Home » කවුරුන් හෝ යළි ආර්ථිකය බිඳ දැමුවොත් නැවත රට ගොඩගන්න බැහැ

කවුරුන් හෝ යළි ආර්ථිකය බිඳ දැමුවොත් නැවත රට ගොඩගන්න බැහැ

අවසන් අවස්ථාව මෙයයි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

මෙවර ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව ඔබට ඡන්දය දිය යුත්තේ ඇයි?

රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කරන්න. අනාගතයක් ඇති කරන්න. අපි ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කළා. ඒක තහවුරු කරනවාද නැද්ද කියලා තීරණය කරන්න ඕන. ඒක තහවුරු නොක‌ළොත් ආපහු පරණ තත්ත්වයට යන්න වෙනවා. මාලිමාවේ යෝජනාවලින් ලබන අවුරුද්දට අයවැයක් සකස් කරලා දෙන්න කියලා මා විශේෂඥයකුට කිව්වා. එය සකස් කළාම වියදම් ආදායම් පරතරය රුපියල් බිලියන 4000යි. එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 11.9යි. අයි.එම්.එෆ්. සමඟ අපේ එකඟත්වය අනුව අපිට මුදල් ණයට ගන්න පුළුවන් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5%යි. ඒ නිසා අපි අයවැය හදන්නේ 5%ට. මාලිමාවේ 11.9%යි. එවිට ඩොලරය අඩු ගානේ රුපියල් 400ක් 425ක් වෙයි. 11.9%යි කියලා IMF සහ අනෙක් රටවල් 18ටයි කීවාම ඒගොල්ල සහයෝගය දෙන එක නවත්වනවා. එතකොට ඩොලර් එක 400ක් නෙවෙයි 500ක් වෙනවා. වෙ‍ෙළඳපොළෛන් 5%ට වඩා අර ගත්තොත් දළ දේශීය නිෂ්පාදනයේ පුද්ගලික අංශයට තියෙන මුදල් නැතිවෙනවා. එවිට පොලිය 25%කට යනවා. අන්න ඒකයි වෙනස. අපට ඉදිරියට යන්න අවශ්‍ය නම් අපි අපනයන ආර්ථිකයකට යන්න ඕන. තරුණයන්ට රැකියා දෙන්න ඕන. විශාල දියුණුවක් ඇති කරන්න ඕන. ඒ එක්කම ජීවන බර තවත් සැහැල්ලු කරන්න ඕන.

ඔබ අනුර දිසානායකට “මා මිත්‍ර අනුර” යනුවෙන් ආමන්ත්‍රණය කරනවා. ඇත්තටම අනුර යාළුවෙක්ද?

යාළුවෙක් තමයි. පාර්ලිමේන්තුවේදී කතා කරනකොට හැම තිස්සේම කියන්නේ My Good Friend කියලා. මාගේ මිත්‍රයා කියලයි. එතුමා කියනවනේ මිත්‍රයා කියන්න එපා කියලා. මං හිතන්නේ මධ්‍යම කාරක සභාවේ ඒ ගැන ලොකු ප්‍රශ්නයක් ගිහින් තිබුණා. දැන් කියන්නේ හිටපු කෘෂිකර්ම ඇමැති කියලා. දැන් ඒක කියන්නත් එපා කියනවා. කෘෂිකර්ම ඇමැති කිව්වොත් එයත් ආණ්ඩුවේ කොටසක් වෙලා හිටියා කියලා පේනවනේ. දැන් මොකක්ද කියන්නේ?

ඔබ ජාතික ජන බලවේගයෙත්, සජබෙත් ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක කියෙව්වද?

ඔව් දෙකම කියවලා තියෙන්නේ. ඔබ කියවලා තියෙනවාද?

ඔව්. ඔබතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ අනුව ඒ දෙකේ තියෙන අඩුපාඩු සහ වෙනස මොකක්ද?

*සජබයේ දෙකක් තියෙනවා. සැමට ජයක් සහ Economic Blue Print 3 කියලා. සජිත් ගිහින් නොමිලේ මොකක් හරි දෙන්න පොරොන්දු වෙනවා. නැත්නම් බඩු මිල තවත් අඩු කරනවා කියනවා. නැත්නම් වියදම් වැඩි කරනවා කියනවා. එයාගේ අයවත් දන්නේ නෑ මොකක්ද කියලා. මං ඒ අයට කතා කරල ඇහුවම කියනවා දන්නේ නෑ අද ගිහින් පොරොන්දු වුණා කියනවා. එකක තියෙනවා ගොවීන්ට ණය සහනාධාර දෙනවා කියලා. අනෙක් එකේ නෑ. සංචාරක ව්‍යාපාරය ගැන පරස්පර විරෝධි කාරණා තියෙන්නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා කිව්වම එතුමා ගිහින් තව එකක් පොරොන්දු වෙනවා. දැන් කියලා තියෙනවා රණවිරු දෙපාර්තමේන්තුවක් ඇති කරනවා කියලා. ඉතින් මේ හැම එකක්ම කියන්නේ අලුත් වියදම්නේ.

