ගෙවුණු යුද සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉටු කළේ සුළු පටු කාර්යයක් නොවේ. විශේෂයෙන්ම ඒ -9 මාර්ගයේ අලිමංකඩ හරහා යාපනය දක්වා යාම වැළැක්වීමට ත්රස්තවාදීන් විසින් කටයුතු කිරීමෙන් පසුව යාපනය අර්ධද්වීපය හා දකුණ අතර ගොඩබිම් සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිටියේය.
ඒ සබඳතා ඇනහිටීම නිසා අපට ඇති වූ අර්බුදය විසඳන්නට කටයුතු කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවය. ගුවන් හමුදාවේද විශේෂයෙන්ම 2 වන බලඝණයයි. 2 වන බලඝණය විසින් උතුර හා දකුණ අතර සබඳතා ඇති කරන්නට කටයුතු කළේ විශේෂිත ගුවන් හමුදා යානා කිහිපයක් හරහාය. ඒ අතර ඇන්ටනොව් 32 යානා ගැන අප මෙහිදී සිහිපත් කළ යුතුය.
ඒ මෙරට පැවති තිස් වසරක යුද්ධයට ලබා දුන් දායකත්වය ගැනම යළි යළිත් සිහිපත් කිරීමට පමණක්ම නොවේ. 1995 වසරේදී මෙරටට ගෙන්වන ලද ඇන්ටනොව් 32 යානා අදද මෙරට හදිසි අවස්ථාවකදී ඕනෑම අවශ්‍යතාවක් වෙනුවෙන් යොදා ගන්නා බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.
පසුගිය වසරේ පැවති ගංවතුර, නාය යාම් ඇතුළු සියලු ව්‍යසනයන්හිදී භාණ්ඩ ප්‍රවාහනය, රෝගීන් ප්‍රවාහනය ඇතුළු බොහෝ කාර්යයන් වෙනුවෙන් උර දුන්නේ ඇන්ටනොව් 32 යානාවන්ය. අද වන විටත් මෙවැනි යානා 4ක් ගුවන් හමුදාව සතුය.
යුද සමයේ හමුදාවේ මෙන්ම සිවිල් ජනතාව ද දහස් ගණනක් රෝහල් කරා ගෙනයාමට උපකාරී වූ උතුරු අර්ධද්වීපයට ගොඩබිමින් ළගාවීමට නොහැකි වූ කාල වකවානුවේදී ගුවන් මඟින් ආහාර පාන ලබාදීමට කටයුතු කළේ ද මේ යානා මඟිනි. මුහුදු මඟින් සැපයුම් කෙරුණ ද ඒ සඳහා වැය වූ කාලය වැඩිවීමත් මුහුදු කොටි ත්රස්තයන්ගේ බලපෑමත් නිසා එම කාර්යයට විශාල බලපෑම් එල්ල විය.
අද වුවද මෙරට සිදු කෙරෙන හදිසි ආපදාවන්හිදී හෙලිකොප්ටර් යානාවන්ට කළ හැකි මෙහෙය මෙන් තුන් හතර ගුණයක මෙහෙයුම් කරන්නට ඇන්ටනොව් යානාවන්ට හැකිය. එකවර මඟීන් 55ක් රැගෙන යාමට මෙන්ම ටොන් 6ක බරක් එක්වරම ගෙන යාමට ඇන්ටනොව් යානාවන්ට හැකියාව තිබේ. එමෙන්ම අඩි 29000ක් උඩින් ආරක්ෂිතව පියාසර කිරීමට ද හැකියාව ඇන්ටනොව් යානාවන්ට හැකියාව ඇත.
කාර්යයන් රැසක් සිදු කරන බොහෝ දෙනා නොදන්නා අංක 2 බලඝණය සැප්තැම්බර් 1 වෙනිදා සිය 67 වැනි වසර සමරන්නේ මෙවන් කාර්යයක් රැසක් සිදු කරමිනි. අංක 2 බලඝණය කාලාන්තරයක් තිස්සේ කළ සේවාව අඬබෙර ගසමින් එළියට දැමීමක් සිදු නොවීය.
අංක 2 බලඝණය සතු ඇන්ටනොව් 32 යනු යුක්රේනයේ නිෂ්පාදිත ගුවන් මෙහෙයුම් සඳහාම නිපදවන ලද යානාවකි. බොහෝ දෙනා සිතන්නේ යුද සමයෙන් පසුව අපට එම යානාවන් අනවශ්‍ය බවයි. අද ඒ යානාවන් නොවන්නට ස්වාභාවික උවදුරු නිසා අපට සිදුවන හානි මීට වඩා වැඩි වන්නට තිබුණි. ක්ෂණිකව ගුවන් මෙහෙයුම් වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට හැකිවීම මෙන්ම අවශ්‍ය බඩු භාණ්ඩ කඩිනමින් ප්‍රවාහනයට පියවර ගැනීමට හැකිවීම හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 2 බලඝණය ඉටු කරන්නේ සුළුපටු මෙහෙවරක් නොවේ.
