Home » මුහුණු පොතෙන් සංවිධානය කළ බීච් පාටියට වෙච්ච දේ

මුහුණු පොතෙන් සංවිධානය කළ බීච් පාටියට වෙච්ච දේ

by thanushika
September 14, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

මුහුණු පොත සහ අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කෙරෙන වෙරළ සාද, සංගීත සංදර්ශන ඇතුළු විවිධ උත්සවවල ප්‍රධාන අරමුණ මත්පැන්, මත්ද්‍රව්‍ය, ගණිකා ජාවාරම ප්‍රවර්ධනය බව නොදන්නා කෙනෙක් නැත. මුහුණු පොත සහ විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ එලෙස සංවිධානය කරන වෙරළ සාද, සංගීත සංදර්ශන ඇතුළු විවිධ උත්සව පැවැත්වූ ස්ථාන ගණනාවක් පොලිසියෙන් වටලා ඒවායේ සංවිධායකයන්, සහභාගිවූවන් මත්පැන් සහ විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් අවස්ථා ගණනාවක් මාධ්‍ය මගින් පසුගිය කාලයේ හෙළිකර තිබිණි.

මුහුණුපොත, අන්තර්ජාලය ඔස්සේ මෙලෙස සංවිධානය කරන උත්සවවල ප්‍රධාන අරමුණ මත්ද්‍රව්‍ය අලෙවියයි. හෙරොයින්, අයිස්, කූෂ්, හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ද ‘ඩාන්සින් ටැබ්ලට්‘ ඇතුළු විවිධ වර්ගවල මත්කරල්, මත්පෙති මේ ෆේස්බුක් සාදවලදී අලෙවි වන්නේ ඉතා ඉහළ මිල ගණන්වලටය.

මේ සාද සඳහා පැමිණෙන තරුණ තරුණියන්ගෙන් සංවිධායකයෝ ඊට ඇතුළුවීම සඳහා සාමාන්‍ය මුදලක් අය කළද සාදය පැවැත්වෙන අතරතුර එහි ඇති මත්පැන්, මත්ද්‍රව්‍ය, මත්පෙති කරල්වලට සංවිධායකයෝ අය කරන මුදල විශාලය.

මෙවැනි ස්ථානවලට මත්ද්‍රව්‍ය, මත්පැන්, පෙති කරල් සැපයීම සඳහා විශේෂ ජාවාරම්කරුවන් පිරිසක් සැදීපැහැදී සිටින බව රහසක් නොවේ. ඔවුන්ගේ එකම රාජකාරිය මුහුණුපොතේ සාද ස්ථානය සඳහා ඉහත කී මත්ද්‍රව්‍ය ගෙනැවිත් ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමයි.

ඊට අමතරව මෙවැනි සාද සඳහා සහභාගි වන අය වෙනුවෙන් ගැහැනු, පිරිමි ගණිකාවන් සපයන අය ද සිටිති. ඒ සඳහා අය කරන මිල ගණන් ද විශාලය.

මේ මුහුණුපොතේ සාද සඳහා පැමිණෙන අය අතර සිටින රූමත් යුවතියන්, තරුණ කාන්තාවන් අතවරයට කරදරයට හිංසනයට ලක්වන අවස්ථා බොහෝය. එහෙත් ඒවා පොලිසියට වාර්තා නොවන තරම්ය. වාද්දුවේ පැවැත්වුණ මෙවැනි මුහුණුපොතේ සාදයකට සහභාගිවූ තරුණයකුට විෂ වායුවක් ආඝ්‍රාණය වීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම ද කිසිවකුටත් අමතක නැත.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, බුද්ධි අංශ මෙවැනි මුහුණු පොතේ සාද පිළිබඳ ඉතා සෙවිල්ලෙන් සිට දිගින් දිගටම සිදුකරන ලද වැටලීම් නිසා ජාවාරම්කරුවන්ට ඒවා අතහැර දමන්නට සිදුවිය. එහෙත් ඇතැම් ජාවාරම්කරුවෝ සූක්ෂ්මව එම ෆේස්බුක් සාද දිගටම පවත්වාගෙන යාමට උත්සාහ කරන්නේ එවැනි එක් සාදයකින් එක් රැයකින් ඔවුන්ට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 10ක් පමණ උපයාගත හැකි නිසාය.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය සහ බුද්ධි අංශවලට අමතරව සුරාබදු විමර්ශන නිලධාරීන් ද මේ ගැන හොඳ සෙවිල්ලෙන් පසුවූයේ මේ ස්ථානවලදී මත්ද්‍රව්‍යවලට ලොකු ඉල්ලුමක් තිබෙන නිසාය.

මීගමුව වෙරළ තීරයේ සංචාරක හෝටලයක් ආශ්‍රිතව සාදයක් පවත්වමින් සිටි තරුණ තරුණියන් 43ක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධරයන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනුලැබු‍ෙව් පසුගියදාය. ඒ බස්නාහිර පළාතේ සුරාබදු සහකාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව මේ වැටලීම සිදු කෙරිණි.

මේ පිරිස සන්තකයේ තිබූ ගංජා සහ නීති විරෝධි ලෙස ආනයනය කරන ලද සිගරැට් තොගයක් ද සුරාබදු නිලධාරීන් විසින් සොයා ගන්නේ මේ මෙහෙයුමේදීය. මීගමුව වෙරළේ අදාළ සංචාරක හෝටලය ආශ්‍රිතව මේ සාදය පැවැත්වෙන බව මුහුණු පොත ඔස්සේ සිය සාමාජිකයන්ට දැනුම් දී තිබුණේ එහි සංවිධායකයන් විසිනි. ඒ අනුව මේ ස්ථානයට පැමිණි තරුණ තරුණියන් විනෝද වෙමින් සිට ඇති අතර ඇතැම් අය ඒ අතර සිට නීති විරෝධි මත්පැන්, ගංජා සහ හොර සිගරැට් පානය කරමින් සිට ඇති බවද විමර්ශනවලදි හෙළිවිය.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් 43කගෙන් 10ක් කාන්තාවෝය. මේ සියලු දෙනා අවුරුදු 19 – 39 අතර වයස්වල පසුවන්නෝ වූහ. මේ අයගෙන් ප්‍රශ්න කරද්දි හෙළිවී ඇත්තේ ඔවුන් තංගල්ල, මාරවිල, කිරිඳිවැල, හිඟුරක්ගොඩ, පූගොඩ, මීගමුව, ජාඇළ, දිගන, හොරණ ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් බවය.

මෙහි සංවිධායකයන් මුහුණුපොතේ කරන ලද ඉල්ලීමකට අනුව මේ අය එම ප්‍රදේශවල සිට මීගමුවට පැමිණ අදාළ සාදයට එක්වී ඇත්තේ මුදල් ගෙවීමෙන් අනතුරුවය.

සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) තිස්ස කුමාරගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් භාර සුරාබදු සහකාර කොමසාරිස් රොෂාන් පෙරේරා සහ සුරාබදු අධිකාරි (ගම්පහ) ප්‍රිමේෂ් ප්‍රනාන්දු යන නිලධරයන්ගේ උපදෙස් මත ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ, ජාඇළ ස්ථානාධිපති කලා රසික, පූගොඩ ස්ථානාධිපති සුගත් ජයවංශ, මීරිගම ස්ථානාධිපති කුමාරරත්න, මීගමුව සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ ඇතුළු කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදුකරන ලදි.

ඡායාරූප – ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division