– මෙය අවුරුදු 2200ක් තරම් පැරණි ලිපියක්. එවැනි භාෂාවක අක්ෂර වචන මෙතෙක් හමු නොවූ ඒවා. ඒ නිසා ඒවා කලබලෙන් අර්ථ නිරූපණය කරන්න අපහසුයි. මාස එකහාමාරක කාලයක් මේ සඳහා වැය වුණේ ඒ නිසයි
– ලයිඩා සහ බහුවර්ණාලීක්ෂ ඡායාරූප (Photo grammetry) තාක්ෂණය යොදාගෙන ලංකාවේ කියැවූ පළමු සෙල් ලිපිය මෙයයි
– ලයිඩා තාක්ෂණය යොදාගෙන කියැවූ ලංකාවේ පළමු හා විශාලතම සෙල් ලිපිය දිඹුලාගල සෙල් ලිපියයි
ඉකුත්දා ප්‍රකාශයට පත් කළ දිඹුලාගල ශිලා ලිපිය සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයේ මෙන්ම සමාජයේ විවිධ පාර්ශ්‍ව විවිධ අර්ථ කථන ඉදිරිපත් කරමින් තිබේ. විශේෂයෙන් කිසිදු විධිමත් අධ්‍යයනයක් නොකළ සමාජ ජාල පරිශීලකයන්ගේ සිතට නැඟෙන සිතුවිලිවලින් මේ සංවාද පිරී ඇති බව පෙනෙන්නට තිබේ. ඉකුත් දා මෙම ශිලා ලිපිය පිළිබඳ මූලික වාර්තාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එළිදැක්වීමට පියවර ගෙන තිබූ අතර මෙය එළිදැක්වීම ප්‍රමාද වීම හා එහි අසම්පූර්ණ බව පිළිබඳව ද ඇතැමුන් චෝදනා නඟා තිබුණි. මෙහිදී ඇතැමෙක් පවසන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි ඇතැම් කොටස් ඕනෑකමින් වසන් කිරීමට කටයුතු කර ඇති බව ය. මින් වැඩි පිරිසක් බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාව බවට ප්‍රවාද ඉදිරිපත් කරන පිරිස් වීම විශේෂය. ඔවුන්ට අනුව මෙම ශිලා ලේඛනය සුදොවුන් රජු හා සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පිළිබඳ පැහැදිලි ඓතිහාසික මූලාශ්‍රයක් බවයි. මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන මෙම දුර්මත බැහැර කිරීමත්, එවැනි දුර්මතවලට ජනතාව දක්වන නැමියාව අවම කිරීමත්, මෙම සොයා ගැනීම ලංකාවේ ඉතිහාසයට සහ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට කවරාකාර බලපෑමක් සිදු කර තිබේද යන්නත් විමසීම මෙම ලිපියේ අරමුණයි.
මෙම කාර්යයයේ නියමුවා බවට පත්ව සිටි පුරාවිද‍්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ බුද්ධි නාගොඩවිතාන ‘දිඹුලාගල ශිලා ලේඛනය’ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිළුමිණට පැවසුවේ මෙවැන්නකි.
“දිඹුලාගල නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානයේ තිබී 2023 වසරේ ජුනි මාසයේ දී මේ ශිලා ලිපිය හඳුනා ගැනීමත් සමඟ මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යෙමු වුණා. ඒ අනුව එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මේ සඳහා මූලිකත්වය ගනු ලැබුවා. ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය ආචාර්ය ප්‍රදීපා සේරසිංහ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නානකවිද්‍යා අංශයේ එවක සහකාර අධ්‍යක්ෂ ඩග්ලස් බණ්ඩාරනායක ඇතුළු පිරිස මෙම ස්ථානයට ගමන් කළා. නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානයේ ඉහළ කඳුවැටියක දෙපළු වී ගිය ගල් කුළක පැති මුහුණතක තමයි මේ සෙල් ලිපිය කොටා තිබුණේ. මෙය ඍජුවම අව්වට වැස්සට නිරාවරණය වී තිබීම නිසා ලිපියේ අක්ෂර සැලකිය යුතු ප්‍රමාණයක් මැකී ගොස් තිබුණා. සාමානයෙන් සෙල් ලිපි පිටපත් කිරීමෙන් අනතුරුවයි එය කියවන්නේ. කුමන හේතුවක් නිසා හෝ මේ ලිපියට විශාල මාධ්‍ය අවධානයක් ලැබී තිබුණා.
