ශ්‍රී ලංකා පුවත්පත් කාලාවේ පත්තර මහගෙදර ලෙස ලෙසින් විරුදාවලීය ලද ජනතාවාදි පුවත්පත් කලාවේ පුරෝගාමි මෙහෙවරක් කළ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයක් වන ලේක්හවුස් ආයතනය ජනතාවට අවැසි තොරතුරු, දැනුම, අවබෝධය හා රසවින්දනය නොඅඩුව ලබා දෙමින් අඛණ්ඩ දිගු ගමනක් පැමිණ ඇත. ආයතනයක් ලෙස පැවරුණු වගකීම් හා යුතුකම් නොපිරිහෙළා ඉටු කරමින් එදා මෙදා තුර කීර්තිමත් ලේඛක පරපුරක් මෙරටට දායාද කර ඇත. පුවත්පත් කලා කෙත අස්වද්දමින් පාඨක සහෘදයා නව මානයන් කරා යොමු කරවීමට ලේක්හවුස් ආයතනය මහත්වූ මෙහෙවරක් ඉටු කළ බව අවිවාදිතය. පුවත්පතින් ලද දැනුම අතික්‍රමණය කරමින් සිය මාධ්‍ය මෙහෙවර තවත් පුළුල් මානයක් කරා රැගෙන යාමට ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියක් මීට දෙවසරකට පෙර ආරම්භ වූයේ දැනුමින් සන්නද්ධ, සදාචාරාත්මක මාධ්‍ය පරපුරක් බිහිකිරිමේ අරමුණින් මෙන්ම වගකීම්සහගත නිර්මාණශීලි මාධ්‍ය කලාවක් ගොඩනැඟීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරිවය.
මෙමඟින් බිහිවන ඩිප්ලෝමාධාරීන්; මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයින් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය න්‍යයාත්මක දැනුම පමණක් නොව ප්‍රායෝගික දැනුම හා අවබෝධයද නොඅඩුව ලබා දීමට ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය ආරම්භ විය.
ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව 2022 වසරේ සැප්තැම්බර් 28 වැනි දින මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් පත්තර මහ ගෙදරින් පිදෙන අනගි තිළිණයක්, දායාදයක් ලෙස ජනගත විය. ඉන් අනතුරුව මේ වන විට මාධ්‍ය ක්ෂේත්රය හා සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම එක්දින වැඩමුළු රාශියක්ද සංවිධාන කිරීමට සමත්කම් දක්වා තිබේ.
මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව හා ඩිජිටල් මාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලාව ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධාන කරන ප්‍රධානතම ඩිප්ලෝමා පාඨමාලා වන අතර, ඉදිරියේදී දෙමළ මාධ්‍යයෙන් මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ. මෙම මාධ්‍ය ඇකඩමියේ අධ්‍යයන කාර්යයේ යෙදෙන විද්‍යාර්ථීන්ට විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ආචාර්යවරු හා ෙජ්‍යෂ්ඨ මාධ්‍යවේදීන් රැසකගේ සම්පත් දායකත්වයෙන් සකසන ලද විෂය නිර්දේශයක් යටතේ මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, ප්‍රාසාංගික කලා, දැන්වීම් හා ප්‍රචාරණ, ඡායාරූපකරණය වැනි පුළුල් විෂය ක්ෂේත්රයක් ආවරණ කරන දැනුම් සම්භාරයක් න්‍යයාත්මක ලෙස හා ප්‍රායෝගික ලෙස ලබාදීමට කටයුතු කරයි. ඊට අමතරව රූපවාහිනී හා ගුවන්විදුලි නිවේදක, ප්රවෘත්ති නිවේදක, වැඩසටහන් නිවේදක, හඬකැවීම් හා හඬ පාලනය, ප්‍රතිභාන්විත රංගනය, මංගල ඡායාරූපකරණය, ප්‍රසිද්ධ කථනය, වාස්තු විද්‍යා, රාජ්‍ය බදු, යූ ටියුබ් නිර්මාණකරණය, කෙටි චිත්‍රපට නිර්මාණකරණය වැනි විවිධ ක්ෂේත්රයන්ට අදාළ එක්දින වැඩමුළු ගණනාවක්ද ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධාන කර තිබේ.
2024 වසර වෙනුවෙන් ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධාන කරනු ලැබූ මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා හා ඩිජිටල් මාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලා සාර්ථක ලෙස හදාරා අවසන් කළ සිසු සිසුවියන් වෙනුවෙන් ඩිප්ලෝමා ප්රදානය කිරීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් මස 09 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණි. ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය ආරම්භ වීමෙන් පසු එම ඇකඩමිය විසින් සංවිධානය කරන ලද දෙවන ඩිප්ලෝමා ප්රදානෝත්සවය වූ මෙහිදී මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමාව හැදෑරූ සිසු සිසුවියෝ 11 ක් සහ ඩිජිටල් මාධ්‍ය සන්නිවේදන පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියෝ 9 ක් වශයෙන් ඩිප්ලෝමාධාරීහු 20 ක්ද තම ඩිප්ලෝමා සහතික හිමි කර ගත්හ.