අනිත් ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න පුරා‍‍ රාත්‍රියක්ම ගියා‍. පිටු 232ක්. ඒකේ ආර්ථිකය ගැන කියල තිබෙන දේ හරියට පැහැදිලි නෑ. ප්‍රශ්නයකට තියෙන්නේ අපනයන ආර්ථිකයකට යනවද? නැද්ද? කියන එක. හිටපු කෘෂිකර්ම ඇමැති අනුර කුමාර දිසානායක කැලණියේදී කිව්වා අපනයන ආර්ථිකයක් ගේනවා කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියන්නේ වෙන එකක්. නිදහස් වෙළෙඳ ගිවිසුම අහෝසි කරනවා කියලා. අහෝසි කළොත් අපනයන ආර්ථිකයකට යන්න බෑ. ආර්ථික පරිවර්තන කෙටුම්පතට විරුද්ධව වෙමින් අපනයන ආර්ථිකයක් ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා සුනිල් හඳුන්නෙත්ති මැතිතුමයි, දොස්තර සුරියප්පෙරුම මැතිතුමයි ප්‍රකාශ කළා. එකිනෙකට පරස්පර විරෝධීව තියෙන්නේ.

අනික මේ සංඛ්‍යා දිහා බැලුවම IMF එකේ ඉලක්ක ඔක්කොම වෙනස් වෙනවා. 0.5%කින් නෙවෙයි. විශාල ප්‍රමාණයකින්. මේ යන විදිහට මුදල් අච්චු ගහන්න වෙනවා. මුදල් අච්චු ගැහුවොත් ආර්ථිකය කඩන් වැටෙනවා. විවාදයකට එන්න මම සූදානම්. එතුමා මට කියන්න ඕන ඒගොල්ලා අපනයන ආර්ථිකයකයේ ද, ආනයන ආර්ථිකයේ ද ඉන්නේ කියලා. එතකොට අපිට පුළුවන් IMF එක්ක කතා කරන්න. දැන්ම කිව්වොත් අපේ ප්‍රශ්න ටික යවන්න පුළුවන් IMF එකට. ඒගොල්ලෝ පිළිතුරු දුන්නට පස්සේ අපිට පුළුවන් විවාදයක් පවත්වන්න.

ඔබ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති ප්‍රධාන සුදුසුකම තමයි ආර්ථික ගැටලුව විසඳීම. විදේශ ණය නොගෙවීම නිසා මේ ජයග්‍රහණය ගන්න පුළුවන් වුණා කියල විපක්ෂයෙන් චෝදනා කරනවා.

ඇත්ත වශයෙන්ම විදේශ ණය පොලිය අපි ගෙවලා තියෙනවා. මං ඒ්වා ගෙවලා තියෙන්නේ රුපියල්වලින්. විදේශ ණය ගෙවන්න අපිට කල් හම්බ වෙලා තියෙනවා. හැම අවුරුද්දෙම අපි පොලිය ගෙවලා තියෙනවා. දැන් තියෙන්නේ ලැබුණ මුල් ධනය ආපහු ගෙවන එක. ඒක පොඩි ගාණක්. අපේ ණය තිරසරභාවය කියන්නේ කාරණා දෙකක්. එකක් තමන්ගේ වියදම්වලට මුදල් තියෙන්න ඕන. තමන්ගේ ණය ගෙවන්න මුදල් තියෙන්න ඕන. දැනට IMF සංවිධානය පිළිඅරන් තියෙනවා අපි තිරසරභාවයට යනවා කියලා. ඒකයි ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. බංකොලොත් නොවුණොත් තවත් විදේශ ධනය ලැබෙනවා. ඒ අවස්ථාවේ අපිට පුළුවන් වෙනවා වාහනත් ලංකාවට ගේන්න. මට තේරෙන්නේ නෑ ඇයි ඒ ගොල්ලෝ එහෙම කියන්නේ කියලා. අපිට ඕන ගාණ අපි රටේ ආදායම්වලින් හොයලා තියෙන්නේ. අපිට ණය ගෙවන්න පුළුවන්. ඒගොල්ලන්ට කරන්න පුළුවන් නම් ඇයි රට භාරගත්තේ නැත්තේ? එදා මේක කරන්න බෑ ග්‍රීසිය වාගේ වෙයි කියලා දිව්වනේ.

