Home » ලක්ෂ 30කට විකුණන්න හැදූ තුන්දෙනාට වැටුණු පොලිස් දැල
කිරිගරුඬ පිළිමයයි වීඕසී කාසියි

ලක්ෂ 30කට විකුණන්න හැදූ තුන්දෙනාට වැටුණු පොලිස් දැල

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

– විකුණන්න හැදුවේ කුරුණෑගල ව්‍යාපාරිකයකුට
– සැකකරුවන් අත්අඩංගුවට ගන්නේ පාදුක්ක පොලිසියෙන්
– සැකකරුවන් තිදෙනාට රු. 2,25000ක දඩයක්

‘පුරාවස්තු ජාවාරම’ ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙන්නේ අහිංසක මිනිසුන් මංමුළාවේ දමමිනි. කාලයක් ඉතා රහසිගතව ක්‍රියාත්මක වූ පුරාවස්තු ජාවාරම මේ වන විට නවීන තාක්ෂණය ද උපයෝගී කැරගෙන සිදු කැරෙන්නේ ප්‍රසිද්ධියේමය.

අන්තර්ජාලය, මුහුණුපොත උපයෝගී කරගෙන ජාවාරම්කරුවන් විසින් දිගින් දිගටම සිදුකරන මේ ‘සෙල්ලම’ නිසා අමාරුවේ වැටුණු පිරිස ද බර ගණනකි.

පොලිසිය විසින් තොරතුරු හෙළිකරගෙන ඇති අන්දමට පුරාවස්තු ජාවාරමුන්ට වැඩිපුර හසුවන්නේ අතේ මිටේ යමක්කමක් ඇති පුද්ගලයන්ය. කෙටියෙන් කිවහොත් සමහර ධනවතුන්ය. නිදන් සොයා මහ කැලේ කැණීම් කළ ධනවතුන් පිරිසක් සුඛෝපභෝගී යානවාහන සමඟ පොලොන්නරුව ප්‍රදේශයේදී අල්ලා ගැනීමට හැකිවූ පුවතක් ද පසුගියදා වාර්තා විය.

පුරාවස්තු එකතු කිරීමට පුරුදු වූ ඇතැම් ධනවතුන්ට එය අබිං කෑවාක් මෙනි. ඔවුහු ඒ පස්සේම යන්නේ තව තවත් ධනවතුන් වීම සඳහාය. මේ මෝඩ පුද්ගලයන්ගේ ‘ආශා’වලින් ප්‍රයෝජන ගන්නා පුරාවස්තු ජාවාරමුන් මේ පුද්ගලයන් රවටා ඔවුන් අතේ ඇති මුදල් වංචා කරන්නේ ඉතා සූක්ෂ­්මවය.

රජරට දිසාවේ කලක් ක්‍රියාත්මක වූ ‘මරංචි ජාවාරම’ ද එවැන්නකි. රන් කාසි කියා මරංචි අලෙවි කළ පුරාවස්තු ජාවාරමුන් නීතියේ රැහැනට කොටුවූ අවස්ථා ගණනාවක් රජරට පොලිස් පොත්වල ඇත. ඒ වාගේම එවැනි ජාවාරමුන්ට හසුවී අතේමිටේ තිබුණු මුදල් නැති නාස්ති කරගත් පිරිස ද අඩු නැත.

පාදුක්ක පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කපිල සේනා­නා­යක

පාදුක්ක පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කපිල සේනා­නා­යක

මරංචි ජාවාරම සේම ගජමුතු මගඩිය ද ජයටම සිදු කැරෙයි. කැලේ කොළේ සිටින දළ ඇතුන් මරා දළවලින් ගත් බව කියා බොරු ගජමුතු රුපියල් කෝටි ගණනකට අලෙවි කිරීමේ ජාවාරම් ගණනාවක් වළක්වා සැකකරුවන් සමඟ ගජමුතු අල්ලා ගැනීමට පොලිසියට පසුගියදා හැකිවිය. එවැනි සිදුවීම් වැඩිපුර පසුගිය දිනවල වාර්තා වී තිබුණේ පුත්තලම දිසාවෙනි. නිදන්වලින් ගොඩගත් බව කියා මිල කළ නොහැකි බව සඳහන් කරමින් ප්‍රතිමා විකිණීම තවත් ජාවාරමකි. ඊටත් හසුවූ අයත් ඇත. ‍

එවැනි ජාවාරමක සුලමුල හෙළි කරගන්නට පාදුක්ක පොලිසියේ නිලධාරින් කණ්ඩායමකට පසුගියදා හැකිවිය.

