Home » හැම බැරෑරුම් අවස්ථාවකදීම රට බේරාගත්තේ සංඝයා වහන්සේලායි

හැම බැරෑරුම් අවස්ථාවකදීම රට බේරාගත්තේ සංඝයා වහන්සේලායි

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment
රසික කොටුදුරගේ

අද අප හමුවේ ඇති අභියෝගය කුමක්ද යන්න තේරුම් ගනිමින් ඒ සඳහා අප මුහුණ දිය යුතුයි. ඒ නිසා ඉතා හොඳ සිහි බුද්ධියෙන් යුතුව අද අප රටට අවශ්‍ය නිවැරදි ජාතික නායකත්වයක් අනිවාර්යෙන්ම තෝරා පත්කරගත යුතුයි 
– අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමි‍

ජාත්‍යන්තරව එන අභියෝගවලට 1977 වසරේ සිට මේ රට තුළ දේශපාලන නායකයන් දැක දැක ඔවුන් සමඟ කතා කරල මිත්‍රශීලි වෙලා ලෝකයම අතැඹුලක් සේ දන්නා නායකයෙක් ඉන්නවා නම්, ඒ මනුස්සයා මේ වෙනකොට පුළුවන් කියා පෙන්නලා තිබෙනවා නම් ඒ මේ වත්මන් ජනාධිපතිතුමා 
– පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමි

කුත්දා (07) මාතර සණස ශ්‍රවණාගාරයේ පැවැති දකුණු පළාත් සංඝ සම්මේලනය අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමි‍යන්ගේ මූලිකත්වයෙන් ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙහි ගෞරවනීය මහා සංඝයා වහන්සේ 800ක් පමණ සහභාගිත්වයෙන් පැවැත්ව වුණු අතර, මෙම සංඝ සමුළුව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් විසින් සංවිධානය කර තිබිණි.

එහිදී මහා සංඝරත්නය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ අගය කරමින් සෙත් පිරිත් සජ්ඣ­ායනා කර ජනාධිපතිවරයාට ආශීර්වාද පළ කළහ.

මෙහිදී සමුළුව අමතමින් අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමි‍යන් පවසා සිටියේ, “ සම්බුද්ධ ශාසනයට අනතුරක් එල්ල කිරීමේ අපේක්ෂාවෙන් කවුරුන් හෝ බලය ගැනීමට වෑයම් කරනවා නම් ඒ සඳහා අප ඉඩ නොතබන බව ඉතා පැහැදිලිව කිව යුතු බවයි.

විවෘත මනසකින් මැදිහත්ව අප මෙරට පාලන ක්‍රමය කුමක්ද යන්න සකස් කරගත යුතුයි. මේ රටට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව; ඇමෙරිකාවෙන් හෝ එංගලන්තයෙන් හෝ ජර්මනියෙන් හෝ ඔස්ට්‍රේලියාවෙන් ගෙනැවිත් වැඩක් නැහැ.

මේ රටේ ඉපදුණු හැදුණු වැඩුණු මේ රටේ ජන විඥානය තේරුම්ගත් උගතුන් සහ වියතුන් සම්බන්ධ වුණු කමිටුවක් මඟින් මේ ව්‍යවස්ථාව අපිට ගැළපෙන ආකාරයට අප සකස් කරගත යුතුයි. මෙරට ජනතාවගේ චින්තනය, විඥානය යනාදී සියල්ල තේරුම් ගනිමින් එය අප සකස් කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබෙන බෞද්ධයන් වන අපගේ අයිතිය උල්ලංඝනය කරන්න අද එක්තරා මහාචාර්යවරියක් කතා කරමින් සිටිනවා. අප බලයට පැමිණි පසු එම වගන්තිය ඉවත් කරන බවට තර්ජනය කරනවා. මේ කොහෙවත් නැති පිරිස් පැමිණ මේ ආකාරයෙන් කතා කරන විට අප නිහඬව සිටින්නේ නැහැ.

අද අප හමුවේ ඇති අභියෝගය කුමක්ද යන්න තේරුම් ගනිමින් ඒ සඳහා අප මුහුණ දිය යුතුයි. රටේ ජනතාව මේ පිළිබඳ හොඳින් කල්පනා කළ යුතුයි. ඒ නිසා ඉතා හොඳ සිහි බුද්ධියෙන් යුතුව අද අප රටට අවශ්‍ය නිවැරදි ජාතික නායකත්වයක් අනිවාර්යෙන්ම තෝරා පත් කරගත යුතුව තිබෙනවා.