ඔබට මෙම ඡන්දය දිනන්න පුළුවන්ද?

නැත්නම් මම ඉදිරිපත් වෙන්නේ නැහැ.

මෙම ජනාධිපතිවරණයේදී වෙනත් අපේක්ෂකයෙක් දිනලා රටෙ නැවත ආර්ථික අර්බුදයකට පත් වුණොත් ඒ අවස්ථාවේදී රට ගොඩගන්න ඔබ යළි ඉදිරිපත් වෙනවද?

එහෙම වෙන්න විදියක් නැහැ. කවුරු හරි නැවතත් මේ රටේ ආර්ථිකය බිඳ දැමුවොත් ආයි හදන්න බැහැ. මේ අවසන් අවස්ථාවයි.

උතුර හා නැඟෙනහිර දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය විසඳීමට ඔබ මොන වගේ යෝජනාවක්ද ඉදිරිපත් කරන්නේ?

මේ ජනාධිපතිවරණයේදී පළමුවැනි වතාවට ජනවාර්ගික ප්‍රශ්න නෑ. ඒ වගේම ආගමික ප්‍රශ්නත් නෑ. ඇත්ත වශයෙන්ම ද්‍රවිඩ ජනතාවගේ උතුරේ ප්‍රශ්න ගණනාවක් අපි කතා කරලා තියෙනවා. 13 වෙනි සංශෝධනය ගැනත් කතා කරලා තියෙන්නේ. ඉඩම් ප්‍රශ්නවලට අපි විසඳුම් දීගෙන යනවා. දේශපාලන ප්‍රශ්නවලට TRC ඇති කරන්න යනවා. නවාස් කොමිසම ක්‍රියාත්මක කරනවා. ඒවා දැනට අපි විසඳගෙන යනවා. තවත් ඉදිරියට ගෙනියන්න ලැහැස්තියි. මුස්ලිම් ජනතාවට ප්‍රධාන ප්‍රශ්නයක්ව තිබුණේ ආදාහන හෝ භූමිදාන කිරීම. ඒ පිළිබඳවත් අපි නීති කෙටුම්පත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ප්‍රශ්න දැන් නැහැ.

ඔබ සහ ඔබගේ කණ්ඩායම දිගින් දිගටම කියනවා වෙන කෙනෙක් බලය ගත්තොත් මාස හයක්වත් කරගන්න හම්බ වෙන්නේ නෑ; ආර්ථික වැඩපිළිවෙළ කඩා වැටෙනවා කියලා. ඔබ මේ වැඩපිළිවෙළ හදලා තියෙන්නේ ඔබ නැතිවුණොත් කඩා වැටෙන විදිහටද?

නෑ. මං හදලා තියෙන වැඩපිළිවෙළ ඕන එක්කෙනෙකුට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒත් මේගොල්ලෝ ක්‍රියා කරන්න කැමති නෑනේ. ජාතික ජන බලවේගය එයින් පිටයන්න හදනවා. එතකොට කඩා වැටෙනවා. මම හරි මේ වැඩපිළිවෙළින් පිට ගියොත් ආර්ථිකය කඩා වැටෙනවා.

මැතිවරණ කටයුතුවලට ඔබ රජයේ මුදල් සහ රජයේ නිලධාරීන් භාවිත කරනවා කියලා විපක්ෂයෙන් චෝදනාවක් එල්ල වෙනවා. එහි ඇත්තක් තියෙනවාද?

මම රජයේ මුදල් පාවිච්චි කළේ කොහෙදිද ?

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස එහෙම කියනවා.

මං කොහෙදීද පාවිච්චි කළේ කියලා කියන්න. එතකොට මං උත්තර දෙන්නම්. මං පඩි වැඩි කළා කියලානේ කියන්නේ. රජයේ සේවකයන්ට පඩි වැඩි කරන එක අපරාධයක්ද? මං පඩි වැඩි කළේ මගේ සාක්කුවට දාගන්න නෙවෙයිනේ. පඩි වැඩි කරන අයගෙන් කොටසක් මට ඡන්දය දෙන්නේවත් නෑ. තමන්ට කරන්න බැරි වුණ නිසා අනිත් අයට කරන්න දෙන්නේත් නෑ.

ඔබට වැඩි අභියෝගයක් තියෙන්නේ සජිත්ගෙන්ද? අනුරගෙන්ද?

