Home » IMF විසඳුම් මඟහැර කඩාවැටුණු රටවල්

IMF විසඳුම් මඟහැර කඩාවැටුණු රටවල්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

ලෝක ආර්ථිකය තුළ පසුගිය මාස දෙකක පමණ කාලය තුළදී නිසොල්මන්ව සිදු වෙමින් පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවිධ වේදිකා තුළ විවිධාකාරයේ කතිකාවන් රැසක් ගොඩනැඟී ඇත. මේ නව අර්බුදය 1980 ගණන්වල ලතින් අමෙරිකානු රටවල් ප්‍රමුඛ කරගත් ණය අර්බුදය හා සමාන ලක්ෂණ කිහිපයක් වෙයි. නිසොල්මන්ව සිදුවෙමින් පවතින බරපතළ ණය අර්බුදය පිළිබඳ ප්‍රධාන පෙළේ මාධ්‍ය විසින් විශේෂ අවධානයට ලක්කරගෙන ඇත. එහිදී මේ සඳහා හේතුපාදක වූ යුක්රේන් රුසියානු යුද්ධය, මැද පෙරදිග කලාපයේ අස්ථාවරත්වයන්වලට, සංවර්ධිත රටවල් ප්‍රමුඛ කරගෙන ගොඩනැඟුණු උද්ධමනකාරී තත්ත්ව කෙරෙහි අවධානය යොමු විය. මේ අර්බුදය තුළ කියැවෙන සුවිශේෂ කරුණක් නම් ණය අර්බුදය ක්‍රමානුකූලව ලෝකයේ බරපතළ වෙමින් පවතිනු ලබන බවයි. ඒ හේතුවෙන් දැනටමත් රටවල් විසි අටක් පමණ ණය පැහැර හැරීමකට හෝ ණය පැහැර හැරීමට ආසන්න තත්ත්වයකට ගොස් තිබෙයි.

මේ තත්ත්වයට වඩා බලපෑ හේතු දෙකක් වේ. එකක් කොරෝනා වසංගතයයි. අනෙක් කාරණාව නම් පසුගිය දශකය තුළ ඉහළ පොලී අනුපාත මට්ටමක් සංවර්ධිත රටවල්වලට අදාළව පැවතීමයි. ඒ හේතුකොටගෙන ණය පිරිවැය විශාල ලෙස ඉහළ යෑමත්, මේ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල් ලබාගත් ණය සහ ලබා ගැනීමට අපේක්ෂා කරන ණයවල පොලී අනුපාතය ඉහළ යාමත් සිදු විය. එසේම වියදම් ඉහළ යාම සිදු විය. ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළා ඇති රටවල් ණය වෙළෙඳපොළට ගිය විට ඔවුන්ට ඉතා ඉහළ පොලී අනුපාතිකයකට ණය ලබා ගැනීමට සිදු විය. ඒ හේතුකොට ගෙන ණය බර වැඩි අවදානම්කාරී රටවල්වලට එන පීඩනය වේගයෙන් තවදුරටත් ඉහළ යාමක් සිදු විය. මේ වේගයෙන් ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රටවල් සමූහයක්; සහන ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි. රටවල් දහයක් පමණ එම ණය සහන ලැයිස්තුවේ වෙයි. උදාහරණ ලෙස ශ්‍රී ලංකාව, ගානා, සැම්බියා හා ලෙබනනය වෙයි. එසේම කොංගු, ගානා, ලාවෝ, මලාවි, සෝමාලියාව, සූඩානය, සිම්බාබ්වේ, සැම්බියාව, දකුණු ආසියානු කලාපයේ මාලදිවයින වැනි රටවල් ණය අර්බුදයට ඉතාමත් ආසන්න හෝ ණය අර්බුදයට දැනටමත් වැටී ඇති රටවල් වෙයි. ණය අර්බුදයත් සමඟ මතුවන සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදයන් හා එම අර්බුදය විසඳීමට අදාළව ගනු ලබන පියවර නිසා අර්බුදය විසඳාගත හැකි වූවා ද යන කාරණාව ඉතිහාසයේ අත්දැකීම්වලින් පැහැදිලි වෙයි.

මූලික වශයෙන් රටවල් පහකට පමණ අවධානය යොමු කළොත් ණය අර්බුදයකට ගොස් එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත්තද තවමත් සාර්ථකව ණය අර්බුදය නිමාකර ගත නොහැකි රටවල් හතරක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරනු ලබයි.

