Home » අන්තර්වාර රජයට මාසයයි අර්බුදය තවමත් ඔඩු දුවයි

අන්තර්වාර රජයට මාසයයි අර්බුදය තවමත් ඔඩු දුවයි

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment

බංග්ලාදේශයේ අන්තර්වාර රජය බලයට පත්වී මාසයකට අධික කාලයක් ගතවූවද, මෙතෙක් මහමැතිවරණ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීමට අසමත්වීම අභියෝගයට ලක් වී තිබේ. හිටපු අගමැතිනිය ශෙයික් හසීනා බලයෙන් පහ කර ප්‍රංශයේ පැරිස් නුවර සිටි නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මොහොමඩ් යූනුස් ගෙන්වා අන්තර්වාර රජයක් පිහිටුවා ගත් එරට ශිෂ්‍ය ව්‍යාපාරය කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන බවට ප්‍රකාශ කළ ද, ඒ සඳහා මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම ගැන බංග්ලාදේශයේ විපක්ෂ මන්ත්‍රීවරු පසුගියදා ඩකා අගනුවර දැවැන්ත විරෝධතාවක ද නිරත විය. එරට ප්‍රධාන විපක්ෂය වන හිටපු අගමැතිනිය කලීඩා ෂීයාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ සාමාජිකයන් දහස් සංඛ්‍යාවක් ඩකා අගනුවර විරෝධතාවට එක්වූ අතර, පක්ෂ මූලස්ථානය අසල උද්ඝෝෂණයක නිරත වූ බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. වහාම ක්‍රියාත්මක වන පරිදි මහමැතිවරණයක් කැඳවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස කලීඩා ෂීයාගේ නායකත්වයෙන් යුතු එම පක්ෂය අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යූනුස්ට බල කර සිටි බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඩකා විශ්වවිද්‍යාලයේ ගැටුමකින් සිසුවකු මිය යයි

මේ අතර විශ්වවිද්‍යාල තුළ දේශපාලන තහනම් කරන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇති අතර, මේ තත්ත්වය මත ඒ විශ්වවිද්‍යාලයේ සිසුන් පිල් දෙකකට බෙදීමෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කළේය. මේ උණුසුම පෙරේදා වන විට උත්සන්න වූ අතර, එම සිදුවීමෙන් දිනකට පසු එක්තරා රාත්‍රියක එම විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක් තුළ සිදුවූ පහරදීමකින් සිසුවකු ඝාතනයට ලක්වීමෙන් තත්ත්වය තවත් බරපතළ වී තිබේ.

බංග්ලාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ගැටුමකින් එක් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එම සිසුවා මියගොස් ඇත්තේ දේශන ශාලාවකදීය. ඔහුට පහරදී ඝාතනය කර ඇති බවට හෙළි වී තිබේ. මේ සම්බන්ධව සැක පිට තවත් සරසවි සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අත්අඩංගුවට පත්වූ එක් සිසුවකු ඩකා විශ්වවිද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ උපලේකම් බව ද වාර්තා වේ.

අත්අඩංගුවට පත් වී ඇත්තේ ඩකා විශ්වවිද්‍යාලයේ නේවාසිකව සිටි සිසුන් වන අතර, මිය ගිය සිසුවා සොරකු බවට සැක කරමින් පහරදීම සිදුවී ඇති බව මූලික විමර්ශනයේදී සඳහන් වී ඇතැයි වාර්තා වේ. කෙසේ වුව ද ඩකා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ දේශපාලන ක්‍රියාකාරකම් තහනම් කරන ලෙස විරෝධතාවක් පැවැත්වීමේ සිදුවීම හා සරසවි සිසුවාගේ ඝාතනය අතර සම්බන්ධතාවක් තිබේදැයි පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ඩකා විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් 95%ක්ම විශ්වවිද්‍යාලයෙන් දේශපාලනය ඉවත් කරන ලෙස ඉල්ලා ඇති අතර, සුළු පිරිසකගේ ඉල්ලීමට විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ දේශපාලන ක්‍රියාකාරම් සිදුකිරීමට ඉඩ සැලසීම සම්බන්ධව කුලපතිවරයා දැඩි විවේචනයට ලක් කර ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය. පවතින තත්ත්වය මත ඩකා විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ගැටුමක් නිර්මාණය වී ඇතැයි ද බංග්ලාදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඇඟලුම් කර්මාන්තයටත් කණකොකා හඬයි

වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමිණීමේ දීමනා ඉහළ දමන ලෙස පාලනාධිකාරියට බල කරමින් සේවක සේවිකාවන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජනය හා විරෝධතාව හේතුවෙන් සති දෙකකට පෙර වසා දමනු ලැබූ ඇඟලුම් කර්මාන්තශාලා අතුරින් 27ක් මෙතෙක් නැවත විවෘත කර නැති බව වාර්තා වේ. කර්මාන්තශාලා වැඩි ප්‍රමාණයක් නැවත විවෘත කිරීමට එහි හිමිකරුවන් තීරණය කරනු ලැබුවේ ආරක්ෂාව සපයන බවට අන්තර්වාර රජය පොරොන්දු වීමෙන් පසුවය.