* දෙන්නටම මුහුණ දෙන්න ලෑස්තියි. නාමල් ඉන්නවා. ඒ ඕන කෙනෙක්ට මුහුණ දෙන්න ලෑස්තියි. ඒ අයගේ ප්‍රතිපත්ති මේ රටේ ක්‍රියාත්මක කරන්න බෑ. අපි දැනට ස්ථාවරභාවයකින් යන්නේ. මාලදිවයින බලන්න. විශාල ආර්ථික අර්බුදයකට යනවා. බංග්ලාදේශයේ පාලනයක් නැති වෙනවා. අපි එතනට යන්න ඕනද? නැත්නම් මේ මාර්ගයේ යනවද? සජිත්වත්, අනුරවත් ඒවට පිළිතුරු දෙන්නේ නෑ. ඒ දෙන්නම යන්නේ පරණ දේශපාලනයේ. මං යන්නේ අලුත් දේශපාලනයේ. මට ඕන අලුත් ක්‍රමවේදයක් ඇති කරන්න. ඒකයි විප්ලවකාරී. ඒගොල්ලන් මේ අර්බුදය ඇති කළ දේශපාලනයේ හිරකරුවන් බවට පත්වෙලා තියෙන්නේ.

ඔබ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා කියලා කිව්වා. මීට මාස තුන හතරකට කලින් රජයේ සේවකයෝ රුපියල් 10,000/=ක පඩි වැඩි කිරීමක් ඉල්ලන විට ඒ සඳහා වැට් බදු අය කිරීම වැඩි කරන්න වෙනවා කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කීවා. දැන් පඩි වැඩි කරන්න මුදල් හොයාගන්නේ කොහොමද?

උදය සෙනෙවිරත්න වාර්තාව 2025,2026 වසරවලදීයි ක්‍රියාත්මක වෙන්නේ. මේ අවුරුද්දේ මුදල් තිබුණේ නෑ. තිබුණ නම් පඩි වැඩි කරන්න තිබ්බා. හරියට ආර්ථිකය හසුරුවා ගත් නිසා එන අවුරුද්දේ මුදල් තියෙනවා. මේ අවුරුද්දේ අපිට දෙන්න පුළුවන් වුණේ රු.10,000/= දීමනාව පමණයි. අපේ පාලනය නියම විදිහට ඉදිරියට ගෙනියනවා.

ඔබ අරගලයේ කොටස්කරුවෙක් බවත්, විස විසෙන් නසනවා වගේ අරගලය මෙල්ල කරන්න ඔබට අවස්ථාව දුන් බවත් නාමල් රාජපක්ෂ පවසනවා.

*රටේ දේශපාලන ක්‍රමය සහ සමාජ ක්‍රමය වෙනස් කරන අරගලයකට මම විරුද්ධ නෑ. මම විරුද්ධ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදු කිරීම ගැන. ඒකයි මම ඇවිල්ලා අරගලය නැවැත්තුවේ. මේ රටේ දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය වෙනස් කරන්න ඕන නම් අපනයන ආර්ථිකය ගේන්න ඕන. මේ හැම එකක්ම සාමකාමීව, ඡන්දවලින් වරම අරගෙන කරන්න ඕන. නීතිය, සාමය අතට අරගෙන ආරක්ෂා කරන්න ඒ වෙලාවේ කවුරුත් හිටියේ නැති නිසයි මම ඉදිරිපත් වුණේ.

සජිත්ගේ ආකාර්යක්ෂමතාව නිසා අනුර මතු වුණ බව පසුගිය දේශපාලන රැස්වීමකදී ඔබ පැවසුවා. ඉස්සර දේශපාලන කඳවුරු දෙකයි තිබ්බේ කියලත් පැවසුවා. එයින් ඔබ අදහස් කරන්නේ දේශපාලන කඳවුරු දෙකක් පමණක් තිබිය යුතුයි කියන එකද?

සාමාන්‍යයෙන් ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් තියෙනවා. සමහර රටවල තුනක් තියෙනවා. 39ක් තියෙන්නේ නෑ. ලංකාවේ තිබුණේ ජනාධිපති හෝ අගමැති ඉන්න කඳවුර. අනෙක තමයි විපක්ෂ නායක ඉන්න කඳවුර. මීට කලින් කවදාවත් දෙන්නෙක් හිටියේ නැහැනේ. විපක්ෂ නායක දැන ගන්න ඕන තමන්ගේ කඳවුර රැක ගන්න. ඉතින් ඒ්ක දන්නේ නැත්නම් මොනවා කරන්නද? අනුර දිසානායක අවස්ථාව දැකලා ඉස්සරහට ගියා. ඒක විපක්ෂ නායකගේ නායකත්වයේ දුර්වලකම.

ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ථේරවාදී වෙළඳ ආර්ථික ක්‍රමය කියලා අලුත් නමක් තියෙනවා. මෙච්චර කාලයක් ඔබ ලිබරල්වාදී ක්‍රමය, විවෘත ආර්ථික ක්‍රමය ගැන කිව්වා. ථේරවාදී ආර්ථික ක්‍රමය, ඒ්වායෙන් වෙනස් වන්නේ කොහොමද?

ථේරවාදී රටවල් වෙ‍ෙළඳ ආර්ථිකය ක්‍රියාත්මක කර තිබෙනවා. ලංකාවේ අනුරාධපුරයේ රජරට යුගයේදි තමයි එය ආරම්භ වුණේ. අනුරාධපුරයේ හා පොලොන්නරුවේ විශාල වෙළෙඳ ආර්ථිකයක් තිබුණා. බටහිරින්, නැගෙනහිරින් ඇවිත් වෙළෙඳාම් කරලා හුවමාරු කළේ එතනදි . ඒ එක්කම ආහාර වර්ග අපනයනය කළා. ථේරවාදී බුද්ධාගමේ බලපෑම නිසා කළ දෙයක්. මියන්මාර්වලත් තිබ්බා. ඒ අනුව තමයි මම තායිලන්තය එක්ක නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කළේ. බුද්ධාගමයි වෙළෙඳාමයි අතර සම්බන්ධතාවක් තියෙනවා. බුද්ධාගම ගැන තියෙන්නේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විතරයි. එක් අපේක්ෂකයෙක් නිශ්ශබ්දයි. අනෙකේ වාක්‍ය දෙකක් තියෙනවා.

ඔබ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන සඳහන් කළා. එවිට 88,89 යුගයත් මතක් වෙනවා. ඒ කාලේ බලය නැතුවත් යම්කිසි දේවල් කළා. මාලිමාවට සම්බන්ධ අයට එහෙම අතීතයක් තියෙන්නේ. එයාලා බැරි වෙලාවත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළොත් රටට කුමන තත්ත්වයක් ඇතිවෙයි කියලා ඔබ හිතනවද?

ඔවුන් ජයග්‍රහණය කරන්නේ නැති නිසා ඒ ගැන හිතලා වැඩක් නෑ.

උතුරු නැඟෙනහිර හා වතුකර ඡන්ද තීරක ඡන්ද වෙනවා. පහුගිය කාලේ කතාවක් ගියා ඉන්දියාවෙන් දෙමළ පක්ෂවල නායකයන්ට බලපෑමක් කරනවා කියලා. උතුරු, නැඟෙනහිර හා වතුකරයේ ඡන්ද පිළිබඳව ඔබට මොකද හිතන්නේ?

උතුර නැගෙනහිර හා වතුකරයේ ඡන්ද සියල්ලම මට ලැබෙනවා. ඒක ඡන්දදායකයෝ තීරණය කරලා ඉවරයි. මට ඒකේ කිසිම සැකයක් නෑ.

ඡන්දය සම්බන්ධයෙන් මිනිස්සු අලුත් අත්හදා බැලීමක් කරන එක, අලුත් වෙනසක් කරන්න හදන එක වැරදිද?

අපි හැමවෙලේම ලංකාවේ අත්හදා බැලීම් කළානේ. ඒකනේ අපි කවදාවත් ඉදිරියට යන්නේ නැත්තේ. තියන එකට වඩා අනික හොඳයි කියලා යනවා. දැන් අත්හදා බලනවා කියලා මාලිමාවට දුන්නොත් මොකද වෙන්නේ. ඔබතුමාට පුළුවන් නම් ඩොලර් එක රුපියල් 500ක් වුණාම ජීවත් වෙන්න, කමක් නෑ. ආපහු එතනට යන්න ඕනද? අත්දැකීම් තියෙද්දි. ජනතාවට තියෙන ආදායම් අඩු වෙලා තියෙනවා. ධනය වැඩි කරන්න ඕන. උරුමය ගෙනාවේ ඒ නිසා. ලක්ෂ 20කට මෙතෙක් කල් නොතිබුණ අයිතියක් ලැබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ප්‍රාග්ධනයට ‍මේ ඔප්පු මිලියන දෙකක් ඇතුළු කරලා තියෙනවා.

බොහෝ විද්වතුන් කියනවා 2028 ණය ගෙවීම ආරම්භ කළාට පසු නැවත රට හිරවෙයි කියලා.