ඒ නිසා මේ ලිපිය ඉක්මණින් කියවා නිම කරන්න අපට සිද්ධ වුණා. සාමාන්‍යයෙන් සෙල්ලිපියක් කියවීම ඒහෙම ආවට ගියාට කරන්න පුළුවන් ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. විශේෂයෙන්ම මේක මැකී ගිය සෙල් ලිපියක්; ඒක මුලින්ම පැහැදිලිව පිටපත් කරන්න ඕන; ඊට පස්සේ කියවන්න ඕන; ඊට පසුව එහි අර්ථ නිරූපණය කරන්න ඕන. මේක අවුරුදු 2200ක් තරම් පැරණි ලිපියක්. එවැනි කාලයක භාෂාව අක්ෂර වචන නිසා ඒවා කලබලෙන් අර්ථ නිරූපණය කරන්න අපහසුයි. නමුත් මේ තිබුණු උනන්දුවත් එක්ක මාස එකහමාරක පමණ කාලයකින් මේ ලිපිය පිටපත් කරලා කියවා අවසන් කරන්න අපට හැකියාව ලැබුණා. සාමාන්‍යයෙන් සෙල් ලිපියක් පිටපත් කරන්න යන්නේ දවසක් හෝ දෙකක්; නමුත් මෙහිදී මහත් කැපවීමෙන් ඉතාම දුෂ්කරව කිසිදු පහසුකමක් නොමැතිව තමයි මේ දේ අපි සිදු කළේ. විශේෂයෙන්ම මෙහිදී අප ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චිගේ දායකත්වය ලබා ගැනීමට හැකි වුණා. අපි එතෙන්ට ගිහින් මේ කටයුත්ත කරමු කියලා එතුමා යෝජනා කළා. ඒ අනුව අප එහි ගොස් මේ කටයුතු ආරම්භ කළා.
ඒ වගේම මේ කටයුත්ත සඳහා අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පිඨාධිපති ආචාර්ය ගල්වැවේ විමලකන්ති හිමියන්ද අප සමඟ එකතු වුණා.
අප සියලු දෙනා එක්වී කටයුතු ආරම්භ කළත් මෙය ඉතාම දුෂ්කර වෑයමක් බවට පත් වුණා. තද හිරු රශ්මිය පතිත වී ගල දිලිසෙන නිසා දහවල් කාලයේ මේ ශිලා ලේඛනය කියවන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අප මේ සඳහා සවස් කාලය යොදා ගත්තා. මේ සඳහා අවශ්‍ය දෑ සියල්ලක්ම මහාචාර්යතුමා රැගෙනවිත් තිබුණා. අප විදුලි පන්දම් ආධාරයෙන් මේ අක්ෂර කියැවීම ආරම්භ කළා. එහිදී මේ අක්ෂරවල පරිණාමය විකාශනය මෙන්ම කාලනීර්ණය කර අර්ථ නිරූපණය කර ගැනීමට භාෂාව පිළිබඳ ප්‍රාමාණික විද්වතකුගේ අවශ්‍යතාව පැන නැඟුණා. ඒ අනුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල මහතාට ආරාධනා කළා. එතුමා සමඟ එම ස්ථානයේ සිට සූම් සාකච්ඡා 25 පමණ කළා; ඒ විදියට තමයි මේ කාර්යය අප සිදු කළේ.
