Home » පදිංචියට නුසුදුසු නිවාස වර්ග 10ක්

පදිංචියට නුසුදුසු නිවාස වර්ග 10ක්

ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස

by gayan
September 28, 2024 12:30 am 0 comment

නිවසක් යනු විශ්වයේ ශක්තීන් උරා ගෙන එම ශක්තීන් ගබඩා කර ගන්නා ජීවි වස්තුවකි. එමෙන්ම නිවසක් එම ශක්ති කළමනාකරණය කිරීමද සිදු කරනු ලබයි. නිවසේ ජීවත් වන අයට සතුට හෝ දුක ලබා දීමේ හැකියාවක් මේ අනුව නිවසකට ඇත. නිවස විශ්වයේ කොටස්කරුවෙකු නිසා එහි ඉදිකිරීම් විශ්වයට අනුකූල නොවේ නම් විශ්වය මඟින් නිවැසියන්ට නොයෙක් පණිවුඩ ලබා දේ. ඒවායින් කියන්නේ එම නිවස විශ්වයේ ශක්තීන්ට අනුකූල නොවන බව සහ එහි ශක්තීන් විපරිතව පවතින බවය.

එම නිසා වාස්තු විද්‍යාත්මක නොවන නිවසක ජීවත් වීමේදී ඉන් ඇති වන අයහපත් බලපෑම් මඟින් කියන්නේ ඒවා නිවැරදි කර ගන්නා ලෙසයි. අද ලිපියෙන් පැහැදිලි කරන්නේ ඔබ නිවැරදි කර ගත යුතු එබඳු දෝෂ කීපයක් පිළිබඳවයි.

නිවෙසක උතුරු සහ නැ‌ෙඟනහිර දිශාවල දොර ජනෙල් නොමැති වීම ඉතා නුසුදුසුය. එවිට එම දිශාවලින් ලැබෙන විශ්ව ශක්තිය නිවසට නොලැබේ. නැ‌ෙඟනහිර දිශාවට අන්ධ බිත්ති දැමීමෙන් නිවස අඳුරු වේ. එවැනි නිවාස ‘අන්ධක නිවාස’ ලෙස හඳුන්වන අතර ඒවායේ වෙසෙන්නන්ට නිතර ලෙඩ රෝග වැලදේ. ඇතැම් නිවාසවල ජනෙල් විශාල ප්‍රමාණයක් ගෙබිමේ සිට ඉතා උස්ව තබා ඇත. ‘දික්වක්ත්‍ර නිවාස’ ලෙස හැඳින්වෙන එබඳු නිවාසවල පදිංචි ස්ත්‍රීන්ගේ දරු සම්පත් විනාශ වන අතර, ධන හානි සිදු වේ. එමෙන්ම තවත් නිවාසවල ජනෙල්, කවුළු ආදිය ඉතා අඩු වීම නිසා නිවසට අලෝකය නොපැමිණීමෙන් නිවස අභ්‍යන්තරය අඳුරු වේ. ‘කාණ නිවාස’ ලෙස හැඳින්වෙන එවැනි නිවාසවලද ‘අන්ධක දෝෂය’ හට ගනී. නිවසක් උසින් අඩු වීමද ශුභ නොවන අතර එවැනි නිවාස ‘චිපිට නිවාස’ නමින් හැඳින්වේ. එවැනි නිවාසවල ජීවත්වන අයට නිතර මානසික පීඩා ඇති වේ.

නිවසක දිග සහ පළල අතර වෙනස අඩි හයකට වඩා වැඩි විය යුතුයි. එසේ නොවී සමචතුරස්‍රාකාරව ඇති නිවාසවල සතුට නොරැඳේ. නිවැසියන්ට සිය ජීවිතය පවා එපා වේ. මෙබඳු නිවාස හැඳින්වෙන්නේ ‘කුටිල නිවාස’ නමිනි. තවත් නිවාසවල ගෘහ අංග හීන අතර ‘සංඛපාල නිවාස’ නමින් හැඳින්වෙන එම නිවාසවලට විශ්ව ශක්ති ගලනය දුර්වල වීමෙන් නිවැසියන්ට ධන හානි, ලෙඩ රෝග, අනතුරු විපත් ආදිය සිදුවේ. නිවසක එහි ප්‍රධාන අංගයන් වන කාමර, කුස්සිය, සාලය පැවැතිය යුතු අතර එසේ නොවීමෙන් නිවැසියන්ට බොහෝ පීඩාවලට මුහුණ පෑමට සිදු වේ. එබඳු නිවාස ‘කුබිජ නිවාස’ වන අතර, මෙහි වෙසෙන්නන්ට හිස ආශ්‍රිත රෝග, මානසික පීඩා, කුෂ්ට රෝග ආදිය වැලඳේ

ඇතැම් නිවාස දෙපැත්ත උස්ව, මැද පහත්ව සිටින සේ ඉදි කර ඇති අතර, එයින් නිවසට අලංකාරයක් ලැබුණද බොහෝ වාස්තු දෝෂද හටගනී. එවැනි නිවාස ‘මුරජ නිවාස’ වන අතර ඒවායේ පදිංචිකරුවන්ට කොතරම් උත්සාහ කළ ද ආර්ථික වශයෙන් නැගී සිටීම ඉතාම අපහසු වේ. තවද නගුලක් ආකාරයෙන් නිමවා ඇති නිවාසද අපට දක්නට ලැබේ.එබඳු නිවෙස්වල වෙසෙන ස්ත්‍රීන්ට නොයෙක් විපත් කරදර ඇතිවෙයි. ආර්ථික වශයෙන්ද පරිහානියට පත් වේ. නිවසක එක පැත්තක් විශාල ලෙස අඩුව, හීනව ඇත්නම් එය ‘කංත නිවසක් වන අතර එවැනි නිවාසවල වෙසෙන නිවැසියන්ට බොහෝ දේ අහිමිව දිළිඳු භාවයට පත් වේ. දෙවියන්ගේ ආශිර්වාදය පවා නැතිව යයි.

නිවස පිහිටි පොළොවේ සිදුරු, ගුල් වැනි දේ පැවතීම ‘බධිර නිවසක’ ලක්ෂණ වන අතර එබඳු නිවාස වල වෙසෙන්නන්ට සතුන්ගෙන් හානි මෙන්ම හදිසි මරණ ආදියද ඇති විය හැකි බව දැක්වේ. නිවසක මුළුතැන්ගෙය, සාලය, නිදන කාමර, නාන කාමර ආදිය විශ්වයේ පංච භූත ශක්තීන්ට අනුගතව ඉදි කළ යුතු අතර, එසේ නොවීමෙන් ධනය සහ නීරෝගිකම පිරිහේ. විවිධ බාධා, පීඩා, රෝගාබාධ මෙන්ම අමනුෂ්‍ය දෝෂද ඇති වේ. එමෙන්ම නිවසක් අලංකාරව පිළිවෙළට, පිරිසිදුව පැවතිය යුතු අතර, එසේ නොවන නිවෙස්වල නිතර අගහිඟකම් ඇතිවන අතර සමාජ පිළිගැනීම ද නැති වේ. නිවැසියන් අතරද සුහදශීලි බව නැතිව යයි. ඔබේ නිවසේත් මෙබඳු අඩුපාඩු ඇත්නම් ඒවා හඳුනාගෙන නිවැරදි ප්‍රතිකර්ම යෙදීම තුළින් පවතින ගැටලුවලින් මිදී සතුට සැනසුම වාසනාව උදා කර ගත හැකි වනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division