මේ කතාවේ මුල මැද අග පෙළගැසෙන්නේ මෙසේය.

පෞරාණික වටිනාකමින් යුත් කිරිගරුඬ බුදු පිළිමයක්, වාලම්පුරියක්, පිඟානක් සහ වීඕසී කාසි දෙකක් අලෙවි කිරීමට පුරාවස්තු ජාවාරම්කරුවන් පිරිසක් සූදානමින් පසුවූ බවට පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායකට සිය පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබෙන්නේ පසුගියදාය.

මේ තොරතුරේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ සොයා බලන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක හෙළිකර ගන්නේ අදාළ තොරතුර සත්‍ය එකක් බවය. අදාළ පුරාවස්තු ජාවාරම්කරුවන් පිරිස එම පුරාවස්තු කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීමට ගෙන යන බවට තොරතුරු ද පොලිස් ස්ථානාධිපතිවරයා විසින් හෙළිකරගෙන තිබිණි.

මේ අනුව වහාම ක්‍රියාත්මක වූ පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක සිය කණ්ඩායමත් සමඟ යන්නේ පාදුක්ක නගරයටය. මාර්ග බාධක යොදා පුරාවස්තු ගෙන යන සැක කටයුතු වාහනය අත්අඩංගුවට ගැනීම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමේ අරමුණ විය. ඒ අතර පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණ තවත් තොරතුරකින් කියැවුණේ පුරාවස්තු ජාවාරම්කරුවන් පිරිස පාදුක්ක නගරයේ බැංකුවක් අසල සිටින බවයි. පොලිස් කණ්ඩායම වහාම එම ස්ථානයට යන්නේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට වුවත් විනාඩි කීපයකට කලින් ඔවුන් එම ස්ථානයෙන් පිටවී ගොස් තිබිණි.

එහෙත් පොලිස් කණ්ඩායමේ සූක්ෂ්ම මෙහෙයුම නිසා සැකකරුවන් තිදෙනා කොටුවන්නේ තවත් සුළු මොහොතකට පසුවය. මේ සැකකරුවන් සතුව තිබියදී අදාළ පුරාවස්තු කීපය සොයා ගැනීමට පොලිසියට හැකිවන්නේ ඉන් අනතුරුවය. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ ඔවුන් පාදුක්ක හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40, 42 සහ 18 වයස්වල පසුවන අය බවයි.

සැකකරුවන් සතුව තිබියදී අත්අඩංගුවට ගන්නා ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාව ඇතුළු භාණ්ඩවල පෞරාණික තත්ත්වය පිළිබඳව විමර්ශනය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඇත. සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී සැකකරුවෝ වරද පිළිගත් නිසා ඔවුන් එක් අයකුට රු. 75,000 බැගින් රු. 225,000ක දඩ නියම කෙරිණි.

මේ සැකකරුවෝ කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාවක්, වාලම්පුරියක්, වීඕසී කාසි දෙකක් සහ පැරණි මැටි පිඟානක් රුපියල් ලක්ෂ 30කට අලෙවි කිරීම සඳහා සූදානමින් සිට ඇති බවද අධිකරණයේදි හෙළි විය. ඔවුන් එම භාණ්ඩ අලෙවි කිරීමට සූදානමින් සිට ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුටය. වෑන් රථයකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදී පාදුක්ක නගරයේදී අත්අඩංගුවට ගන්නා ලද බවද අධිකරණයේදී අනාවරණය විය.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෝහණ ජයසිංහ, සැරයන්වරුන් වන (42946) සමන් කුමාර, (31353) චමින්ද, කොස්තාපල්වරුන් වන (84567) අතපත්තු, (92513) මධුෂංක, (32343) බණ්ඩාර, (96997) විජේරත්න යන නිලධාරීන් වැටලීම සිදුකරන ලදි.

ඡායාරූප :- මීගොඩ සරත් කත්‍රිආරච්චි
බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division