2022 දි අපේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 76යි. 2023 දී ඩොලර් බිලියන 84යි. දැන් ඊටත් වඩා තියෙනවා. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද දළ දේශීය නිෂ්පාදනය වැඩිවෙනකොට ණය ගෙවන්න වෙනවා. අපේ අය දක්ෂයි. වැඩට බැස්සොත් වැඩේ කරනවා. අවුරුදු තිහක් යනවා කිව්ව මහවැලිය අවුරුදු දහයකින් හැදුවා. විද්වතුන්ගෙන් අහන්න ලාංකිකයන්ට කරන්න බැරිද කියලා.

අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය ඔබ විසඳන්නේ කොහොමද?

ඒ ප්‍රශ්නය ඊළඟ අවුරුදු තුන හතරේ විසඳන්න පියවර ගෙන තිබෙනවා.

අයි.එම්.එෆ්. සමඟ කටයුතු කිරීමේදී ඔබ අනෙක් අයගෙන් විශේෂිත වෙන්නේ කොහොමද?

දැන් ක්‍රියාත්මක කරන්නේ මා ඉදිරිපත් කළ අයි.එම්.එෆ්. අනුමත කළ වැඩසටහනයි. ඒගොල්ලන්ගේ වැඩසටහනක් අනුමත කළාද? ඒගොල්ලෝ කියන්නේ වැඩසටහන වෙනස් කරන බවයි. දැන් ගිවිසුමක් අත්සන් කර තියෙනවා. ඒ ගිවිසුමෙන් පැන්නොත් ඔවුන් මුදල් දීම නතර කරනවා. ඊළඟ කාර්තුවට අපට ඩොලර් මිලියන 300 ලබාගන්න තියෙනවා. අප වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන සෑහීමකට පත් වුණොත් විතරයි ඒක දෙන්නේ. අපි මේක වෙනස් කරනවා කියල කිව්වොත් අයිඑම් එෆ් එක කියයි අපිට ඩොලර් මිලියන 300 දෙන්න බැහැ කියලා. අලුතින් කතා කරන්න වෙනවා. එහෙම කතා කරන්න ගියොත් අඩුම තරමේ මාස හයක්, අවුරුද්දක් විතර යනවා. ඒ අවුරුද්ද තුළ කවුද අපට සල්ලි දෙන්නේ.

අනිත් අපේක්ෂකයොත් බදු, වැට් අඩු කරන බව කියනවා. බදු ගැන ඔබගේ ඉදිරි වැඩපිළිවෙළ කුමක්ද?

බදුවලින් ලැබෙන ආදායම අඩු වුණොත් ප්‍රශ්නයක් වෙනවා. මේ බද්ද අඩු කළොත් තව තැනකින් වැඩි කරන්න වෙනවා. වැට් අඩු කළොත් බදු ගණනාවක් වැඩි වෙනවා. ආදායම අඩු නොකර බදු අඩු කරන්න පුළුවන් නම් අයි.එම්.එෆ්. එක්ක කතා කරන්න පුළුවන්. එත් ඒක වෙන්නේ නැහැ. මම උදාහරණයක් දෙන්නම්. එන අවුරුද්දට අපි රුපියල් බිලියන පන්දහස් එකසිය දාහතක් ආදායම් හැටියට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ අයවැය වෙනස රුපියල් බිලියන 1700යි. 5 %යි. ඒ නිසා අපට මාර්කට් එකෙන් ණය ගන්න පුළුවන්. මාලිමාවෙන් බදු අඩු කරන නිසා වෙනස රුපියල් බිලියන හාරදහස් නවසීයයි. බදු අඩු කළාම ආදායම් – වියදම් අතර පරතරය වැඩි වෙනවා. ඊළඟ අවුරුද්දේ වෙන මාර්ගයක් නැහැ. බදු අඩු කරලා කරන්න බැහැ. කරන්න පුළුවන් එකම මාර්ගය දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමයි, ඒ සඳහා අපේ අපනයන වැඩි කරන්න අවශ්‍යයි. අනෙක් අංශ ද දියුණු කළ යුතුයි.

ජනාධිපතිතුමනි, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මඟින් රජය රණවිරුවන් පාවා දෙන බව සමහර පාර්ශ්ව චෝදනා කරනවා.

අප සත්‍ය කොමිසම හඳුන්වා දුන්නා. එතන පාවා දෙන්න බැහැ. කරුණු තියෙනවා නම් නඩු දාන්න පුළුවන්. අපි කරුණු හොයන්න කොමිසම් ගණනාවක් පත් කළානේ.

2009 දී මම ක්‍රියාත්මක කළේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මහ ලේකම් බෑන්කී මූන් අතර එකඟ වුණ ගිවිසුමක්.