පළමුව ආජන්ටිනාව ගතහොත් 1982 පළවෙනි වරට අර්බුදයකට යයි. ඒ තුළ ඩොලර් බිලියන 40 ණය පැහැර හැරීමක් සිදු විය. එහිදී අධිඋද්ධමනකාරී තත්ත්වයකට රට ගමන් කරයි. ආර්ථික අවිනිශ්චිතතාව විශාල ලෙස ඉහළ යයි. 1982 ඇති වූ මේ අර්බුදයට එක්තරා දුරකට හේතුසාධකය වන්නේ එක්සත් රාජධානියේ යුද්ධය ආරම්භ වීමයි. මේ අර්බුදයෙන් 1982න් පසුව ආර්ථිකය කඩා වැටීම අඛණ්ඩව සිදු වෙයි. මේ අඛණ්ඩ කඩා වැටීම 1990 දක්වා පවතී. ඉන් අනතුරුව ආර්ථික ස්ථායීකරණයකට, වැඩපිළිවෙළකට ගමන් කරයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගනී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගයෙන් මේ ණය තිරසරකරණ වැඩසටහන විවිධ බාධක මධ්‍යයේ ඉදිරියට ගමන් කරයි. වරින්වර දේශපාලන අස්ථාවරත්වය නිසා ඉදිරියට සහ පසුපසට ගමන් කරන අතර දේශපාලනික වෙනස් වීමත් සමඟ තවදුරටත් ණය වෙළෙඳපොළින් ණය ලබා ගැනීම සිදු කරයි.

බදු වැඩි කිරීම, රාජ්‍ය වියදම් කපා හැරීම යන අංශයන්ට අදාළව අවශ්‍ය අවධානය යොමු නොවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2001 දී නැවත අර්බුදයකට යයි. එම අවස්ථාවේදී බිලියන සීයකට අධික මුදලක ණය පැහැර හැරීමක් සිදු වෙයි. ස්වෛරී බැඳුම්කරණ ණය පැහැර හැරීම තුළ විශාල ලෙස ආර්ථිකය බිඳ වැටෙයි. ඒ කඩා වැටීමෙන් දුප්පත්කම වැඩිවීම හා දේශපාලන අස්ථාවරත්වය ඇතිවීම තුළ බලයට පත්වෙන ඕනෑම රජයක් ඉතාමත්ම කෙටි කාලයක් බලයේ රැඳෙන අතර කෙටි කලකින් ඔවුන්ගේ බලය ගිලිහෙයි. එනම් ආර්ථික අර්බුදය විශාල දේශපාලන අර්බුදයක් දක්වා ගමන් කරයි.

ඉන්පසු කාලසීමාව තුළදී ආජන්ටිනාව 2001 වසරේදී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ සැලකිය යුතු ණය කපා හැරීමක් සිදු කරයි. එසේ වුවත් ආජන්ටිනාවට ආර්ථිකය තිරසාරව ගොඩනැඟීමට හැකියාවක් නොලැබෙයි.

මූලික ආර්ථික ගැටලුවලට තිරසර ලෙස පිළිතුරු ලබා නොදීම සහ ස්ථාවර ආකාරයෙන්ම පවත්වාගෙන යාමට බලයට පැමිණි රජයන් අපොහොසත් විය. බලයට පැමිණි රජයන් සෑමවිටම උත්සාහ කළ කරුණක් නම් ජනතාවට ඇති වෙමින් පවතින පීඩනයන් අවම කිරීමට පොරොන්දු දෙමින් එක් පැත්තකින් රාජ්‍ය වියදම් වැඩිකර, බදු වැඩි කිරීමට අදාළ පියවර නොගෙන රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි කරගෙන, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීමකින් තොරව පවත්වාගෙන යාමයි. එහි ප්‍රතිඵලයක් ලෙස නැවත වතාවක් ආජන්ටිනාව 2018 වසරේ දී ආර්ථික අර්බුදයකට යයි. ඩොලර් බිලියන පනස් හතක ණය පැහැර හැරීමකට යනු ලබයි. එහිදී නැවත වරක් උද්ධමනය ඉහළ ගොස්, මුදල් ඒකක කඩාගෙන වැටීම, ආර්ථිකය නැවත අස්ථාවර වීම විරැකියාව වැඩිවීම් තත්ත්වයකට පත්විය. ඒ අනුව නැවත වරක් ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා යයි.