මෙම ශිලා ලිපිය පිහිටි පර්වතය ගෙවී ගොස් තිබුණු නිසා අක්ෂර මැකී ගොස් තිබුණා. එනිසා අපට මේ ලිපියෙන් සැලකිය යුතු අර්ථයක් ගන්න පුළුවන් මට්ටමක් ඉතිරි වී තිබුණේ නැහැ. අපට සිදු වුණා වෙනත් ක්‍රමවේදයක් මේ ලිපියේ අක්ෂර මතුකර ගැනීම සඳහා පාවිච්චි කරන්න. ඒ සඳහා අපි නූතන තාක්ෂණ ක්‍රමවේදයක් පළමුවතාවට මේ ශිලා ලිපිය කියවීම සඳහා යොදා ගත්තා. ඒ අනුව ලයිඩා සහ බහුවර්ණාලීක්ෂ ඡායාරූප (Photogrammetry) තාක්ෂණය මේ සඳහා යොදා ගත්තා. ඒ අනුව ගල ස්කෑන් කරලා ඩ්‍රෝන කැමරා යවලා ත්‍රිමාණ රූපී ඡායාරූප විශාල ප්‍රමාණයක් ලබා ගත්තා. එය අප හිතුවට වඩා අතිශයින්ම සාර්ථක වුණා. විශේෂයෙන්ම බහුවර්ණාලීක්ෂ ඡායාරූප (Photogrammetry) මඟින් ලබාදුන් තොරෙතුරු මෙහිදී බෙහෙවින් වැදගත් වුණා. අප ලබාගත් පිටපතට වඩා දෙගුණයක් අකුරු මේ නිසා අපට හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. මේ ශිලා ලිපියේ එක් පැත්තක් ලයිකන වැවී අඳුරු වී තිබුණා. ඒ නිසා ලයිඩා ඡයාරූපයේ සමහර තැන් සටහන්වී තිබුණේ නැහැ. පසුව ලයිකන ඉවත් කර බහුවර්ණාලීක්ෂ ඡායාරූප (Photogrammetry) තාක්ෂණය යොදාගෙන නැවතත් ඡායාරූපගත කළා. එය ඉතාම සාර්ථක වුණා.
මේ කටයුතු කරගෙන යන අතරතුර මාධ්‍ය මඟින් අපට විශාල වශයෙන් චෝදනා නැඟුවා. මේක රටට හෙළි කරන්නේ නැත්තේ ඇයි? මේකේ තියෙනවා; ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුණා කියලා; මේවා පුරාවිද්‍යාවෙන් හංගනවා කියමින් අභූත චෝදනා රාශියක් නැඟුවා. නමුත් නිහඬව අපි අපේ කටයුත්ත දිගටම කරගෙන ගියා.
මේ තාක්ෂණය යොදා ගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ක්ෂණිකව වියදම් කරන්න මුදල් තිබුණේ නැහැ. මොකද මෙය අප ඇස්තමේන්තුගත කළ කාරණාවක් නෙමෙයි. එහිදී අපට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අර්ජුන තන්තිලගේ, ඉන්දික විතානගේ, ජයම්පත් සේනානායක සහ මනෝජ් මිහිරංග විශාල වශයෙන් උදව් කළා. මෙහිදී ඔවුන්ට අවශ්‍ය ඒ තාක්ෂණික උපකරණ ඔවුන් සතුව තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ මෙය ජාතික කර්තව්‍යයක් සේ සලකා සුලැකෝ ආයතනයේ අධිපති රජිත ජයසිංහ ඇතුළු පිරිස එම ආයතනය සතු තාක්ෂණික උපකරණ නොමිලේ ලබාදීමට කටයුතු කළා. මේ සියලු දෙනාගේ දායකත්වයෙන් අපට මේ ශිලා ලේඛනය කියවා ගැනීමට හැකියාව ලැබුණා.
