ඉන්දීය නිර්මාණකරුවන් හය දෙනෙකුගේ කෙටිකතා අටක එකතුවකි මේ. මෙහි මුල්ක් රාජ් ආනන්ද් සහ ගංගාධාර් ගජිල්ගේ කෙටිකතා දෙක බැගින් සහ යෝගී රාජ් වාග්මෝග්, බල්වන්ත් ගර්ජි, ආන්නා බහුසාද් සහ ප්‍රවීන් පත්කාර් යන ලේඛකයන්ගේ කෙටි කතාව බැගින් ඇතුළත් ය.
ඉහත නිර්මාණකරුවන් අතරින් මුල්ක් රාජ් ආනන්ද් හැර අනෙක් අය සිංහල පාඨකයන්ට අන් තැනක දී හමු වී නැති බව මගේ වැටහීම වේ.
මීට අමතරව සමන් වික්‍රමාරච්චි විසින් සපයන ලද ‘ඉන්දියානු කෙටිකතා කලාවේ විකාශය’ යන මැයෙන් යුතු සාරවත් නිබන්ධයක් ද මෙහි අන්තර්ගත ය.
මේ නිර්මාණ අටෙන් හතක් ම පොදු වශයෙන් අනුවේදනීය ඒවා ය. දරිද්‍රතාව හා හීන ජන්මය නිසා සමාජය විසින් පෙළනු ලබන තුන්වන පන්තියේ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සිද්ධි ඇසුරින් නිර්මිත මේ කතා කිසිවිටෙකත් අපට ආගන්තුක සේ නොහැඟෙනු ඇත.
‘ඇනාව’ නමින් යුත් මෙහි ඇතුළත් මුල් ම නිර්මාණය ගංගාධාර් ගජිල් නම් ඉන්දීය ලේඛකයාගේ ය. හවුහරණක් නැති වීදි දරුවන් දෙදෙනකු වටා ගෙතෙන මෙය අපේ සිතේ කනස්සලු සහගත බවක් ශේෂ කරයි.
මෙහි ඇත්තේ චරිත දෙකකි. එකිනෙකාට නෑ සබඳකමක් නැති පිළිවෙළින් සිව් සහ තුදුස් වියැති පිරිමි ළමෝ දෙන්නෙක් මෙහි චරිත වෙති. බාලයා වන ශ්‍රීපත් වන අතර ඔහු වැඩිමලා වන සෙයියදුගේ හිංසනවලට නිරතුරු ලක් වන්නෙකි. යොවුන් වියේ බිහිදොර සිටින සෙයියදු සැමවිට ම අතෘප්තියෙන් සහ ඉන් නිපන් කෝපයෙන් සිටින අයුරු කර්තෘ මැනැවින් නිරූපණය කරයි. තමාට මොන තරම් හිංසා කළත් පොඩි එකා ඔහුට ආදරේ ය. ඔහු සෙයියදුට මාමා කියා ඇමතුවත් සෙයියදු ඔහු අමතන්නේ පිම්පියා, කාලකණ්නියා වැනි වදන් භාවිතයෙනි. එදා තරමක් ලොකු කොල්ලෙක් සෙයියදුට නැඟිට ගන්නට බැරි වන තරමට පහර දෙයි. ශ්‍රීපත්ගේ සිතේ මහා දුකක් ඇති වෙයි. ඔහු සෙයියදු සනසන්නට තමාට ලැබුණු එක් ඇනාවක කාසියක් ඔහුට දික් කරයි. සෙයියදු ඔහුගේ අතට පාපහරක් එල්ල කරයි. කාසිය විසිවී ගොස් වැටෙයි.
දෙවැන්න මුල්ක් රාජ් ආනන්ද්ගේ නිර්මාණයකි. එය මෙහි ‘හීන දකින්නා’යනුවෙන් නම් කොට තිබේ. දේවාකි නන්දන් පාණ්ඩේ ලෙස තමන් හඳුන්වා දෙන යොවුනකු ගැන මේ කතාව ගෙතෙයි. ඉහත සඳහන් සෙයියදු හා සම වයසේ යයි සිතිය හැකි මොහු සෙයියදු මෙන් නොව ප්‍රසන්න හැසිරීම් ඇත්තෙකි. ඔහුට දෙමාපියකු නැත. එහෙත් කියන්නේ මව සිටින බවකි. ඔහු ලොකු වුණාම බෞද්ධයකු වන්නට සිහින දකියි. මන්ද යත් හින්දු ආගමේ ඔහු වැනි හීන ජන්මීන් පහත් කොට සලකන හෙයිනි. ඔහු ගැන දන්නා කෙනෙක් කියන්නේ ඔහු ගෞතම බුදුන් වන්නට සිහින දකින බවයි.
‘කඩා හැලීම’ ලෙස නම් කොට ඇති යෝගිරාජ් වාග්මෝර්ගේ කෙටිකතාව මහාර් නම් හීන කුල ජන්මියකු වන සිටීබා නම් තරුණයා ගැන ය. අන්ත දිළිඳු, නිරන්තර සාගින්නෙන් පෙළෙන පවුලක සීකු නම් අයකුගේ පුතා වන ඔහු මෙට්රික්‍යුලේෂන් විභාගය සමත් ව තුන් අවුරුද්දක් ගෙවී ගොසිනි. මේ ගම්මානයේ ඔහුගේ කුලයේ මෙතරම් ඉහළට ඉගෙන ගත් එකම පුද්ගලයා ඔහු ය. අද ඔහු සීනි කම්හලේ රැකියාවක් ලැබෙනු ඇතැයි විශ්වාසයෙන් එහි ගියේ ය. එහෙත් කාර්යාලයයේ පුරප්පාඩු නැති බව දන්වනු ලැබිණි. ලොරිවලට උක් පැණි මණ්ඩි පැටවීම සඳහා කම්කරු නම් පුරප්පාඩු තිබේ. පසුදා ඔහුගේ පියා සීකු, කුලයේ වැඩිහිටියන් කැඳවා සිය පුතා වටන්දරියේ නම් කසල ශෝධක කුලයේ අයට නියමිත රැකියාවකට යවන්නට ඔවුන්ගෙන් අවසර ඉල්ලයි.
