Home » වරෙන්තු 26යි : වංචාව රු. ලක්ෂ 40යි අවුරුදු 10ක් කට්ටි පැන්න කතට මාංචු වැටුණේ මෙහෙමයි

වරෙන්තු 26යි : වංචාව රු. ලක්ෂ 40යි අවුරුදු 10ක් කට්ටි පැන්න කතට මාංචු වැටුණේ මෙහෙමයි

by thanushika
September 14, 2024 12:30 am 0 comment
සී. ගමගේ සොරණාතොට සමූහ

ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියගේ අත්සන හොරට ගසා කූට පත්වීම් ලිපි සාදා රජයේ රැකියා ලබාදෙන බව කියමින් වංචනික ලෙස මුදල් ලබා ෙන අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තු 26ක් වසර 10ක පමණ කාලයක් මුළුල්ලේ මඟහරිමින් අධිකරණයට, පොලිසියට කට්ටි පනිමින් සිටි මවක සහ දියණියක හලාවත, ආරච්චිකට්ටුව, නල්ලදරන්කකට්ටුව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට හැකිවූයේ පසුගියදාය.

අම්පාර, ගොනාගොල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මෙම සැකකාරිය 2012, 2013 වසරේදී එවකට සිටි ඌව පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියගේ අත්සන හොරට ගසා කූට ලේඛන සාදා පුස්තකාල සහායක, කාර්යාල සහායක රජයේ රැකියාවන් ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 40ක් පමණ මුදලක් මෙලෙස වංචනිකව ලබාගත් බවට පැමිණිලි 26ක් බදුල්ල පොලිසියට ලැබී තිබිණි.

එවකට සැකකාර කාන්තාව බදුල්ල නගරයේ කුලී නිවසක නතර වී සිටිමින් මෙම කූට ව්‍යාපාරය සිදුකරගෙන යමින් සිටියදී බදුල්ල පොලිසියට විවිධ අය සිදු කළ පැමිණිලි අනුව අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව ඇය ඇප මත මුදාහැර සිටියද ඇය නියමිත දිනයට අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් අධිකරණය මඟින් ඇයට සහ ඇය වෙනුවෙන් ඇප සහතික කළ 30 හැවිරිදි දියණියට වරෙන්තු නිකුත් කළ අතර, ඒ අනුව මෙම දෙපළට එරෙහිව වරෙන්තු 26ක් ක්‍රියාත්මක විය.

අධිකරණය මඟහරිමින් සිටි සැකකාර කාන්තාව නොමැතිව අධිකරණයේ මෙම නඩුව විභාග කර මෙම කාන්තාව වැරදිකාරිය කර දඬුවම් නියම කරනු ලැබිණි.

අධිකරණය මඟහරිමින් පොලිසියට කට්ටි පනිමින් සිටි මෙම මව සහ දියණිය සිටිනා තැනක් බදුල්ල පොලිසියට සොයාගැනීමට නොහැකි වීමෙන් පොලිස් නිලධාරින් ද පත්ව සිටියේ මහත් අපහසුතාවයකටය.

වසර දහයක පමණ කාලයක් මුළුල්ලේ බදුල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් ද සැකකාර, මව සහ දියණිය සෙවීමේ කටයුතු අත්නොහරිමින් ඔවුන්ගේ තොරතුරු දිගින් දිගටම පරිගණක ඔස්සේ යාවත්කාලීන කළේ කුමන මොහොතක හෝ සැකකාරය අල්ලා ගැනීම සඳහාය.

මේ අතරේ බදුල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.පී. ජයවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසට වසර දහයකට පසුව සිය මහන්සියේ ප්‍රතිඵල ලබා ගැනීමට නොබෝදා ලැබුණේ නොසිතූ ලෙසය.

ඒ මෙම සැකකාරියගේ 30 හැවිරිදි දියණිය විදේශගත වීම සඳහා අවශ්‍ය පාස්පෝට් සාදා ගැනීමට පාස්පෝට් කාර්යාලයට ලබා දී තිබූ ලිපි ලේඛනවලින් අනාවරණය වූ තොරතුරුවලට අනුවය.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර නිලධාරින් බදුල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී. ජයවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායම කැඳවා මේ සඳහා අදාළ උපදෙස් ලබා දුන්නේ සැකකාරියන් දෙදෙනා සම්බන්ධව ලැබුණ මේ තොරතුරු පරීක්ෂා කර ඔවුන් අල්ලා ගැනීම සඳහාය.

එම උපදෙස් මත ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක ජයවර්ධන ඇතුළු නිලධාරින් කණ්ඩායම බදුල්ල සිට හලාවත බලා පිටත්ව යන්නේ ක්ෂණිකවය.

හලාවත නගරයට ගිය මෙම පොලිස් නිලධාරීන් කණ්ඩායම අදාළ තොරතුරු මත හලාවත නගරයේ දී මෙම සැකකාර කාන්තාවගේ 30 හැවිරිදි දියණිය සැකපිට අත්අඩංගුවට ගන්නේ ඇය තුෂ්ණිම්භූතව සිටියදීය. ඇය සිය මව වෙනුවෙන් ඇප අත්සන් කර සිටීම ඇයට විරුද්ධව ඇති චෝදනාවයි.

මෙම දියණිය රැකියාව ලෙස කළේ අන්තර්ජාලය හරහා වෙළෙඳාම් කටයුතු සිදු කිරීමයි.

පොලිස් පරීක්ෂක ජයවර්ධන ඇතුළු නිලධාරීන් සැකකාරියගෙන් ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු අනුව වසර 10ක් පුරා අධිකරණය මඟහරිමින් පොලිසියට ද කට්ටි පනිමින් සිටි සැකකාර 52 හැවිරිදි කාන්තාව හලාවත ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා ලදි.

ඌව පළාත් සභාවේ එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අත්සන හොරට ගසා ව්‍යාජ කූට ලේඛන සාදා රජයේ රැකියා ලබා දෙන බව කියමින් රුපියල් ලක්ෂ 40ක පමණ මුදල් විවිධ පුද්ගලයන්ගෙන් වංචනික ලෙස ලබාගෙන වසර 10ක් පුරා පොලිසියට කට්ටි පනිමින් අධිකරණය මඟහරිමින් සිටි සැකකාරිය එසේ පොලිස් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් මෙම මවත්, දියණියත් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා සානුකම්පිතව සලකා බලා මවගේ ඇප සඳහා අත්සන් කළ දියණිය ඇප මත මුදාහැර, සැකකාර කාන්තාව වරින් වර දඬුවම් ගෙවී යන ආකාරයට වසර 26 යි මාස 3ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලදි.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්තගේ උපදෙස් මත පොලිස් අධිකාරි 1 බුද්ධික ගුණසේකරගේ අධීක්ෂණයෙන් බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. රත්නායකගේ මෙහෙයවීම මත බදුල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී. ජයවර්ධන, උපපොලිස් පරීක්ෂක සරත් ප්‍රේමචන්ද්‍ර, සැරයන්වරුන් වන 34153 නන්දසේන, 69343 දිසානායක, 77275 ජයසිංහ, කාන්තා පොලිස් සැරයන් 5990 ප්‍රියදර්ශනී යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division