශ්‍රී ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ නවමු පරිච්ඡේදයක ආරම්භය විය. ඒ ඔවුනගේ අභිරමණයෙන් හෙළ නාට්‍ය කලාවේ මුද්‍රානාට්‍ය නම් අභිනව කලා අංගය හෙළ නාට්‍ය වංශ කතාවේ නවමු පරිච්ඡේදයක ආරම්භය සලකුණු කළා පමණක් නොව එය ක්‍රමයෙන් අඩසියවසකට අධික කාලයක් පුරා වැඩී මහා වනස්පතියකු බවට පත් විය‍. වජිරාවෝ චිත්‍රසේනයන් සමඟ ගෙවූ අඩසිය වසක කාලය පුරා ඔහුගේ සෑම නිර්මාණයක් සඳහාම දායක වෙමින් කැපවෙමින් බද්ධ වෙමින් ඉටු කළ යුග මෙහෙවර ලාංකේය නාට්‍ය කලා ඉතිහාසයේ අසමසම නිර්මාණ කාව්‍යයක් බවට පත්ව හමාරය.

මෙරට විශ්ව කීර්තියක් ලබන ලොව කිසියම් හෝ තැනක දී වූව අපගේ අනන්‍යතාවේ රූපණය එහි සුවිශේෂ මංගල සිද්ධි සලකුණ සේ සටහන් වීම චිත්‍රසේන වජිරා යුවළගේ සුවිශේෂී නිර්මාණ ගුණය බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. රබින්ද්‍රනාත් තාගෝර්ගේ නෘත්‍ය නාටකය වූ “ශාප්මෝචන්” නැරඹීමෙන් ලද අාහ්ලාදය නිසාවෙන් මෙරට නිර්මාණකරුවන් තුළ ලාංකේය මුද්‍රානාට්‍ය කලාවක් බිහි කිරීමේ මූල බීජ වැපිරුණු බව සාමාන්‍ය පිළිගැනීමය. එසේම රුසියානු බැලේ ක්‍රමයේ කවර වූ ශිල්ප ක්‍රමයකට වුව ද අපේ දේශයේ අනන්‍යතාව සෝදා පාළු වී ගසාගෙන යන්නට ඔවුහු ඉඩ නොතැබූහ. මෙරට තුළ මුද්‍රානාට්‍ය කලාවක් ලෙස ස්ථාපිත වීමටත්, ප්‍රචලිත වීමටත් හේතු වූයේ චිත්‍රසේන වජිරා යුවළ විසින් සිදු කළ නිර්මාණ කාර්යයන්ය. කොටින්ම දශක හතක් තිස්සේ ඔහු හා ඇය විසින් එක්ව වැපිරූ නිර්මාණ අස්වැන්නය. අපේ මුද්‍රා නාට්‍ය කලාවට ජාත්‍යන්තර ලක්‍ෂණ සියල්ල මේ යුවළ විසින් හඳුන්වා දෙන ලද්දේ අපේ දේශීය අනන්‍යතාව නම් හුස්ම රැල්ලේ රිද්මයට අනුගතව වීම ඊට හේතුවය.

‘චණ්ඩාලි’ මුද්‍රා නාට්‍ය චණ්ඩාලි කුලයේ තරුණියක විසින් ආනන්ද හිමියන්ට ප්‍රේම කිරීම හා එයින් ඇතිවන ගැටුම මුල් කරගත් බෞද්ධ පුරාවෘත්තය ඇසුරින් නිර්මාණය කළ අපූර්ව නිර්මාණයකි. චිත්‍රසේනයන්ගේ මුල් කාලීන (1952) කෘතියක් වූ එය 1996 දී වජිරාවන් විසින් නැවත කරළියට ගෙන එනු ලැබිණි. ‘නල දමයන්ති’ චිත්‍රසේනයන්ගේ මුල් කාලීන නිර්මාණයන්ගෙන් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූ කීර්තිය මෙන්ම වඩා නිර්මාණාත්මක කෘතිය ලෙස පිළිගැනෙයි. කතා සරිත් සාගරයේ එන ශිව පාර්වතීට කියූ කතාවක් ආශ්‍රයෙන් මෙම නාට්‍ය නිර්මාණය වී ඇත. 1951 දී මුල්වරට නිෂ්පාදනය කළ අතර එහි නව නිෂ්පාදන කිහිපයක්ද බිහි විය.

