Home » දැන් නම් මට හැදෙන කටකතා මොනවද කියලාවත් මම බලන්නෙ නැහැ

දැන් නම් මට හැදෙන කටකතා මොනවද කියලාවත් මම බලන්නෙ නැහැ

-ගයාත්‍රි ඩයස්

by sachintha
September 21, 2024 12:35 am 0 comment

ගයාත්‍රි ඩයස් කියන්නෙ කවදත් කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල නම් ගයාත්‍රිව අපිට දකින්න ලැබෙන්නෙ වෙනස්ම චරිතයකින්. ඒ පාරාදීසය ටෙලි නාට්‍යයේ මාධවි ලෙසින්. ඒ ගැන වගේම මේ කාලයේ ජීවිතේ ගැන රසඳුන සමඟ කළ කතාබහයි මේ.


මේ දවස්වල කොහොමද වැඩ කටයුතු?

ගොඩක් වෙලාවට නම් මගේ සැලෝන් එකේ ඉන්නෙ. ඒ එක්කම පාරාදීසයේ නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා.

පාරාදීසයේ වෙනස්ම චරිතයක් ඔබ කරන්නෙ?

ඔව්, මාධවී කියන චරිතය. බලන ප්‍රේක්ෂකයන්ට විලන් චරිතයක් පේන නමුත් ඒ චරිතය තුළ එහෙම දෙයක් නැති වෙනස්ම චරිතයක්.

මේ තාක් ඔබ නොකරපු චරිතයක් නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ වගේ චරිතයක් මම මින් පෙර කරලාම නැහැ. දැන් නම් මාධවීගේ චරිතය නිසා සෑහෙන බැණුම් අස්සෙ ඉන්නෙ. ප්‍රතිචාර ගැන කිව්වොත් නම් මෙතුවක් ප්‍රේක්ෂකයන් චරිතවලටනේ බැණ්නේ. මේක බලන අය මටත් බණින මට්ටම ඇවිත් ඉන්නෙ.

දැන් ඔබව නිර්මාණෙවලින් දකින්න ලැබෙන්නෙ කාලයකට එක නිර්මාණයකින් වගේ. ඇයි ඒ? වැඩිය කාර්‍යබහුල වෙන්න කැමති නැද්ද?

දැන් ඉස්සර වගේ ලොකුවට වැඩ කරන්න ආසාවක් නැහැ. එකම චරිතවලට කොටුවෙලා හිරවෙලා කාලයක් හිටිය හින්දා. ඒ නිසා මම හිතුවේ දැන් ඉඳහිට මට ලැබෙන මට කරන්න පුළුවන් කියලා හිතෙන වෙනස් චරිත පමණක් කරන්න.

රංගනයට ඇවිත් මේ ගත වෙන්නෙ කීවෙනි අවුරුද්ද ද?

මම අවුරුදු 16න් කලාවට ආවේ. මේ ගත වෙන්නෙ 29 වන වසර. 2025 ට කලාවට ඇවිත් අවුරුදු 30ක් වෙනවා.

මේතාක් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය නොඅඩුව ලැබෙන එක ගැන මොකද හිතෙන්නෙ?

මෙහෙමයි, ඔය අතරේ අවුරුදු 10ක් විතර කාලයක් වැඩ කළේ නැහැ. නමුත් අඩුවක් නැතුව මට ප්‍රේක්ෂක ආදරේ ලැබුණේ මම කවදත් කට්ටිය එක්ක රැඳුණු නිසා.

අලුත් පරම්පරාව එක්කත් වැඩ කරනවනේ, ඒ අය ගැන කිව්වොත්?

මට දැනෙන දේ තමයි අලුත් පරම්පරාවේ හොඳ දක්ෂ අය ඉන්නවා. ඒ අය එක්ක මට වැඩ කරන්න ලැබුණා. ඒ අතර ඉතින් ඔය එකක දෙකක රඟපාලා දැන් අපි තමයි නළුවෝ නිළියො කියලා හිතන් ඉන්න අයත් ඉන්නවා. ඒකට හේතුව විදියට මම දකින්නෙ අද වෙද්දී මේ ක්ෂේත්‍රයට එන්න විවිධ ක්‍රම තියෙනවා. ඒ නිසා නිසි වටිනාකමක් නැහැ.