පසුගියදා මේ ඇන්ටනොව් ගුවන් යානාවක් විශේෂ චාරිකාවක නියැළුණි. ඒ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද සමඟිනි. යානාව පදවාගෙන යාමේදී එහි සම නියමුවරිය (Co – Pilot) ලෙසින් කටයුතු කළේ මෙරට පළමු ගුවන් නියමුවරිය වන ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් පවිත්‍රා ගුණරත්නය.
AN 32 (ඇන්ටනොව්32) හා C-130 හර්කියුලිස් ගුවන් යානා ප්‍රවාහන ගුවන් යානාවලින් සමන්විත ශ්‍රි ලංකා ගුවන් හමුදා “Heavy Lifters” ලෙසින් හඳුන්වන අංක 2 ප්‍රවාහන බලඝණය වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ අණදෙන නිලධාරියකු ලෙස මෙන්ම ගුවන් නියමුවකු ලෙසද කටයුතු කරනු ලැබූ බලඝණයකි.
එය 1957 සැප්තැම්බර් 01 දින ප්‍රවාහන සහ මුර සංචාර කටයුතු සිදු කරමින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කරන ලදි.
1959 සැප්තැම්බර් මාසයේදී De-Havilland Heron ගුවන් යානා දෙකක් එංගලන්තයෙන් එම යානා පැමිණීමත් සමඟ නැගෙනහිරින් ඉන්දුනීසියාව සහ බටහිරින් කයිරෝ දක්වා විහිදුණු රාජකීය ලංකා ගුවන් හමුදාවේ ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා සක්‍රිය දායකත්වය ලබා දෙන ලදි .
ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් නැවත 1995 Antonov 32B ගුවන් යානා තුනක් අංක 2 බලඝණයට සම්බන්ධ කිරීම සිදු විය .
අංක 2 ප්‍රවාහන බලඝණය මානුෂීය මෙහෙයුම සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දුන් අතර මෙම බලඝණයේ ගුවන්යානා සතුරු ප්රහාරයන්ට ද ලක් විය. එහිදී HS 748 ගුවන් යානා දෙකක්, AN 32 (ඇන්ටනොව්32 ) ගුවන් යානා දෙකක් සහ Y-8 ගුවන් යානයක් එලෙස ප්රහාරයන්ට ලක්වී විනාශ විය.
පසුව අංක 2 ප්‍රවාහන බලඝණයේ ගුවන් ශක්තිය වැඩිකිරීම සදහා 1996 වසරේ දී AN 32 (ඇන්ටනොව්32) ගුවන් යානා හතරක් බලඝණයට එක්කර ගන්නා ලදි. ප්‍රවාහන මෙහෙයුම් වැඩිවීමත් සමඟ එය සපුරාලීම සඳහා 2000 වසරේ දී මෙම බලඝණය විසින් C-130 හර්කියුලිස් ගුවන් යානා දෙකක් AN 32 (ඇන්ටනොව්32) ගුවන් යානා තුනක් ද එක්කර ගන්නා ලදී.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රවාහන සේවයේ පුරා වසර 67 ක් විශිෂ්ට සේවාවක් ඉටු කරනු ලැබූ අංක 2 ප්‍රවාහන බලඝණය දේශීය හා විදේශීයව සිදුවු හදිසි අපදා තත්වයන්හිදී ද තම සක්‍රිය දායකත්වය ලබාදෙමින් මානුෂීය ආධාර ප්‍රවාහනය මෙන්ම විදේශීයන්හිදී ආපදාවන්ට ලක්වු ශ්‍රී ලංකිකයන් තම රට වෙත ප්‍රවාහනය කිරීම ද සිදු කරමින් විශාල මෙහෙවරක් සිදු කරන ලදී. මෙම බලඝණයේ පළමු අණදෙන නිලධාරියා ලෙස ෆ්ලයිට් ලෙෆ්ටිනන් පී. එච්. මෙන්ඩිස් කටයුතු කරනු ලැබූ අතර වර්තමාන අණදෙන නිලධාරියා ලෙස ලෙස ගෲප් කැප්ටන් දිනේෂ් කසාගල කටයුතු කරනු ලබයි.
බොහෝ දෙනා නොදන්නා එහෙත් ගුවනින් විශාල මෙහෙයක් සිදු කරන්නට ඇන්ටනොව් 32 යානා එලෙසින් කටයුතු කරන අතර ඒවා සුරැකිව වසර 30ක්ම මේ දක්වා සේවා දායකත්වය සපයන අංක 2 ප්‍රවාහන බලඝණය ද මෙහිදී ඇගැයීමක් කළ යුතුය.
තාරක වික්‍රමසේකර