“සර්.. අපේ තාත්තාගේ නම සුගතදාස. එයා හිටියේ ලෙඩ ගානේ. තාත්තට හුඟක් වයසයි. දැන් එයාට අවුරුදු හැත්තෑ හතරක් වෙනවා. උදේ බලනකොට තාත්තා එහෙමම නැතිවෙලා.” තෙබුවන පොලිසියට පැමිණි සුගතදාසගේ පුතා පවසා සිටියේ තම පියාගේ වියෝව ගැන ශෝකයෙනි.
ඉතා දුෂ්කර ගම්මානයක් වන නෑබඩ, ඉහළ නෑබඩ පදිංචිව සිටි සුගතදාස දෙදරු පියකු වූයේ මීට වසර හතළිස් හතකට පමණ පෙරය. ඒ එකම දිනක ඉපදුනු දියණියක සහ පුතෙකු නිසාය. මේ වන විට දියණිය විදේශගතව සිටින අතර සුගතදාස පදිංචිව සිටින්නේ 47 හැවිරිදි පුතා සමඟ මහගෙදරය.
සුගතදාසගේ බිරිය, පුතාගේ බිරිය, පුතාගේ දරු දෙදෙනා ද මහ ගෙදරම පදිංචිව සිටින අතර එම නිවෙසට ඉදිරියෙන් ඉදිකර ඇති නව නිවෙසේ ඔවුන් සිටියද මහලු පියා සිටියේ පැරැණි නිවෙසේ කටු මැටි කුස්සිය කොටසේය. ලැබෙන කුලී වැඩක් සිදුකරන ඔහුගේ පුතා හැන්දෑ වන විට සිටින්නේ තරමක බීමත් ගතියකිනි. මත්පැන් පානයකර නිවසට පැමිණෙන පුත්‍රයා නිවසේ සියල්ලන්ටම වීරයෙක් වන්නේ කිසිවෙකුටත් නිවිහැනහිල්ලේ නිදා ගැනීමට පවා ඉඩ නොදෙමිනි. ඔහු සිය බිරිය සමඟ ද නිතර ගැටුම් ඇතිකර ගන්නා නිසා නිවැසියන්ට සිදු වූයේ ඔහුගෙන් විශාල වදයක් විඳ දරා ගැනීමටය.
පියා මියගිය දිනට පෙර දින රාත්‍රියේ ද පුත්‍රයා පැමිණියේ බීමත්වය. සැමියාගෙන් සිදුවන කරච්චලය ඉවසා ගැනීමට නොහැකි වූ ඔහුගේ බිරිය එදින දොර වසා තබා ඔහු නිවෙසට ගැනීම ප්‍රතික්ෂේප කළේ ලබාදිය හැකි ඉහළම දඬුවම එය විය හැකි බැවිනි.
රාත්‍රී දහයට එකොළහට ‘වීර චරිතයක්’ ආරූඪ කරගත් සුගතදාසගේ පුතා නිවෙසට ආවේ සියල්ලන් මට්ටු කිරීමට සිතාගෙන විය යුතුය. එහෙත් ඔහුට දොර විවර කරගැනීමට නොහැකි වූයේ බිරිය දොරට ඉබියතුරු දමා තිබීම නිසාය.
මෙයින් හොඳටම කෝපයට පත් ඔහු බැණ අඬගසමින් නිවෙස පිටුපසට ගියේ කෙසේ හෝ ගෙතුළට රිංගා ගැනීමේ අරමුණ ඇතිවය.
සුගතදාස සිටියේ සුපුරුදු පරිදිම නිවෙස පිටුපස මැටි කුස්සිය කෑල්ලේ නිදාගෙනය. පුත්තරයාගේ ගාලගෝට්ටිය ඔහුට ද මහා වධයක් වූවාට සැක නැත. කෑ මොරදෙන විට සුගතදාසට ද යක්ෂයා ආරූඪ වූයේ ඉබේටමය.