කටකතා ගැන අද මොකද හිතෙන්නෙ?

මුල් කාලේ නම් මම ඒවාට සැලුණා. දැන් නම් ඒවා ගැන හිතන්නෙම නැහැ. මේ කාලේ කටකතා කියන්නෙ ඒ අයම හදා ගත්ත දේවල්නේ. සෝෂල් මීඩියාවල විව්ස් වැඩි කර ගන්න එයාලට හිතෙන දේවල් හද හදා දානවා. දැන් නම් මට හැදෙන කටකතා ගොසිප් මොනවද කියලාවත් මම බලන්නෙ නැහැ. බොරු දේවල් හදලා ඒවායින් සල්ලි හම්බ කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ දේවල් එක්ක මාවත් කටකතා ගොසිප්වලට නිරන්තරයෙන් ලක් වෙලා තියෙනවා. ඒකට හේතුව මොකක් ද කියලා අදටත් මට හිතාගන්න බෑ. මොන දේ වුණත් දැන් නම් මම ඕවා ගණන් ගන්නෙම නැහැ. මම ඕවා දකින්නෙත් කවුරු හරි මට ලින්ක් එකක් හරි එව්වොත් විතරයි. ඒ නිසා ඒවා කරන අය ගැන මට කිසි තරහකුත් නැහැ.

ඉස්සරහට භාරගෙන තියෙන වැඩ කටයුතු මොනවද?

හොඳ චිත්‍රපට දෙකක් මට ලැබිලා තියෙනවා. ඒ නිර්මාණවල වැඩ කටයුතු නොවැම්බර් මාසේ පටන් ගන්නවා. ඊට අමතරව විදේශීය ගමන් කිහිපයක් තියෙනවා. ඔය දේවල්වලට අමතරව සැලෝන් එකේ වැඩ කටයුතු සහ ඇකඩමියේ වැඩ කටයුතුවලට වැඩි ඉඩක් දීලා තියෙනවා. ඒ එක්කම මගේ පොඩි දුව තවම ලංකාවේ ඉගෙන ගන්නවා. ඒ නිසා එයා වෙනුවෙන් කාලය වෙන් කරලා තියෙන්නේ.

පහුගිය කාලේ රට අත්හැරලා යනවා කියලා තිබුණා නේද?

මම රට අත්හැරලා යනවා කියලා තිබ්බෙත් යූටියුබ්වලනේ. මම කොහේවත් කොතනකවත් අද වෙනකම් කියලා නැහැ රට අත්හැරලා යනවා කියලා. මට එහෙම රට අත්හැරලා යනවා කියලා අදහසක්වත් නැහැ. මට එහෙම ලංකාව අත්හැරලා ගිහින් වෙන රටක ජීවත් වෙන්නත් බැහැ. මගේ දරුවෝ ඉන්නෙත් අධ්‍යාපන කටයුතුවලට විදෙස්ගත වෙලා. මම මේ රටේ හදාගත්ත දේවල් තියෙනවා. ඒ දේවල් දාලා ගිහින් මම කොහොමද වෙන රටක ජීවත් වෙන්නෙ.

ආපස්සට හැරිලා බලද්දි ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ?

මම අවුරුදු 16න් කලාවට ආවා. අවුරුදු 17 දී විවාහ වුණා. 2025ට කලාවට ඇවිත් අවුරුදු 30ක්. මම කවදත් හැමදෙයක් දිහාම උපේක්ෂාවෙන් බලපු කෙනෙක්. කිසි තරහක් කා එක්කවත් නැහැ. මගේ මූණටම ඇවිත් ගහලා බැණලා ගියත් මම කවදාවත් ඒ අයට ගහන්න බණින්න යන්නෙ නැහැ. අපිට පොඩි කාලයක් මේ ජීවත් වෙන්න ලැබිලා තියෙන්නේ. ඒ කාලය තුළ ගුණ ධර්ම ප්‍රගුණ කරලා ජීවත් වෙන එක තමයි හොඳම දේ.

 

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division