මේ ලිපියේ අන්තර්ගතය පිළිබඳ කිසිම අදහසක් දන්නෙ නැති අය; විශේෂයෙන්ම සමාධියට සමවැදිලා මේ පිළිබඳ කරුණු දක්වන අය ඒ අයගෙ යූටියුබ් නාළිකා හරහා විවිධ වර්ෂ සඳහන් කරමින් නොයෙක් අවධිවලට මේ ශිලා ලේඛනය ගෙනයන්න උත්සාහ කරනවා. මේ ලිපිය කුමන අවධියෙද යන්න ප්‍රකාශයට පත් කිරීම වගකිවයුතු දෙපාර්තමේන්තුවක් විදියට අපේ වගකීමක්; එහිදී භාෂාව; අක්ෂර; ලක්ෂණ වගේම එහි අන්තර්ගතය අධ්‍යයනය කිරීම අතිශයින්ම වැදගත්. මගේ මතකයේ හැටියට මෙම ලිපියේ හතරවන පේළියේ සඳහන් ‘රඣ ගමණි අසලි’ එතුමගෙ පුතා ‘අය ශිව’ එයාගෙ පුතා ‘අය ශිව තිස’ බව සඳහන් වෙනවා. මේ අසලි කියන්නේ අසේල; වංශකතාව කියවපු හදාරපු කෙනෙක් දන්නවා අසේල පිළිබඳ එහි දෙතැනක සඳහන් වෙනවා. දීපවංශයේ සඳහන් කරන ආකාරයට පණ්ඩුවාසදේව රජුගේ පුතුන් දස දෙනාගෙන් එක් පුත්‍රයකු ගේ නම අසේල. ඊළඟට වංසත්තප්පකාසිනියේ එනම් මහාවංශ ටීකාවේ මුඨසිව රජුගේ පුතුන් දස දෙනා අතර අසේල නම් පුත්‍රයකු සිටි බව සඳහන් වෙනවා. ඒකම මහාවංශයේ දේවානම් පියතිස්සගෙන් පසුව රජු වුණු උත්තිය, මහාසිව සූරතිස්ස, සේන හා ගුත්තික, අසේල ලෙස දැක්වෙනවා. සේන හා ගුත්තික ඇරුණම මේ අය සහෝදරයන් ලෙසයි වංශ කතාව දක්වන්නේ. මේ කාල පාරසය පරීක්ෂා කර බැලුවම විශාල නොගැළපීමක් තිබෙනවා. මුඨශිව අවුරුදු 60ක්; දේවානම්පියතිස්ස අවුරුදු 40; එතනම වසර 100ක්. ඊළඟට ඔහුගේ සහෝදරයා උත්තිය; මහාසිව අවරුදු දහය බැගින්, අනතරුව සේන හා ගුත්තික ආක්‍රමණිකයන් අවුරුදු 22ක් පාලනය කරනවා. ඊට පස්සේ අසේල අවුරුදු 10ක් රජ කරනවා. ඊළඟට එළාර කියන ආක්‍රමණිකයා අවුරුදු 44ක් පාලනය කරනවා. මේ කාල පරාසය පිළිබඳව අධ්‍යයනය කර බැලුවම දේවානම්පිය තිස්ස රජුගේ සහෝදරයෙක් නම් මේ ඉන්න අසේල ඔහු රජවන විට අවුරුදු 142ක් පසුවෙන්න ඕන. ඒක ගැටලු සහගතයි.
මහානාම හිමියන් මේ සිද්ධිය ලියන්නේ වසර 800ට පමණ පසුවයි. උන්වහන්සේටත් මේ අවධිය ඉතිහාසයක්; උන්වහන්සෙට ලැබුණු දත්ත සාක්ෂි මත පදනම් වෙලා තමයි උන්වහන්සේ මේ කතාව ලියන්නේ. සමහරවිට මේ අය දේවානම්පියතිස්සගේ සහෝදරයන් නොවෙන්නත් පුළුවන්; පිය පුතු පරම්පරාවක් වෙන්නත් පුළුවන්. අපි දන්නවා රුහුණට ගිය මහානාග රජතුමාගෙ පුතා යටාල තිස්ස; එයාගෙ පුතා ගෝඨාභය; එයාගෙ පුතා කාවන්තිස්ස; මේ විදියට පරම්පරාව මහා වංශයේ සඳහන් වෙනවා. සමහර ලිපිවලින් යටාල තිස්සයි ගෝඨාභයයි කියන්නෙ සහෝදරයෝ කියලා අපට පැහැදිලි වෙනවා. එය සෙල් ලිපි මඟින් අනාවරණය වෙනවා. ඒ අනුව මහාවංශය කියන කතාව වැරදියි කියල ඔප්පු වෙනවා. මොකද සෙල්ලිපි කියන්නේ වංශකතාවට වඩා විශ්වසනීය මූලාශ්‍රයක්. එය අදාළ සිද්ධියට සමකාලීනයි. මේ ලිපියේ සඳහන් වෙන අසේල ඔය කියන අසේල ද කියන ප්‍රශ්නය මෙතනදි පැන නඟිනවා. ඒක නිරාකරණය කරගන්න වංශ කතාවෙන් ප්‍රබල පිටුබලයක් නොලැබුණාට අභිලේඛනවලින් සැලකිය යුතු පිටිවහලක් ලබා ගන්න පුළුවන් වුණා.