පිය පුතු වාග් ප්‍රහාරය ද්වන්ධ සටනක් දක්වා ඇවිළී යාමට වැඩි වේලාවක් ගත වූයේ නැත. වියපත් සුගතදාසට තරුණ ජවය අබිබවා යෑමට ශක්තියක් තිබුණේ නැත. පුතාගේ පහරදීමෙන් ඔහු බිම ඇද වැටුණේ ඒ නිසා විය යුතුය.
“තෝ එනවද මට උපදෙස් දෙන්න? මං තොපි ඔක්කොටම පාඩමක් උගන්නනවා අද” යැයි කියමින් පියාගේ බෙල්ලෙන් අල්ලාගත් ඔහු දත් මිටිකමින් ගුගුරන්නට වූයේ කෙසේ හෝ තමා උස්මහත් කළ පියා බවවත් නොසලකමිනි. රාත්‍රිය හිමිහිට පහන් වූයේ අබිරහස් කතාවක සුලමුල සියලු දෙනාගෙන්ම වසන් කරමිනි.
‘පෝරිසාද පුත්‍රයා’ උදේ බලන විට දුටුවේ කිසි හැලහොල්මනක් නැතුව සිටින පියාය. ඔහුට දෙලොව රත් වූයේ විටය. තෙබුවන පොලිසියට දුවගෙන ගිය ඔහු මේ බව පොලිසියට දැනුම් දුන්නේ මෙය ස්වභාවික මරණයක් බව අඟවමිනි.
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජරත්න ජයසුන්දරගේ මූලිකත්වයෙන් විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කෙරුණේ ඉන් පසුවය.
කළුතර හදිසි මරණ පරීක්ෂක එස්. ඒ. කුමසාරුට සිද්ධිය දැනුම්දී එම ස්ථානයට කැඳවා ගෙනගිය පොලිසියට දැක ගත හැකි වූයේ මියගිය පුද්ගලයාගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බවය. මීට අමතරව ඔහුගේ දෙපාවල සීරීම් තුවාල ද දැකගැනීමට හැකි වූයේ මෙම මරණය පිළිබඳ විශාල සැකයක් නිලධාරින්ගේ සිත්වල ඇති කරමිනි.
මෙය ඝාතනයක් විය හැකි බවට නිගමනය කළ පොලිස් නිලධාරීන් මේ පිළිබඳ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් එහි කැඳවීමට ද කටයුතු කළේය.
මේ අනුව ස්ථානීය පරීක්ෂණ සිදුකළ මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් ඩී. වී. විජේසිංහ පොලිසියට නියෝග කළේ මළසිරුර කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙසය.
කළුතර නාගොඩ රෝහලේදී කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් යශේන්ද්‍ර එන්. පෙරේරා පොලිසියට නියෝග කළේ නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු මඟින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමටය.
මේ අනුව නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.ඒ. ජයසිංහ විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ සුගතදාසගේ ගෙල ප්‍රදේශයට සිදුවූ බරපතළ තුවාල සහ සිර කිරීමක් නිසා මෙම මරණය සිදුවී ඇති බවය.
මේ අනුව පියාගේ ඝාතකයා බවට පත්වූ අජාසත් පුතාට නීතියෙන් ගැලවීමට ඉඩක් ලැබුණේ නැත. ඔහු සිද්ධිය පාපොච්චාරණය කළේ බීමත්කමේ අනිටු ප්‍රතිඵල පෙරළා තමාටම ලැබෙන බව ලොවටම පසක් කරමිනි.
කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකරගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී 02 සුනෙත් ශාන්තගේ අධීක්ෂණයෙන් තෙබුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජරත්න ජයසුන්දරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රෝහණ දිසානායක, උප පොලිස් පරීක්ෂක වසන්ත, සැරයන් 55266 රොෂාන්, 61896 කරුණාරත්න, කොස්තාපල් 99506 වික්‍රමරත්න, කොස්තාපල් රියදුරු 80151 ජයවීර යන නිලධාරීහු මේ පිළිබඳ විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