Home » අක්කයි මල්ලියි එකතුවෙලා ගහපු ගේම් අතේ පත්තු වුණු හැටි

අක්කයි මල්ලියි එකතුවෙලා ගහපු ගේම් අතේ පත්තු වුණු හැටි

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment
නුවන් ජයසේකර - සූරියවැව විශේෂ

– මත්ද්‍රව්‍ය ජාවාරම් සොරකම් රැසක් සිදුකළ වීරවිල මෝදි ගමේ අක්කයි මල්ලියි ඇතුළට
– දෙදෙනාටම විරුද්ධව අපරාධ චෝදනා
– බණ්ඩාරවෙලින් පැනලා මල්ලි කළ මත්ද්‍රව්‍ය ජාවාරමත් හෙළිවේ

විවිධ අපරාධ සිදුකර අධිකරණ මඟ හරිමින් සැඟවී සිටින වරෙන්තුකරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ නියෝග පරිදි පසුගිය 06 වන දින වීරවිල පොලිස් බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක කෙරුණේ වීරවිල පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි.

ඒ අනුව වීරවිල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වරෙන්තුකරුවන් සොයා වීරවිල රන්මිණිතැන්න ප්‍රදේශයේ විශේෂ පරීක්ෂාවක් සිදු කෙරුණි. රන්මිණිතැන්න ප්‍රදේශයේ පිහිටි මෝදි ගම්මානයේ බොහෝ නිවෙස් කුලියට ලබාදී ඇති අතර ඒවායේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන් තාවකාලික පදිංචියේ සිටින බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව 06 වන දින අලුයම පොලිස් කණ්ඩායම විසින් මෝදි ගම්මානයේ විශේෂ පරීක්ෂාවකට ලක්කරන ලදි. එහිදී එක් නිවසක පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් පරීක්ෂාවට ලක්කැරිණි. එහිදි ඔහුගේ සැකකටයුතු හැසිරීම පිළිබඳව සැක සිතූ පොලිස් නිලධාරීන් සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.

එහිදී අනාවරණය වි තිබුණේ සැකකරු බණ්ඩාරවෙල පදිංචිකරුවෙක් බවයි. සැකකරු මෙම නිවසේ නැවතී සිටිමින් ව්‍යාපාර කරන බවත් ගොවිතැන් කටයුතු කරන බවත් පොලිස් නිලධාරීන්ට පවසා ඇතත් ඒ පිළිබඳව පිළිගත හැකි කිසිදු ප්‍රකාශයක් එම පුද්ගලයාට ලබාදීමට නොහැකි වීම නිසා පොලිස් නිලධාරීන් සැකකරු නැවති සිටි නිවස පරීක්ෂා කර තිබේ. එහිදී සැකකරුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් විය. නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ සැකකරු නිදා සිටි ඇඳෙහි මෙට්ටය යට තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 600ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබුණේ සැකකරු බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිදුකළ සොරකම් දෙකකට අදාළව චෝදනා ලැබ සිටි අයකු බවය. ඒ සඳහා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු වී ඇති බවද හෙළි විය.

අධිකරණයෙන් නිකුත්කර ඇති වරෙන්තුව නිසා සැකකරු මෝදි ගම්මානයට පැමිණ සැඟවී සිටින බවත් ඔහු හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වී ඇති බවත් හෙරොයින් ජාවාරම ද සිදුකරගෙන යන බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

සැකකරු සිය වැඩිමහල් සොහොයුරියගේ දැනහැඳින ගැනීම මත මෙම ප්‍රදේශයට පැමිණ මෙලෙස සැඟවී සිටින බව හෙළි විය. සැකකරු පොලිසියට පවසා ඇත්තේ සිය වැඩිමහල් සහෝදරිය තිස්සමහාරාම පොලිස් වසමේ මැදවැලෑන ප්‍රදේශයේ පදිංචිව සිටින බවකි. ඇය ද හෙරොයින් ජාවාරම සහ සොරකම් කිහිපයකට ද සම්බන්ධ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා තිබේ. ඒ අනුව වීරවිල පොලිස් නිලධාරීන් සැකකරුගේ තොරතුරු මත ඔහුගේ වැඩිමහල් සොහොයුරිය ද අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට ඇය සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය 02යි මිලිග්‍රෑම් 430ක් සොයා ගැනිණි. සැකකාරිය කාලාන්තරයක සිට මෙම ජාවාරම ජයටම කරගෙන ගොස් ඇත. ඒ අනුව අත්අඩංගුවට ගැනුණු සැකකාරියගෙන් ද පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ ඇය තවත් පුද්ගලයෙකු සමඟ 2021 වසරේ අප්‍රේල් 02 දින වීරවිල පොලිස් වසමේ උඩුවිල පිහිටි නිවසකට ඇතුළු වී එහි තිබූ රන් බඩු සොරකමකට ද සම්බන්ධ බවය. සොකරම් කරන ලද එම රන් බඩු හම්බන්තොට පිහිටි රන්බඩු උකස් මධ්‍යස්ථානයකට උණු කිරීමට ලබා දුන් බව පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ ඇය පවසා තිබේ.

ඒ අනුව සැකකාරියගේ ප්‍රකාශ මත අදාළ රන් බඩු උකස් මධස්ථානයට ගොස් එහි තිබී උණු කරන ලද රන් ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 350ක රන් ගුළියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකාර අක්කා සහ මල්ලීගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා එක්ව සිදුකරන ලද සොරකම් කිහිපයක් පිළිබඳව මෙන්ම හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවිය. ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරු සහ සැකකාරිය තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදි දෙදෙනාම මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තිස්සමහාරම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු තරිදු සමීර සිල්වා මහතා නියෝග කෙළේය. සැකකරුගෙන් සහ සැකකාරියගෙන් අනාවරණය කරගත් තොරතුරු මත තෙවත සැකකරුව අත්අඩංගුවට ගැනීමට නියමිතය.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රිගේ උපදෙස් මත තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී ගයාන් ප්‍රසන්නගේ අධීක්ෂණයෙන් වීරවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් චමින්ද රාජපක්ෂගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක කුලවර්ධන, සැරයන්වරුන් වන (43293) සංජීව, (60802) සම්පත්, කොස්තාපල් (82665) ප්‍රභාෂ්වර, කාන්තා සැරයන් (5654) ජයසිංහ යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division