ආජන්ටිනාව එක්තරා ආකාරයකට ණය උගුලකට හසුවීමකට ලක් වී ණය චක්‍රයකට හසුවීමට ලක්වීම නිසා ණය පැහැර හැරීමත් සමඟ අලුතින් වෙ‍ෙළඳපළේ ණය සඳහා පොලී ගෙවීම ඉහළ යයි. එසේ ඉහළ පොලියට ණය ගත්විට ණය බර වැඩි වන විට ණය ගෙවීම පැහැර හැරෙයි. මේ ආකාරයෙන් චක්‍ර ආකාරයකට ගමන් කරයි. එහි ප්‍රධාන හේතු නම් තිරසර ආකාරයට ආර්ථිකය ගොඩනැඟීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරගෙන යාමට අසමත් වීමයි. එක ආණ්ඩුවක් යටතේ පවත්වාගෙන යන ආර්ථික වැඩසටහන නව ආණ්ඩුවක් යටතේ අතරමැද නතර වෙයි. ආජන්ටිනාවට වසර 40ක් තිස්සේ ණය අර්බුදයක ගමන් කිරීමට එය බලපෑ ප්‍රබල හේතුවක් විය. ආජන්ටිනාවේ ඒක පුද්ගල ආදායම හත්දහස් පන්සියයක් දක්වා වෙයි. ආජන්ටිනාවට පසුපසින් සිටි චිලී රාජ්‍යය ඩොලර් 15000කට පමණ ඒක පුද්ගලයා ආදායමක් වැඩි කරගෙන ඇත.

ග්‍රීසිය සම්බන්ධව කතා කිරීමේදී ණය අර්බුදයට ග්‍රීසිය ගමන් කරන්නේ 2010 කාලය තුළදී වෙයි. විශේෂයෙන් අය-වැය පුළුල් වීම හරහා ග්‍රීසියේ ආර්ථික තත්ත්වය පුළුල් වීම ග්‍රීසියට ආපසු ණය ගෙවීමට ඇතිවූ දුෂ්කරතාවන් බලපානු ලැබිණි. ග්‍රීක වෙළෙඳපොළ සීඝ්‍රයෙන් කඩා වැටීමකට ලක්විය. ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධව ඇති වූ අවදානම්කාරී තත්ත්වය හේතු කරගෙන ණය ආපසු ගෙවීමට අදාළව ඇති වූ දුෂ්කරතා මෙහිදී මූලික වෙයි. ග්‍රීක බැඳුම්කර වටිනාකම ශීඝ්‍ර ලෙස ඉහළ යන ලදී. මේ නිසා ග්‍රීසිය විශාල ණය අයවැය හිඟයකට පත්විය. විශාල සුබසාධන ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය ග්‍රීක රාජ්‍යයට මේ අයවැය පියවීමට රජයට සිද්ධ වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය එකඟතාවක් ඇති කරගෙන 2011 සහ 2012 කාලය තුළදී ආර්ථිකය ගලවා ගැනීම සඳහා වූ වැඩසටහනක් දියත් කරනු ලැබුණු අතර තවද විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබිණි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමයත් ණය අර්බුදයට සහය දීමට ඉදිරිපත් වෙනු ලබයි. නමුත් ඒ අවස්ථාවේදී විශාල කොන්දේසි ගණනාවක් යටතේ ණය ලබා දීමට එකඟතාව පළ කරනු ලබයි.

සුබසාධන රාජ්‍ය අංශයේ සේවකයන් කප්පාදු කිරීම, බදු ආදායම වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම, රාජ්‍ය වියදම් කප්පාදු කිරීම වැනි දේ ඒ අනුව සිදුවිය. විශාල උද්ඝෝෂණ මධ්‍යයේ එවැනි ක්‍රියාමාර්ග ගනු ලැබුවද එහි අවසාන ප්‍රතිඵලය වන්නේ 2015දී යළිත් වරක් අර්බුදයට ගමන් කිරීමයි. ඉන්පසු බලයට පත් වූ වාමාංශික රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගන්නා ලද එකඟතාවයන් මුළුමනින්ම ඉරා දමන බවට පොරොන්දු දෙන ලදි. ඉන් අනතුරුව යුරෝපා සංගමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තාවකාලිකව නතර කරයි. නැවත ග්‍රීසිය පත්වූ ආර්ථික පසුබෑම නිසා එම වාමාංශික පක්ෂය විසින් යළිත් වරක් යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට එළැඹීම ආරම්භ කරනු ලබයි. පෙරටත් වඩා කොන්දේසි මත නව ගිවිසුමට ඇතුළු වීමට සිදු වෙයි. ඒවනවිටත් උද්ධමනය ඉහළට ගමන් කරනු ලබන අතර ආර්ථික වර්ධනය පහළට ගමන් කිරීම සිදු විය. ඒ නිසා සමාජවාදී වාමාශික රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුරෝපා සංගමය ඉදිරියේ දණ නැමීමට සිදු වෙයි. ඒ හේතු කොටගෙන ඒ පක්ෂය තුළ ඇති වූ දේශපාලන අර්බුදය සහ අනෙක් පසින් ජනතාවගේ ඒ පක්ෂය ගිලිහීමෙන් අනතුරුව 2019 නැවත නව රජයක් බිහිවීම සිදු විය.