සතියකට ආසන්න කාලයක් ඩකා නුවර හා තදාසන්න ප්‍රදේශවල ඇඟලුම් ආයතන සේවක සේවිකාවන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජනය හේතුවෙන් කම්කරු පනත යටතේ වැටුප් රහිත නිවාඩු ලබාදීමේ ක්‍රමවේදය භාවිත කරමින් ආයතන සියයකට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබිණි. එම කාලය ඇතුළත පමණක් බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවලට ටකා රුපියල් කෝටි දහසක අධික පාඩුවක් සිදු වී ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වුවද සේවකයන් හා කර්මාන්තශාලා හිමිකරුවන් අතර විශාල දුරස්ථභාවයක් ඇතැයි සඳහන් කර ඇති අමාත්‍යාංශ උපදේශකවරයා එම අඩුපාඩුව මග හරවාලීමට කඩිනමින් පියවර ගන්නා බවත් ප්‍රකාශ කර තිබේ.

බංග්ලාදේශයේ කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ උපදේශක අසීෆ් මහ්මූද් පසුගියදා ඩකා නුවර සියලු කර්මාන්තශාලා හිමිකරුවන් සමඟ සාකච්ඡාවකට සහභාගි වී ඇති අතර, එහිදී කර්මාන්ත හිමිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් සේවක නොසන්සුන්තාව උත්සන්න වන්නේ නම් එරට කම්කරු පනත යටතේ ඇති වරප්‍රසාද භාවිත කරමින් සිය කර්මාන්තශාලා නැවත වසා දැමීමට පියවර ගන්නා බවය.

ශිෂ්‍ය නායකත්වයෙන් යුතු බහුජන ව්‍යාපාරයක් විසින් ගෙන එනු ලැබූ නායකත්වයේ වෙනසත් සමඟ බංග්ලාදේශයේ මතු වී ඇති වත්මන් අර්බුදය ඉතා අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී ඇතැයි ද, එරට ඇඟලුම් නිෂ්පාදකයන් ඉදිරියේදී ජාත්‍යන්තර අපනයනය නිසි වේලාවට සහ අවශ්‍යතාව පරිදි ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි කනස්සල්ලට පත්වී සිටින බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ආර්ථික වශයෙන් බංග්ලාදේශය අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවක ලෝක ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ දෙවැනි විශාලතම රට වන බංග්ලාදේශයට විදේශීය ගැණුම්කරුවන්ගේ ඉල්ලීම් සපුරාලීමට නොහැකි වුවහොත් සමස්ත රටටම ඉන් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය. එරට ප්‍රධානතම විදේශ විනිමය උත්පාදනය කරන ඇඟලුම් ක්ෂේත්‍රයේ අර්බුදය හේතුවෙන් එරට ඇඟලුම් අපනයනය ක්ෂේත්‍රය සැලකිය යුතු අයුරින් බිඳ වැටී ඇති අතර, විදෙස් ගැනුම්කරුවන් රැසක් සිය ඉල්ලුම සපුරා ගැනීමට ඉන්දියාවේ ඇඟලුම් ආයතන වෙත යොමු වී තිබේ. උද්ගත වී ඇති අර්බුදය හේතුවෙන් පසුගිය සති දෙක ඇතුළත පමණක් ජාත්‍යන්තර ඇඟලුම් ඉල්ලුම්කරුවන්ගෙන් ඉන්දීය රුපියල් බිලියන 4.50ක අපනයන ඇණවුම් ඉන්දියාවට ලැබී ඇතැයි එරට ‘ඉකොනොමික් ටයිම්ස්‘ පුවත් සේවය වාර්තා කළේය.

මිලියන 5ක රැකියා අහිමි වීමේ අවදානමක්

බංග්ලාදේශයේ විදේශිකයන්ගේ නිෂ්පාදන හා කර්මාන්ත සමාගම්වල ආරක්ෂාව හා රටේ නීතිය හා සාමය බිඳ වැටීමෙන් විදෙස් ආයෝජකයන් රටින් ඉවත්වීමේ අවදානමක් උද්ගත වී ඇතැයි බංග්ලාදේශයේ මාධ්‍ය වාර්තා කළේය. සිය සමාගම්වල කම්කරුවන්ගේ නොසන්සුන්තාව ඉහළ යෑම හේතුවෙන් අන්තර්වාර රජය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය ද බිඳ වැටී ඇතැයි බංග්ලාදේශයේ ‘ඩේලි ස්ටාර්‘ පුවත් සේවය වාර්තා කළේය.