අභියෝග හමුවේ දෙපයින් නැඟී සිට; තමන්ට පැවරෙන වගකීම් හරිහැටි තේරුම් ගනිමින් මේ රට භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි. එනිසා ජාතියේ යහපතට තිබෙන ජාතික සම්පත් රැක ගනිමින්; රට යහපත් තැනකට ගෙන ඒ සඳහා එතුමා ඇතුළු කණ්ඩායමට මහා සංඝරත්නය ලෙස අපගේ ආශීර්වාද පිරිනමනවා.“

අනතුරුව සමුළුව ඇමතූ පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමිපාණන් වහන්සේ පවසා සිටියේ “මේ රටේ යම් සමාජ මෙහෙවරක් ජනතාව වෙනුවෙන් කළ යුතුව තිබේ නම්, ඒ සමාජ මෙහෙවරට දේශපාලනය කියන නම යෙදුණත් එය බෞද්ධ භික්ෂුව විසින් ඉටුකළ යුතු මෙහෙවරක් වෙනවා. එය ඉටු කරනු ලබන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෑමට නොව රජුන් හැදීමට පමණයි යන කාරණාව 1946 පෙබරවාරි 12 වැනිදා භික්ෂුවගේ ප්‍රකාශය හැටියට ප්‍රතිගාමීන් පරදවා ප්‍රගතශීලි නායකත්වයක් දෙමින් ප්‍රකාශ කළා.“

මෙහිදී සමුළුව අමතමින් හිටපු ආමාත්‍ය දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියේ, “ අපි මේ රටේ හැම බැරෑරුම් අවස්ථාවකදිම සංඝයා වහන්සේලාගේ ආශීර්වාදය ලබා ගත්තා. මට මතකයි යුද්ධය පැවති අවස්ථාවෙදි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා එළිමහනෙදි පවත්වපු ජය පිරිත; පිරිත අවසන් වෙනකොට අපේ හිතට විශාල ශක්තියක් ලැබුණා. ඒ ශක්තිය අපේ නායකයන්ට ලබා දුන්නා. ගෞරවනීය හමුදුරුවන් වහන්සේලා ඒ කරපු ආශීර්වාදය එදා යුද්ධය ජය ගන්න විශාල පිටිවහලක් වුණ බවයි මගේ පිළිගැනීම. ඉතිහාසය දිහා බැලුවම ඒ ඉතිහාසයේ සෑම අවස්ථාවකදිම අපිට අපේ සංඝයා වහන්සේලාගේ ආශීර්වාදය හිමි වුණා. මේ රටේ ඉතිහාසයේ ඕනම බැරෑරුම් අවස්ථාවක රට වෙනුවෙන් පෙනී සිටියේ අපේ මහා සංඝරත්නය. අපට බුද්ධ ධර්මයත් එක්ක බැඳුණු සංස්කෘතියක් හා ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතය කාටවත් වෙනස් කරන්න බැහැ. ඒක වෙනස් කරන්න ගිය හැම අවස්ථාවකදිම ස්වභාවධර්මය ඒකට ඉඩ දුන්නෙ නැහැ. මේ රටේ මීට අවුරුදු දෙකකට උඩදි තිබුණු තත්ත්වය ඔබ වහන්සේලා සියලු දෙනාම දන්නවා. අපිට අපේ ජීවිතයක් තිබුණේ නැහැ. අපිට අපේ රටක් තිබුණේ නැහැ. අපිට අපේ දරුවන්ගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ බලාපොරොත්තුවක් නැති වෙලාවේ මේ රට භාර ගන්න කවුරුවත් හිටියෙ නැහැ.

ඒ වෙලාවේ රජය පාර්ලිමේන්තුවේ හිටිය හැම කෙනකුටම ආරාධනයක් කරා මේ රට භාර ගන්න කෙනෙක් ඉන්නව නම් මේ රට භාර ගන්න කියලා. නමුත් කවුරුවත් භාර ගත්තෙ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාර ගත්තා. භාර අරගෙන වසර දෙකක් ඇතුළත මේ රටේ තිබුණු ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අපේ හමුදුරුවනේ අද එතුමා නැවතත් අවුරුදු පහකට මේ රට භාර ගන්න සූදනම් වෙලා ඉදිරිපත් වෙන වෙලාවේ අපිට අත්හදා බැලීමකට වෙන කෙනකුට දුන්නොත් මොකක්ද වෙන්නෙ කියලා අපි සියලු දෙනාම කල්පනා කරල බලන්න ඕන.