එසේම ප්‍රධාන දේශපාලන පක්ෂ බලයට පත්විය. නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය සමඟ කරනු ලබන කටයුතු ඉදිරියට කරගෙන යනු ලබයි. එසේම ආර්ථිකයේ යම් යථාවත් වීමක් සිදුවුවත් සම්පූර්ණයෙන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ග්‍රීසියට හැකියාව නොලැබුණි. ග්‍රීසිය යළි සැකසීම සඳහා කරනු ලබන පුරෝකථනයන් වන්නේ 2031 තෙක්වන වැඩසටහනක් දක්වා ගමන් කරාවි යන කාරණාව පමණි. එසේම අත්තනෝමතිකව ක්‍රියා කිරීම තුළ වේදනාකාරී තත්ත්වයන් දීර්ඝ කර ගැනීම සිදුවන බවට හොඳම නිදසුන ග්‍රීසියයි.

ඉන් අනතුරුව තුර්කිය සම්බන්ධයෙන් කතා කිරීමේදී තුර්කිය ආර්ථික අර්බුදයකට ගමන් කරනු ලබන්නේ 1994 වර්ෂයේදීය. ඉහළ රාජ්‍ය අයවැය පරතරය නිසා විනිමය අවපාතය විශාල ලෙස අවප්‍රමාණයට ලක් වීම සිදුවිය. විනිමය අනුපාතය ස්ථාවරව පවත්වාගෙන යාමට කෙටිකාලීනව ණය ලබාගනු ලැබිණි. මේ ණය බර වැඩිවීම හේතු කොටගෙන ණය අර්බුදයක් ඇතිවිය. කෙසේවුවත් අනතුරුව තුර්කිය 2001දී නැවත වරක් ආර්ථික අර්බුදයකට ගමන් කරයි. මේ අර්බුදයට මූලික වශයෙන් හේතු වන්නේ දේශපාලනික සහ මූල්‍ය ක්ෂේත්‍රයේ අස්ථාවරත්වයයි. විශේෂයෙන් බැංකු ක්ෂේත්‍රයේ අස්ථාවරත්වයක් ඇති විය. එය හේතු කරගෙන ලීරා මුදල් ඒකකය කඩා වැටීමක් සිදුවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත වරක් සාකච්ඡා කරමින් එකඟතාවයකට පැමිණීමට එහිදී කටයුතු කරන ලදී. නමුත් පසුකාලීන රජයන් මූල්‍ය පද්ධතියට අදාළ ප්‍රතිසංස්කරණයන් සිදුකරන ලදී. එහිදීද රාජ්‍ය මූල්‍ය පවත්වා ගෙන යාමට අදාළ ප්‍රතිසංස්කරණ හරියාකාරව සිදු නොවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2018දී ආර්ථිකය යළිත් වරක් කඩා වැටීමකට ලක්විය.

මුදල් ඒකකය කඩා වැටීම නිසා නැවත වරක් උද්ධමනය හා ණය බර ඉහළ යයි. මෙයට අදාළව භූදේශපාලනික හේතු ද බලපාන ලදි. එසේම ඉන්පසු නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ඉදිරියට යනු ලැබිණි. ඉහළ මට්ටමකට ණය බර පවත්වාගෙන යාම තුළ මුදල් ඒකකය කඩා වැටීමත් බැංකු ක්ෂේත්‍රයේ අවදානම්කාරී තත්ත්වයක් ඇතිවීම නිසා තුර්කියට ණය අර්බුදයකට පත්වීමටත් සිදු විය.