ඇතැම් කාර්මික ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව අඩු මට්ටමක පවතින බවත්, අනපේක්ෂිත සේවක විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට පොලිසියේ මැදිහත්වීම කෙරෙහි සැක සහිත තත්ත්වයක් ද විදෙස් ආයෝජකයන් තුළ පැන නැඟී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. පසුගියදා එරට විදේශීය සපත්තු සමාගමකට කම්කරුවන් පිරිසක් පහර දී ඇති අතර, වැටුප් ඉහළ දැමීමට බල කරමින් සේවක විරෝධතාවන් ද උත්සන්න වෙමින් පවතින බව එරට මාධ්‍ය සඳහන් කළේය. රටවල් 35ක පමණ ආයෝජකයන් 200කට අධික පිරිසක් බංග්ලාදේශයේ විවිධ ක්ෂේත්‍ර 21කට වැඩි ප්‍රමාණයක සමාගම් සහ කර්මාන්තශාලා පවත්වාගෙන යන අතර, ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන විදේශීය ආයෝජකයන් බංග්ලාදේශයෙන් ඉවත් වන්නේ නම් එම සමාගම්වල හා කර්මාන්ත ශාලාවල සේවය කරන මිලියන 5කට අධික සේවක පිරිසට රැකියා අහිමි වනු ඇතැයි ද වාර්තා වේ.

මාධ්‍ය දඩයම ඇරඹෙයි

පසුගිය මාසයේ සිදුවූ ශිෂ්‍ය විරෝධතාව අතරතුර මොහොමඩ් ෆස්ලූ නමැති 31 හැවිරිදි පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ආරම්භ කර ඇති නඩු විභාගයේදී එරට මාධ්‍යවේදීන් 25 දෙනකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු අගමැතිනිය ශෙයික් හසීනා සහ තවත් පුද්ගලයන් 165 දෙනකු ද නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

විරෝධතාව අතරතුර ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ වැඩිමල් සොහොයුරු පසුගියදා ඩකා අගනුවර පොලිස් ස්ථානයකට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව එම නඩුව ගොනු කර ඇති අතර, හිටපු අගමැතිනිය සහ අවාමි ලීග් රජයේ හිටපු නීති ඇමැති, රාජ්‍ය ඇමැති, හිටපු පොලිස්පති, පොලිස් කොමසාරිස් සහ උසස් පොලිස් නිලධාරීන් ද, අවාමි ලීග් පක්ෂයේ නායකයන් රැසක් ද නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි වාර්තා වේ. මීට අමතරව බංග්ලාදේශයේ ප්‍රකට ව්‍යාපාර සමූහයක සභාපතිවරයා සහ එම ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඔහුගේ පුත්‍රයා ද විත්තිකරුවන් බවට නම් කර ඇතැයි වාර්තා වේ.

ශිෂ්‍ය විරෝධතාව අතරතුර මොහොමඩ් ෆස්ලූ ජීවිතක්ෂයට පත්වූයේ පොලිස් වෙඩි පහරකින් බවත්, ඔහුගේ මරණයට මාධ්‍යවේදීන් 25 දෙනකු විත්තිකරුවන් ලෙස නම් කිරීම විමතියට කරුණක් බවත් බංග්ලාදේශයේ මාධ්‍ය වාර්තා කළේය. විරෝධතාව ආවරණය කළ එරට මාධ්‍යවේදීන් 5 දෙනකු ඝාතනයට ලක් වූ අතර, තවත් 20කට අධික පිරිසක් විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ බව වාර්තා විය.

ශිෂ්‍ය විරෝධතා අතරතුර පාර්ලිමේන්තුවෙන් ටකා ලක්ෂ 90ක් අතුරුදන්

බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතාව උත්සන්න වීමෙන් අගමැතිනිය ශෙයික් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසු විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුවට කඩා වැදීමෙන් පසු පාර්ලිමේන්තුවේ නිල හා පෞද්ගලික මුදල් ටකා ලක්ෂ 90ක් අතුරුදන් වී ඇතැයි පසුගියදා හෙළි වී තිබේ. එම මුදල් තොගය පසුගිය අගෝස්තු මස පස්වැනිදා ඩකා නුවර පිහිටි පාර්ලිමේන්තුවට කඩා වැදුණු විරෝධතාකරුවන්ගේ කොල්ල කෑමට ලක්වූ බවට පසුගියදා පැවැති රැස්වීමකදී තොරතුරු හෙළි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පාර්ලිමේන්තුවේ වැඩබලන ලේකම් විසින් පාර්ලිමේන්තු මූල්‍ය කමිටුවේ රැස්වීමකදී මේ බව ප්‍රකාශ කර ඇති අතර, අතුරුදන් වූ එම මුදල් නැවත සොයා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව බංග්ලාදේශ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ විවිධ කාර්යාලවලින් හා උපඅංශවලින් අස්ථානගත වූ විවිධ භාණ්ඩ සම්බන්ධයෙන් ද ලැයිස්තුවක් සකස් කර ඇති අතර, එම ලැයිස්තුව එක් එක් දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්ට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

පාර්ලිමේන්තුවට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි අසුන් ගනිමින් ද, දුම් පානය කරමින් ද පාර්ලිමේන්තුව ගර්භයට දැඩි අලාභ හානි සිදු කර ඇති අතර, එම තත්ත්වය පාලනය කිරීමට එරට පොලිසිය හා හමුදාව අසමත් වී තිබිණි. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු සභා ගර්භයේ හැසිරුණු ආකාරය දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍යජාලයේ සංසරණය විය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division