එරික් ඉලයප්ආරච්චි කවියෙකි; කෙටිකතාකරුවෙකි; නවකතාකරුවෙකි; සාහිත්‍ය විචාරකයෙකි; නූතන චිත්‍ර කලාව හා සිනමාව පිළිබඳ විවරණාත්මක අධ්‍යයනයක නිරත වන්නෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජ සහ තර්ක ශාස්ත්‍රය හදාරමින් එහි ව්‍යාපාර අධ්‍යයන විෂයයෙන් බිහි වූ පළමු උපාධිධාරී කණ්ඩායමට අයත් වන්නෙකි. සිය විෂය පථය එය වුව ද හේ කලාත්මක හැදෑරීම් කෙරෙහි ආසක්ත බවක් දරමින් සිංහල නිර්මාණකරණ ක්ෂේත්‍රයට නවකතා, කෙටිකතා, කවි, සාහිත්‍ය විචාර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් සක්‍රිය දායකත්වය දක්වයි.
කිහිපවරක් ම රාජ්‍ය, ස්වර්ණ පුස්තක, විද්‍යෝදය හා ගොඩගේ ඇතුළු සම්මාන දිනා ගත් හේ නිර්මාණකරණයේ විවිධ ප්‍රභේදවල සුරුව සැරීම ද විශේෂත්වයකි. මෙවර විද්‍යෝදය විශිෂ්ටතම නවකතාව ලෙස සම්මානයට පාත්‍ර වූයේ ද එරික් විසින් රචිත තිවංක කතාවයි. මේ ඔහු සමඟ ඒ පිළිබඳ කළ සංලාපයක සංක්ෂිප්තයයි.
ලංකා රාජ්‍යයේ අර්බුදයේ කතාන්දරය ඔබ තිවංක කතාව ලෙසින් ප්‍රබන්ධගත කරනවා. ප්‍රබන්ධය කියන්නේ සත්‍යයත් කල්පිතයත් අතර දෙයක්. මෙවැනි මාතෘකාවක් තෝරා ගැනීමේදී ඔබට ප්‍රබන්ධකරණයේ සීමා ඇති වූවා ද?
ලංකා රාජ්‍යයේ අර්බුදය ප්‍රබන්ධ මාතෘකාවක් කර ගැනීම කොයි තරම් දුෂ්කර වුණත් එය තෝරාගත යුතු බව මා සිතුවා. මා පටන් ගත්තේ ඒ හිතුවක්කාර තොරා ගැනීමෙන්. ඒ තෝරා ගැනීම සම්බන්ධයෙන් මට විකල්පයක් ඉතිරි වී තිබුණේ නැහැ. ඒ තෝරා ගැනීම නිසා මට ප්‍රබන්ධකරණයේ දී ඇති වූ සීමාවලින්ම නවකතාව ගොඩනැඟුණා කියන්න පුළුවනි. මට විසඳුම් තිබුණේ ප්‍රබන්ධ කලාව ඇතුළත ම යි. මා ඊට විසඳුම් වෙන තැනක සෙව්වා නම් අද ඔබ සමඟ මේ සාකච්ඡාව සිදු වන්නේ නැහැ.
මා මුලින් ම කැමතියි ඔබගේ බුද්ධිමත් ප්‍රශ්නයට යෝග්‍ය ප්‍රතිචාරයක් ලෙස මා සොයා නොගිය විසඳුම්වලින් කතාව පටන් ගන්න. රාජ්‍යයේ අර්බුදය පිළිබඳ ප්‍රබන්ධයට මට දේශපාලනික වශයෙන් පාක්ෂික හෝ නිර්පාක්ෂික විසඳුම් සොයන්න තිබුණා. එසේ කළා නම් බිහි වන්නේ එක්කෝ ජනතාවාදී හා ප්‍රචාරකවාදී නවකතාවක් නැතිනම් ව්‍යාපෘතිවාදී හා වැඩසටහන්වාදී නවකතාවක්.
එවිට සමහර විට මා තෝරා ගත් රාජ්‍යයේ අර්බුදය පිළිබඳ තේමාව ඒ විසඳුම්වලට අනුව දියාරු වන්නටත්, විකෘති වන්නටත් තිබුණා. එහෙම කළා නම් බිහි වන්නේ යථාර්ථවාදී සාහිත්‍ය කෘතියක් නොවේ. හෑල්ලක්.
