Home » මගේ හඬට පණ තියෙන්නේ ගෙදර අයගේ ආශීර්වාදය නිසයි

මගේ හඬට පණ තියෙන්නේ ගෙදර අයගේ ආශීර්වාදය නිසයි

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment
හර්ෂණී වීරරත්න

– මම අලුත් ගායකයෙක් කියලා හිතන පිරිසක් ඉන්නවා
– සඳ වික්කා කාගේවත් වුවමනාවක් මත එළියට ආ ගීතයක් නෙමෙයි

රියැලිටිකරණයෙන් හඬ මතුකරගත් ඔහුව බොහෝ දෙනා හැදින්වූයේ ශාස්ත්‍රීය සංගීතයට හොඳ හඬක් ඇති ගායකයෙක් විදිහට. පළමු ඩ්‍රිම්ස්ටාර් වේදිකාවෙන් හඳුනාගත් ඔහු තරංග සම්පත්. බොහෝ ස්ව නිර්මාණ ගායනා කළත් ඔහුව වැඩිපුර බොහෝ දෙනෙක් කතා කරන්නේ මේ කාලවකවානුවේයි. ඒ සඳ වික්කා ගීතයත් එක්ක. අලුත් රසට සඳ වික්ක තරංග ගැනයි මේ.

මේ දිනවල හැමෝම කතා කරන සඳ වික්කා ගීතය අලුත් රටාවක් එක්ක අලුත් විදිහට සමාජ ගත කරත් එය පරණ ගීතයක් නේද තරංග..?

ඔව්. මේ ගීතය නිර්මාණය වෙන්නේ 2012 වර්ෂයේ. මගේ සීඩී තැටියට තමයි මේ ගීතය නිර්මාණය කරන්නේ. මට මේ ගීතය ලබා දුන්නේ ප්‍රවීණ ගායක සේනානායක වේරලියැද්ද මහත්තයා. එතුමා මගේ තාත්තගේ හිතවතෙක්. මගේ ගීතයකට මම තනුවක් නිර්මාණය කරලා දෙන්න කියලා එතුමාගෙන් ඉල්ලීමක් කළා. එතුමාට ලැබුණු ගීතයක් තමයි මේ. තනු නිර්මාණය කරලා තිබුණා. පද්මා ජයසිංහ මහත්මිය තමයි පද රචනා කරලා ඔහුට දීලා තිබ්බේ. මා වෙනුවෙන් එතුමාට කරන්න තිබුණු දෙයක් වෙන්න ඇති එතුමා කළේ. ඒ ගීතය ඔහු මට දුන්නා. පද්මා අක්කත් කිව්වා කමක් නැහැ මල්ලී ඔයා ගයන්න කියලා.

වේරලියැද්ද මහත්මයා ස්ටූඩියෝ එකට ඇවිත් මට උදව් කළා. එතුමාට මම ගරු කරන්න ඕන ඒ කරපු කැපවීමට. ඒ විදිහට තමයි “සඳ වික්කා“ ගීතය බිහි වෙන්නේ.

වසර ගණනාවක් හැංගිලා තිබ්බ මේ ගීතය ආයෙමත් වෙනස් විදිහකට ජනගත කරන්නේ කාගේ හරි වුවමනාවක් මතද..?

ඒ කාලේ තිබ්බ දේශපාලන වාතාවරණය ඇතුළේ මේ ගීතය ගැළපුනේ නැහැ. ඒ නිසා ගීතය එච්චර ‘හිට්‘ වුණේ නැහැ. පස්සෙ මම හිතුවා මේ ගීතයේ සංගීතය ටිකක් අඩු කරලා නැවත ගයන්න. ගිටාර් එකත් එක්ක කම්පෝස් කළේ තඹුත්තේගම සඳරු රාජසිංහ. ඊට පස්සේ මේ මහා පොළොවේ යථාර්ථය රූපරාමුවලට සරල විදිහට ගත්තා. ඒ වෑයම හිතුවේ නැති විදිහට සාර්ථක වුණා. මේ ගීතය දැන් තමයි ජනතාව අතරේ තියෙන්නේ. බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා. නමුත් කාගේවත් උවමනාවක් මත එළියට ආ ගීතයක් නෙමෙයි

ඔබව අලුත් ගායකයෙක් විදිහට හඳුනාගත් පිරිසකුත් ඇති..?

