Home » අයිශ්වර්යා – අභිෂේක් දික්කසාදය අත ළඟද?

අයිශ්වර්යා – අභිෂේක් දික්කසාදය අත ළඟද?

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment
කසුන් අරවින්ද

අයිශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන් බොලිවුඩයේ ජනප්‍රියම අඹුසැමි යුවළක බව රහසක් නොවෙයි. අයිශ්වර්යා නිළියක ලෙස මෙන්ම ලෝක රූ රැජිනක ලෙස ද ප්‍රසිද්ධියක් දිනා සිටින අතර, අභිෂේක් බොලිවුඩයේ සුපිරිම සිනමා පවුලක් වන බච්චන් පවුලේ ප්‍රධානම සාමාජිකයෙක්.

කෙසේ නමුත් මේ දිනවල මේ දෙදෙනා ගැන පැතිරෙන ආරංචි නම් එතරම් සතුටුදායක ඒවා නොවේ. දැන් ටික කාලෙක සිටම අසන්නට ලැබෙන මෙම කටකතාවලින් පැවසෙන්නේ ඔවුන්ගේ විවාහ දිවියේ ගැටලු පැන නැගී ඇති බවයි. ඔවුන් දික්කසාද වීමට සූදානම් වන බවකුත් මේ අතර අසන්නට ලැබෙනවා. මෙයට දින කිහිපයකට කලිනුත් මේ කාරණා ගැන ඉන්දීය මාධ්‍ය තුළ කසුකුසුවක් පැන නැඟී තිබෙනු දකින්නට ලැබුණා.

මෙයට දින කිහිපයකට පෙර අයිශ්වර්යා ඇයගේ දියණිය වන ආරධ්‍යා ද සමඟ ඩුබායිහි කිසියම් කටයුත්තක් සඳහා ගොස් තිබුණා. ඔවුන් එහි ගොස් තිබුණේ සම්මාන උත්සවයකට සහභාගි වීම සඳහා බවයි පැවසුණේ. එම අවස්ථාවේ අයිශ්වර්යා ගැන විපරම්සහගත වූ ඇතැමුන්ට දැකගන්නට ලැබී තිබුණේ ඇය මඟුල් මුද්ද පැලඳ නොසිටින බවයි. අයිශ්වර්යා සහ අභිෂේක් අතර ප්‍රශ්නයක් ඇති බවට පැතිරෙමින් ඇති කතා මෙයින් ද තහවුරු වන බවයි ඇතැම් මාධ්‍ය සඳහන් කර තිබුණේ. මෙයට කලින් අවස්ථාවක අභිෂේක් ද මේ ආකාරයෙන්ම මඟුල් මුද්ද නොපැලඳ සිටිනු දැකගන්නට ලැබුණා.

මේ දෙදෙනාගේ විවාහ ජීවිතය තුළ ගැටලු මතු වී ඇති බවට මේ ආකාරයෙන් විවිධ කතා සහ අනුමානයන් පැතිරුණත් ඔවුන් දෙදෙනා නම් තවම ඒ ගැන නිල වශයෙන් කිසිවක් සඳහන් කර නැහැ. මෙම කටකතා බොරු බවක්වත් ඔවුන් ප්‍රකාශ කර නොතිබීම විශේෂත්වයක්.

මේ අතර සමහර මාධ්‍ය වාර්තාවලින් පැවසෙන්නේ අයිශ්වර්යා සහ බච්චන් පවුල අතර යම් ගැටුමක් මතුව ඇති බවයි. අයිශ්වර්යා සහ ජයා බච්චන් අතර විරසකයක් පැන නැඟී ඇති බවකුත් ඇතැම් වාර්තාවල සඳහන් වෙනවා. ජයා බච්චන් යනු අභිෂේක්ගේ මව බව බොලිවුඩ් සිනමාලෝලීන් කවුරුත් දන්නා කාරණයක්.

ඉන්දියාවේ ධනවත්ම මිනිසා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ බාල පුතුගේ විවාහ උත්සවය අවස්ථාවේත් අභිෂේක් – අයිශ්වර්යා ප්‍රශ්නය ගැන මාධ්‍ය තුළ කතාබහක් ඇති වුණා. මෙම විවාහ උත්සවයට අභිෂේක් සහ අයිශ්වර්යා ගොස් තිබුණේ වෙන වෙනම බවයි සඳහන් වුණේ. අභිෂේක් ඔහුගේ පවුලේ අය සමඟ යද්දී අයිශ්වර්යා ගොස් තිබුණේ තනිවමයි.

මේ දෙදෙනා සම්බන්ධයෙන් පැතිරෙන මෙම ආරංචි නිසා ඔවුන්ගේ රසික රසිකාවියන් තුළ විශාල කනගාටුවක්, කම්පාවක් ඇතිව තිබෙන ආකාරයත් දැකිය හැකියි.

අයිශ්වර්යා සහ අභිෂේක් දෙදෙනාගේ යුග දිවියට මේ වන විට වසර 17ක්. ඔවුන් විවාහ වුණේ 2007 වසරේයි. මේ දෙදෙනා මුල් වරට මුණගැසුණේ Dhaai Akshar Prem Ke නමැති සිනමාපටයේ වැඩ කරමින් සිටියදී යි. 2000 වසරේ තිරගත වූ එය සුන්දර ආදර කතාවක් රැගත් සිනමා නිර්මාණයක්. කෙසේ හෝ වේවා, ඔවුන්ගේ මිත්‍රත්වය ආදර සම්බන්ධයක් බවට හැරුණේ Dhoom 2 චිත්‍රපටයේ වැඩ කළ කාලයේ බවයි පැවසෙන්නේ. එය තිරගත වූයේ 2006 වසරේ යි.

ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වීමට පෙර අභිෂේක් සහ කරිෂ්මා කපූර් පෙමින් බැඳී සිටි අතර, ඔවුන් විවාහ වීමට පවා සූදානමින් සිටියා. විවාහයෙන් පසු බච්චන් පවුලේ මහගෙදර ජීවත් වීමට කරිෂ්මා කැමැත්තක් නොදැක්වීම නිසා මෙම සම්බන්ධය බිඳවැටුණු බවටත් කතාවක් තිබෙනවා.

අභිෂේක් සමඟ පෙමින් බැඳෙන්නට පෙර අයිශ්වර්යාද ආදර සබඳතා කිහිපයක් පැවැත් වූ බව සඳහන් වන අතර, ඇය සහ සල්මාන් ඛාන් අතර පැවැති සම්බන්ධය බෙහෙවින් කතාබහට ලක් වුණා. 1999 වසරේ ආරම්භ වූ මෙම සම්බන්ධය අවසන් වූයේ 2002 වසරේයි. එයින් පසු අයිශ්වර්යා තවත් ජනප්‍රිය නළුවකු වූ විවේක් ඔබරෝයි සමඟත් සම්බන්ධයක් පැවැත්වූවා. 2005 වසර දක්වා එම සම්බන්ධය පැවතුණා.

මේ වන විට අයිශ්වර්යා – අභිෂේක් දෙදෙනාට ආරධ්‍යා නමින් දියණියක සිටින අතර ඇය උපන්නේ 2011 වසරේ යි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division