යථාර්ථවාදී ප්‍රබන්ධ කලාව තුළ විසඳුම් සෙවීමේ දී සියල්ලට වඩා මුල් වන්නේ කතාන්දරය පිළිබඳ අදහසයි. උසස් ප්‍රංස නවකතාකරුවකු හා ප්‍රකට දාර්ශනිකයකු වූ ශොන් පෝල් සාත්‍ර විසින් කතාන්දරය හඳුන්වන ලද්දේ ‘කතා කීමේ මෝඩ වැඩේ’ හැටියටයි.
සම්ප්‍රදායික යථාර්ථවාදී නවකතාව ගෙතෙන්නේ කර්තෘ කෙනෙකු නොපෙනෙන, පුද්ගලික හඬක් නොඇසෙන හා කතා කීමේ මෝඩ වැඩේ නැතිව බව ඔහු පැවසුවා. ඒ වෙනුවට ලේඛකයා කළ යුත්තේ ජීවිතයට හැකි තරම් සමීප අවස්ථාවලට පාඨකයා යොමු කරමින් අවධානය ගිලිහී යා නොහැකි ලෙස රඳවා ගැනීම යි. ඔබ දකින ප්‍රබන්ධකරණයේ සීමා ජය ගැනෙන්නේ ඒ අයුරින් බව යි මට සිතෙන්නේ.
නවකතාකරුවකුගේ අභියෝගය වන්නේ කයිකතන්දර කීමේ මෝඩ වැඩේ නැතිව කතාව කීම යි. ඒ සඳහා නවකතාකරුවකුට ආගම් ධර්මවල දී ඇති වන දැඩි භක්තිය, දේශපාලනයේ දී පවතින දැඩි දේශපාලන අධිෂ්ඨානය වැනි හැඟීමකින් සිය ප්‍රබන්ධය තුළ ඉවසීමෙන් කටයුතු කරන්නට සිදු වෙනවා. එය භක්තිකයාට හෝ දේශපාලනිකයාට හෝ කරන්නට නොහැකි දෙයක්.
ඔබ තිවංක කතාව ගොඩනඟන්නේ තුන්වක නමින් කොටස් තුනක් ඔස්සේ. ඒ කොටස් ඇතුළෙත් ඔබ විවිධ අත්හදාබැලීම් කරනවා. නවකතාවේ ප්‍රගමනයට ආකෘතික අත්හදාබැලීම් කවරාකාර බලපෑමක් එල්ල කරනවද?
රාජ්‍යය කියන්නේ සමාජයක මුඛ්‍ය හා අනිවාර්ය සංවිධාන මෙවලම නිසා සාරාර්ථ වශයෙන් මූලික වූ සාහිත්‍ය ආකෘතියක් සොයා ගතයුතු බව කල්පනා කරමින් පුරාණ ප්‍රතිමා කලාවේ දැකිය හැකි තිවංක සංකල්පය යොදා ගන්නට සිතුණා. එය රාජ්‍යය අහිමි වූ මොහොතක වුවමනා වූ ආකෘතිවාදී දොඹකරයක් කියන්නට පුළුවනි.
මේ ප්‍රබන්ධය ඇතුළෙ ‘ඉතිහාස කාලය’ වර්තමානය හා අතීතය ලෙස හඳුනා ගෙන හැකිළවීමක් සිදු වෙනවා. ඒ කාල ද්විත්වය වර්තමානය – අතීතය – නැවතත් වර්තමානය වශයෙන් අනුපිළිවළින් එක්තැන් වෙන්නේ තිවංක ආකෘතියෙන්.
මේ අදහස ලෝක සාහිත්‍යයේ තිබුණා. ටී. එස්. එලියට්ගේ ‘ෆෝ ක්වාටර්ස්’ කාව්‍යය පටන් ගන්නේ වර්තමානය හා අතීතය යන දෙක ම අනාගතය තුළ හා අනාගතය අතීතය තුළ මෙරට සංස්කෘතිය හා බුද්ධිමය දේපළත්, රාජ්‍යත්වයත් අතර තියෙන සම්බන්ධය ඔබ දකින්නේ කොහොමද?
