Home » සෞභාග්‍යය උදා කරන ගුරුදේවි යන්ත්‍ර රත්නය

සෞභාග්‍යය උදා කරන ගුරුදේවි යන්ත්‍ර රත්නය

වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)

by gayan
September 14, 2024 12:30 am 0 comment

සිළුමිණ “ඉසිවර” පාඨක පින්වත් ඔබ වෙත මම අද ඉදිරිපත් කරනු ලබන මෙම ‍ප්‍රබල බුද්ධ යන්ත්‍රය “ගුරුදේවී” යන්ත්‍ර රත්නයයි. බුද්ධ යන්ත්‍ර අතර ඇති ඉතා රහසිගතව ඇදුරන් විසින් තමන්ගේ සෞභාග්‍යය වෙනුවෙන් පමණක් යොදාගත් අති මහත් සෞභාග්‍යයක් උදා කර දෙන මෙම යන්ත්‍ර රත්නය නියමිත විද්‍යානුකූල ක්‍රමයට පහත සඳහන් ලෙස සකස් කර ගෙන ඔබගේ ජීවිතයට සැබෑම සැනසීමක් උදා කරගන්න. මෙම උතුම් යන්ත්‍ර රත්නය කිසිවිටෙකත් මුදල් හෝ වෙනත් ලාභ අපේක්ෂාවකින් කෙනෙකුට සකස් කර නොදෙන්න. ඉමහත් කරුණාවකින් යහපත උදෙසාම සිදුකර දෙන්න. පිළිවෙත් ගරුකව තමන් විසින්ම සකස්කර පුදපූජා පවත්වා තමන් විසින්ම ජීවම් බල පිහිටුවා ප්‍රයෝජනයට ගන්න.

මෙය අතිශයින්ම ශ්‍රේෂ්ඨ අංකයෙහි ලා සැලකෙන බුද්ධ යන්ත්‍රයකි. මෙහි මැද ඇති බුද්ධ රූපයට වමෙන් යම රජ ගජ ශ්‍රී – සමන්දෙවි සහ දකුණු පසින් විෂ්ණු නාථ නැවත මෙත් බෝසත් යන දේව රූප ද දැක්වෙයි.

මැද කොටසෙහි දැක්වෙන්නේ බෝධියට පිට දී බුද්ධ රශ්මි මාලා සහිතව විදුරසුන් අරා වැඩ සිටින බුදුරජාණන් වහන්සේත්, වජ්‍රාසන පල්ලයෙන් දැක්වෙන ත්‍රී සුලන් හයකුත්ය.

ගුරු දේවී යන්ත්‍රයේ ලක්ෂණ ප්‍රකාශිත පද්‍ය කීපයක්ද අපගේ තරමක් පැරණි පිටපතක තිබී හමුවිය. අව්‍යක්ත ලක්ෂණයන්ගෙන් යුක්ත වුව ද තිබුණු තත්වයෙන්ම එය ද මෙහි ලා සඳහන් කරමි.

දුමිඳු සිරසට පිහිටුවා ගෙන අවට බුදු රැස් විදුරසුන් සිට

එමැද දෑලේ දුමිඳු පිහිටා විෂ්ණු යම රජ පිහිටුවා සිට

රැගත් යමරජ කගය දරමින් විෂ්ණු ධනුවක් රැගෙන වැඩ සිට

බලත් දෙපතුල් දෑත් අල්ලේ එදිවනෙත ඇති විෂ්ණු දෙවි ඳුට

එවජ්‍රාසන දෙකොණ දෑලේ නාන ගජ ශ්‍රී සමව දෙන් නේ

සුගත් එන මෙත් පුන්කලසකින් සමන්-දෙවිඳුන් කොන්ත දුන් නේ

දිමුත් ආසන පල්ලයෙන් ගිය ත්‍රිසූළං හය අඳින් නේ

මහත් ජනපද සියලු අනවින යක්ඛූත බය දුරුකරන් නේ

අකුණු හෙණ වගවලස් විස ගොර සතුන්ගේ බිය දුරු වෙනා

දකුණු අත පිරිසිදුව යන්ත්‍රය මල් පහන් දුම්මල ගෙනා

මෙකුණු කය වත රෝග බියකරු වෙඩි දඊසැර නොව දිනා

ලකුණු දැනගෙන මෙගුරු දෙවී යන්ත්‍ර පේකර සනි දිනා

 සාදන ක්‍රමය

සම සතරැස් තඹ තහඩුවක් ගෙන සුබ දිනෙක සුබ හෝරාවකින් යන්ත්‍රය ඇඳ ජප කටයුතු නිමවා නිවසේ හෝ වෙළඳ පළේ පිරිසිදු ස්ථානයක් වෙන්කර උස් ස්ථානයක යනත්‍රය තැන්පත් කර තබනු. ස්ථානය ඉතා පිරිසිදුව තබා ගන්නා අතර නිතර දෙවේලේ පහනක් දැල්වීම ද මැනවි. එසේම වරින්වර සුවඳ දුම් දීම, කපුරු හඳුන්කූරු දැල්වීම ආදිය කෙරෙත් නම් අපේක්‍ෂිත ප්‍රතිඵල වඩාත් සඵල වන බව කිව යුතුය.

