සුප්‍රකට මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසකින් රු. දහසය ලක්ෂයක අත්බෑග්, මාල උස්සලා
හොරෙක් වෙන්නේ වයස 13දී : වැඩි කාලයක් ගතකළේ ඇතුළේ
කුඩා කල සිටම සොරකම් ඇතුළු පුංචි පුංචි අපරාධවලට පෙළඹෙන දරුවන් ලොකු මහත් වූවාට පසුවද එම ඇබ්බැහිය වර්ධනය කරගෙන මහා පරිමාණයෙන් අපරාධ සිදුකරන බව අසත්‍යයක් නොවේ. පාතාල සාමාජිකයන්, කුලී ඝාතකයන්, මත්ද්‍රව්‍ය ජාවාරමුන් ඇතුළු අපරාධකරුවන් වැඩි පිරිසකගේ ළමා කාලය ද එතරම් සාර්ථක නැති බව ඒ පිළිබඳව කරන ලද සමීක්ෂණවලදී හෙළිවී හමාරය.
මේ අතරිනුත් විශේෂත්වය වන්නේ කුඩා කල සිටම අපරාධවලට යොමු වන ළමයින්ගේ ජීවන තත්ත්වය ද ඇත්ත වශයෙන්ම දුක්ඛිත වීමයි. ඇතැම් ළමයින්ට මව්පිය ආදරය කරුණාව ලැබී ඇත්තේම නැත. ඇතැමුන්ගේ මව, පියා වෙන්ව ගොසිනි. නිසි පෝෂණයක් නැත. සමහර ළමයින් ජීවත්වී ඇත්තේ කුඩම්මලාගේ කෲරත්වය මධ්‍යයේය. ආච්චිලා සීයලා ළඟ ජීවත්වූ ගැහැනු දරුවන් ද ලිංගික අතවරයට ලක්වූ අවස්ථා ඇත.
දරුවන් කුඩා කාලයේ සිටම හොරමැර චණ්ඩිකම්වලට පෙළඹීමට සමහර විටෙක ගුරු දෙගුරුන් වගකිව යුතුයි. ළමයෙක් සොරකමක් සිදුකර හසුවූ පළමු අවස්ථාවේදීම ඔහුට ඒ සඳහා නිසි දඬුවමක් ලබාදී එහි ආදීනව පිළිබඳ වටහා දීම ගුරු දෙගුරුන්ගේ යුතුකමයි.
මෙලෙස කුඩා කල සිට පුංචි පුංචි සොරකම් ඇතුළු අපරාධ සිදුකරන ළමයින් ලොකු මහත්වූ විට එම අපරාධ මහා පරිමාණයෙන් සිදු කරන්නේ කුඩා කල සිටම එම ළමයින්ට වැඩිහිටියන්ගේ නිසි මඟපෙන්වීම නිවැරදිව නොලැබුණ නිසා යන්න පරම සත්‍යයයි.
මහනුවර දිසාවේ ගලහ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පසුගියදා සිදුකරන ලද විමර්ශනයකට අදාළව 15 හැවිරිදි ළමයකු අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහු ගලහ ප්‍රදේශයේ වෙළෙඳසලක් කඩා භාණ්ඩ සොරා ගැනීම ඇතුළු සොරකම් කීපයකට සම්බන්ධ බව හෙළි වූයේ විමර්ශනවලදීය. මේ ළමයා නිවෙසකින් පාපැදියක් ද සොරකම්කර තිබුණු අතර පොලිස් නිලධාරින්ට ඔහු කීවේ තමාට පාපැදියක් මිලදී ගැනීමට වත්කමක් නොතිබුණ නිසා මේ පාපැදිය සොරකම් කළ බවය. පොලිස් විමර්ශනවලදී හෙළි වූයේ මේ ළමයාගේ මව විදේශගතව සිටින බවයි. පියා බේබද්දෙකි. ඔහු ළමයා ගැන සොයාබලා නැත.
කුඩා කල සිටම ළමයින් සිදුකරන අපරාධවලින් ඔවුන් වළක්වා ගැනීමට හේතුපාදක වන තවත් සුවිශේෂී කතාවක් පසුගියදා අනාවරණය වූයේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ විෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකරන ලද විමර්ශනයකදීය.
මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
මෙරට සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියක පදිංචිව සිටින කුරුඳුවත්ත ග්රීන්පාත් ප්‍රදේශයේ නිවසට පසුගිය අගෝස්තු 10 වන දින ඇතුළුවූ පුද්ගලයකු එහි තිබුණු රුපියල් දහසයලක්ෂඅනූදෙදහසක් වටිනා අත්බෑග් තොගයක්, දියමන්ති මාලයක්, ජංගම දුරකතන දෙකක් සොරකම් කරගෙන පලාගොස් තිබිණි.
ව්‍යාපාරිකයාගේ දියණිය මේ ගැන මුලින්ම පැමිණිලි කරන්නේ කුරුඳුවත්ත පොලිසියටය. කුරුඳුවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් මේ ගැන විමර්ශන ආරම්භ කරන අතරේ කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මෙහි විමර්ශන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ද පවරන්නේ යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනි.
විෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද ඇතුළු කණ්ඩායම මේ ගැන දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරන්නේ මෙවැනි සොරකම්වලට නම් දැරූ අපරාධකරුවන්ගේ ඡායාරූප සහිත තෝම්බුවක් ද පරික්ෂා කරමිනි.
අදාළ නිවෙසේ සවිකර තිබුණ සීසීටීවී කැමරාවල දර්ශන පරික්ෂා කරන උපපොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද ඇතුළු කණ්ඩායම මේ සොරකම සිදුකරන පුද්ගලයා පැහැදිලිව හඳුනා ගන්නේ අනතුරුවය. සැකකාර පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කරන පොලිස් කණ්ඩායම ඔහු අත්අඩංගුවට ගන්නේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
මේ පුද්ගලයා පනස් දෙහැවිරිදි අයකු බවද ඔහුට ස්ථිර පදිංචියක් හෝ වාසස්ථානයක් නොමැති බවද හෙළිවන්නේ එහිදීය. ‘රාජු’ නමින් හඳුන්වන මේ සැකකරු අපරාධ සහ මත්ද්‍රව්‍ය චෝදනා මත දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටි අයකු බව හෙළිවන්නේ සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදීය. දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින රාජුගේ ‘පැටිකිරිය’ හෙළිවන්නේ ඉන් අනතුරුවය.
රාජු වයස අවුරුදු 13දී පමණ සොරකම් ඇතුළු අපරාධ ගණනාවක් සිදුකළ අයෙකි. දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් අවුරුදු 13ක් සිරබත් කෑ රාජු එළියට එන්නේ ද මෑතකදීය. එසේ එළියට ආ රාජු නැවත සිදුකරන්නේ ද සොරකමකි. ඒ මැණික් ව්‍යාපාරිකයාගේ දියණිය පදිංචි ග්රීන්පාත් නිවෙසට ‘සුද්දයක්’ දීමයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කුරුඳුවත්තේ මැණික් ව්‍යාපාරිකයාගේ දියණියගේ නිවෙසින් සොරාගත් අත්බෑග් 5ක් අලුත්කඩේ ප්‍රදේශයේ අයකුට විකුණා තිබියදී සොයා ගෙන ඇත. රන්මාලය සොයා ගනු ලැබුවේ ග්රීන්පාත් ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා තිබියදීය. රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා අත්බෑගයක් මේ සැකකරු විකුණා තිබුණේ රු. 4000කටය. රුපියල් ලක්ෂ ගණනක දියමන්ති මාලය විකුණා තිබි ඇත්තේ රුපියල් තිස්දහසකටය. ජංගම දුරකතන දෙකම විකුණා ඇත්තේ රුපියල් දහඅට දහසකටය. එම ජංගම දුරකතන දෙක සොයා ගෙන නැත.
කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටියගේ උපදෙස් මත කොළඹ දකුණ 01 භාර සහකාර පොලිස් අධිකාරි ඒ.පී.වයි.එස්. කීර්තිසිංහගේ අධීක්ෂණයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර, විෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ෂෙහාන් ආනන්ද, සැරයන් (68039) මාලිංග, කොස්තාපල්වරුන් වන (89241) ජගත්, (92340) ප්‍රේමරත්න, (96241) තුශාන්තන්, (91340) මනේෂ්, (26024) කුමාර, (35676) අවිශ්ක, (36597) මධුෂංක, (103171) ගම්ලත්, (104928) ඉෂාර, කාන්තා පොලිස් කොස්තාපල් (11622) චතුරිකා, (11868) සංජීවනි, පොලිස් කොස්තාපල් රියැදුරු (99023) වර්ණකුලසූරිය යන නිලධාරින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
දීපාල් සමරසේකර
ඡායාරූප – කොට්ටාව ප්‍රදීප් කුමාර