තාවකාලිකව හෝ රාජ්‍යත්වයේ අහෝසි වීමක් කියන්නේ බරපතළ දෙයක්. එය රාජ්‍යයක් යනු සමාජයක අවසාන තාර්කික ඉරණම ය කියන සම්ප්‍රදායික අදහස පරම අර්බුදයකට යෑමක්. එවිට බලය පිළිබඳ සන්නද්ධභාවයෙන් නිදහස් වන සංස්කෘතිය හා බුද්ධිමය දේපළ කිසියම් ස්වාධීනත්වයක් ලබා ගනිමින් රාජ්‍යය සමඟ තිබුණු හා තිබිය යුතු සම්බන්ධය පිළිබඳව සංවාදාත්මක හා විචාරාත්මක වෙනවා.
එතෙක් සංස්කෘතික හා වාමාංශික කවවලට සීමා වී තිබුණු අදහස් උදහස් පොදුජන ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න පටන් ගන්නවා. එය නිර්මාණාත්මක සංසිද්ධියක් වුණත්, බිහිසුණු රාජ්‍ය හා සංස්කෘතික නිමේෂයක්. සංස්කෘතිය හා බුද්ධිමය දේපළ වෙනුවට කෝපාවිෂ්ට ජන සංඝ සමාජ ප්‍රකාශකයන් හා ක්‍රියාකාරීන් බවට පත්විය හැකි මොහොතක්.
ඔබ සාමාන්‍යයෙන් හොයන කලාවේ අරමුණ තිවංක කතාවෙන් වෙනස් මඟක් අරගෙන කියලා මම කිව්වොත්?
මේ ප්‍රබන්ධය ලියවෙන්නේ මගේ නවකතා මාර්ගයේ ඛණ්ඩනයක් ලෙසින් දැයි අසන ඔබගේ ප්‍රශ්නයෙහි සත්‍යයක් තිබෙනවා දැයි සිතන මේ මොහොතේ මට සිතෙන්නේ, නවකතාකරුවකුගේ ‘‘කතා කීමේ මෝඩ වැඩේ’’ දී ඔහුගේ කතාන්දරය කිසියම් ඓතිහාසික මොහොතක දී ඔහුගේ කතන්දරය වෙනුවට සමාජ කතන්දරය විය හැකි බව යි.
මට සිතෙන්නේ මා නවකතාවක් ලියන්නට පටන් ගත් සෑම විටක ම මට කියන්නට කතාවක් බාහිර සමාජයට තිබුණු බව යි. මාර්ටින් වික්‍රමසිංහගේ නවකතාවේ ඓතිහාසික විකාශනයේ දී අපිට පෙනෙන්නේ ඔහු ‘කතා කීමේ මෝඩ වැඩේ’ කාලයක් නිරත වී සිට සමාජ කතාවක් කියන්නට ගම්පෙරළිය නවකතාවේ දී පටන් ගත් බව යි. එතැන් සිට ඔහු ‘බවතරණය’ දක්වා දිගට ම කීවේ සමාජ කතාව පමණයි. මගේ සමාජ කතාව ‘බගන්දරා’ නවකතාවෙන් නොවේ නම් ‘රතු පලස’ නවකතාවෙන් පටන් ගන්නට ඇති.
විලියම්, කායකණ්ඩ හා දයාපාල ඔබ වෙන වෙනම ගොඩනැඟුවත් මේ සියල්ලෝ ඔබේ ප්‍රබන්ධ අවශ්‍යතාව වෙනුවෙන් පෙළ ගැහෙනවා. කුමක්ද බලාපොරොත්තුව?
ඒ තිදෙනා සිංහල සාහිත්‍යය සමාජයේ සංස්ථා තුනක්. විලියම් පරණ පොත් විකුණන්නෙක් හා නිර්ප්‍රභූ කියවන්නෙක්. කායකණ්ඩ සාහිත්‍යය කලා වෙනුවෙන් මහා කතුවරයකු සොයා යන පුරාණ කාලයේ විසූ තරුණ පණ්ඩක වියතෙක්. දයාපාල කියන්නේ කර්තෘ අඥාත වියමනක් ඔස්සේ ‘කර්තෘ – පීතෘ’ හෙවත් තම පියා හා කතුවරයා සොයා යන්නෙක්.