 තමන් කර පැලඳීමට

මේ යන‍්‍ත්‍රය කර පැලඳීමට ද ඉතා මැනවි. ඒ සඳහා පිළියෙල කිරීමේදී රන් ගෑ තඹ තහඩුව යනත්‍රය ඇඳිය හැකි පරිදි නිසි දිග පළලින් යුතුව හැකි තරම් කුඩා තත්‍වයකට සකස් කර ගත යුතුයි. ඉතා සියුම් අන්දමින් යන්ත්‍රය ඇඳ ගත යුතුයි. මේ යන්ත්‍රය කර පැලඳීමට පිළියෙල කර ගැනීමේදී සාමාන්‍ය අනිකුත් යන්ත්‍රවල ප්‍රමාණයට සකස් කිරීම අසීරුය. එයින් හැකි තරම් කුඩාකර ගැනීමට හැක්කේ යන්ත්‍රය අඳින්නාගේ දක්‍ෂකම උඩය.

 ජීවම් පිළිවෙළ

මෙය සඳහාම වෙන්කර ගත් කාමරයක් තුළ හෝ දෙවොලක හෝ එබඳු තත්වයක් උසුලන ස්ථානයක් මේ සඳහා හතර සීමා වෙන්කර ජීවම් ආසනය රියනක් පමණ උසට තනා සතර දොරටු වෙන්කර කලස් තබා වියන් බැඳ පුවක්මල් කිනිති, නා කිනිති, බුලත් ගිරිද එල්ලා සකස් කර ගත යුතුයි. නැවත කලස්වලට ඊතණ, සහල්, පැන්, දෙසිඵල, අඹදලු, පොල්මල් දමා පහන් දල්වා ජපාසනය ද පංචෝපචාරයෙන් සරසා එළකිරි පලතුරු යනාදිය තබා ඉතා පිරිසිදුව ජප ක්‍රියාව පටන් ගත යුතුය. වත් රැකීම පෙර යන්ත්‍රයට කී පරිදිය.

 යන්ත්‍ර පේ කිරීම

යන්ත්‍රය පේ කිරීමේදී මුලින් කී සියලු පූජා ද්‍රව්‍ය තබා ලද පස් මලින් ආසනය සහ භූමිය විසුරුවා පහන් වැටෙන් සරසා තුන් සූත්‍රය, මහා සමය සූත්‍රය ආදී පිරිත් සජඣායනය මැනවි. නැවත සියලු දෙවියන්ට කන්නලව් – ස්තෝත්‍ර – කවච ආදිය කර දිෂ්ටි ගෙන්වා ජපාරම්භ කළ යුතුයි.

 ලද පස් මල්

සමන්පිච්ච පොහොට්ටු, ඊතණ, එලඅබ, සුණුසහල් හෝ බැදිසහල්, විලඳ.

 මෙහි ගුණ

සියලු අනවින දෝස දුරුව, යක්ෂ ප්‍රේත පිශාච දොස් දුරු කරවයි. වසංගතාදි බෝවෙන රෝග වළකයි. වෙඩි භය හෙණ භය වළකයි. ඇතුන් වග වලසුන්ගෙන් වන භය වළකයි. විෂඝෝර සර්පයින්ගෙන් වන සියලු උවදුරු දුරු කරයි. සියලු ග්‍රහ අගුණ වළකයි. රැකීරක්‍ෂා – වෙළහෙළඳාම් දියුණුව කරා ළඟා කරයි. උතුමන්ගේ ඇසුරත් උපකාරයත් ලැබී සතුරන් මිතුරු කරවයි. නොකී ගුණ බොහොමයි.

 ජපය

සබ්බපාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියො දපනං

එතං බුද්ධානු ශාසනං

ඕ ජගතාය ජගත් චක්‍රාන් සර්ව මූර්ති

සර්‍ව සෝභිත් ජගධාර

අසමින් යන්ත්‍ර ප්‍රාණ ප්‍රතිෂ්ඨාන්

කුරු කුරු කරෙසවඃ෴

 ජප වාර සංඛ්‍යාව

දස දහස් වරයි (වැඩි වූ තරමට හොඳයි).

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division