‘සාම විජය’ විදේශ රටක රඟ දක්වනු ලැබූ ප්‍රථම ලාංකේය මුද්‍රා නාට්‍ය නිර්මාණයයි. රුසියාවේ හා චෙකොස්ලෝවැකියාවේ රඟ දක්වා ඇත. පිටපත තේජා ගුණවර්ධන විසින් නිර්මාණය කර තිබුණි. ලෝක සාමය තේමා කරගත් මෙම නිර්මාණයෙන් මුල්ම මිනිසා හා ගැහැනියගේ සිට ලෝකය විකාශය වූ අයුරුත් මිනිසාගේ බල තණ්හාව නිසා යුදවාදී තත්ත්ව මත න්‍යෂ්ටික විනාශයක අභිමුවට ලෝක ප්‍රජාව පත්ව ඇති අයුරුත් මෙම නිර්මාණයෙන් කියැවේ. එය වර්තමාන ලෝක තත්ත්වය මොනවට පෙන්නුම් කරන දේවභාෂිතයක් මෙනි.

‘කරදිය’ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ප්‍රබල ලෙස නිරූපණය කෙරෙන නිර්මාණය මෙන්ම දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ වේදිකාගත වූ අතිශයින්ම ජනප්‍රිය වූ නිර්මාණය කරදියයි. ධීවර ජීවිතයේ ඛේදජනක තත්ත්වය මෙයින් නිරූපිතය. රුසියාවේ “බොල්ෂෝයි” රඟහල ඇතුළු විදේශීය රඟහල ගණනාවක ප්‍රදර්ශනය කෙරී ඇත. අවස්ථා කිහිපයකදී නව නිෂ්පාදන බිහිවිය.

‘කිංකිණි කෝලම’ ජන නාට්‍ය ලක්ෂණ හා උඩරට පහතරට නර්තන සම්ප්‍රදායන්ගේ ලක්ෂණ මනාව උකහාගත් උපහාසාත්මක මුද්‍රා නාට්‍යයකි. නාට්‍යමය ඉදිරිපත් කිරීම අතින් ඉදිරිගාමී උත්සාහයකි. දුරස්ථිකරණ ලක්ෂණ යොදා ගෙන ඇත. කුල භේදය පිළිබඳ ගැටලුව සාකච්ඡාවට ලක් කෙරෙන මෙය මුල්වරට වේදිකාගත වූයේ 1975 දීය.

‘ශිවරංග’මෙහි නැටුම් නිර්මාණය කිරීමේදී ඉන්දීය නර්තන රටාවලට අමතරව නිදහස් ශෛලියේ චලන රටාද යොදා ගෙන ඇත. සති පූජාවට මුල්වූ හින්දු සමාජයේ එන ශිව – සති පෙම් පුවත හා සතී සෑයට පැන දිවි පිදීම පිළිබඳ පුවත ඇසුරෙන් නිර්මාණය වී ඇත. මෙහි සංගීතය සඳහා රවි ශංකර් ලන්ඩන් සංධ්වනි කණ්ඩායම සමඟ එක්ව නිම වූ නිර්ම­ාණයක් යොදා ගෙන ඇත. මෙය 1985 දී වේදිකාගත විය.

වජිරා චිත්‍රසේන නම් වූ මේ අග්‍රගන්‍ය නර්තන ශිල්පිනියට 2011 වසරේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය විසින් දර්ශන විශාරද (PhD) උපාධිය පිරිනමන ලදී. එසේම 2020 වසරේදී ඉන්දියාවේ සිවුවන ඉහළම සම්මානය ලෙස සැලකෙන ‘පද්ම ශ්‍රී සම්මානයෙන් ද මෙරට කලාසූරී සහ දේශබන්ධු ගෞරව සම්මානවලින් ද පිදුම් ලැබුවාය.

චිත්‍රසේන හා වජිරා යන මේ කලා ශිල්පීන් යුවළ අපේ නාට්‍ය කලාව විශ්ව සිතියමේ එක් ඓතිහාසික සන්ධිස්ථානයක් වෙත අප ගෙනගොස් ඇරලූහ. ඉතිරිය ඇත්තේ අනාගත පරම්පරාව අතය. එතකුදු වුවත් තම ආදරණීය මව සහ පියාගේ අත්වැල අල්ලා නර්තන ද්වාරයෙන් නෘත්‍ය මණ්ඩපයට බට අංජලිකා හා උපේඛා යන ඇයගේ ආදරණීය දියණියන් දෙදෙනා අපට තවදුරටත් බලාපොරොත්තු ඇති කර තිබේ. ඇගේ වියෝවෙන් හිස්වන ඉඩ උපේඛා විසින් පුරවනු ඇත. ඇගේ නර්තන ලාලිත්‍ය දක්නා ඕනෑම අයකු මේ නම් වජිරාගේ පුනරාගමනයකැයි සිතනු නොඅනුමානය. මේ වන විට උපේකාගේ දියණිය තාජි ඩයස් ද සිය මව, මුත්තණුවන් හා මිත්තණිය ගිය පාරේම මහ දුර යමින් සිටිනු පෙනේ. එය ඉමහත් සතුටට කරුණකි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division