මිහින්තලේ කණ්ඨක චෛත්‍ය ආසන්නයේ පිහිටි සෙල් ලිපියක ‘ගමණි ධම රඣ හා පුත අය අසලිය’ කියලා සඳහන් වෙනවා. අන්න එතන ඉන්නවා අසලිය කියල කෙනෙක්; දිඹුලාගල ලිපියෙත් ඉන්නවා අසලිය. මේ දෙන්නා සමාන වෙන්න බැරිකමක් නැහැ. අපේ මේ ප්‍රස්තුත ලිපියේ ඉන්න මේ ‘අය අසලිය’ගෙ තාත්තා තමයි ‘ධම රඣ’; එතකොට මේ
‘ධම රඣ’ කියන්නෙ කවුද කියල හොයල බැලුවොත් ඒකට අපිට බෝවත්තෙගල සෙල් ලිපියෙන් පිළිතුරක් ලැබෙනවා. බෝවත්තේගල කියන්නෙ දසබෑ රජ පරපුරක් රුහුණෙ තිබුණ. මහාවංශයේ දැක්වෙන අනුරාධපුර රජ පෙළපතට අමතරව රුහුණේ ප්‍රාදේශීය රජ පෙළපතක් තිබුණා. ඒ අය තමයි දේවානම්පියතිස්ස රජුරුවන්ගේ බෝධි රෝපණ උත්සවයට රුහුණෙන් ආපු කතරගම ක්ෂත්‍රීයන් කියන්නේ. ඒ අය ස්වාධීන රජ පෙළපතක්. මේ බෝවත්තෙගල ලිපියේ ‘ධම රඣ’ කෙනෙක් ඉන්නවා. මෙයා මිහින්තලේ ලිපියෙත් ඉන්නවා බෝවත්තේගල ලිපියෙත් ඉන්නවා. ගමණි කියන ප්‍රධාන පාලකයට පුත්තු දහදෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් වැඩිමහල් පුතා තමයි ‘ශව ජෙට’ මේ ‘ශව ජෙට’ගෙ පුතා තමයි ‘ධම රඣ’. මේ ලිපි කිහිපය පාවිච්චි කරල මේ විදියට මේ පරම්පරාව ගොඩනඟන්න පුළුවන්.
අපි මේ ‘ධම රඣ’ ළඟින් නතර වුණොත් බෝවත්තේගල ලිපියෙ තියෙන්නේ ‘ධම රඣ’ගෙ පුතා ‘මහ තිශ’ මේ ‘මහ තිශ’ කියන්නෙ කැලණිතිස්ස රජු බව පරණවිතාන මහත්තයා පැහැදිලි කරල තියෙනවා. කොටාදැමූහෙළ ඒකෙම දිගුවක් තියෙනවා. කොටාදැමූහෙළ හම්බ වෙන එක ලිපියක තියෙනවා ‘මහ තිශගෙ දුව අභිශවෙර’ කියලා. මේ අභිශවෙර කියන්නෙ කවුද ගෝඨාභයෙගෙ පුතා ‘අය තිශ’ එනම් කාවන්තිස්ස රජුගේ භාර්යාව. මේවා ඉතා හොඳින් පැහැදිලි වෙච්ච කාරණා.