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ මාධ්‍ය සන්නිවේදන හා ඩිජිටල් මාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ විද්‍යාර්ථයින් ඩිප්ලෝමාධාරීන් ලෙස අබිසෙස් ගැන්වූ මෙම උත්සව සභාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලෙස සහභාගි වූ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් සියවසකට අධික කාලයක් පුරා මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් ලෙස ජනතා ගෞරවය සහ විශ්වාසය සහිතව ස්ථාපිත වූ ලේක්හවුස් ආයතනය පිහිටුවූ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ මහා සද්කාර්යයේ අතිශය වැදගත් නිර්මාණාත්මක දිගුවක් ලෙස ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය හඳුන්වා දෙන ලදි. ලේක්හවුස් ආයතනයේ පිහිටීමත්, ආයතනය සතු භෞතික සහ මානව සම්පතත් අනුව ලෝකයේ පිළිගත් රටක විශ්වවිද්‍යාලයක් සමඟ ඒකාබද්ධ වී මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳව දැනුම සපයන විශ්වවිද්‍යාලයක් බවට ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය උසස් කර ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමට යෝජනා කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගි වූ ඩිප්ලෝමාධාරීන් ඇතුළු සියලුම දෙනා වෙත අමතක නොවන අත්දැකීමක් එක් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ ශාන්ත මහතා ආරාධිත ප්රමුඛ දේශනය සිදු කළ අතර ඔහු එහිදී මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තිය හා ජීවිතය ජය ගත යුතු ආකාරය පිළිබඳව උදාහරණද සමඟ ධනාත්මක ප්‍රවේශය ඔස්සේ වටිනා අදහස් දැක්වීමක් සිදු කළේය.
මෙහිදී ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා අදහස් දක්වමින් ලේක්හවුස් ආයතනයේ ප්‍රගතිය හා විවිධ අභියෝග, දුෂ්කරතා ජය ගනිමින් පසුගිය කාලය තුළ ආයතනය ගොඩනැඟූ ආකාරය හා සේවක සේවිකාවන් වෙනුවෙන් ලබා දුන් ජයග්‍රහණ සිහිපත් කළේය.
මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මෙසේද පැවැසීය.
මෙම ගෙවුණු වසරක කාලයක පමණක් ලේක් හවුස් ආයතනය ලැබූ ජයග්‍රහණ කිහිපයක් කෙටියෙන් මා ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. 2023 වසරේ ආයතනයේ සේවකයන්ට වසරකට දෙවරක් ප්‍රසාද දීමනාද ලබාදී 2023 වසර නිමා කළේ රුපියල් මිලියන තිස් එකක ලාභයක්ද සමඟිනි. එමෙන්ම 2024 වසරේ මේ වනවිටත් එක් ප්‍රසාද දීමනාවක්ද ලබාදී රුපියල් මිලියන 45ක් පනහක් අතර වටිනාකමක ශුද්ධ ලාභයක් ද සහිතව 2024 වර්ෂය අවසන් කරන්නට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා. ලේක් හවුස් ඉතිහාසයේ ප්‍රථම වරට කාර්ය සාදන මත පදනම් වූ ක්‍රමවේදයක් හරහා සේවකයන්ට වාර්ෂික කාර්ය ඵල ඇගැයීමක් හඳුන්වාදී ඇති අතර, අනුමත කාර්ය මණ්ඩලය වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තබා තිබෙනවා.
ඒ වගේම ප්‍රථම වතාවට ආයතනයට සේවකයන් බඳවා ගැනීමට අදාළව බඳවා ගැනීමේ පටිපාටියත් SOR එකත් අපි අනුමත කර තිබෙනවා. එය ලේක්හවුස් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන්නක්. ඒ වගේම සේවා කාලයේ වසර 25 ඉක්මවූ ආයතනය සේවකයන් වෙනුවෙන් කලක සිට නවතා තිබූ සේවක ඇගයීම් මත රන් පදක්කම් ලබාදීම ආරම්භ කර මේ වනවිටත් කණ්ඩායම් හයකට රන් පදක්කම් ලබාදීම අවසන් කර හත්වන කණ්ඩායමටද රන් පදක්කම් ලබාදීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. වෛද්‍ය අංශය සඳහා ප්‍රථම වතාවට ඊ.සී.ජී. යන්ත්‍රයක් මේ වසරෙදි ලබා දී තිබෙනවා. කොන්ත්‍රාත් පදනම මත සේවය කරන වසර තුන සම්පූර්ණ සේවකයන් ස්ථිර සේවක මණ්ඩලයට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම ආයතනයට මහත් අඩුපාඩුවක්ව පැවති ආයතනික ව්‍යුහයක් සකස් කර අනුමත කර තිබෙනවා. ඒ වගේම 2024 – 26 වෙනුවෙන් ආයතනික සැලැස්මක් අනුමත කර තිබෙනවා. ඒ අනුව අපේ පාලනාධිකාරිය මෙන්ම අනාගතයේ පත්වන පාලනාධිකාරියද එම ආයතනික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බැඳී ඉන්නවා.