මම අලුත් ගායකයෙක් කියලා හිතන පිරිසක් ඉන්නවා. නමුත් ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කිසිම කෙනෙක් මේ වෙනකල් මට දොස් කිව්වේ නැහැ. බොහෝ අය මාව හඳුනාගෙන තියෙනවා. මාව ඩ්‍රිම්ස්ටාර් ඔස්සේ දැනගත් බව බොහෝ දෙනෙක් කමෙන්ට් වලින් ප්‍රතිචාර දක්වලා තිබ්බා. හරි සතුටක් දැනෙනවා ඒ ප්‍රතිචාරවලට. 2009 අවුරුද්දේ ඩ්‍රිම්ස්ටාර් ඉවර වුණාට පස්සෙත් මම ගීත නිර්මාණය කළා. මේ ගීතයට පෙර 2022ත් කළා රූපරාමු එක්ක ගීතයක්. නමුත් ඒ ගීත සාර්ථක වුණේ නැහැ . මේ ගීතය අතිසාර්ථක ගීතයක් බවට පත් වුණා.

ප්‍රවීණ කලාකරුවෙක් හැටියට වේරලියැද්ද ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද ..?

සඳ වික්කා ගීතය වෙනස්ම ආරක ගීතයක්. තනුව ඇතුළේ ජන ගීතයේ ලක්ෂණත් තියෙනවා. අමුතුම රිද්ම රටාවක් භාවිත වෙලා තියෙනවා. නාද, රිද්ම රටා වෙනස්. පද ඉස්තරම්. හඬත් ගැළපුනා කියලා හිතනවා. සිංදුව වේරලියැද්ද මහත්තයා මට දීලා කිව්වෙ “මේකෙන් වැඩක් ගනිං පුතේ“ කියලා. කල්ගිහිං හෝ එතුමාගේ වචනවලට මට යමක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවා. එතුමාත් සතුටු වුණා.

ගුරු රස්සාව එක්ක හඬට වාරණ දාගෙන මේ ගමන යන්නෙ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ..?

ගුරු රස්සාව එක්ක අපි සජීවීව ජීවත් වෙන්නේ. ප්‍රථිපල ගුණාත්මක වෙන්න ඕන නිසා මට ගොඩක් දේ මඟ හැරුණා. පරිපාලනය එක්ක ගැටුණා. මට පොඩි අවාසියක් වුණා. නිදහසේ හැසිරෙන්න බැහැ. සීමාවන් දා ගත්තා, නමුත් පුළුවන් විදිහට ගමනක් යන්න මම ඉගැන් වූ සියලුම පාසල්වල විදුහල්පතිවරුන් හා කාර්‍යමණ්ඩලය දරුවන්ගේ හයිය ලැබුණා.

එහෙම නැත්තම් ඔබ ශාස්ත්‍රීය සංගීතයට නැඹුරු නිසා යන රැල්ලට ගීත නිර්මාණ ය කරන්න පසුබට වුණා ද..?

මම සංගීතය විෂයක් විදිහට හදාරලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා පෙරදිග සංගීත උපාධියක් ලබාගෙන තියෙනවා. ශාස්ත්‍රීය පැත්තට නම්‍යශීලී බවක් තියෙනවා. කටහඬත් අපි ප්‍රගුණ කරලා තියෙන්නේ . නමුත් මට ඕනෑම ශෛලියකට ගයන්න පුළුවන්. මම ගයන්නේ ගීතයේ ජීවත් වෙලා හා හොඳ අධ්‍යනයකින් පසුව. ඒ නිසා මගේ හඬට මම වාරණ දාගෙන නැහැ. නමුත් ගුරුවරයෙක් හැටියට ජනප්‍රිය රැල්ලේ ගීත නිර්මාණය කිරීමේදී පොඩි පසුබෑමක් තියෙනවා.

සංගීත ගමනට පවුලෙන් ලැබෙන සහාය කොහොමද ..?

මම විවාහකයි. බබාලා දෙන්නෙක් මට ඉන්නවා. මගේ බිරිඳත් සංගීත ගුරුවරියක්. ඒ නිසා ඇයට මගේ බාහිර වැඩ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියත් ලොකු සහයෝගයක් දෙනවා. එදා ඉඳලම තවම මගේ හඬට පණ තියෙන්නේ ගෙදර අයගේ ආශීර්වාද නිසයි.

සංගීත ප්‍රසංගවලට දැන් ඇරයුම් වැඩි වෙයි නේද…?

ප්‍රසංගවලට සම්බන්ධ වෙන්න ඕන. ඒ ඔස්සේ තමයි මට රට පුරා යන්න පුළුවන් වෙන්නෙ. ප්‍රේක්ෂකයන් අතරට සජීවීව යන්න පුළුවන් වෙන්නෙ. දැන් ඉස්සරට වඩා වැඩිපුර වැඩ ලැබෙයි කියලා විශ්වාස කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division