එසේම ඉක්වදෝරය සම්බන්ධයෙන් කතා කිරීමේදී 1999 දී ආර්ථික අර්බුදයකට ගමන් කරනු ලැබූ රටකි. එය සිදුවන්නේ ඉක්වදොරයේ මූල්‍ය අංශය මෙන්ම බැංකු සංචිත අඩුවීම හේතු කොටගෙනය. ණය බර ඉහළ යාම නිසා ආර්ථිකය ඩොලරීකරණය කිරීම සිදුවිය. එනම් රටේ ව්‍යවහාර මුදල් ඒකකය ඩොලරය බවට පත් කර ගැනීම සිදු විය. ආර්ථිකය ස්ථායීකරණය සිදු කිරීම එමඟින් ද සාර්ථක නොවීය. ඒ අනුව නැවත වරක් ආර්ථික අර්බුදයකට යෑමට සිදු විය. විදේශ ණය පැහැර හැරීමත් සිදුවිය. ඉක්වදො­්රයේ එවකට සිටි රජය ණය ප්‍රතිව්‍යුහගතකරණය මඟින් යම් සහනයක් ලබා ගැනීමට සිදු විය. 2008 දක්වා මේ ආකාරයට ඉදිරියට ගමන් කළ ද නැවත වරක් ඉක්වදෝරයේ ආර්ථිකය අඩාළ වීම සිදු විය. එරට විසින් අනෙක් රටවලින් ලැබුණ ණය සම්බන්ධයෙන් නීති විරෝධී ණය යන මතය ඉදිරියට ගෙන එන අතර එම මතය ණය ලබාදුන් රටවල් විසින් සහමුලින්ම ප්‍රතික්ෂේප කරන ලදි.

ඉක්වදෝරය ණය ප්‍රතිව්‍යුහගතකරණයට යම් සහනයක් ලබා ගැනීමක් සිදු විය. ඉක්වදෝරය නැවත ඉක්වදෝරය 2020 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගමන් කරයි. එහිදී ඩොලර් බිලියන 6.5ක පැකේජයක් ලබාදීමක් සිදු විය. ණය බර අඩුකර ගැනීමට උත්සාහ කළ ද ලබාගත් ණය සම්බන්ධයෙන් නිශ්චිත දත්ත නොමැති වීම නිසා ණය දීම සීමා කරන ලදි.

ඉක්වදෝරය විසින් 2008 ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී යම් වාසිදායක තත්ත්වයක් ඇති කර ගන්නා ලදී. නැවත වරක් ණය අර්බුදයකට නොයා සිටීමට මෙය ප්‍රමාණවත් නොවෙයි. ඉන් අනතුරුව ඉක්වදෝරයට විශාල පොලී අනුපාතයක් යටතේ මේ ණය ලබාදීම සිදු විය. එසේම එරටට ණය දීම සීමා කිරීම ද සිදු කරන ලදී.

ඉක්වදෝරයට ණය නිසියාකාරයේ කළමනාකරණය කරගැනීමට අවබෝධයක් නැතිනම් නියමාකාරයෙන් නීත්‍යානුකූලව පරිහරණය කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරවීමේ අදහසින් ණය සීමා කරන ලදී. රටේ විවිධ දේවල් සඳහා ණය භාවිත කිරීම නිසා පොළි අනුපාතිකය ඉහළ යාමටත් අනෙක් පැත්තෙන් ණය දෙන පාර්ශ්වයන් ණය සීමා කිරීමට හේතු විය. එහිදී එම රට නැවත වරක් ණය අර්බුදයකට යන ලදි.

ආර්ථික අර්බුදයකට ලක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමුවී මෑතකාලීනව ගොඩගිය රටක් ලෙස ජැමෙයිකාව පිළිගෙන ඇති කරුණක් නම් සියලු දේශපාලන පක්ෂ මහජනතාව ඇතුළු සියලු දෙනාගේම පොදු මතය එකක් වීම රටක් ගොඩනැඟීමට වඩාත් වැදගත් වන බවයි. ඔවුන් ඒ මාර්ගයේ ගමන් කිරීම තුළ අර්බුදය නැවත ඇති නොවන බව වටහාගෙන ඇත. රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්නොවීමට ජැමෙයිකාව කටයුතු කරන ලදි. එහිදී සියලු දෙනාම රට ගොඩනැඟීමට එක් ගමනක් යෑම වැදගත් වෙයි. ආර්ථික අර්බුදයට ලක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන එහෙත් නැවත නැවත අර්බුදයට යන රටවලට පූර්වාදර්ශයක් ජැමෙයිකාව විසින් සපයනු ලබයි.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division