ලංකාවේ පසුගිය කාලයේ අරගලය සිදුවූ ආකාරයෙන්ම බංග්ලාදේශයේ අරගලයක් ඇතිවෙලා තවත් ඉදිරියට යනවා. ලෝකය පිළිගත්තු ආර්ථික විද්‍යාඥයෙක් බංග්ලාදේශයේ පාලනය භාර අරගෙන තියෙනවා. නමුත් ලංකාවේ සහ බංග්ලාදේශයේ පාලනය ක්‍රමවේදයේ යම්කිසි වෙනසක් දකිනවා. බංග්ලාදේශයේ වරදවා ගත්ත තැන මොකක්ද? අපි නිවැරදි වුණ තැන කුමක්ද?

මම අගමැති හැටියට භාර ගෙන වැඩබලන ජනාධිපති වෙලා වැඩ කටයුතු කළා. පාර්ලිමේන්තුවෙන් මාව තෝරන්න කලින් සතියක් තුළ රටේ සාමාන්‍ය තත්ත්වයක් ඇති කළා.

බංග්ලාදේශයේ එහෙම වුණේ නැහැ. එහි ජනාධිපතිතුමිය එළවලා ඊට පස්සේ ඡන්දයක් තියන්න ඕනි කිව්වා. ඡන්දයක් තියන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. දැන් ඡන්දයක් තියා ගන්න බැහැ. හරි හිරවීමක ඉන්නේ. අපෙත් ඒ වගේ පණ්ඩිතයෝ හිටියානේ. සජිත් ප්‍රේමදාස කියලා කෙනෙක් කිව්වා ඡන්දය තියන්න අවශ්‍යයි කියලා. දැන් ඉගෙන ගන්න. බංග්ලාදේශයේ අවුල ඇති වුණේ ඒනිසායි. හසීනා මැතිනිය පිට වුණාම ආණ්ඩුවේ වෙන කවුරු හරි භාර අරගෙන ඉන් පසුව පරිවර්තනය කරන්න තිබුණා. ඒක කළේ නැහැ. දැන් මිනිස්සු මරනවා. ගිනි තියනවා. තව ටික කාලයක් ගියොත් ආයෝජකයෝ පිට වෙලා යයි. මම මේක නොකෙරුවා කියලා මට බණිනවා. ඊට පස්සේ රනිල් රාජපක්ෂ කියලා කියනවා. දැන් රාජපක්ෂලාත් මා එක්ක නැහැ. මා නීතිය, සාමය ආරක්ෂා කළා.

තමිල් අරුසුකච්චු පක්ෂයේ දෙමළ පොදු අපේක්ෂකයා ඔබට අභියෝගයක් ද?

මට අභියෝගයක් නැහැ. මම හිතන්නේ නැහැ එයා කාටවත් අභියෝගයක් වෙයි කියලා.

ඔබ විපක්ෂයෙන් තව කී දෙනෙක් ගන්න ඉන්නවා ද? විපක්ෂයෙන් ගන්න අයට බාර් ලයිසන් දෙනවා කියලා චෝදනාවක් තිබෙනවා.

මම බාර් ලයිසන් දෙන්නේ නැහැ. අපේ ආමාත්‍යාංශයෙන් දැන් බාර් ලයිසන් විකුණනවා. මිලියන 10000, 50,000 වැනි ගණන්වලට. මම ලබන අවුරුද්දේ එම ගණන තව වැඩි කරනවා. සජබයෙන් තව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඡන්දය දිනලා ආණ්ඩුව හදනවා.

මාලිමාව කියන පරිදි හොරු අල්ලන එකයි, හොරකම් කරපු ඒවා අය කරන එකයි සහ විදේශ ප්‍රේරණ ලංකාවට ගෙන්න ගත්තොත් අයවැය පරතරය නැති කරගන්න බැරි වේවිද ?

ඔය අය මොන ලෝකයේ ද ජීවත් වෙන්නේ. අපි රජයේ මුදල් නීතියෙන්, ක්‍රමවේදයෙන් පිට අරගත්ත අය හඳුනා ගෙන නඩු දාන්න අවශ්‍යයි. නඩු දැම්මට මදි. ඒ අයට ඒක තේරෙන්නේ නැහැ. අලුත් නීතිය අනුව ක්‍රියා කරන්න අවශ්‍යයි. මුදල් ගේන්න සාමාන්‍යයෙන් ඕනෑම රටකට අවුරුදු දහයක් යනවා. එතෙක් බලාගෙන ඉන්නවා ද? අනෙක කොච්චර මුදල් තියෙනවාද? අනෙක විදේශ ශ්‍රමිකයන් සල්ලි එවනවා ද? රට ඉන්න මිලියන දෙකකින් කොච්චරද අපට හම්බ කරන්න පුළුවන්. මාසෙකට ඩොලර් 100 වත් එවන්න බැහැ බොහෝ දෙනෙක්ට. ඩොලර් 10ක් එවයි. බොරු කියන එක හොඳ නැහැනේ.