ඒ වගේම 2024 වර්ෂයේ ප්‍රථම වතාවට ලේක්හවුස් ආයතනයේ ක්‍රීඩා අංශයේදී නොකිරීමට රුපියල් මිලියනයක් වෙන්කර එහි ප්රතිලාභ ලබා ගනිමින් සිටිනවා. ඒ වගේම මේ වර්ෂයේ මුල සිට එතෙක් මුද්‍රණය නතර කර තිබූ වාර ප්‍රකාශන රාශියක් නැවත සතිපතා මුද්‍රණය කිරීම ආරම්භ කළා පමණක් නොව කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවලටම අදාළව පුවත් උද්දීපනය වන පරිදි ප්‍රාදේශීය පුවත් අංශය සමග දිනමිණ පුවත්පත මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබෙනවා. නවීන ලෝකයට ගැළපෙන පරිදි ක්ෂණික පුවත් ලබාදීම සඳහා වූ ලේක්හවුස් සමාජ මාධ්‍ය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ලේක්හවුස් ආයතනයට අදාළව සමරු තිළිණ අලෙවි කරනු ලබන සමරු තිළිණ අලෙවි මධ්‍යස්ථානයක් මේ වන විට ලේක් හවුස් පරිශ්‍රයේ ආරම්භ කර තිබෙනවා. මේ වසරේ සිට වෛද්‍ය රක්ෂණ දීමනාව වසර විස්සකට පමණ පසුව එක් සේවකයෙකුට ගෙවන වෛද්‍ය රක්ෂණය එක් ලක්ෂ 25000යි සිට 180,000 දක්වා වර්ධනයත් පවුල්වල රක්ෂණ දීමනාව 150000 සිට 175000 දක්වා වැඩි කිරීමටත් අප කටයුතු කර තිබෙනවා.
ඒ වගේම සේවකයෙක් වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය 2024 වසරේ සිට රුපියල් 7500 එකෙන් වැඩි කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පවතින වසර සියයකට අධික ඉතිහාසයක් ඇති ලේක්හවුස් ආයතනය දේශීය අයට මෙන්ම විදේශිකයන්ටද අවස්ථාව උදාකර දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට එන විදේශිකයන්ට කොටුවේ පිහිටි ලේක්හවුස් ආයතනය නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ඒ එන හැම විදේශිකයෙකුම ලේක් හවුස් ආයතනයට ඩොලර් ලබා දී යනු ඇත. මම ඒ කෙටියෙන් සඳහන් කළේ පසුගිය වසරක පමණ කාලයකදී අප ලැබූ ජයග්‍රහණවලින් කීපයක් පමණයි. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම සහ උපදෙස් මත මෙම ජයග්‍රහණ ලබාගැනීමට අනිවාර්යෙන්ම හැකිව තිබෙනවා. ඒ වගේම මට සහාය දෙන අධ්යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරිත්වයේ සිට පහළම සේවකයා දක්වා සියලුම සේවකයන් මහත් කැපවීමෙන් කටයුතු කරන ධනාත්මකව සිතන වෘත්තීය සමිති මේ මොහොතේ ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.
මෙම ඩිප්ලෝමා ප්රදානය කිරීමේ අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, මහා භාරකාර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ සහභාගී වූහ. එමෙන්ම ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්රි, මෙහෙයුම් අධ්යක්ෂ නීතිඥ මංජුල මාකුඹුර, මුදල් අධ්යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න හා සාමාන්‍යාධිකාරී වරලත් ගණකාධිකාරි සුමිත් කොතලාවල මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ ඩිජිටල් මාධ්‍යවේදී ඩිප්ලෝමා පාඨමාලාවේ ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමින්ද ගමගේ, ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (දැන්වීම්) චින්තක ප්‍රසන්න යාපා, වැඩබලන. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම්. ධනසේන, පාඨමාලා ප්‍රවර්ධන හා අලෙවි සම්බන්ධීකාරක එරන්ද එදිරිමාන්න මාධ්‍ය ඇකඩමියේ සම්බන්ධීකාරකවරියන් වන සංදීපනී විජේතුංග, මනෝලි සුබසිංහ, වාසනා අබේනායක ඇතුළුව ඩිප්ලෝමාලාභීන්ගේ පවුලේ අය ඇතුළු විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප –
ශාන් රූපස්සර, වාසිත පටබැඳිගේ