මට ඇත්තේ ප්‍රබන්ධය හා බැඳුණු බලාපොරොත්තුවක් පමණයි. මා එසේ කියන්නේ ප්‍රබන්ධය පිළිබඳ මගේ විශාල අදහස දේශපාලනික එකක් නිසයි. යථාර්ථවාදී ප්‍රබන්ධය කියන්නේ මට අනුව ස්වාධීන දේශපාලනික අදහසක්.
ලයනල් ට්‍රිලිං කියන අමෙරිකානු විචාරකයා අහනවා ඇයි අපි ඇරිස්ටෝටල් නාට්‍ය විචාරකයකු ලෙස ප්ලේටෝට වඩා හොඳයි කියන්නේ කියලා. ප්ලේටෝට නාට්‍ය ආකෘතිය තේරුණේ නැහැ. නාට්‍යය කියන්නේ ස්වාධීන අදහසක් ය කියන කල්පනාව ප්ලේටෝට තිබුණේ නැහැ. ප්‍රබන්ධයත් ඒ වගේ දෙයක්. ප්‍රබන්ධය කියන්නේ ප්ලේටෝට නොතේරෙන ඇරිස්ටෝටල්ට තේරෙන ආකෘතික අදහසක්.
මට සිතෙන පරිදි ප්ලේටෝගේ ‘ආකෘති ලෝකයේ’ නාට්‍යය, ප්‍රබන්ධය වැනි ආකෘති කිසිවක් නොතිබෙන්නට ඇති. කලාවේ දේශපාලනය නොතකා, දේශපාලනයේ දේශපාලනය සොයා යන කලාකරුවන් එවැනි ප්ලේටෝවාදීන්ට සමාන යි. ඔවුන් ස්ව-කැමැත්තෙන් කලාවේ රාජධානියෙන් පිටුවහල් වූවන්.
සැබෑ කර්තෘවරුන් අමු අමුවේ ඝාතනය කර බොරු අවතාර කර්තෘවරයෙක් මතු වීම කියන්නෙම ඔබේ තිබෙන විවේචනය. ඒ විතරක් නොවේ, සෙල්ලිපියක් නිසා සම්මත ඉතිහාසයම අලුතෙන් ලිවීම. මේ වැනි සංකේතාත්මක එළැඹුම් නවකතාවක ගොඩනැඟීමට කොතෙක් වැදගත්ද?
සැබෑ කර්තෘවරුන් අමු අමුවේ ඝාතනය කර දමා බොරු අවතාර කර්තෘවරුන් වශයෙන් පැවතීම කියන්නේ අද මෙරට සුලබව පවතින සංස්කෘතික තර්කනයක්. එය මෙරට කොයිතරම් දුර ගමන් කර තිබෙනවා ද කියනවා නම් අද කලා ශානර පවා අමු අමුවේ ඝාතනය කර බොරු අවතාර කලා ශානර මතුවීම පවා සංස්කෘතික තර්කනයක් බවට පත්වෙලා. ප්‍රේමසිරි කේමදාසගේ මරණයෙන් පසු අසහාය සංගීතයේ පවතින්නේ මෙවැන්නක්.
‘සෙල්ලිපියක් නිසා සම්මත ඉතිහාසයම අලුතෙන් ලිවීම’ ලෙස ඔබ දකින කාරණය මෙහි හමුවන්නේ තාවකාලිකව හෝ රාජ්‍යත්වයේ අහෝසි වීමක් මැද යි. සංස්කෘතිය හා බුද්ධිමය දේපළ යම් ස්වාධීනත්වයක් ලබා ගන්නවා. නිදහසින් පසු රාජ්‍යය සමඟ තිබුණු හා තිබිය යුතු සම්බන්ධය පිළිබඳව සමාජය විචාරාත්මක හා සබුද්ධික වෙනවා. මේ ප්‍රබන්ධය යථාර්ථයක් වන්නේ ඒ මොහොතක දී යි.