ආනන්ද විජේපාල දැම්මානේ හොරු අල්ලන්න කියලා. ෆයිල් 400කින් නඩු 15 ක් දැම්මා. මම දන්නේ නැහැ කී දෙනෙක් හිරේ ගියා ද කියලා. නීතිඥයෙක් නොවන, පොලිසියේ නොවන කෙනෙක් ඒ වැඩේට දැම්මේ කොයි රටේ ද?

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා වෙනවා. එයින් 13 වෙනි සංශෝධනයට බලපෑමක් වෙයි ද?

මම කියලා තියෙන්නේ අලුත් පාර්ලිමේන්තුවේ අවුරුද්දකින් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න කියලා. මේ ව්‍යවස්ථාවේ අඩුපාඩු තිබුණත් රට ගෙනියන්න පුළුවන්නේ. අපිට මේවා නොවෙයි වැදගත් කාරණා. වැදගත් වෙන්නේ ආර්ථිකය හැදීමයි. මේ ව්‍යවස්ථාවේ අඩුපාඩු එක්ක අපි ඉදිරියට ගිහින් තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විශ්‍රාම ගියාට පසු මේ අය ජනාධිපතිකම අහෝසි කරන්න කතා කළා. එතන වාඩි වුණ එක්කෙනෙක්වත් ඒක කළේ නැහැ.

අද පාසලෙන් අයින් වෙන ගොඩක් තරුණයෝ ත්‍රීවීල් එකක් අරන් පාරට බහිනවා. මේ වෙනුවෙන් රජයක් විදිහට කරන්න පුළුවන් මොනවාද?

මේ දරුවන් ත්‍රීවීල් පැදෙව්වේ රැකියා නොමැති නිසා. හොඳ රැකියා ඇති වුණාම ඒවා කරයි. මට තහනම් කරන්න බැහැ. වෙළෙඳපොළ අනුව වැඩ කරන්න අවශ්‍යයි. ජනතාව ගමන් බිමන් යන්න ත්‍රීවීල් පාවිච්චි කරනවා. මට ඒක නවත්වන්න බැහැ.

මීට කාලේකට කලින් සජිත් සහ ඔබතුමා හිටියේ එකම කඳවුරේ. සජිත් සමඟ එකතු වෙන්න බැරි වුණේ ඇයි?

එදා ඉඳන් එන්න කීවා. ආවේ නැහැනේ. ඔහුට ජී.එල්. ඉන්නවා. නාලක ගොඩහේවා ඉන්නවා. සියල්ල වෙනස් වෙලා. මේක අලුත් කඳවුරක්.

මීට පෙර ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන කොට රටේ ජනතාවට ලොකු බලාපොරොත්තු දුන්නා. බ්‍රේස්ලට් දාන්න, කාර්වල යන්න, ඒවාගේ කතා කියපු ඔබ අද පැරදුණොත් ගෑස් එකත් නැතිවෙයි කියලා කියනවා.

එදා මම කියපු දේ නොකෙරුව නිසා ආර්ථිකය මේ තත්ත්වයට ආවා. මම කියපු දේ කළා නම් ඔය දේවල් වෙන්නේ නැහැ. අපි එදා සිට බැලුවේ අපනයන ආර්ථිකයක් ගොඩනඟන්න. දැන් ගෑස් එකට බැහැලා තියෙනවා.

ඔබතුමා සහ අනුර කුමාර අතර ඩීල් එකක් තියෙනවා කියලා විපක්ෂ නායක කියනවා. ඇත්තද?

ඔහොම කියන පුද්ගලයෙක් ජනාධිපති කරන්න පුළුවන් ද? මේ ඡන්දය විහිළුවට සලකනවා නම් මොනවට ද ඡන්දයක් තියන්නේ.

ඔබතුමාට සජිත් සමග පුද්ගලික තරහක් තියෙනවා ද?

මමනේ ප්‍රේමදාස ජනාධිපතිතුමා දෝෂාභියෝගයෙන් බේරුවේ. එතුමා ඝාතනය කරන අවස්ථාවේත් මම එතැන හිටියේ. මම හැමවේලේම එතුමා ආරක්ෂා කළා. පුතා තාත්තාගෙන් ඉගෙන ගෙන නැහැ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division