ඒ අනුව මේ දිඹුලාගල ලිපිය විමර්ශනය කරන විට මේ සියලු මූලාශ්‍ර අපි ගැඹුරින් අධ්‍යයනය කළා. මේ සාක්ෂි එක්ක බැලුවම මෙ ‘රඣ ගමණි අශලි’ කියන්නේ ‘ධම රඣ’ගෙ පුතෙක්. හැබැයි මේ ‘ධම රඣ’ගැන සඳහනක් දිඹුලාගල ලිපියේ සඳහන් වී නැහැ. මේ ‘ධම රඣ’ගෙ ඥාතීත්වය බැලුවොත් කාවන්තිස්ස රජතුමා විවාහ වුණ වෙහෙරමහාදේවිය නැත්නම් අභිශවෙරගේ පියා කැලණි තිස්ස. මේ කැලණි තිස්ස සහ ‘අය අශලිය’ කියන්නේ ‘ධම රජ’තුමාගේ පුතුන් දෙදෙනා. දිඹුලාගල ශිලා ලිපිය හා අනෙකුත් මූලාශ්‍ර අපි ගැඹුරින් අධ්‍යයනය කළාම මේ පරම්පරාව ගොඩනඟා ගන්න පුළුවන්. ඒ අනුව ‘රඣ ගමණි අසලි’ගෙ ගෙ පුතා ලෙස මේ ශිලා ලේඛනයේ සඳහන් වෙන්නේ ‘අය ශිව’යි. වංශකතාවේ මේ ‘අය ශිව’ගැන සඳහන් වෙන්නේ එකම එක අවස්ථාවක පමණයි.
ඒ රුහුණේ ඉතිහාසය ලියැවී ඇති ධාතුවංශයේ. ‘ශිව’ සේරුනුවර පාලකයෙක්ව සිටි බව ධාතුවංශයේ සඳහන් වෙනවා. ඔහු කාවන්තිස්ස රජතුමාට සමකාලීනයි. මේ සේරුනුවර පාලකයා ගැන වෙනත් කිසිදු වංශකතාවක සඳහන් වන්නේ නැහැ. මේ ආසන්නයේ ඇති ඕලගංගලින් ලැබුණු ශිලා ලිපියක මේ ‘අය ශිව’ ගැන සඳහන් වෙනවා. මෙතන ‘අය’ කියන්නේ ‘කුමාරයා’ කියන අදහස. මුතුගල ශිලා ලිපියකත් මේ ‘අය ශිව’ ගැන සඳහන් වෙනවා. මේ ඔක්කොම දිඹුලාගල අවට තියෙන ලිපි. ඒ වගේම දිඹුලාගලින් තඹලගමුව පාරේ කිලෝමීටර් පහළොවක් පමණ ගියාම හමුවන උල්පත්වැවත් මේ ‘අය ශිව’ ගැන සඳහන් වන ශිලා ලිපියක් හමුවෙනවා. ඒ අනුව පේනවා ඔහු මෙහි සිටි පාලකයෙක් බව. බොහෝ කුමාරවරු රුහුණ කොටස්වලට බෙදාගෙන පාලනය කර තිබෙනවා. ඒ අනුව මේ ‘අය ශිව’ ධාතුවංශය සඳහන් කරන සේරුනුවර පාලකයා බව පැහැදිලියි.
මේ ‘අය ශිව’ගෙන් පස්සේ මේ ලිපියේ ‘අය ශිව තිශ’කියල කෙනෙක් ගැන සඳහන් වෙනවා. මේ සූරතිස්ස කියලා හඳුනගන්න පුළුවන් එකම එක අවස්ථාවයි අපට තියෙන්නේ; ඒ මහාවංශයේ. දේවානම්පියතිස්සගේ සහෝදරයා සේන හා ගුත්තික අතින් මියගිය සූරතිස්ස. මේ ඔහු කියන්න හරියට ම නොහැකි වුණත් මේ රජ පරම්පරාව රුහුණේ දසබාතික පරම්පරාව බව පැහැදිලිව කිව හැකි බවත්; එනිසා සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන ඇතැමුන් මේ ගෙනයන බොරු ප්‍රවාද ඒ අනුව බිඳ වැටෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ ස්වාභාවික සංසිද්ධියක් හේතුවෙන් දෙපළු වී ගිය ගල් කුළක මුහුණතක පෙර සැකසීමකින් තොරව ලියා ඇති මේ ලිපියේ අක්ෂර පේළි 11ක් හඳුනා ගත හැකි වූ බවත් මෙය උසින් මීටර් 6ක් සහ දිගින් මීටර් 18ක් පමණ වන බව යි.
තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ “මෙහි පළමුවන පේළිය කියවා ගත නොහැකි අන්දමින් සම්පූර්ණයෙන් ම මැකී ගොස් තිබූ බවත් තැනින් තැන අකුරක දෙකක හැඩය පමණක් හඳුනාගත හැකි වූ බවයි. මේ ලේඛනය සඳහා භාවිත කර ඇති අක්ෂර මාලාව ආදි බ්‍රාහ්ම හෙවත් පූර්ව බ්‍රාහ්මී ය. අක්ෂර රූප 23 ක් හා අක්ෂර නොවන සංකේත දෙකක් මෙහි දැක ගත හැකි බවයි.
සිංහල ප්‍රාකෘත භාෂාවෙන් ලියා ඇති මෙම ලිපියේ කාලය හා කර්තෘත්වය පුරාක්ෂර රූප ලක්ෂණ අනුව ක්‍රි. පු. දෙවන හා පළමු වන සියවස් අතර කාලයට අයත් සේ සැලකිය හැකි බවයි.
මෙහි පස් වන පේළියෙහි දැක්වෙන ‘අය තිශ’ හා හයවන පෙළෙහි දැක්වෙන ‘මහ රඣ තිශ ’ පිළිවෙළින් කාවන්තිස්ස රජු හා සද්ධාතිස්ස රජු ලෙස හඳුනා ගැනීමෙන් මේ ලිපිය සද්ධාතිස්ස රජුගේ කාලයට (ක්‍රි. පූ. 137-119) හෝ එයින් ටික කලකට පසුව හෝ පිහිටුවන ලද්දකැයි යන කාල නීර්ණයට එළඹිය හැකි බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය.
අනතුරුව මෙම ශිලා ලේඛනයේ භාෂා අධ්‍යයන කටයුත්ත භාරව කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල පෙන්වා දුන්නේ “ අපේ ඓතිහාසික රජු දේවානම්පියතිස්ස බවත් ඊට පෙර රජවරු ලෙස මහාවංශය පණ්ඩුකාභය රජු පෙන්වා දුන්න ද ඔහු අර්ධකල්පිත රජකු බවය. එම රජු නිර්මාණය කිරීම සඳහා රජවරු ගණනාවකගේ කටයුතු හා සමහර ඉන්දියානු කතා උපයෝගී කරගෙන ඇති බවයි. විජය කතාව ගෙතීම සඳහාද මහනාම හිමියන් ඉන්දියානු කතා වහල් කරගෙන ඇති බවත් මේ ආකාරයට ඉදිරියට ගොස් සිද්ධාර්ථ උත්පත්තියේ සිට බුදුන්වහන්සේ පිළිබඳ පුවත් ගොඩනඟා ඇති බව හෙතෙම පවසයි. ඉතිහාසය කියා පවසන්නේ ලේඛන තැබීම ආරම්භ කළ කාලය බවත් ඒ අනුව මෙරට ඉතිහාසය ආරම්භවන්නේ දේවානම්පියතිස්ස යුගයෙන් බවත්; එයට අභියෝග කළ නොහැකි තරම් සාධක ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. එසේම මේ ශිලා ලේඛන මෙහි පැමිණි භික්ෂු සංඝයාට වැඩවාසය කිරීම සඳහා පාලකයන් සහ අනෙකුත් උදවිය තමන් සන්තකයේ පැවති වාසස්ථාන පූජා කළ අවස්ථාවේ පූජා පාඨයක් ලෙස මෙම ශිලා ලේඛන තබා ඇති බවත්; එනිසා මෙම සටහන් සමකාලීන බවත් ඒවා ඉතිහාසය ගොඩනැංවීමේදී වඩා විශ්වසනීය බවත් හෙතෙම අවධාරණය කළේය.
රසික කොටුදුරගේ