සමාජ කේන්ද්‍රීයත්වයක් තිබෙන නවකතාවක් බොහෝ විට ලියැවෙන්නේ රාජ්‍යය පිළිබඳ කිසියම් උපකල්පනයක් යටතේ යි. ටොල්ස්ටෝයිගේ ‘යුද්ධය හා සාමය’ නවකතාව ලියවෙන්නේ රුසියානු රාජ්‍යත්වය ආක්‍රමණික ප්‍රංශ නැපෝලියානු රාජ්‍යත්වයට අභිමුඛ වන ඓතිහාසික මොහොතක දී යි.
ඩොස්ටොයෙව්ස්කිගේ ‘අපරාධය හා දඬුවම’ නවකතාවේ රැස්කොල්නිකොව් ඒ සහාසික අපරාධය කරන්නේ මහලු ගිනි පොලීකාරියක ලෙස පෙනී සිටින රාජ්‍යයට එරෙහිව යි. ඔහු සයිබීරියාවට යවන්නේ සාර්වාදී රාජ්‍යත්වය මඟින්. ෆ්‍රාන්ස් කෆ්කාගේ ‘ට්‍රයල්’ නවකතාවේ නිර්දෝෂී කේ. නමැති චරිතය නිරපරාදේ නඩු මඟට යොමු කරවා මරා දමන්නේ රාජ්‍යත්වය මඟින්.
රාජ්‍යත්වයේ වැනි සංකේතාත්මක එළැඹුමක් මත නවකතාවක් ගොඩනැඟෙන්නේ රාජ්‍යත්වය පොදු සමාජයීය මනුෂ්‍යයාට අබිමුඛ වන ඓතිහාසික මොහොතක දී යි. මේ මැතිවරණය පවා ඊට නිදසුනක්. පොදු මිනිසා මර්ධනකාරී යාන්ත්‍රණයක් වූ රාජ්‍යයේ පීඩිතයකු ලෙස ජීවත්වීම එක දෙයක්. ඒ පීඩිතයාට ඒ රාජ්‍යය තමාගේ රාජ්‍යය හෝ ජනරජය ලෙස හමු වීම තව දෙයක්. එය මනෝවිශ්ලේෂණාත්මක විචාරයට අනුව රාජ්‍යය ‘යථ’ ලෙස හමු වීමක්. මේ අවස්ථා දෙකේ දී ම නවකතාවට හැසිරෙන්නට ඉඩක් තිබෙනවා.
නවකතාවේ පසුබිම ඉල්ලා සිටින භාෂාව භාවිත කිරීම මෙහි වැදගත් භූමිකාවක්. ඒ ඒ යුග නිරූපිත භාෂා භාවිතය ගැන කතා කළොත්?
ඔව්. පළමුවෙනි වකය සංවාද සහිත ශීඝ්‍ර ආඛ්‍යානයකට ඉඩ හරින භාෂාවකින් ලියවී තිබෙනවා. දෙවෙනි වකය සද්ධර්මරත්නාකරයේ වැනි චිරන්තන සාහිත්‍ය භාෂාවකින් ලියවී තිබෙනවා. තෙවෙනි වකය නීති ශාස්ත්‍රය, නඩුකර, චෝදනා පත්‍ර, විත්තිවාචක, තර්කවිතර්ක සහිත විතණ්ඩවාදී භාෂාවකින් රචනා වී තිබෙනවා.
සෞන්දර්යය, දාර්ශනිකත්වය හා දේශපාලනික සවිඥානකත්වය ඔබ අපූරුවට මෙහි ගැටගසනවා. නමුත් මේ තුන එකිනෙකට වෙනස් පැතිකඩ තුනක්. ඒ වියමන ගැන කතා කළොත්?