ඔබවහන්සේලා සියලු දෙනාටම මේ රට ආරක්ෂා කර ගැනීමේ අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා. ඒකට එදා ඔබවහන්සේලා පෙනී සිටියා වගේම; ඔබ වහන්සේලා මේ වෙලාවේ මේ රට වෙනුවෙන් පෙනී සිටිය යුතුමයි කියන එකයි මේ සඟ සමුළුවෙදී අපේ බලාපොරොත්තුව. අපේ බලාපොරොත්තුව බව හෙතෙම පෙන්වා දුන්නාය.

අනතුරුව සමුළුව ඇමතූ එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ආමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

“ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගිනි ගත්ත රට නිවන්න සම්පූර්ණයෙන්ම භාවිත කළේ මගේ කල්පනාවේ හැටියට බුදුදහමයි. ජූලි මාසයේ 9 වෙනිදා එතුමන්ගේ නිවෙස ගිනි ගන්නා විට මට මතකයි එතුමාගේ ආරක්ෂක අංශ කිව්වා මෙතැනින් ඉවත් වෙන්න කියලා. මම දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවකට අගමැති ලෙස කිසිදු බයකින් සැකයකින් තොරව ඒ ප්‍රශ්නයට බුදුදහම අනුව මුහුණ දීපු ආකාරය. එතුමා උදෑසන ඒ ගිනිදැල් දිහා බලන්නෙවත් නැතිව මේ රටේ සුවහසක් ජනතාවගේ ගිනිදැල් නිවන්න කටයුතු කළ ආකාරය….

දැන් මේ රටට මෙතනින් එහා යන්න පුළුවන් වෙන පාරක් නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පහුගිය අවුරුදු දෙකේදී බැලුවේ මුළු පාර්ලිමේන්තුවම එකට එකතු කරගන්න. වාද භේද නැති කරගන්න. නමුත් ඒ වාද භේද අදටත් තිබෙනවා. මම දන්න දේශපාලනය අනුව අද මේ ගම්වලට ලැබෙන රතු පාට වෙන්න පුළුවන්; වෙනත් පාට වෙන්න පුළුවන් මේවා විශාල ආයෝජන. මේවා පිටිපස විවිධ බලවේග තිබෙනවා. නමුත් අහිංසක ගමේ පුරවැසියන් මේවා දන්නේ නැහැ. එය තමයි සත්‍ය.

මම පාර්ලිමේන්තුවේදී ඒ කතාව කරලා එනකොට අපේ විදේශ අංශයේ ලොක්කෙක් කතා කරලා කියනවා, ඉක්මනට හම්බෙන්න පුළුවන්ද කියලා. මොකද මම කියනවා මගේ කතාවේදී වෙඩික්කරුවෙක් අහු වෙන්න පුළුවන්. නමුත් මූලාශ්‍රය හම්බෙන්නේ නැහැ කියලා. හොයන්නත් එපා, හොයලා පලකුත් නෑ කියලා මම කියනවා.

ඉතින් අවසානයේදී මට කියන්න තිබෙන්නේ නිදහසින් පසුව මේ ක්‍රියාත්මක වන බලවේග අප පරාජය කළ යුතුයි; ඒ සඳහා අප සියලුදෙනා අවදියෙන් ක්‍රියා කළ යුතුයි, ඒ සඳහා සැප්තැම්බර් 21 වන දින කියන්නේ ජාතියට ඉතා වැදගත් දිනයක් හැටියටයි මා කල්පනා කරන්නේ. එය ආරක්ෂා කිරීම කළ හැක්කේ අපට වගේම ඔබවහන්සේලාට. ඔබවහන්සේලා ඒ සඳහා ජාතියට සදාකල් නායකත්වය සපයා තිබෙනවා. තවදුරටත් ශ්‍රී ලංකාවට ඒ ආශීර්වාදය ලබා දෙන්නැයි හෙතම පැවැසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, කංචන විජේසේකර ඇතුළු දේශපාලන අධිකාරිය ඇතුළු පිරිසක් සහභාගී විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division