‘සැතපුම් සියය’ නම් කෙටිකතාව ඊළඟට එයි. දවසක් තුළ සැතපුම් සියයක් දුවන්නට හැකියාව ඇති තරුණයකුගේ ඉරණම හා එහි ගැබ්ව ඇති ඛෙදය එහි කියැවෙයි. මෙහි නිර්මාපක බල්වන්ත් සිං ගර්ජි නම් වෙයි.
‘මිනී වළෙන් රත්තරං’ ලෙස නම් කරනු ලැබ ඇති අන්නා බාහුසාද්ගේ නිර්මාණයේ අන්තර්ගතය, කතා රසය නොමඳව ගෙන දෙන අපූරු කතන්දරයකි.
හැඩි දැඩි ශක්තිවන්ත බීමා විරැකියාව නිසා දුකට පත් වූවෙකි. අවසානයේ ඔහුට ගල්වළක රැකියාවක් ලැබෙයි. ඔහු උපරිම ශක්තියෙන් ගල් කඩමින් එහි වැඩ කරන අතර ගල්වළ වැසී යයි. දැන් ඉතින් ජීවත් වන්නේ කෙසේද? සිය බිරියගේ සහ දරුවාගේ අවශ්‍යතා සපුරාලන්නේ කෙසේද? මෙසේ සිතමින් වැඩපළේ සිට පෙරළා නිවෙස වෙත ඔහු ආපසු එයි. ඒ එන්නේ සොහොනක් මැදිනි. පිලිස්සු මිනියක ශේෂ වූ ඇට කැබලි අතරේ දිලිසෙමින් පැවැති රන් මුදුවක් ඔහු ඇහිඳ ගනී. එය අලුත් මුදල් ඉපැයුම් මාර්ගයකට ඔහු යොමු කරවයි. ඉන්පසු ඔහු ආදාහන ගැන විපරමෙන් සිට ඒවායේ ඇති රන් තමා සන්තක කර ගනී. මෙලෙස කලක් ගතවෙයි. ඔහුගේ බිරිඳට නම් මේ වැඩේ අපුල ය. එහෙත් ඔහු නොකඩවා එය කර ගෙන යයි. දවසෙක අවාසනාව ඔහු මත පතිත වේ. සොහොන අසල කැලයේ සිටි සිවල් රංචුවක් මිනී ගඳට ඔහු වෙත කඩා පනිති. මේ වනවිට ඔහු මිනියේ මුව තුළ ඇඟිළි දෙකක් රුවා එතුළ රන් ඇද්දයි සොයමින් සිටියි. කලබලය නිසා මිනියේ දත් දෙපල මෑත් කරන්නට ඔහු යොදා ගෙන තිබූ යකඩ පතුර ගැලවෙයි. දැන් දත් ඇන්දට ඔහුගේ ඇගිලි දෙක තද වෙලා ය. ආපසු අදින විට ඒවා මැද පුරුකෙන් ගැලවෙයි.
පසුදා ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ගල්කොරියේ වැඩ නැවත ඇරැඹී ඇති බවයි. එහෙත් දැන් ඔහුට එහි වැඩට යා නොහැකිය.
මේ කෙටිකතා එකතුවට නම දී ඇති ‘කල්ප විනාශයට තවත් නමක්’ ඊළඟ නිර්මාණයයි. ප්‍රවීන් පත්කාර්ගේ කෙටිකතාවක් වන මෙය ඒඩ්ස් රෝගයෙන් වන විනාශය පිළිබඳව සාකච්ඡා කරන්නකි.
මුල්ක් රාජ් ආනන්ද්ගේ ‘සාවිත්‍රි’ ඊළඟ කතාවයි. එය දැනට තහනම් සති පූජාව වටා ගෙතුණකි. සැමියා මිය ගිය විට ඔහුගේ සෑයට පැන බිරිඳ දිවි පිදිය යුතුය යන සම්මතයක් හින්දුන් අතර පැවැතිණි. මෙහි එන සාවිත්‍රි එලෙස පණ පිටින් ම අමු අමුවේ ගින්නට බිලි දෙන්නට ඇගේ සැමියාගේ නෑයෝ කටයුතු කරති.
මෙහි අවසන් නිර්මාණය ගංගාධාර් ගජිල්ගේ ය. එයට දී ඇති නම ‘ඉරණමක හැටි’ ය. තමාගේ මරණය කිසිවකුටත් කරදරයක් නොවන ආකාරයෙන් විය යුතු ය’යි සිතන මනුෂ්‍යයකුගේ මරණය සහ මරණයෙන් පසු ඔහු “මුහුණ දෙන” ගැටලු මේ කතාවේ විස්තර කෙරෙයි. මෙහි ඇතුළත් අනෙක් ඒවාට තරමක් දිගින් වැඩි මේ කතාව උපහාසාත්මක වන අතර සදය සිනාවක් මුවට නංවන්නකි.
‘කල්ප විනාශයට තවත් නමක්’ කෙටිකතා එකතුව උපාලි තිලකරත්නගේ කෘතියකි.