නවකතාව අන්තර් – වියමන් සංවාදයට, සංස්පර්ශයට, අන්තර්-විනිවිඳීමට විවෘත වන්නා වූ අන්දමේ භාෂාමය විශ්වයක්. භාෂා සුපර් මාර්කට් එකක්. එහි සෞන්දර්යය, දාර්ශනිකත්වය හා දේශපාලනික සවිඥානකත්වය, ඒවාට ආවේණික භාෂාව හා කතිකාව සමඟ සමාජයේ විවිධ පැතිකඩ ලෙස පවතින්නට පුළුවන්. එහි සැණකෙළියක් වැනි නිරූපණාත්මක අලංකාරිකයක් තිබිය හැකි යි. භාෂාමය වශයෙන් මෙන් ම ප්‍රපංචමය වශයෙනුත් ඒ නානා කතිකා එකම ප්‍රබන්ධයක ශරීරය ලෙස සංවාදී ආකෘතියකින් යුතුව පවතින්නට පුළුවනි. මයිකල් බක්තීන් නමැති රුසියානු විචාරකයා මෙය විස්තර කරනවා.
ඔබ නිර්මාණකරණයේ යෙදෙන්නේ සමාජයේ දෘෂ්ටිමය වෙනසක් බලාපොරොත්තුවෙන්ද?
නවකතාකරුවකු දෘෂ්ටිමය වෙනසකට වඩා බලාපොරොත්තු වන්නේ පාඨකයාගේ සවිඥානක අවධානයට යොමු කරන ප්‍රබන්ධමය යථාර්ථයක් ඉදිරිපත් කිරීම යි. එය දෘෂ්ටිවාදී එකතු කිරීමකට වඩා සවිඥානකත්වයට අලුත් යමක් එකතු කිරීමක්.
දෘෂ්ටිවාදී එකතු කිරීම් ප්‍රචාරකවාදීව, දේශනාවාදීව හා ජනතාවාදීව සිදු කරන්නට පුළුවන්. සාහිත්‍යයෙන් බලාපොරොත්තු වන්නේ පාඨකයාගේ සවිඥානක සමාජ යථාර්ථය පුළුල් කිරීමක්. එනම් ඔහුගේ විෂය ලෝකය පළල් කිරීමක්.
නවකතාකරුවකු මෙය සිදු කරන්නේ තමා පවා ප්‍රබන්ධය තුළ අස්ථානගත කිරීමෙන්. ඒ නිසා සමාජය තුළ දෘෂ්ටිවාදය වෙනස් කිරීම වැනි කටයුත්තක් ඉටු කිරීමට ප්‍රබන්ධය තුළ කතුවර – මිනිසකු ඇත්තේ නැහැ. දෘෂ්ටිවාදය වෙනස් කිරීම පිළිබඳ අදහස ජනතාවාදී සාහිත්‍යය මඟින් තමා තුළට පවරා ගත් අනුන්ගේ කාර්යයක්.
නවකතාව තුළ දී කතුවරයාත් වෙනස් වෙනවා. සමහර විට ඔහු වෙනස් වන්නේ නොවැදගත් වීමට, නාස්ති වී යන්නට, රොඩ්ඩක් වන්නට විය හැකි යි. මේ අතින් ෆ්රාන්ස් කෆ්කාගේ ‘රූපවිපර්යාසය’ නමැති කතාව ලේඛකයකුගේ ස්වයං-අපදානයකට සමාන යි. වෙළෙඳ නියෝජිතයකු වූ ග්‍රිගෝර් චරිතය අවසානයේ දී මැරුණු කෘමියකුගේ පිටපොත්තක් වැනි රොඩ්ඩක් බවට පත් වෙනවා. එය ලේඛකයකු සිය ලේඛනකරණයේ දී ශුන්‍යය වී යෑම හා එයින් සුරතාන්තයට පත්වීම පිළිබඳ වැදගත් කතාන්දරයක්.
ඒ නිර්පුද්ගලිකත්වය හා පුද්ගලිකත්වය හඹා නොයෑම ලේඛකයකුට අවශ්‍ය වෙනවා. රට රටවල සංචාරයෙහි යෙදුණු එක්තරා පුද්ගලයෙක්, ඒ සංචාර සියල්ලට පසුත් මුහුකුරා ගොස් නැති බව කෙනකු සොක්‍රටීස්ට කියනවා. එවිට සොක්‍රටීස් මෙහෙම කියනවා. “ එයා සංචාරය කරලා තියෙන්නේ තමන්වත් රැගෙන යි.” නවකතාකරුවකුගේ තත්ත්වයටත් සොක්‍රටීස්ගේ විවේචනය අදාළයි.
සුමුදු චතුරාණී ජයවර්ධන